පාර්ලිමේන්තුවේ විශේෂ පක්ෂනායක රැස්වීමක්

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ, කතානායක චමල් රාජපක්ෂ මහතා ඇතුළුව පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින්ගේ ප්‍රධානත්වයෙන් මේවන විට විශේෂ සාකච්ඡාවක් පාර්ලිමේන්තුවේදී පැවැත්වෙයි.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදාළව විපක්ෂය විසින් ඉදිරිපත් කළ සංශෝධන සම්බන්ධයෙන් මෙම සාකච්ඡාව පැවැත්වෙන බව අප වාර්තාකරු කියයි.

සංශෝධන ගැන වියවුල් ලිහන්න හදිසි කමිටුවක්

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ සංශෝධන සම්මත කර ගැනීමට අදාළ ව්‍යකූල තැන් සමහන් කරගනු  පිණිස විශේෂ කමිටුවක් පත්කර තිබේ.

ඒ අනුව අග්‍රමාත්‍යවරයා ප්‍රමුඛ එජාපය නියෝජනය කරමින් නි.විදේශ අමාත්‍ය අජිත් පී පෙරේරා,නාගරික සංවර්ධන අමාත්‍ය රාවුෆ් හකීම්,පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්දිරන් යන අය පත්කර ඇත.

එසේම එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අනුර ප්‍රියදර්ශන යාපා,රජීව් විජේසිංහ,ෆයිසර් මුස්තාපා යන අය පත්කර ඇතැයි දැනගන්නට ලැබේ.

ඒ අනුව මෙම දෙපාර්ශවය හැකි ඉක්මනින් මෙම සංශෝධන සම්බන්ධයෙන් එකඟතාවකට පැමි‍ණිය යුතුව තිබේ.

කෙසේ වෙතත් අද දහවල් පැවති එජනිස මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ශ්‍රීලනිපය විසින් ගෙන ආ සංශෝධන සම්ම්ත කර ගැනීමටත්,එජාපය විිසින් ගෙන එන ලද සංශෝධන වලට එරෙහිව ඡන්දය භාවිතා කිරීමටත් ඇතැම් මන්ත්‍රීවරුන් විසින් යෝජනා කර තිබීමද මෙම ව්‍යාකූල තත්ත්වයට හේතුවී ඇත.

විශේෂයෙන්ම ජාතික විද්වත් සභාවට ව්‍යවස්ථාදායක සභාවෙන් පිට අග්‍රාමාත්‍යවරයා විසින්  විද්වතුන් පත්කිරීමට විධිවිධාන ඇතුළත් කිරීම වෙනුවට පාර්ලිමේන්තුව තුළින්ම නියෝජිතයින් නම් කිරීමට විධිවිධාන ඇතුළත් කිරීමද වඩා සුදුසු යයි ශ්‍රීලනිප පාර්ශවය විසින් ගෙන එන ලද සංශෝධනවල ඇතුළත්ය.

‍මූල්‍ය අපරාධ විමර්ශන පොලිසිය ගැන ජනපතිත් දැනගෙන ඉඳලා නෑ?

"පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය"නමින් ඉකුත් පෙබරවාරි මස 13 වන දින නිකුත් කරන ලද විශේෂ  ගැසට් නිවේදනයක් මගින් පොලිස් ඒකකක් පිහිටුවීම තමා නොදන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පවසා තිබේ.

අද (28) 12.30 ට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වුණු එජනිස කණ්ඩායම් නායක රැස්වීමේදී මේ බැව් අනාවරණය වී ති‍බේ.

 අග්‍රාමාත්‍යවරයා විසින් පත්කරන ලද අනුකාරක සභාවක තීරණයකින් මෙම පොලිස් ඒකකය ක්‍රියාවට නංවා ඇති බවත්,එමගින් අග්‍රාමාත්‍යවරයා දේශපාලන කටයුත්තක් ලෙස එය අවභාවිතා කිරීමේ සැකයක් මතුවන බවත් එජනිස මන්ත්‍රීවරුන් විසින් පෙන්වා දී තිබේ.

ඒ අනුව එය අලුත් පොලිස් නීතියක් බවට පත්ව ඇති බැවින් මුළුමනින්ම අහෝසි කරන ලෙස මෙම මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේශ් ගුණවර්ධන මහතා අද දෙරණට කියා සිටියේය.

ජනාධිපතිවරයා මේ අවස්ථාවේදී ප්‍රකාශ කර ඇත්තේ තමන් එකී ගැසට් නිවේදනය පිළිබඳ යමක් නොදන්නා නමුත් ඒ සම්බන්ධයෙන් තමාගේ පුද්ගලික අවධානය යොමුකරන බවයි.

එසේම මේවනතුරු එම විශේෂ පොලිස් ඒකකය මගින් බරපතළ සිදුවීම් පිළිබඳ ගැටළු මතුනොවී ඇති බවද ජනාධිපතිවරයා පෙන්වාදී ඇතත්,තමා මින්මතු ඒ පිළිබඳ පුද්ගලික අවධානය අනිවාර්යෙන්ම යොමුකරන බවද සඳහන් කර තිබේ.

නේපාලයේ විපතට පත් ජනයාට ඔබේ දායකත්වය දෙන්නේ මෙහෙමයි

භූ කම්පනයෙන් විපතට පත් නේපාල ජනතාවට අවශ්‍ය ද්‍රව්‍ය  පරිත්‍යාග කිරීමට කැමැත්තක් දක්වන පුද්ගලයින්ට ඒවා දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත බාරදිය හැකි බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.

විපතට පත් ජනතාවගේ හදිසි අවශ්‍යතා සපුරාලීම සඳහා අවශ්‍ය වන   ද්‍රව්‍යය නේපාල රජය විසින් දැනුම්දී ඇති බව එම කාර්යාලය කියයි.

 ඒ අනුව කූඩාරම්, මෙට්ට, පානීය ජලය, ජලය පිරිසිඳු කිරීමේ උපකරණ, සනීපාරක්ෂක කට්ටල හා භාණ්ඩ මෙන්ම එළිමහන් කඳවුරු සඳහා අවශ්‍ය උපකරණ අත්‍යවශ්‍යව පවතින බව නේපාල රජය විසින් දැනුම් දී ඇත.

පරිත්‍යාග කිරීමට කැමති සංවිධාන හා පුද්ගලයින් ඒ ඒ දිස්ත්‍රික් ලේකම්වරයා වෙත ඒවා බාරදිය හැකි බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේය.

එමෙන්ම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය හරහා ද  මේ සම්බන්ධයෙන් තොරතුරු ලබාගත හැකි බව එම කාර්යාලය වැඩිදුරටත් පැවසුවේය.

අක්මීමන දයාරතන හිමි ඇතුළු 17ට ඇප

කූරගල පුරාවිද්‍යා භූමියට නීති විරෝධීව ඇතුළුවීමට උත්සාහ කළ බවට චෝදනා එල්ල වූ සිහල රාවය සංවිධානයේ පූජ්‍ය අක්මීමන දයාරතන හිමි ඇතුළු භික්ෂූන් වහන්සේ 6 නමක් සහ පුද්ගලයින් 17 දෙනෙකු ඇප මත මුදා හැර තිබේ.

බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණය මෙම නියෝගය ලබාදුන් බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.

අධිකරණය විසින් ලබාදී තිබූ වාරණ නියෝගයක් නොසලකමින් පසුගිය 04 වන දින අදාළ භික්ෂූන් වහන්සේ ඇතුළු පිරිසක් කූරගල පුරාවිද්‍යා භූමියට ඇතුළුවීමට උත්සාහ කළ බවට චෝදනා කරමින් බලංගොඩ පොලිසිය මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණි.

අදාළ පිරිසට අද දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර තිබූ බව අද දෙරණ වාර්තාකරු පැවසුවේය.

ඒ අනුව රුපියල් දෙලක්ෂ 50,000 බැගින් වූ ශරීර ඇප මත ඔවුන් මුදා හැරීමට අධිකරණය නියෝග කර ඇත.

සිද්ධියට අදාළ  නඩුව සැප්තැම්බර් මස 29 වැනිදා යළි විභාගයට ගැනීමට නියමිතය.

බැසිල් මාස 3ක් නිවාඩුයි


හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය,පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවේ මාස 3ක නිඩාවු කාලයක් ලබාදී තිබේ.

අදාළ යෝජනාව විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් පාර්ලිමේන්තුවට ගෙනවිත් ඇති අතර ඊට සභාවේ කිසිදු විරෝධයක් එල්ලනොවූ බව අද දෙරණ වාර්තාකරු පවසයි.

දිවිනැඟුම දෙපාර්තමේන්තුවේ සිදුවූ බව කියන මුදල් අක්‍රමිකතාවට අදාළව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ ප්‍රශ්න කිරී‍මෙන් පසු අත්අඩංගුවට ගත් බැසිල් රාජපක්ෂ මහතා කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදුව මේවන විට රක්ෂිත බන්ධනාගාර ගත කර ඇතත් බන්ධනාගාර රෝහලේ සිට ජාතික රෝහලට මාරුකර එවා ඇත.

මීට ඉහතදීද මාස 3ක කාලයකට නිවාඩු අනුමත කරවාගෙන තිබුණු බැසිල් රාජපක්ෂ මහතාට යළි මාස 3ට නිවාඩු අනුමත වූයේ දෙවෙනි වරටය.

එසේම 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළව විවාදයේ දෙවන දිනය වන බැවින් එකී විවාදය මේවන විට පාර්ලිමේන්තුවේ ආරම්භ වී තිබේ.

අමෙරිකානු රාජ්‍ය ලේකම් මැයි 02දා එයි


අමෙරිකානු එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් ජෝන් කෙරී එළඹෙන මැයි 02වන සෙනසුරාදා දින ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබේ.

ඉකුත් පාලන සමයේ අමෙරිකාව-ශ්‍රීලංකාව අතර දුර්වලව පැවති රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කරගනු පිණිස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී සාකච්ඡා කිරීම මෙම සංචාරයේ අරමුණ බැව් සඳහන්ය.

එසේම මෙම සංචාරයේදී ඉකුත් මැතිවරණය සාර්ථකව පැවැත්වීම හා බලහුවමාරුව සිදුවීම කෙරෙහිද කෙරීගේ අවධානයට ලක්වනු ඇතැයි රොයිටර් පුවත් සේවය උපුටා දක්වයි.

එපමණ් නොව ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝණයවීම් පිළිබඳව , එනම් විශේෂයෙන් පැවති යුදමය වාතාවරණය තුළ සිදුවූ අකටයුතුකම් පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇතැයි කියැවෙයි.

ශ්‍රී ලංකා සංචාරයෙන් පසු ජෝන් කෙරී මැයි මස 05 වන දින ඩිබූටි ජනරජය බලා ගොස් එහි නායකයින් හමුවී යෙමනයේ පවත්නා ගැටුම්කාරී තත්ත්වය හා ගැටුම් සමනය කිරීමෙහිලා ලබාදිය හැකි සහය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතය.

නේපාලයට තවත් කණ්ඩායමක් පිටත්වීමට සුදානම්!

භූමිකම්පාවෙන් පීඩාවට පත්ව සිටින නේපාල වැසියන්ගේ සහන සේවා කටයුතු සඳහා   තවත් කණ්ඩායම් කිහිපයක්   එරටට යැවීමට සැලසුම් කර තිබේ.

අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ අදාළ කණ්ඩායම් ඉදිරි දින කිහිපය තුළ නේපාලය බලා  පිටත්ව යාමට නියමිත බවයි.
 
 භූමිකම්පාවෙන්  පීඩාවට පත්ව සිටින නේපාල වැසියන් සඳහා මෙරට පළමු සහන සේවා කණ්ඩායම පසුගිය ඉරිදා දින මෙරටින් පිටත්ව ගියේය.

ඔවුන් මේ වන විටත් අදාළ සහන සේවා කටයුතු ආරම්භ කර ඇති බව  අදාළ සහන සේවා  කණ්ඩායමේ නායක මේජර් ජනරාල් මෛත්‍රී ඩයස් මහතා සඳහන් කළේය.

 නේපාලයේ කත්මන්ඩු අගනුවරට කිලෝමීටර් 60ක් ඈතින් පිහිටි දොලල්ගාඩ් නම් දුෂ්කර ගම්මානයේ කුඩාරම්වල රැඳී සිටිමින්   සහන සේවා කටයුතු ආරම්භ කර ඇති බව ඔහු පවසයි.

 මේ අතර නේපාලයේ සිටින ශ්‍රී ලාංකිකයින් 51 දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණීමට තානාපති කාර්යාලයේ රැඳී සිටින බව වාර්තා වෙයි.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කළේ එම පිරිස සහන සේවා කණ්ඩායම රැගෙන ගිය ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් යානයෙන් මෙරටට  එවීමට පියවර ගන්නා බවයි.

අතුරුදන්වීම් වලට වැඩි වශයෙන් වගකිව යුත්තේ එල්.ටී.ටී.ඊ. සංවිධානයයි

යුද වාතාවරණයක් පැවති සමයේ උතුරේ සිදුවු අතුරුදන්වීම් වලට එල්.ටී.ටී.ඊ. සංවිධානය වගකිව යුතු බවට  වැඩිදෙනෙකු ප්‍රකාශ කර ඇති බව අතුරුදන්වූවන් පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව පවසයි.

 එහි සභාපති මැක්ස්වෙල් පරණගම මහතා ඉන්දීය පුවත්පතකට අදහස් පල කරමින් පෙන්වා දී ඇත්තේ සිය කොමිෂන් සභාවට සාක්ෂි ලබාදුන් ජනතාවගෙන් සියයට 60ක් එල්.ටි.ටි.ඊ. සංවිධානය අදාළ සිද්ධීන්වලට වගකිව යුතු බවට ප්‍රකාශ කර ඇති බවයි.

 එම ජනතාව අතුරෙන් සියයට 10ක් ප්‍රකාශ කර ඇත්තේ අතුරුදන්වීම්වලට ශ්‍රී ලංකා ආරක්ෂක අංශ සාමාජිකයින් වගකිව යුතු බවටයි.

 එමෙන්ම තවත් සියයට 10ක පිරිසක් එල්.ටි.ටි.ඊ. නොවන සටන්කාමී සංවිධාන වෙත මේ පිළිබඳව චෝදනා එල්ල කර ඇති බව මැක්ස්වෙල් පරණගම මහතා පවසයි.

සාක්ෂි ලබාදුන් පිරිසෙන් සියයට පහක් පමණ චෝදනා කර ඇත්තේ  නාදුනන කණ්ඩායම් විසින් මෙම අතුරුදන්වීම් සිදුකර ඇති බවයි.

දිස්ත්‍රික් වශයෙන් සැලකීමේ දී කිලිනොච්චි දිස්ත්‍රික්කයෙන් සාක්ෂි ලබාදුන් පිරිස අතුරෙන් සියයට 85ක් එල්.ටි.ටි.ඊ. සංවිධානය ඊට වගකිව යුතු බවට  ප්‍රකාශ කර ඇති බව  ඒ මහතා   සඳහන් කර ඇත.

 උතුරු නැගෙනහිර ප්‍ර දේශ ආශ්‍රිතව අතුරුදන්වීම් පිළිබඳව ජනාධිපති කොමිසම සිදුකළ විමර්ශනවලදී සිවිල් පුද්ගලයින්ගෙන් පැමිණිලි 16,000ක් සහ ආරක්ෂක අංශවලින් පැමිණිලි 5600ක් ලැබී තිබේ.

උතුරේ ජල ගැටලුව විසඳන්න ජනපති උපදෙස් දෙයි

උතුරේ පානීය ජල ගැටලුව විසඳීම සඳහා විශේෂ සාකච්ඡාවක් ඊයේ(27)  පස්වරුවේ පවත්වා තිබේ.

 ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රදානත්වයෙන් මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී මෙම සාකච්ඡාව පැවති බව  ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

 උතුරේ ජනතාවගේ දැවෙන ප්‍රශ්නයක් බවට පත්ව ඇති මෙම පානීය ජල ගැටලුවට විසඳුම් සෙවීම සඳහා සියලු දෙනා ඉතා මානූෂීය අන්දමින් කටයුතු කළ යුතු බව  ජනාධිපතිවරයා මෙහිදි පවසා ඇත.

 මේ පිළිබඳව උතුරේ ආණ්ඩුකාරවරයා සහ ප්‍රධාන අමාත්‍යවරයා සමග නිරන්තරයෙන් සම්බන්ධ වෙමින් අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

එමෙන්ම උතුරේ ප්‍රධාන පරිසර ගැටලුවක් බවට පත්ව ඇති අනවසර වැලිගොඩ දැමීම් පිළිබඳව ද මෙහිදි ජනාධිපතිවරයා නිලධරීන්ගෙන් කරුණු විමසා ඇති බව  ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

19 ඡන්ද විමසීම අදයි

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා  සංශෝධනය සම්මත කරගැනීම සඳහා වන ඡන්ද විමසීම අද පස්වරුවේ පැවැත්වීමට නියමිතයව තිබේ.

 අද පස්වරු 6.00ට ඡන්ද විමසීම පැවැත්වෙන බව  ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා සඳහන් කළේය.

 නව සංශෝධන සහිතව ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් විවාදය අද දිනයේ ද පැවැත්වීමට නියමිතය.

 19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීම සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂවල සහයෝගය බලාපොරොත්තු වන බව අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා සඳහන් කර සිටියේය.

 මෙම  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා  සංශෝධනය සම්මත කරගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සම්පූර්ණ සහයෝගය ලබාදෙන බව  එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පැවසුවේය.

 
කෙසේවෙතත් 19 වන ව්‍යවස්ථා සංශෝධනයට සහය දැක්වීම සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයකට එළඹ නැති බව මහජන එක්සත් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී  දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේය.

ඔහු පෙන්වා දෙන්නේ අද දහවල් සන්ධාන පක්ෂ නායකයින් රැස් වී ඒ පිළිබඳ අවසන් තීරණයකට පැමිණීමට නියමිත බවයි.

 
එහෙත් වාමාංශික පක්ෂ 19 වන ව්‍යවස්ථා සංශෝධනයට සහය පල කරන බව  ලංකා සමසමාජ පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතා සඳහන් කළේය.

තමන් ඇතුළු විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති සංශෝධන වලට සහය නොලැබුණහොත් 19 වන ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත කරගැනීමට ඉඩලබා නොදෙන බව නව සමසමාජ පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පැවසුවේය.

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පෙන්වා දුන්නේ අඩුපාඩු පැවතිය ද මෙම අවස්ථාවේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීමට සියලු දෙනා සහයෝගය ලබාදිය යුතු බවයි.

එසේම ජාතික නිදහස් පෙරමුණ ද 19 වන ව්‍යවස්ථා සංශෝධනයට සහය ලබාදෙන්නේ ද යන්න පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට පැමිණ නොමැති බව  වාර්තාවෙයි.

 එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා සඳහන් කළේ අද  පෙරවරුවේ ඒ පිළිබඳ අවසන් තීරණයකට පැමිණෙන බවයි.

19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීම සඳහා පූර්ණ සහයෝගය ලබාදෙන බව ජාතික හෙළ උරුමය පවසනවා.

 එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා සඳහන් කළේ මෙම ව්‍යවස්ථා සංශෝධනයට පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ සහයෝගය ලබාදිය යුතු බවයි.

හිටපු ජනපති ලේකම් ඇතුළු තිදෙනෙකුගෙන් ප්‍රශ්න කරයි

හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග,හිටපු සංචාරක මණ්ඩල සභාපති භාෂ්වර සේනාංක යන මහත්වරුන්ගෙන් මූල්‍ය අපරාධ  විමර්ශන කොට්ඨාසය විසින් ප්‍රශ්න කරමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක,සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

අද (27) පෙ.ව 9.00 පමණ සිට මේ දක්වා ප්‍රශ්න කරමින් සිටින බව හෙතෙම අද දෙරණට සඳහන් කළේය.

කෙසේ වෙතත් රාජ්‍ය සේවා කොමිසමේ සාමාජිකාවක වූ කාන්ති විජේතුංග මහත්මියගෙන්ද අද පෙරවරුවේ ප්‍රශ්න කෙරුණු බවත්, ඇය ප.ව 1.00 ට පමණ මුදාහළ බවත් ඔහු කියා සිටියේය.

කොටගල අනතුරකින් සිසුවියන් 2ට තුවාලයි

හැටන්, කොටගල ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් පාසල් දැරියන් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.

අදාළ දැරියන් දෙදෙනා හැටන් සිට නුවරඑළිය දෙසට ධාවනය වු ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය පැවසුවේය.

අනතුරෙන් බරපතළ තුවාළ ලැබූ එම දැරියන් දෙදෙනා කොටගල රෝහලට ඇතුළත් කර අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා නාවලපිටිය මූලික රෝහල වෙත මාරුකර යවා ඇත.

අනතුර සම්බන්ධයෙන් ලොරි රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

දිඹුලපතන පොලිසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.
 

සෝභිත හිමියන්ගේ සත්‍යග්‍රහය අවසන්

19 වැනි සංශෝධනය සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ලබාදුන් පොරොන්දුවක් අනූව පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කළ සත්‍යග්‍රහය අවසන් කර තිබේ.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීන් සහය පළ කළ යුතු බව කියමින් සෝභිත හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ගිහි පැවිදි පිරිසක් විසින් අද පෙරවරුවේ විරෝධතා පා ගමනක් ආරම්භ කරන ලදී.

බොරැල්ල කොටා ‍පාරේ එන්.එම් පෙරේරා මහතාගේ පිළිරුව අසළින් ඇරඹී එම විරෝධතා පා ගමන කොළඹ නිදහස් චතුරස්‍රය දක්වා පැමිණීමට සැලසුම් කර තිබිණ.

අනතුරුව එම ස්ථානයේ සත්‍යග්‍රහයක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබූ අතර 19 වැනි සංශෝධනය ගැන ජනාධිපතිවරයා ලබාදුන් ‍පොරොන්දුවක් අනූව එය අවසන් කිරීමට සෝභිත හිමියන් තීරණය කර තිබේ.

19 ට අත උස්සා සිංහලයන්ට විරුද්ධ වෙන්න එපා


19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හුදු දේශපාලනයකට ලඝු කළ නොහැකි බවත්,එය ජනතාවගේ අයිතිවාසිකම් සම්බන්ධ කාරණයක් බවත් රාජකීය පණ්ඩිත,ආචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි පවසයි.

19 වන ව්‍යවස්ථා සංශෝධනය අනුමත කිරීම යනු සිංහලයන්ට මරණ වරෙන්තුව නිකුත් කිරීමකට සමාන දෙයක් බව උනවහන්සේ කියා සිටියේ අද (27) ජාතික සංවිධාන එකමුතුව ලෙස පවත්වන ලද මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

මෙම ව්‍යවස්ථා සංශෝධනයට අනුව ස්වාධීන කොමිෂන් සභාවන්ට අදාළව තීරණ ගනු ලබන කමිටුවට ඇතුළත් වන 10 දෙනාගෙන් පස් දෙනෙකුම සුළු ජාතීන් නියෝජනය කරන බවත්,එහි සුළු ජාතීන්ට වැඩි තැනක් දී ඇති බවත් අභයතිස්ස හිමියන් අවධාරණය කළේය.

එය බහුතර සිංහල ජනයාගේ මූලික අයිතිවාසිකමක් කඩවීමක් බව උන්වහන්සේ ගේ අදහසයි.

එබැවින් සිංහලයන්ට එරෙහිව මෙම ව්‍යවස්ථා සංශෝධනයට අත ඔසවන්නේ නැතුව සි‍ටීමට මහජන නියෝජිතයින් වගබලාගත යුතුව ඇති බව අභයතිස්ස හිමි කියා සිටියි.

මෙම අවස්ථාවට එක්වුණු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා කියා සිටියේ මෙම ව්‍යවස්ථා සංශෝධනය,ශ්‍රේෂ්ඨාධිකරණයෙන්ද ප්‍රතික්ෂේප වූ බවයි.

ඒ අනුව නැවත පාර්ලිමේන්තුවට ගෙනවිත් ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ප්‍රතික්ෂේප වුණු ව්‍යවස්ථා සංශෝධනයක් බවත්,එය සම්මත කිරීම නීති විරෝධී බවත් අමරසේකර මහතා පෙන්වාදෙයි.

19 වන ව්‍යවස්ථා සංශෝධනය වෙනුවෙන් අරගල කරන මාදුළුවාවේ සෝභිත හිමියන් ආදේශවී ඇති බවත්,ඔවුන්ගේ එකම අභිප්‍රාය වී තිබුණේ මහින්ද රාජපක්ෂ මහතා පරාජය කිරීම පමණක් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

දුම්රියේ ගැටී කාන්තාවක් මරුට

ගම්පොල - මහනුවර දුම්රිය මාර්ගයේ 73 සැතපුම් කණුව අසළ දී දුම්රියක ගැටීමෙන් කාන්තාවක ජීවිතක්ෂයට පත්ව තිබේ.

කාන්තාව දුම්රිය මාර්ගයේ ගමන්කරමින් සිටියදී මහනුවර සිට නානුඔය දෙසට ගමන් කළ දුම්රියේ ගැටීමෙන් අනතුර සිදුව ඇත.

අනතුරෙන් බරපතළ තුවාල ලැබු කාන්තාව ගම්පොළ රෝහලට ඇතුළත් කිරිමේදී මියගොස් තිබේ.
 
මියගොස් ඇත්තේ 31 හැවිරිදි බ්‍රේසයිඩ් ජනපදය, හැරලකොළ ප්‍රදේශයේ  පදිංචිව සිටි කාන්තාවකි.

මෘතශරීරය ගම්පොළ රෝහලේ තබා ඇති අතර පශ්චාත් මරණ පරික්ෂණය අද දින සිදු කිරීමට නියමිතය.

 ගම්පොළ පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

නේපාල ඛේදවාචකයෙන් මළ ගණන 3200 ඉක්මවයි

නේපාලයට බලපෑ ප්‍රබල භූ කම්පන තත්ත්වයෙන් මියගිය සංඛ්‍යාව තවත් ඉහළ ගොස් තිබේ.

ඒ අනුව මේ වනවිට පුද්ගලයින් 3200ක් පමණ මියගොස් ඇති අතර 6500ක් පමණ තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

පෙරේදා දිනයේ නේපාලයේ කත්මණ්ඩු අගනුවර ආසන්නයේ රිකටර් මාපකයේ 7.8ක ප්‍රබලත්වයකින් යුතු භූ කම්පනයක් සිදුවු අතර පසුව ඊයේ දිනයේ 6.7 ක තවත් ප්‍රබල භූ කම්පනයක් සිදුවුණි.

භූ කම්පනය හේතුවෙන් නේපාලයේ දිස්ත්‍රික්ක 75න් 30කට බලපෑම් එල්ලවී ඇති බව නේපාල බලධාරීහූ පැවසූහ.

දසදහසක් පමණ ජනතාව දෙවන දිනයටද ඊයේ දිනයේ කූඩාරම් වල රැය පහන් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

වසර 80කට පසුව නේපාලයට බලපෑ ප්‍රබල භූ කම්පනය මෙය බව වාර්තා වේ.
 

19 පාර්ලිමේන්තුවට - ජනපතිත් එයි

19 වන ආණ්ඩ්‍රක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට අදාළ විවාදය අද පාර්ලිමේන්තුවේදී පැවැත්වෙයි.

මේ අතර අදාළ පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීම සඳහා ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ද මේවන විට මැතිසබයට පැමිණ සිටියි.

ඒ අනූව අදාළ පනත් කෙටුම්පත දෙවන වර කියවීම ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් මීට ටික වේලාවකට පෙර ආරම්භ කළ බව අද දෙරණ පාර්ලිමේන්තු වාර්තාකරු පැවසීය.

මීට අදාළ ඡන්ද විමසීම හෙට සවස 6.30ට පමණ සිදු කිරීමට නියමිත බව සඳහන්ය.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පසු ගිය කාලය තුළ දැඩි ව්‍යාකූල තත්ත්වයක් පැවති අතර අවස්ථා දෙකකදී මෙය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට උත්සාහ කළ ද එම උත්සාහයන් ව්‍යර්ථ වුණි.

කෙසේ වෙතත් අද දිනයේ මෙය විවාදයට ගැනීමට නියමිතය.

පාර්ලිමේන්තුව තුළ මෙම ව්‍යවස්ථා කෙටුම්පත සම්මත වීමට තුනෙන් දෙකක බහුතර බලයක් අවශ්‍ය වන අතර දැනට පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් 150 දෙනෙකුගේ සහාය මීට අවශ්‍ය වේ.

කෙසේවෙතත් පසුගිය සති කිහිපය තුළම දේශපාලන පක්ෂ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් විවිධ අදහස් පළ කළ ද මේ වනවිට අදාළ පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට සහාය දෙන බව පවසා ඇත.

කෙසේ වෙතත් දෙමළ ජාතික සන්ධානය අදාළ පනත් කෙටුම්පතට සහය ලබා දෙන්නේද නැත්ත යන්න පිළිබඳව මේ වන තෙක් සිය පක්ෂයේ අවසන් තීරණය ප්‍රකාශයට පත් කර නැත.

19 ට සහාය ලබා දිය යුතු නොමැති බව දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකු එහි නායක ආර්. සම්බන්ධන් මහතාට පවසා තිබේ.

කාර්මික දෝෂයට ලක්වූ යානය අද ගෙන්වා ගැනීමේ බලාපොරොත්තුවක්

නේපාලයේ සිටින ශ්‍රී ලාංකිකයින් පිරිසක් රැගත් ගුවන් යානය අද දිනය තුළ මෙරටට පැමිණිමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසයි.

යානය ඊයේ දිවයිනට පැමිණිමට නියමිත තිබුණි.

එහෙත් නේපාලයට බලපෑ පසු කම්පන තත්ත්වය හේතුවෙන් එය  කත්මණ්ඩු ගුවන්තොටුපළෙන් පිටත්වීම ප්‍රමාද වූ බව ගුවන් හමුදාව ප්‍රකාශ කළේය.

පසුව නැවතත් යානය පිටත්වීමට සූදානම් කර තිබියදී සුළු කාර්මික දෝෂයක් හටගෙන ඇත.

පාකිස්ථාන ගුවන් හමුදාවේද සහය ඇතිව  එම දෝෂය  නිවැරදී කිරීමේ කටයුතු  සිදුකරමින් පවතින අතර, කඩිනමින් එය යථා තත්ත්වයට පත් කිරීමට හැකි වනු ඇති බව ගුවන් හමුදාව පවසයි.

අදාළ යානය තුළ ශ්‍රී ලංකා වයස 14න් පහල පාපන්දු කණ්ඩායම ඇතුළු 35 දෙනෙකු පමණ සිටින අතර ඔවුන් අද දිනය තුළ දිවයිනට පැමිණෙනු ඇත.
 
 
 

දයා අල්විස් දිවිසැරිය නිමාකරයි


රිය අනතුරකට ලක්ව සිටි ප්‍රවීණ රංගන ශිල්පී දයා අල්විස් මහතා අද පෙරවරුවේ ශ්‍රි ජයවර්ධනපුර ශික්ෂණ රෝහලේ දී අභාවප්‍රාප්ත වී තිබේ.

දින කිහිපයකය ඉහතදී රිය අනතුකරකට ලක්වුණු ඔහු රෝහල් ගතව සිටි අතර ඔහුගේ මොළයේ ලේ ගැලීම් කිහිපයක් සිදුව ඇති බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සුසිත සේනාරත්න මහතා පසුගියදා සඳහන් කර තිබිණි.

වේදිකාවෙන් රංගනයට පිවිසි දයා අල්විස් මහතා ටෙලිනාට්‍ය හා චිත්‍රපට රැසක රංගනයෙන් සිය කුසලතා විදහා දැක්වූ ප්‍රවීණයෙකි.

අවසන් කටයුතු පසුව දැනුම්දෙනු ඇත.

ගීතා‍ ජනපති ආරක්ෂක අංශයට දෙහි කපයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගාල්ල දිස්ත්‍රික් සමුළුව සඳහා සහභාගී විමට තමාට අවස්ථාව නොලැබුනු බව දකුණු පලාත් සභා මන්ත්‍රීනී ගීතා කුමාරසිංහ මහත්මිය පවසයි.

ඇය පෙන්වා දෙන්නේ  සමුළුව සඳහා  යොදවා සිටි ආරක්ෂක අංශ වල ක්‍රියා කලාපය හේතුවෙන් තමාට ඊට සහභාගී විමට අවස්ථාව අහිමි වු බවයි.

ජනාධිපති මෛත්‍රීපල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගාල්ල දිස්ත්‍රික් සමුළුව ඊයේ(25)  පස්වරුවේ ගාල්ලලේදී පැවැත්වුණී.

අදාළ සමුළුව සඳහා සහභාගී විමට පැමිණෙමින් සිටියදී මෝටර් රථය කාර්මික දෝෂයකට ලක්විමෙන් යම් ප්‍රමාදයක් සිදුවු බව ගීතා කුමාරසිංහ මහත්මිය සඳහන් කළේය.

ප්‍රමාදවී පැමිණිම නිසා තමාට සමුළුවට සහභාගීවිමේ අවස්ථාව එම ස්ථානයේ සිටි ආරක්ෂක අංශ නිලධාරින් විසින් වැළැක්වු බව ගීතා කුමාරසිංහ මහත්මිය වැඩිදුරටත් සඳහන් කළේය 

නුවරදීත් ෆුල් ෆේස් තහනමට එරෙහිවෙයි

සම්පූර්ණයෙන්ම මුහුණ ආවරණය වන ආකාරයේ හිස්වැසුම් හෙවත් ෆුල්ෆේස් හෙල්මට් තහනම් කිරිම් තීරණයට විරෝධය පළ කරමින් යතුරු පැදිකරුවන් පිරිසක් මහනුවරදී උද්ඝෝෂණයක නිරත වී තිබේ.
 
අද දහවල් මහනුවර නගරයේදී මෙම උද්ඝෝෂණය පැවති බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.

යතුරුපැදිකරුවන් 300කට ආසන්න පිරිසක් උද්ඝෝෂණය සඳහා එක්වි තිබේ.
 
ඔවුන් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් විදි පුරා සැරිසැරීම හේතුවෙන් නගරයේ දැඩි රථ වාහන තදබදයක්ද හටගත් බව සඳහන්ය.

පැය 2කට ආසන්න කාලයක් උද්ඝෝෂණ ව්‍යපාරයේ නිරතවු යතුරුපැදිකරුවන් පිරිස සදහන් කළේ ෆුල්ෆේස් හෙල්මට් තහනම ක්‍රියාත්මක කිරිමට පියවර ගත හොත් දිගින් දිගටම විරෝධතාවල නිරත න බවයි.

19න් විශාල මාධ්‍ය කප්පාදුවක් සිදුවනවා

19වන  ව්‍යවස්ථා සංශෝධනයේන විශාල මාධ්‍ය කප්පාදුවක් සිදුවන බව හිටපු  ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

නුවරඑළිය ශ්‍රී සම්බෝධි විහාරයේ සංවිධානය කොට තිබු ආගමික් වතාවත් වලට එක්විමෙන් අනතුරුව මාධ්‍යවේදීන් අසන ලද ප්‍රශ්න වලට පිළිතුරු ලබාදෙමින්  හිටපු  ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේය.

නේපාල භූ චලනයෙන් ලාංකිකයින්ට අනතුරක් නෑ - තනාපති කාර්යාලය

නේපාලයේ සිදුවු භූමිකම්පාවෙන් ශ්‍රී ලාංකිකයින් කිසිවෙකුටත් අනතුරක් සිදු වු බවට මෙතෙක් වාර්තා වී නොමැති බව නේපාලයේ ශ්‍රී ලංකා තනාපති කාර්යාලය පවසයි.

එහි ප්‍රකාශිකාවක සඳහන් කළේ දැනට නේපාලයේ සිටින ශ්‍රී ලාංකිකයින් පිළිබඳව තොරතුරු ලබා ගනිමින් සිටින බවයි.

නේපාලයට අද දහවල් ප්‍රබල භූ කම්පන තත්ත්වයක් ඇති වුණි.

නේපාලයේ කත්මණ්ඩු අගනුවරට ආසන්නයේ ඇතිවු මෙම භූ කම්පනය රික්ටර් මාපකයේ ඒකක 7.9ක ප්‍රබලත්වයකින් යුක්ත බව  වාර්තා විය.

මෙම භූ කම්පනයෙන් පුද්ගලයින් 688කට අධික පිරිසක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා මේ වන විට සඳහන් කරයි.

අපි ගියේ පෙරහැරක් තියෙනවා කියලා

බෞද්ධ සම්මේලනය ළඟ පෙරහැරක් තිබෙන බව ආරංචි වී එම ස්ථානයට ගිය බවත්, කවුරුවත් අපට අධිකරණ නියෝග පෙන්නුවේ නැති බවත්, බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලාගොඩඅත්තේ ඥානසාර හිමියන් පවසයි.

අපි එම ස්ථානයට ගිය විට පොලීසියේ මහත්වරුත් පැත්තකට වී සිටි බවත්, අපිට හම්බවුණේ නැත්තේ ගිලන්පස විතරක් බවත්, උන්වහන්සේ කියා සිටියේ කොළඹදී අද පස්වරු‍ෙව් පැවැති මාධ්‍ය හමුවකදීය.

අල්ලස් කොමිසම ඉදිරිපිට විරෝධතා පැවැත්වීම වළක්වමින් උසාවි නියෝගයක් ලබාදී තිබියදී එසේ සිදුකළේ මන්දැයි මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස උන්වහන්සේ ඉහත අදහස් පළ කළේය.

වත්මන් ආණ්ඩුවේ දින 100 අදින් අවසන් බවත්, එහි හොඳ වැඩ තිබුණත් එක වැඩක්වත් සම්පූර්ණ කර ගැනීමට නොහැකි වූ බවත්, දැන් මෙම ආණ්ඩුව පැටලිච්චි නූල් බෝලයක් හා සමාන නිසා කඩිනමින් විසුරුවා හැරිය යුතු බවත්, උන්වහන්සේ පැවසීය.

යුද විරුවන් අත්අඩංගුවට ගැනීම නතර කළ යුතු බවත්, සෑම දෙයක්ම සංදර්ශන පමණක් බවත්, වෙලේසුදාගේ සංදර්ශනයත් හරියට පින්නවල අලි සංදර්ශන වගේ බවත්, කියා සිටි උන්වහන්සේ “ කෝ අර වෙලේ සුදා” යනුවෙන්ද කියා සිටියේය.

දූෂණයයි භීෂණයයි දෙකම තිබූ මෙරටින් 2009දී මහින්ද රාජපක්ෂ මහතා භීෂණය තුරන් කළ බවත්, කොළඹ ලස්සන කළ මිනිස්සු දැන් අත්අඩංගුවට ගන්නා බවත්, ඔවුන්ට අත තබා ප්‍රශ්න ඇති කර නොගන්නැයි ආණ්ඩුවට අවධාරණය කරන බවත්, උන්වහන්සේ එහිදී වැඩිදුරටත් පැවසීය.

බැසිල් කායික රෝග විශේෂඥවරයෙකු හමුවට!

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා බන්ධනාගාර රෝහලේ සිට කොළඹ ජාතික රෝහලේ කායික රෝග විශේෂඥවරයෙකු හමුවට ඉදිරිපත් කිරීමට පියවර ගත් බව කොළඹ දිස්ත්‍රීක් ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී අජිත් තෙන්නකෝන් මහතා පවසයි.

කඩුවෙල මහේස්‍ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලද හිටපු ඇමතිවරයා ලබන මස 5 වැනිදා දක්වා රිමාන්ඩ් කළ අතර ඔහු ඊයේ රාත්‍රීයේම ‍බන්ධනාගාර රෝහලට මාරු කර යවන ලදී.

කෙසේ වුවද බැසිල් රාජපක්ෂ මහතා මීට ටික වේලාවකට පෙර කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු බව රෝහල් ආරංචි මාර්ග තහවුරු කළේය.

බැසිල්ගේ සුවදුක් බලන්න මන්ත්‍රීන් කිහිප දෙනෙක් ගිහින්

බන්ධනාගර ගතව සිටින බැසිල් රාජපක්ෂ මහතාගේ සුවදුක් විමසීම සඳහා බන්දුල ගුණවර්ධන, ඩලස් අලහප්පෙරුම ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් ගොස් තිබේ.

අද පෙරවරුවේ ඔවුන් මෙලෙස බන්ධනාගාර රෝහල වෙත ගොස් ඇති බව  අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.

මේ අතර රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු  ආර්ථික සංවර්ධන අමාත්‍යශංයේ හිටපු ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක මහතා සහ දිවිනැඟුම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ පෙනරාල් ආර්.ඒ.කේ.රණවක මහතා ද බන්ධනාගාර රෝහල වෙත මාරු කර තිබේ.

බන්ධනාගාර දෙපාර්තමේන්තු සඳහන් කළේ ඊයේ රාත්‍රී  වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන ආ ඔවුන් බන්ධනාගාර  රෝහලට ඇතුළත් කර ඇති බවයි.
 
දිවි නැඟුම  දෙපාර්තමේන්තුවේ සිදුවූ මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ  අදාළ නිළධාරින් දෙදෙනා ලබන 5 වන දින දක්වා රක්ෂිත බන්ධාගාර ගත කිරිමට කඩුවෙළ මහේස්ත්‍රාත්වරයා ඊයේ රාත්‍රී නියෝග කළේය.

ඒ අනුව ඔවුන් තිදෙනාම මේ වන විට බන්ධනාගාර රෝහලට ප්‍රතිකාර සදහා ඇතුළත් කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසීය.

තොරතුරු දැන ගැනීමේ පනත හදිසි පනතක් ලෙස පාර්ලිමේන්තුවට ගේනවා

තොරතුරු දැන ගැනීමේ පනත හදිසි පනතක් ලෙස පාර්ලිමේන්තුවට ගෙන ඒමට කැබිනට් අනුමැතිය හිමි වූ බව කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා කියයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අදාළ යෝජනාව ඊයේ රාත්‍රී රැස්වූ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ බවද ඒ මහතා අද ‍(23) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී පැවසීය.

ඒ අනූව එම පනත ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද ඒ මහතා කියා සිටියේය.

මෛත්‍රිපාල සිරිසේන රජයේ දින 100 වැඩපිළිවෙළ තුළ තොරතුරු දැන ගැනීමේ පනත සම්මත කර ගැනීමට බලාපොරොත්තු වන බවද සඳහන්ව තිබිණ.

බැසිල් ප්‍රමුඛ තිදෙනෙක් අත්අඩංගුවේ


හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ,හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍යංශ ලේකම් නිහාල් ජයතිලක,දිවිනැඟුම අධ්‍යක්ෂ ජනරාල් ආර්.ඒ.ඒ.කේ රණවක යන මහත්වරුන් කොළඹ,මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම තිදෙනා කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට පැමිණවීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක,සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

බැසිල් රාජපක්ෂ මහතා ඊයේ දිනයේ ශ්‍රී ලංකාවට පැමිණි අතර අද(22)ප්‍රකාශයක් ලබාදීම සඳහා මූල්‍ය අපරාධ කොට්ඨාසයට ගියේය.

එහිදී ප්‍රකාශ ලබාගැනීමෙන් අනතුරුව බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු තිදෙනා අත්අඩංගුවට ගෙන ඇතැයි සඳහන්ය.

ජනපති මෛත්‍රීගෙන් හෙට විශේෂ ප්‍රකාශයක්

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හෙට (23) රාත්‍රී 9ට ශ්‍රව්‍ය ද්‍රෘෂ්‍ය මාධ්‍ය ඔස්සේ විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතව තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන්ය.

දුමින්දත් අල්ලස් කොමිසමට යයි

පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද  සිල්වා මහතා  වත්කම් හා බැරකම් ගැන ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණ තිබේ.

මීට පෙර ජෝන්ස්ටන් ප්‍රනාන්දු, විමල් වීරවංශ, රිෂාද් බදියුදීන්, සජින්ද වාස් ගුණවර්ධන යන අයද විවිධ කාරණා සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම හමුවට කැඳවා ප්‍රශ්න කර තිබිණ.

හදිසි වැටලීම් අඛණ්ඩව කරන්න

ප්‍රධාන බන්ධනාගාර සහ රීමාන්ඩ් බන්ධනාගාර තුළ සිදුකරන හදිසි සෝදිසි වැටලීම් අඛණ්ඩව සිදුකරන ලෙස අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.

සිරකරුවන් විසින් අයථා අන්දමින් භාවිත කරන ජංගම දුරකථන සහ මත්ද්‍රව්‍ය භාවිතයන් වැළැක්වීමේ අරමුණින් මෙම ක්‍රියාමාර්ගය  ගෙන ඇති බව සඳහන්ය.

ඒ අනුව මෙම වසරේ ආරම්භයේ සිට අප්‍රේල් දක්වා වු කාලය තුළ සිදුකළ වැටලීම්වලදී ජංගම දුරකථන 73ක්, සිම්පත් 54ක්, ගංජා ග්‍රෑම් එකක් සහ හෙරොයින් පැකට් 7ක් සොයාගැනීමට හැකි වී  ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේය.

රැඳවියන්ගේ සුවදුක් බැලීම සඳහා පැමිණෙන ඇතැම් පුද්ගලයින් විසින් මෙම තහනම් ද්‍රව්‍ය රැගෙන ඒම සඳහා විවිධ උපක්‍රම අනුගමනය කරන බවට අනාවරණය වී  ඇති අතර එවැනි අයථා ක්‍රියාවන් සඳහා දායක නොවන ලෙස ද එම දෙපාර්තමේන්තුව  ඉල්ලා සිටියි.

ප්‍රථම නිදහස් සත්වෝද්‍යානයත් නිදහස් වයි - ෆයි කලාපයක් වෙයි

පින්නවලදී පසුගියදා අභිනවයෙන් විවෘත කෙරුණු ශ්‍රී ලංකාවේ පළමු එළිමහන් සත්වෝද්‍යානය ආශ්‍රිත කලාපයේ නොමිලේ  වයි - ෆයි (අන්තර්ජාල පහසුකම්) ස්ථාපිත කෙරුණු බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA) පවසයි.

 දිවයින පුරා පොදු ස්ථාන කේන්ද්‍ර කර ගනිමින් ජනතාවට නොමිලේ අන්තර්ජාල පහසුකම් ලබාදීමේ  වයිෆයි කලාප දහසක් ස්ථාපිත කිරීමේ වත්මන් රජයේ  වැඩසටහන යටතේ මෙය ස්ථාපිත කෙරුණු බව නියෝජිතායතනය කියයි.

 මේ වන විට දිවයිනේ දිස්ත්‍රික්ක 17ක් ආවරණය වන පරිදි මෙම වයිෆයි කලාප ස්ථාපිත කර අවසන් කර තිබෙන බවත්, සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම වයිෆයි කලාපයක් ස්ථාපිත කිරීම  අරමුණ බවත්, නියෝජිතායතනය සඳහන් කරයි.

මේ අතර  දකුණු ආසියාතික රටවල් අතරින් ජනතාවට නොමිලේ වයි - ෆයි පහසුකම් ලබා දුන් ප්‍රථම රට බවට ශ්‍රී ලංකාව පත්ව තිබේ.

බැසිල් මූල්‍ය අපරාධ කොට්ඨාසයට යයි

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගෙන්  මේ වන විට පොලිස් මුල්‍ය අපරාධ ඒකකය විසින් ප්‍රකාශයක් සටහන් කරගනිමින් තිබේ.

දිවි නැගුම ව්‍යාපෘතියේ මුදල් ගනුදෙනුවක් සම්බන්ධයෙන් ඒ මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට මෙලෙස කැඳවීමක් කර ඇති බව පොලීසිය පවසයි.

පසුගිය ජනාධිපතිවරණයෙන් පසු බැසිල් රාජපක්ෂ මහතා අමෙරිකාව බලා පිටත්ව ගොස් සිටි අතර ඔහු නැවත මව් රටට පැමිණියේ පසුගිය අඟහරුවාද දිනය.

නෙළුම් කුළුණෙන් රහස් ඔත්තු බලන්නේ නෑ - ඉන්දියාවේ ප්‍රකාශය ශ්‍රී ලංකාවටත් අපහාසයක්

ශ්‍රී ලංකාවේ මේවන විට ඉදිකරගෙන යමින් තිබෙන නෙළුම් කුළුණ ව්‍යාපෘතිය මගින් රහස් ඔත්තු බැලීමේ සැලැස්මක් තම රටට ඇතැයි ඉන්දියාව විසින් සිදු කරන “පදනම් විරහිත“ ප්‍රකාශ තරයේ ප්‍රතික්ෂේප කරන බවත්, එය හුදෙක් ශ්‍රී ලංකා රජයට කරන අපහාසයක් බවත්, චීනය පවසයි.

අදාළ ඉදිකිරීම් බාරව සිටින චීන සමාගම් විසින් මේ බව අවධාරණය කරයි.

ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය හා සන්නිවේදන අවශ්‍යතා මුවාවෙන් නෙළුම් කුළුණ නමින් ක්‍රියාත්මක කර ඇති මෙම ව්‍යාපෘතියෙන් චීනය ඉන්දියානු සාගර කලාපයේ රහස් ඔත්තු බැලීම සඳහා ඉලෙක්ට්‍රෝනික සන්නිවේදන ශ්‍රවණ මුරපොළක් ඉදිකරන බව ඉන්දියානු උපාය මාර්ගික විශ්ලේෂකයෙකු වන භෂ්කර් රෝයි නැමැත්තා පවසා තිබේ.

ඊට ප්‍රතිචාර දක්වමින් අදාළ ඉදිකිරීම් බාරව සිටින චීන සමාගම් පවසා ඇත්තේ ඒවා “පදනම් විරහිත“ ප්‍රකාශ බවයි.

නෙළුම් කුළුණ ව්‍යාපෘතියට ශ්‍රී ලංකාණ්ඩුවේ කැබිනට්ටුව අවසර දී ඇතැයිද පෙන්වාදෙන අදාළ සමාගම් එහි ඉදිකිරීම් ආරම්භ කරනු ලැබුවේ ශ්‍රී ලංකාවේ  විදුලි සංදේශ නියාමන කොමිසම සමග ගිවිසුමකට එළඹීමෙන් පසුව බවය.

කොළඹ නගරය කේන්ද්‍ර කර ගනිමින් ඉදිවෙමින් පවතින මෙම නෙළුම් කුළුණ ගැන විශ්ලේෂණාත්මක වාර්තාවක් ඉදිරිපත් කරන  ඉන්දීය උපාය මාර්ගික විශ්ලේෂක භෂ්කර් රෝයි  කියා සිටින්නේ මෙය “ඉලෙක්ට්‍රොනික ඔත්තුසේවා පහසුකම් සපයන ස්ථානයක් බවට“ සැකයක් නොමැති බවයි.

ඉන්දීය ඔත්තු සේවා, හමුදා සහ රාජ්‍ය තාන්ත්‍රික දූත සේවාවන් හි හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සැදුම්ලත් බුද්ධි මණ්ඩලයක් වන දකුණු ආසියානු විශ්ලේෂක කණ්ඩායමේ (South Asia Analysis Group - SAAG) නිල වෙබ් අඩවියට පසුගිය 10 වැනිදා ලිපියක් ලියන නවදිල්ලියේ වෙසෙන උපාය මාර්ගික විශ්ලේෂක භෂ්කර් රෝයි විසින් මෙම අනාවරණය සිදුකර තිබිණ.

ඔහු එමගින් අවධාරණය කර තිබුණේ නෙළුම් කුළුණ වූ කලී පැරීසියේ “අයිෆල් කුළුණට වඩා මීටර් 26ක් උසින් වැඩි, දකුණු ආසියාවේ උසම කුළුණ ලෙසද, එක් පසෙකින් ඉන්දීය සාගරයද, අනෙක් පසින් ඉන්දියාවද ආවරණය කිරීමට“ සමත් බවය.

මෙම කුළුණේ ඉදිකිරීම් අවසන් කිරීමට ඉඩ දුනහොත් එය ඉන්දියන් සාගරයේ මෙන්ම දකුණු ආසියාවේද ආරක්‍ෂාවට තර්ජනයක් විය හැකි බවට ඔහු එමගින් අනතුරු අඟවා තිබිණ.

චීන එක්සිම් බැංකුව විසින් සපයන මූල්‍යාධාර යටතේ මෙම කුළුණ ඉදිකරනු ලබන්නේ ‘චීනයේ ජාතික ඉලෙක්ට්‍රොනික ආනයන අපනයන සංස්ථාව’ (China National Electronic Import and Export Corporation - CNEIEC) සහ ‘චීනයේ ඒරෝස්පේස් ලෝන්ග් මාච් ජාත්‍යන්තර වෙළෙඳ සමාගම’ (Chinese Aerospace Long – March International Trade (CALMIT) යන සමාගම් 2ක විසිනි.

කෙසේ වුවද නෙළුම් කුළුණ ආසියාවේ උසම කුළුණ ලෙස, දෙස් විදෙස් සංචාරකයින්ගේ අවධානය දිනාගන්නා ස්ථානයක් ලෙසද, සුපිරි වෙළඳ සංකීර්ණයකින්ද සමන්විත එය ගුවන් විදුලි සන්නිවේදන හුවමාරු මධ්‍යස්ථානයක් ලෙසද භාවිතයට ගැනීමට අපේක්ෂා කෙරේ.

නෙලුම් කුළුණ ව්‍යාපෘති ගිවිසුමට 2012 ජනවාරි මස මුල් සතියේ දී අත්සන් තැබුණු අතර ජනවාරි 20 වැනිදා නිල වශයෙන් එහි  ඉදිකිරීම් ඇරඹිණ.

ඒ සඳහා වැයවන ඩොලර් මිලියන 104.3ක මුදල චීනයේ එක්සිම් බැංකුව විසින් සැපයීමට නියමිතය.
කොළඹ බේරේ වැව හා ඩී. ආර් විජේවර්ධන මාවත ප්‍රත්‍යන්ත භූමි භාගයක ඉදිකෙරෙන මීටර් 350ක් උසින් යුතු මෙම දැවැන්ත ස්ථම්භය වර්ග මීටර් 30,600ක බිම් ප්‍රමාණයක් පුරා පැතිර පවතින බව සඳහන්ය.

වතු ‍කම්කරුවෝ වීදි බසිති

හැටන් - බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ දික්ඔය ප්‍රදේශයේ දී වතුකම්කරුවන් පිරිසක් උද්ඝෝෂණයක් ආරම්භ කර තිබේ.

හැටන් නගරයේ පවත්වාගෙන යන කුකුළු ගොවි  පොළක සහ කුකුළුමස් අලෙවිසැල් වලින් ඉවතලන අපද්‍රව්‍ය කාසල් රී ජලාශ රක්ෂිතයට බැහැර කිරීමට එරෙහිව මොවුන් උද්ඝෝෂණයේ නිරත වන බව සඳහන්ය.

උද්ඝෝෂණය සඳහා හැටන් දික්ඔය වනරාජා වතුයායේ කම්කරුවන් සහ ප්‍ර දේශවාසීන් එක්ව සිටින බව  අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.

දිනපතා රාත්‍රී කාලයේ ලොරි රථවලින් රැගෙනවිත් ඉතා සූක්ෂම අයුරින් එම අපද්‍රව්‍ය රක්ෂිතයට බැහැර කිරීම හේතුවෙන් ප්‍රදේශය පුරා දැඩි දුඟදක් පවතින අතර විශාල පරිසර හානියක් ද සිදුවන බව උද්ඝෝෂකයින් පවසයි.

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශවලට සහ පොලීසියට දැනුම්දුන්න ද මේ වන තෙක් කිසිදු පියවරක් ගෙන නොමැති බව ඔවුන් සඳහන් කරයි.

ලලිත් වීරතුංගගෙන් මූල්‍ය අපරාධ ඒකකය ප්‍රශ්න කරයි

හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාව පොලිස් මූල්‍ය අපරාධ ඒකකය විසින්  කැඳවීමක් කර තිබේ.

විදුලි සංදේශන කොමිසන් සභාවේ සිදු වූ බව කියන අක්‍රමිකතාවයක් සම්බන්ධයෙන්  ප්‍රකාශයක් ලබා ගැනීමට මෙලෙස කැඳවීමක් සිදුකළ බව පොලීසිය පවසයි.

තමිල්නාඩු යාත්‍රා රැගෙන යන්න ඉන්දියාවෙන් එයි

මෙරට බලධාරින් බාරයේ රඳවා තිබි පසුව නිදහස් කළ තමිල්නාඩු ධීවර බෝට්ටු ප්‍රතිසංස්කරණය කර රැගෙනයාම සඳහා ධීවරයින් ඇතුළු කණ්ඩායමක් අද මෙරටට පැමිණිමට නියමිතව තිබේ.

විදෙස් වාර්තා සඳහන් කළේ ධීවර බෝට්ටු 18 කින් පුද්ගලයින් 141 දෙනෙකු පමණ මේ සඳහා සහභාගී වන බවයි.

ඔවුන් අතර තාක්ෂණික ශිල්පීන් සහ වඩුකාර්මිකයින්ද සිටින අතර දින දෙකක් තුළදී බෝට්ටු 31 ප්‍රතිසංස්කරණය කර රැගෙන යාමට අපේක්ෂිතය.

අදාළ පිරිස තලෙයිමන්නාරම සහ කරෙයි නගර ජැටිය වෙත පැමිණ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකරනු ඇත.
 
ඉන්දීය බෝට්ටු 81ක් මුදා හැරිමට ශ්‍රී ලංකා රජය තීරණය කර තිබු අතර ඉන් බෝට්ටු 33ක් මීට පෙර රැගෙන ගොස් තිබුණි.

කෑගල්ලේ වෙළඳසැල් 3ක ගින්නක්

කෑගල්ල,  ගලිගමුව නගරයේ පිහිටි වෙළඳසැල් 3ක හදිසි ගින්නක් හටගෙන තිබේ.

අද අළුයම 1ට පමණ ගින්න හටගෙන ඇති අතර පොලිසිය සහ ප්‍රදේශවාසින් එක්ව එය මැඩපවත්වා තිබේ.
 
සන්නිවේදන සේවා වෙළඳසැලක් , පළතුරු සහ මාංශ වෙළඳසැල් 2ක් ගින්නෙන් විනාශ වී ඇති අතර ජීවිත හානි කිසිවක් සිදුව නොමැති බවයි කෑගල්ල පොලිසිය සඳහන් කළේය.

තොරතුරු තාක්ෂණය සමාජ, ආර්ථික සංවර්ධන මෙවලමක් ලෙස උපයෝගීකරගත යුතුයි


අන්තර්ජාල අපරාධ නැවැත්විම සඳහා අන්තර්ජාල නිදහස ආරක්ෂා කරමින් ඇතැම් ප්‍රතිපත්ති හා ආයතනික ක්‍රියාමාර්ග ක්‍රියාවට නංවා ඇති බව විදේශ කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා මහතා පවසයි.


නෙදර්ලන්තයේ පැවැත්වෙන සයිබර් අවකාශය පිළිබඳ ගෝලිය සමුළුවට සහභාගී වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළකර තිබේ.


මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ තොරතුරු තාක්ෂණය සමාජ, ආර්ථික සංවර්ධන මෙවලමක් ලෙස උපයෝගී කර ගත හැකි බවට ශ්‍රී ලංකාව විශ්වාසය පළකරන බවයි.


ශ්‍රී ලංකාව මේ වනවිට නොමිලේ වයි ෆයි ලබාදීමේ වැඩසටහන ආරම්භ කර ඇති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදි සඳහන් කර තිබේ.


මේ අතර විදේශ කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා මහතා අදාළ සමුළුව අතරවාරයේදී නෙදර්ලන්ත සෙනට් මණ්ඩලයේ සියළු පක්ෂ වල නියෝජිතයින් සමඟ සාකච්ඡා පවත්වා ඇති බව සඳහන්ය.


මෙහිදි අමාත්‍යවරයා විසින් සංහිදියාව සහ ප්‍රතිසන්ධානය පිළිබඳව අදාළ නියෝජිතයින් දැනුවත් කර ඇති අතර මේ සඳහා වත්මන් රජය ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව ද දැනුවත් කර තිබේ.



අගමැති මව්බිමෙන් පිටවෙයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දයාව බලා පිටත්ව ගොස් තිබේ.

අද උදෑසන 7.40 ට පමණ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල් 165 දරණ යානයෙන් ඔහු ඉන්දියාවේ කොචින් නුවර බලා පිටත්ව ගිය බව අද දෙරණ ගුවන් තොටුපළ වාර්තාකරු සඳහන් කළේය.


අග්‍රාමාත්‍යවරයා සමඟ තවත් නියෝජිතයින් සිවු දෙනෙකු ද සංචාරයට එක්ව සිටින බව වාර්තාවෙයි.



බඹර ප්‍රහාරයෙන් 09 ක් රෝහලේ



හැටන්-නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ කොටගල රෝහල අසළ දී පුද්ගලයින් 09 දෙනෙකු බඹර ප්‍රහාරයට ලක්ව තිබේ.

අද(17) පස්වරුවේ මෙම බඹර ප්‍රහාරය එල්ලවී ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.


ජා-ඇල ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් නුවරඑළිය ප්‍රදේශයේ සංචාරය සඳහා ගොස් ඇති අතර දිවා ආහාරය සඳහා ඔවුන් ගමන්ගත් වෑන් රථය නතර කළ අවස්ථාවේදී අසළ ගසක තිබූ බඹර කූඩයක් බඹරුන් ඇවිස්සී ඇති බව සඳහන්ය.


කෙසේ වෙතත් බඹර ප්‍රහාරයට ලක්වූ පුද්ගලයින් 09 දෙනා කොටගල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ බව අද දෙරණ වාර්තාකරු පවසයි.



19 ගැන නීතිඥ සංගමයෙන් ඉල්ලීමක්


19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම සඳහා දේශපාලන පක්ෂ හා වෙනත් භේදයන් පසෙකලා ක්‍රියා කරන මෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඉල්ලීමක් කරයි.


ඒ අනුව ඊට සහය දීමෙන් දේශයේ උපරිම යහපත වෙනුවෙන් ක්‍රියාකරන ලෙස සියලුම පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටින බව නීතිඥ සංගමයේ ලේකම් අජිත් පතිරණ මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


ශ්‍රි ලංකාව තුළ නීතියේ ආධිපත්‍යය ස්ථාපිත කිරීමට සහ ආරක්ෂා කිරීමට තමන් අඛණ්ඩව කැපවී ඇති බවත්,එහිදී තම ස්ථාවරය වූයේ නීතියේ ආධිපත්‍යය තහවුරු කරනු පිණිස කැපවුණු ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක අධිකරණයේ ස්වාධීනත්වය,පොලීසිය ඇතුළු රාජ්‍ය සේවයේ ස්වාධීනත්වය,යහපාලනය පැවතිය යුතුවා සේම දූෂණය පිටුදැකීම අත්‍යවශ්‍ය බව යයි නීතිඥ සංගමය පෙන්වාදෙයි.


ඒ අනුව යෝජිත 19 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අන්තර්ගතය එකී පුරුෂාර්ථ සාක්ෂාත් කරගැනීමට වැදගත් පියවරක් වනු ඇතැයි තමන් විශ්වාස කරන බව නීතිඥ සංගමය විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන්ය.


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව නැවත පිහිටුවීම,ජාතික පොලිස් කොමිෂන් සභාව,මැතිවරණ කොමිෂන් සභාව ඇතුළු ස්වාධීන කොමිෂන් සභා නැවත පිහිටුවීම,තොරතුරු දැන ගැනීමේ අයිතිය මූලික අයිතියක් ලෙස පිළිගැනීම,ශ්‍රේෂ්ඨාධිකරණයට හා අභියාචනාධිකරණයට විනිසුරුවරුන් පත්කිරීමේදී විනිවිද පෙනෙන පිළිගත් ක්‍රියාපටිපාටියක් අනුගමනය කිරීම,18 වන ව්‍යවස්ථා සංශෝධනයේ ප්‍රතිපාදන අහෝසි කිරීම ආදිය එකී වැදගත් ක්‍රියාමාර්ග බැව් එකී නිවේදනය තුළින් නීතිඥ සංගමය වැඩිදුරටත් පෙන්වාදෙයි.



රෝහිත මධ්‍යම කාරක සභාවෙන් ඉවත් කරයි

එ.ජ.නි.ස. පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා එම පක්ෂයේ මධ්‍යම කාරක සභාවෙන් ඉවත් කර තිබේ.

ජනපතිගේ අත්සනින් යුතු ලිපියක් මගින් ඒ බව තමාට දැනුම් දී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා සඳහන් කළේය.



ආබාධිත රණවිරුවන්ට ආබාධිත දීමනාවක්!

ආබාධිත රණවිරුවන් විශ්‍රාම ගිය පසුද ඔවුන්ට ආබාධිත දීමනාවක් ගෙවීමට කටයුතු කරන බව රාජ්‍ය ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පවසයි.

වර්තමානයේ සෙබලුන් විශ්‍රාම ගිය පසු ආබාධිත දීමනාව අත්හිටුවනු ලබන අතර ඔවුන්ගේ තනතුරුවලට හිමි විශ්‍රාම වැටුප පමණක් හිමිවෙයි.


මේ හේතුවෙන් විශ්‍රාම ගිය පසු ආබාධිත සෙබලුන් මුහුණ දෙන ගැටලු සලකා බලා මෙම තීරණය ගත් බව රුවන් විජේවර්ධන මහතා පවසයි.


වතුපිටිවල ආබාධිත සෙබළ ගම්මානයේ ආබාධිත සෙබලුන් සමග සිදුකළ සාකච්ඡාවකින් අනතුරුව අමාත්‍යවරයා මේ බව පවසා තිබේ.


අදාළ යෝජනාව මේ වන විට සකස් කර අවසන්ව ඇති බවත්, ඊට ජනාධිපතිවරයාගේ අනුමැතිය ලබාගත් පසු කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පවසා ඇත.



“හාන්ස්” ගෙනැවිත් හාන්සියි


නීති විරෝධී ආකාරයෙන් මෙරටට ගෙන ආ “හාන්ස්“ නමැති මත්ද්‍රව්‍ය සමග පුද්ගලයෙකු කටුනායක ගුවන්තොටුපළේ දී අත්අඩංගුවට ගෙන තිබේ.


ඉන්දියාවේ සිට පැමිණි යූ.එල්.128 දරණ ගුවන් යානයෙන් මොහු දිවයිනට පැමිණ ඇත.


ඔහුගේ ගමන් මලු තුළ සඟවා තිබියදී ගුවන්තොටුපළ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන තිබේ.


හාන්ස් මත්ද්‍රව්‍ය පැකට් 600ක් මෙලෙස සොයාගෙන ඇති අතර ඒවායේ බර කිලෝග්‍රැම් 8ක් පමණ වන බව ගුවන්තොටුපළ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සඳහන් කළේය.


අත්අඩංගුවට ගත් සැකකරු 31 හැවිරිදි කාත්තන්කුඩිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පැවසුවේය.



හොරට විකුණන අය ගැන කියන්න දුරකථන අංකයක්


නීති විරෝධි ආකාරයෙන් මත්පැන් අලෙවි කරන ස්ථාන සම්බන්ධයෙන් තොරතුරු ලබාදෙන ලෙස සුරාබදු දෙපාර්තමේන්තුව ඉල්ලිමක් කරයි.


ඒ අනුව 0112 300 170 යන දුරකථන අංකයට තොරතුරු ලබාදෙන ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.


මේ අතර බණ්ඩාරවෙල නායබැද්ද ප්‍රදේශයේදී නීති විරෝධි අයුරින් මත්පැන් ළඟ තබා ගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.


බණ්ඩාරවෙල පොලිසිය ප්‍රදේශයේ සිදුකළ සෝදිසියකදී එම මත්පැන් තොගය සහ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.


එහිදී විවිධ වර්ගයේ මත්පැන් බෝතල් 144ක් සහ බියර් කෑන් 47ක් සොයාගෙන තිබේ.


සැකකරු මේ වන විට පොලිස් ඇප මත මුදා හැර ඇති අතර යළි ලබන 20 වනදා බණ්ඩාරවෙළ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



ජවිපෙ - පෙරටුගාමීන් ගන්නෝරුවේ දී ගැටේ - 4ට තුවාලයි - 19ක් අත්අඩංගුවේ


පේරාදෙණිය, ගන්නෝරුවේ පිහිටි පෙරටුගාමි දේශපාලන පක්ෂ කාර්යාලයට අයත් බඩු මුට්ටු ඊයේ රාත්‍රී එළියට දැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම ගොඩනැඟිල්ලේ හිමිකරු හා එකී දේශපාලන පක්ෂයේ ආධාරකරුවන් අතර ඇති වූ ගැටුමකින් සිව්දෙනෙකු තුවාල ලබා පේරාදෙණිය රෝහලට ඇතුළත් කර තිබේ.


මෙම ගැටුමට සම්බන්ධ තවත් 19 දෙනෙකු පේරාදෙණිය පොලීසිය විසින් අද උදෑසන අත්අඩංගුවට‍ ගෙන ඇත.


පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසුවේ ඊයේ රාත්‍රී මෙය සිදුව ඇති බවයි.


අදාළ ගොඩනැඟිල්ල හිමිකරු ජනතා විමුක්ති පෙරමුණට සහය පළ කරන අයෙකු බව පොලීසිය කියයි.

මේ ගැන පේරාදෙණිය පොලීසිය වැඩිදුරටත් පරීක්ෂණ ආරම්භ කර තිබේ.



සමෘද්ධියේ හොරු අල්ලන්න ජාත්‍යන්තර පොලීසියේ සහය ගන්නවා


සමෘද්ධි අමාත්‍යංශයේ වංචා හා දූෂණ වලට සම්බන්ධ පුද්ගලයින් විදෙස් ගතව ඇති බැවින් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේ හැකියාවක් නොපවතින බව නිවාස හා සමෘද්ධි අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.


කෙසේවෙතත් ඔහු පවසන්නේ අදාළ වැරදිකරුවන් ලංකාවට ගෙන්වා ගැනීම සදහා ජාත්‍යන්තර පොලිසියේ මෙන්ම ජනතාවගේ සහයද අපේක්ෂා කරන බවයි.


හම්බන්තොට ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් නිවාස හා සමෘද්ධි අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසීය.



‍දිවයිනපුරා ස්ථාන 79ක මේවන විට නොමිලේ වයි- ෆයි



නොමිලේ වයි - ෆයි ලබාදීමේ වැඩසටහන යටතේ මේ වන විට දිවයින පුරා ස්ථාන 79ක වයි - ෆයි කලාප ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන නියෝජිත ආයතනය පවසයි.

මෙම මාසය අවසන් වන විට අනෙකුත් ප්‍රධාන නගර ආශ්‍රිතව මෙම නොමිලේ වයි - ෆයි ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කරන බව එම ආයතනයේ වැඩසටහන් කළමණාකාර ගවස්කාර් සුබ්‍රමනියම් මහතා සදහන් කළේය.