19 ඡන්ද විමසීම අදයි

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා  සංශෝධනය සම්මත කරගැනීම සඳහා වන ඡන්ද විමසීම අද පස්වරුවේ පැවැත්වීමට නියමිතයව තිබේ.

 අද පස්වරු 6.00ට ඡන්ද විමසීම පැවැත්වෙන බව  ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා සඳහන් කළේය.

 නව සංශෝධන සහිතව ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් විවාදය අද දිනයේ ද පැවැත්වීමට නියමිතය.

 19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීම සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂවල සහයෝගය බලාපොරොත්තු වන බව අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා සඳහන් කර සිටියේය.

 මෙම  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා  සංශෝධනය සම්මත කරගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සම්පූර්ණ සහයෝගය ලබාදෙන බව  එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පැවසුවේය.

 
කෙසේවෙතත් 19 වන ව්‍යවස්ථා සංශෝධනයට සහය දැක්වීම සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයකට එළඹ නැති බව මහජන එක්සත් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී  දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේය.

ඔහු පෙන්වා දෙන්නේ අද දහවල් සන්ධාන පක්ෂ නායකයින් රැස් වී ඒ පිළිබඳ අවසන් තීරණයකට පැමිණීමට නියමිත බවයි.

 
එහෙත් වාමාංශික පක්ෂ 19 වන ව්‍යවස්ථා සංශෝධනයට සහය පල කරන බව  ලංකා සමසමාජ පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතා සඳහන් කළේය.

තමන් ඇතුළු විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති සංශෝධන වලට සහය නොලැබුණහොත් 19 වන ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත කරගැනීමට ඉඩලබා නොදෙන බව නව සමසමාජ පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පැවසුවේය.

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පෙන්වා දුන්නේ අඩුපාඩු පැවතිය ද මෙම අවස්ථාවේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීමට සියලු දෙනා සහයෝගය ලබාදිය යුතු බවයි.

එසේම ජාතික නිදහස් පෙරමුණ ද 19 වන ව්‍යවස්ථා සංශෝධනයට සහය ලබාදෙන්නේ ද යන්න පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට පැමිණ නොමැති බව  වාර්තාවෙයි.

 එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා සඳහන් කළේ අද  පෙරවරුවේ ඒ පිළිබඳ අවසන් තීරණයකට පැමිණෙන බවයි.

19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීම සඳහා පූර්ණ සහයෝගය ලබාදෙන බව ජාතික හෙළ උරුමය පවසනවා.

 එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා සඳහන් කළේ මෙම ව්‍යවස්ථා සංශෝධනයට පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ සහයෝගය ලබාදිය යුතු බවයි.

Post a Comment