හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකව රහස් පොලීසියට කැඳවයි

නාවික හමුදාවේ හිටපු මාධ්‍ය ප්‍රකාශකවරයෙකු වන ඩී.කේ.පී. දසනායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබේ.

අද(27) පස්වරුවේ මෙම කැඳවීම සිදු කර ඇති බව වාර්තා වෙයි.


2008 සහ 2009 යන වර්ෂ වලදී කොළඹදී තරුණයින් පිරිසක් අතුරුදහන්වීම සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රශ්න කිරීම සඳහා මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසුවේය.



ජෝන් ද සිල්වා රඟහලට කමිටුවක් පත්කරයි


අලුතින් ඉදිවන ජෝන්ද සිල්වා සමරු රඟහල පිළිබඳ සොයා බැලීම සඳහා කමිටුවක් පත් කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.


නාට්‍යවේදීන්ගෙන් සමන්විත කමිටුවක් ඒ සඳහා පත් කරනු ඇති බව සඳහන්ය.


අදාළ රඟහල සම්බන්ධයෙන් නාට්‍යකරුවන් බොහෝ පිරිසක් කළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්මින් අග්‍රාමාත්‍යවරයා මෙම කමිටුව පත් කිරීමට තීරණය කර තිබේ.


නාට්‍යකරුවන් එහිදී පෙන්වාදී ඇත්තේ අභිනව ජෝන්ද සිල්වා රඟහලේ නාට්‍යය සංස්කෘතියක් වර්ධනය කිරීමට අවශ්‍ය කිසිදු පහසුකමක් නොමැති බවයි.


එය ඉදිකිරීමට වැය වන අධික මුදල අනුව නාට්‍යයක් රංගගත කිරීමට නාට්‍යකරුවන්ගෙන් දැරිය නොහැකි මිලක් අයකෙරෙනු ඇති බවට ඔවුන් පෙන්වා දී ති‍බේ.


නාට්‍යවේදීන්ගේ කමිටුවේ වාර්තාවට අනුව ජෝන්ද සිල්වා රඟහල ඉදිකිරීම පිළිබඳ අවසන් තීරණයකට එළඹීමට නියමිතය.



මේ රජයෙන් නෝනලයි දරුවොයි පරිස්සම් කරගත යුතුයි



දේශපාලනඥයින් විතරක් නොව ඔවුන්ගේ නෝනලාද දරුවන්ද මේ රජයෙන් පරිස්සම් කරගත යුතුව ඇති බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

එකිනෙකා මේ විදිහට අත්අඩංගුවට ගැනීමේ කටයුතු සිදුවන බවත්,මෙම වෛරීය දේශපාලනය නිමා කළ යුතුව ඇති බවත් රාජපක්ෂ මහතා සඳහන් කළේය.


හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳවන ශෂි වීරවංශ මහත්මියගේ සුව දුක් විමසා බැලීම සඳහා අද (27) කොළඹ ජාතික රෝහලේ ගෙවන වාට්ටුවට පැමිණ පිටත්වන අවස්ථාවේදී ඔහු මේ බව කියා සිටියේය.


මෙම වෛර සහගත දේශපාලනය ඉතා වැරදි බවත්,තමන් ඒ ආකාරයෙන් කිසිවෙකුගෙන් පළිනොගත් බවත්, එහෙම කළ බවට කිසිවෙකුටත් තමාට ඇඟිල්ල දිගු කළ නොහැකි බවත් රාජපක්ෂ මහතා සිහිපත් කළේය.


එසේ වුවද බොහෝ දෙනෙකුට ඇඟිල්ල දිගු කිරීමට තමාට හැකි බවද ඔහු අවධාරණය කළේය.


මඩ ප්‍රහාර දියත් කොට ව්‍යාජ චෝදනා ඉදිරිපත් කොට මෙලෙස කටයුතු කිරීම කනගාටුදායක බවද හෙතෙම පෙන්වාදුන්නේය.


මෙම අවස්ථාවට එක්වෙමින් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා කියා සිටියේ තම බිරිඳ ක්‍රමයෙන් සුව අතට පත්වන බව හා පසුගිය කාලයේ දිගින් දිගටම එල්ලවුණු පීඩනය මෙම රෝගීවීමට ප්‍රධාන වශයෙන් බලපෑ බවයි.



ධීවරයින් 86 දෙනා ගත්තේ අපේ සීමාවේදී - ඉන්දියාවෙන් චෝදනාවක්


මෙරට නාවික හමුදාව විසින් ඊයේ රාත්‍රී අත්අඩංගුවට ගනු ලැබූ ඉන්දීය ධීවරයින් 86දෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉන්දීය මුහුදු සීමාවේදී බව එරට පී. එම්. කේ පක්ෂය චෝදනා කරයි.


එම ධීවරයින් පිරිස බෙංගාල බොක්කට ආසන්න කොඩියාකරයි මුහුදු ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව ඔවුන් පවසයි.


මෙවැනි අත්අඩංගුවට ගැනීම් මඟින් දෙරට අතර පවතින ද්වී පාර්ශවික සබඳතාවලට බලපෑමක් සිදුවිය හැකි බව එම පක්ෂයේ ආරම්භක නායක එස් රාමදෝස් ප්‍රකාශකර ඇත.


කෙසේ වෙතත් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් ඉන්දික සිල්වා මහතා සඳහන් කළේ එම ධීවරයින් මුලතිව් ප්‍රදේශයට නැගෙනහිරින් වූ මුහුදේදී අත්අඩංගුවට ගත් බවයි.



ශෂීට ඇප ලැබෙයි !



ව්‍යාජ ලිපි ලේඛන ඉදිරිපත් කොට අවිධිමත් ගුවන්බලපත්‍ර සැකසූ බවට චෝදනා එල්ලවූ හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ බිරිඳවන ශෂී වීරවංශට ඇප ලබාදීමට අධිකරණය විසින් තීරණය කර තිබේ.

අදාළ නඩුව අද(27) කැඳවමින් රහස් පොලීසිය විසින් සැකකාරිය අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලද අවස්ථාවේදී විත්තිය වෙනුවෙන් පෙනීසිටි නීතිඥයින් ඇය අසනීප තත්ත්වයකින් පසුවන බැවින් ඇප ලබාදෙන ලෙස ඉල්ලා ඇත.


එම අවස්ථාවේදී ඒ පිළිබඳ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා රහස් පොලීසියේ අදහස කුමක්දැයි විමසූ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු පවසයි.


රහස් පොලීසිය වෙනුවෙන් පෙනීසිටි නියෝජිතයින් අධිකරණය විසින් සුදුසු තීරණයක් ගැනීම සම්බන්ධයෙන් තමාගේ විරෝධයක් නොමැති බව අධිකරණයට දැන්වීමෙන් පසු කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඇයට රු.15,000 ක මුදල් ඇපයක් හා රු.ලක්ෂ 5ක පුද්ගලික ඇපයක් මත නිදහස් කිරීමට තීරණය කළේය.


සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් වළකින ලෙසත්, සෑම මසකම වරක් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා හමුව‍ට වාර්තා කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා මෙහිදී වැඩිදුරටත් නියෝග කළ බව අප වාර්තාකරු කියා සිටියි.



දැයට කිරුළෙන් ආබාධිත වෛද්‍ය සිසුවියට රු.මිලියන 180ක වන්දියක්



කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති දැයට කිරුළ ප්‍රදර්ශනයකදී ගොඩනැඟිල්ලක් කඩාවැටීටමන් අබාධිත වූ වෛද්‍ය සිසුවියට රු.මිලියන 180ක මුදලක් ගෙවන ලෙස අධිකරණය විසින් නියෝග කර තිබේ.

2008 වසරේ 'දැයට කිරුළ'ප්‍රදර්ශනයක් පැවැත්වෙන අතරවාරයේ එය නරඹමින් සිටි එවක වෛද්‍ය සිසුවියක වූ සමිතා සමන්මලී බී.එම්.අයි.සී.එච්හි ඉදිකිරීමක් කඩාවැටීමෙන් ආබාධයට ලක්විය.


තමාට සිදුවූ හානිය වෙනුවෙන් වන්දියක් ගෙවන ලෙස ඇය විසින් පවරන ලද නඩුවට අදාළව තීන්දුව අද (27) ලබාදෙමින් කොළඹ දිසා අධිකරණය විසින් මෙලෙස රු.මිලියන 180 ක මුදලක් ගෙවන ලෙස බී.එම්.අයි.සී.එච් කළමනාකාරිත්වයට නියෝග කෙරුණු බව අද දෙරණ අධිකරණ වාර්තාකරු පවසයි.



කෑගල්ලේ සිට ඇරඹෙන සියලු පෞද්ගලික බස් වර්ජනයේ

කෑගල්ලේ සිට ගමන් ආරම්භ කරන සියලු පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත්ව මේවන විට වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.

පසුගිය රජයේ ප්‍රවාහන ඇමතිවරයාව සිටි කුමාර වෙල්ගම මහතා විසින් ලංගමයට ගෙන්වන ලද බස් රථ අවිධිමත් ලෙස මාර්ගවලට යෙදීමට විරෝධය පළ කර මෙම වර්ජනය ආරම්භ කර ඇති බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.


මේ සම්බන්ධයෙන් ප්‍රවාහන ඇමතිවරයා සමග අද දහවල් සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවද ඒ මහතා කියයි.


ලංගම බස් අවිධිමත් ලෙස මාර්ගවලට යෙදීම නිසා පෞද්ගලික බස් කර්මාන්තය පවත්වාගෙන යාමට බලපෑම් එල්ලවන බව ඔහු පෙන්වාදෙයි.



පැහැර ගැනීමට ලක්ව සැඟව සිටි සිසුවා පළාඑයි



මාතර - පස්ගොඩ ප්‍රදේශයෙන් පැහැර ගත් බව කියන පාසල් සිසුවෙකු සොයාගෙන ඇති බව පල්ලම පොලීසිය කියයි.

මෙසේ සොයා ගෙන ඇත්තේ මාතර - පස්ගොඩ පදිංචිව සිටි උමේෂ් චතුරංග (අවු:15) නම්වූ පාසල් සිසුවෙකි.


පසුගිය මස 27 වැනිදා තම දරුවා කිසියම් අයෙකු විසින් පැහැරගෙන ගොස් ඇති බව දරුවාගේ පියා වන කේ.ජී.ලයනල් (අවු:40) යන අය ඌරුබොක්ක පොලීසියට එදිනම පැමිණිලි කර ඇත.


තමන්ට දරුවන් තිදෙනෙකු සිටින බවත්, පැහැර ගැනීමට ලක්ව ඇත්තේ වැඩිමහල් දරුවා බවත්, ඔහු පොලීසියට පවසා තිබේ.


නමුත් මෙම පැමිණිල්ල විභාග කිරීම සඳහා පොලිස් නිලධාරීන් තම නිවසට පැමිණියේ පසුගිය 06 වැනිදා බව ලයනල් මහතා කියා සිටී.


තම දරුවා වෛද්‍ය ප්‍රතිකාර සඳහා පස්ගොඩ මංසන්ධියේ පිහිටි පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක් වෙත ගිය අවස්ථාවේ දී පැහැර ගැනීම සිදුවී ඇති බවත්, තම ඥාතියෙකු සමග ඇති ඉඩම් ආරවුලක් මෙම පැහැර ගැනීමට හේතුව වී ඇති බවත්, හෙතෙම පවසා ඇත.


රඳවාගෙන සිටි ස්ථානයෙන් පළාගොස් ඇති දරුවා හලාවත - විල්පත ප්‍රදේශයේ පදිංචිවී සිටින තම ඥාතියෙකුගේ නිවසට පැමිණ ඇති අතර පසුව එම නිවසේ අය විසින් දරුවා පල්ලම පොලීසියට ගෙනවිත් බාර දී තිබේ.


දරුවා ඉතා දුර්වල තත්ත්වයෙන් පසුවන බැවින් ඔහු රඳවා සිටි ස්ථානය සම්බන්ධයෙන් තොරතුරක් ලබා ගැනීමට නොහැකි බව පොලීසිය කියයි.


පල්ලම පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ලක්රුවන් මහතා ඇතුළු නිලධාරීන් වැඩිදුර විමර්ශන කටයුතු කරගෙන යයි.



කෑගල්ල - කොළඹ බස් වර්ජනයක්


කෑගල්ල-කොළඹ ප්‍රධාන මාර්ගයේ පෞද්ගලික බස් රථ වර්ජනයක් ආරම්භකර තිබේ.


එම මාර්ගයේ ධාවනයට අලුතෙන් බස් රථ කිහිපයක් යෙදවීම හේතුවෙන් ආදායම පහළ යන බැවින් ඊට විරෝධය පළ කිරීම සඳහා වර්ජනය ක්‍රියාත්මක වන බව වාර්තා වේ.



මේ ආණ්ඩුවෙත් ඩීල්කාරයින් ඉන්නවා - ඡන්දෙකට යන්න හදිසියක් නෑ



මේ ආණ්ඩුවේ ඩීල් කාරයින් සිටින බවට නැඟෙන චෝදනා තමාද පිළිගන්නා බවත්,ඒ වෙනුවෙන් ජාතික විධායක සභාවේදී ප්‍රශ්න කළ බවත් රජයේ කැබිනට් ප්‍රකාශක,සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

තමා පමණක් නොව ඇමති චම්පික රණවක, මන්ත්‍රී අනුරකුමාරද ප්‍රශ්න කරන බව හෙතෙම කියා සිටියේ අද (26) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වීමෙන් පසු මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමිනි.


ඇවන්ගාඩ් සිද්ධියට අදාළව රජයේ ජනාධිපති නීතිඥයාට නීතිපති දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදෙන ලෙස පැවසූවද ඔහු කුමන උපදෙසක් ලබාදුන්නේද යන්න නොදන්නා බවත්, ඔහුම අනෙක් පසින් සැකකරුට ඇප ඉල්ලා ඇප ලබාගත් බවත්,නීතිපති දෙපාර්තමේන්තුවට උපදෙස් දෙනු ලැබුවේ ඇප ඉල්ලීමේදී විරුද්ධ

නොවන ලෙසද යන්න සැක බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.


අපරාධවලට අදාළ තෝර මෝරු අල්ලන්නේ නැතිව සුළු සුළු වැරදි කළවුන් අත්අඩංගුවට ගැනීම පිළිබඳ තමාටද ප්‍රශ්න තිබෙන බවත්,ශෂි වීරවංශ-සුධර්මන් වැනි අය නොව ඊට ඉහළ ලොකු ලොක්කන් අත්අඩංගුවට ගත යුතු බව තමන්ද විශ්වාස කරන බව සේනාරත්න මහතා කියා සිටියේය.


මහ අපරාධකරුවන් නිදැල්ලේ සිටියදී සුළු සුළු වැරදි කළ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම පොලීසිය විසින් සිදුකරනු ලබන්නේ රජය කෙරෙහි ජනතාව කළකිරවීමට බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.


වෙලේ සුදා ලබාදුන්නු කටඋත්තරවලට අනුව හිටපු නි.පොලිස්පතිවරයෙකු ගැන කියැවුණු බවත්,මන්ත්‍රීවරයෙකු ගැන කියැවුණු බවත් එවැන්නන් අත්අඩංගුවට ගැනීමට තාමත් කටයුතු කර නොතිබීම පිළිබඳ තමන් පවා කනගාටුවට පත්වන බවත් ඔහු අවධාරණය කළේය.


එහෙත් මෙවැනි ඩීල් කාරයින්ට අපරාධකරුවන්ට දිගටම නිදැල්ලේ සිටින්නට ඉඩ නොදෙන බවත්,තමාද මෙම ආණ්ඩුවේ සිටින බවත්,ඡන්දයකට යායුත්තේ දුන් පොරොන්දු ඉටුකොට නීතිය නිසිලෙස ක්‍රියාත්මක කිරීමෙන් පමණක් බවත් අමාත්‍ය්‍යවරයා පෙන්වා දුන්නේය.


ඇතැම් අයට ඡන්දයකට යාමට හදිසියක් පැවතුණද සැබවින්ම එවැනි හදිසියක් නොමැති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.



ජල සම්පාදන සේවකයින්ගෙන් හෙට වර්ජනයක්



නව වැටුප් වැඩිවීම ලබානොදීම හේතුවෙන් හෙට (පෙබ 27) පෙ.ව. 9.00 සිට ප.ව. 1.00 දක්වා පැය 4 ක වැඩර්ජනයක් දියත් කරන බව ජලසම්පාදන වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය පවසයි.

ජල සම්පාදන සේවකයින්ගේ 2015 ජනවාරි මාසයට ලබාදිය යුතුව තිබූ නව වැටුප් වැඩිවීම ජනවාරි මාසයේදී නොලැබුණු බවත්,පෙබරවාරි මාසයේදීද එය නොලැබුණු බවත් එම සන්ධානයේ සම කැඳවුම්කරු ඉංජිනේරු උපාලි රත්නායක මහතා කියා සිටියි.


ඔහු‍ගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයක මෙසේද සඳහන්ය.


2015 ට නියමිත නව වැටුප් වැඩිවීම මෙතෙක් ජල සම්පාදන මණ්ඩලයේ බස්නාහිර (උතුර),බස්නාහිර (දකුණ), බස්නාහිර (මධ්‍යම) යන මුළු බස්නාහිර පළාතටම අදාල සියළු කාර්යාල සහ වැඩබිම්වල සියළු සේවකයින් පෙ.ව. 9.00 සිට ප.ව.1.00 දක්වා පැය 4 ක කාලයක් රාජකාරීවලින් බැහැරව සිටීමේ වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගයකට එළඹ ඇත.


එසේ රාජකාරීවලින් බැහැරවන සේවකයින් රත්මලාන- ගොළුමඩම ප‍්‍රධාන කාර්යාලය ඉදිරිපිටට රැස්ව විරෝධතාව පළකර සිටින අතර පෙ.ව. 11.00 ට දැවැන්ත උද්ඝෝෂණයක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.


මෙම වෘත්තීය ක‍්‍රියාමාර්ගයේදීද ජනතාවට සිදුවන අපහසුතාවයන් සලකා භෝජනාගාරවල සහ ජල පිරිපහදුවල සේවා මුර සේවකයින් පමණක් රාජකාරියේ යෙදෙන අතර සියළු කාර්යාල කටයුතු පාරිභෝගික සේවා කටයුතු එනම් මනු සටහන් ලබාගැනීම්, බිල්පත් නිකුත් කිරීම්, බිල්පත් අයකිරීම් පාරිභෝගික පැමිණිලි පරීක්‍ෂා කිරීම් සහ දෛනික නඩත්තු කටයුතු සිදු නොවනු ඇත.



හිටපු නියෝජ්‍ය ඇමතිවරයෙක් අභාවප්‍රාප්තවෙයි



හිටපු නියෝජ්‍ය ඇමතිවරයෙකු වූ එච්.බී අබයරත්න මහතා හෘදයාබාධයක් හේතුවෙන් අභාවප්‍රාප්ත වී තිබේ.

කුරුණෑගල රෝහලේදී ඒ මහතා මීට ටික වේලාවකට පෙර අවසන් සුසුම් හෙළා ඇත.


මිය යන විට 78 වන වියේ පසු වූ ඒ මහතා හිටපු ජනපතිවරයෙකු වූ ජේ.ආර් ජයවර්ධන මහතාගේ රජයේ නියෝජ්‍ය ඇමතිවරයෙකු ලෙස කටයුතු කර ඇති බව සඳහන්ය.


ලලිත් ඇතුලත්මුදලි හා ගාමිණි දිසානායකගේ ප්‍රධානත්වයෙන් පිහිටුවා ගත් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ (රාජාලියා) ලකුණ යටතේ ඒ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තේරීපත්ව ඇත.


වයඹ පළාත නියෝජනය කරමින් යාපහුව කොට්ඨාසයෙන් ඒ මහතා පාර්ලිමේන්තුවට තේරීපත්ව තිබිණ.



කාසියේ වාසිය ලංකාවටයි - පළමුව පහරදෙයි


ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරඟය අද පැවැත්වෙන අතර කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කර තිබේ.


මෙම තරඟය ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් හි පැවැත්වෙයි.



මංගල හෙට චීනයට



විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා හෙට සහ අනිද්දා චීනයේ නිල සංචාරයක නිරතවීමට නියමිතව තිබේ.

මෙම සංචාරය තුළ දී විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා චීන අග්‍රාමාත්‍යවරයා ඇතුළු එරට ඉහළපෙළේ නිලධාරීන් සමඟ සාකච්ජා පැවැත්වීමට නියමිතය.


චීන සංචාරයෙන් අනතුරුව මංගල සමරවීර මහතා ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර සංචාරයක නිරතවීමට ද නියමිත බව නියෝජ්‍ය විදේශ කටයුතු අමාත්‍ය අජිත් පී.පෙරේරා මහතා සදහන් කළේය.



මහින්දානන්දගෙන් සජින්ගෙන් සී.අයි.ඩීයට ප්‍රකාශ ගනියි



හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ හා හිටපු අධීක්ෂණ මන්ත්‍රීවරයෙකු වන සජින් ද වාස් ගුණවර්ධන යන අයගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.

මූල්‍ය වංචා සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව ඊයේ පස්වරුවේ පැය 3ක පමණ කාලයක් ප්‍රශ්න කර මොවුන්ගෙන් ප්‍රකාශ සටහන් කරගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක,ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසයි.


එම ප්‍රකාශ අනුව පැමිණිල්ල සම්බන්ධයෙන් ඉදිරි පරීක්ෂණ පැවැත්වෙන බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.



චක්‍ර ලේඛනයට පිටින් පාසල්වල මුදල් අය කිරීම ගැන අධ්‍යාපන අමාත්‍යංශය මෙසේ කියයි


පාසල්වල අවිධිමත් අයුරින් මුදල් අයකිරීම තහනම් කරමින් නිකුත් කළ චක්‍ර ලේඛනයද උල්ලංඝණය කරමින් ඇතැම් පිරිස් තවදුරටත් මුදල් අය කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.


අමාත්‍යාංශය පැවසුවේ එලෙස මුදල් රැස් කිරීම සම්බන්ධයෙන් විවිධ ප්‍රදේශ වලින් පැමිණිලි රාශියක් ලැබී ඇති බවයි.


රජයේ පාසල්වලට සිසුන් ඇතුළත් කිරීමේදී සහ පාසල්වල අධ්‍යාපනය හදාරන සිසුන්ගෙන් මුදල් ලබා ගැනීම තහනම් කරමින් පසුගිය 29වනදා අධ්‍යාපන අමාත්‍යාංශය මගින් චක්‍ර ලේඛනයක් නිකුත් කරනු ලැබුවේය.


එහෙත් එම චක්‍රලේඛනයේ විධිවිධානද උල්ලංඝණය කරමින් ඇතැම් පිරිස් මුදල් රැස් කරන බවට මේවන විට විශාල පැමිණිලි ප්‍රමාණයක් ලැබී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.


අදාළ පැමිණිලි පිළිබඳව සිදුකළ විමර්ශනවලදී අවිධිමත් අයුරින් සහ චක්‍රලේඛන උල්ලංඝණය කරමින් මුදල් රැස්කළ පාසල් 10ක් පිළිබඳ අනාවරණය වී ඇත.


එලෙස මුදල් රැස් කිරීමට සම්බන්ධ වූ ජාතික පාසල්වල විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් සම්බන්ධයෙන් විනයානුකූල පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.


ඒ යටතේ අදාළ විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් එම පාසල්වලින් ස්ථාන මාරු කිරීමට හෝ කලාප කාර්යාලවලට අනුයුක්ත කිරීමට පියවර ගන්නා බවද අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් කියයි.



අන්තරේ විරෝධයෙන් වෝඩ් ප්‍රදේශයේ වාහන තදබදයක්


අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට පවත්වන උද්ඝෝෂණයක් හේතුවෙන් කොළඹ, වෝඩ් ප්‍රදේශය ආශ්‍රිතව දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබේ.


අධ්‍යාපනය පෞද්ගලීකරණයට හා පාසල් වලට ළමුන් ඇතුළත් කර ගැනීම ඇතුළු වෙනත් අවශ්‍යතා සඳහා මුදල් අය කර ගැනීමට විරෝධය පළ කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ඔවුන් මෙලෙස විරෝධතාවයේ නිරත වෙයි.



විමල්ගේ බිරිඳ මාර්තු 04 තෙක් තවදුරටත් රිමාන්ඩ්



හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂි වීරවංශ මහත්මිය ලබන මාර්තු මස 04 වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

කූඨ ලේඛන සැකසීමේ වරදට චෝදනා ලැබ සිටින වීරවංශ මහත්මිය මාලඹේ පුද්ගලික රෝහලට නේවාසිකාගාරව ප්‍රතිකාර ලබමින් සිටියදී පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.


පසුව ඇය බන්ධනාගාර රෝහලට බාරගන්නා ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් බන්ධනාගාර රෝහල් අධ්‍යක්ෂවරයාට ඊයේ දිනයේ නියම කර තිබේ.


කෙසේ වෙතත් සැකකාරිය අද (24) යළි අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මාර්තු 04 දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග ලැබුණු බව අද දෙරණ වාර්තාකරු පවසයි.



විරෝධයෙන් මාතර - ගාල්ල වාහන ධාවනයට බාධා


මාතර නගරයේ පැවැත්වෙන විරෝධතාවයක් හේතුවෙන් මාතර - ගාල්ල මාර්ගයේ වාහන ධාවනයට බාධා එල්ල වී තිබේ.


මේ නිසා විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලීමක් කරයි.



ජගත් සංවිධානයේ ඉහළ පෙළේ නියෝජිතයෙකු දිවයිනට

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉහළ පෙළේ නියෝජිතයෙකු මෙරට සංචාරයක නිරතවීමට නියමිතව තිබේ.

ඒ අනූව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයාගේ දේශපාලන කටයුතු පිළිබඳ නියෝජිත ජෙෆ්රි ෆෙල්ට්මන් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතය.


ඔහු ලබන සෙනසුරාදා දිනයේ දිවයිනට පැමිණීමට නියමිත බව ජගත් මහ ලේකම්වරයාගේ මාධ්‍ය ප්‍රකාශක ස්ටෙෆාන් ඩුජාරික් පවසයි.


එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත ජෙෆ්රි ෆෙල්ට්මන් මෙරට සංචාරයේදී රජයේ ඉහළ පෙළේ නියෝජිතයින් හමුවී සාකච්ඡා පැවැත්වීමට සැලසුම්කර ඇත.


එමෙන්ම මෙරට දේශපාලන පක්ෂ නියෝජිතයින් සහ සිවිල් සංවිධාන නියෝජිතයින්ද හමුවී සාකච්ඡා පැවැත්වීමට ඔහු අපේක්ෂා කරන බව ස්ටෙෆාන් ඩුජාරික් පවසයි.


ජෙෆ්රි හෙල්ප්මන්ගේ පළමු ශ්‍රී ලංකා සංචාරය මෙය වන බව ද සඳහන්ය.



ඉන්දියානු දැලේ සිටි තවත් පිරිසක් නිදහස්


ඉන්දීය අත්අඩංගුවේ පසුවන ශ්‍රී ලාංකික ධීවරයින් පිරිසක් මුදාහැරීමට පියවර ගෙන තිබේ.


ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ ශ්‍රී ලාංකික ධීවරයින් 19 දෙනෙකු ඉන්දීය වෙරළ ආරක්ෂක නිලධාරීන් විසින් නිදහස් කරනු ඇති බවයි.


ඉන්දීය කන්‍යා කුමාරි ප්‍රදේශයේ සිට මෙම ශ්‍රී ලාංකික ධීවරයින් පිරිස නිදහස් කරනු ඇති බව සඳහන්ය.


මෙම ධීවරයින් සමඟ ධීවර යාත්‍රා කිහිපයක් ද මුදා හැරීමට නියමිතය.


ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති කරගත් ද්විපාර්ශවික එකඟතාවට අනුව ඉන්දියාව මෙම පියවර ගන්නා බව සඳහන්ය.


මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරයට සමගාමීව පසුගිය දා ශ්‍රී ලංකාව විසින් ඉන්දීය ධීවරයින් 81 දෙනෙකු නිදහස් කෙරුණි.



උද්ඝෝෂණයට විග්නේෂ්වරන් නොඑයි


ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ වාර්තාව කල් තැබීමට එරෙහිව සංවිධානය කර තිබූ විරෝධතාවකට දෙමළ ජාතික සන්ධානයේ පළාත් සභා මන්ත්‍රීවරුන් පිරිසක් සහභාගී වී තිබේ.


අද පෙරවරුවේ උතුරු පළාත් සභාව රැස්වූ අවස්ථාවේ අදාළ විරෝධතාව සඳහා සහභාගී වීමට පළාත් සභා රැස්වීම පැය දෙකකට කල් තබන ලෙස දෙමළ ජාතික සන්ධානයේ පළාත් සභා මන්ත්‍රී තුරෙයිරාසා රවීකරන් මහතා යෝජනාවක් ඉදිරිපත්කර ඇති බව සඳහන්ය.


ඒ අනුව අදාළ යෝජනාව උතුරු පළාත් සභාව සම්මතකර ඇති අතර ඉන් අනතුරුව දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන් විරෝධතාව සඳහා සහභාගී වීමට පිටත්ව ගිය බව පළාත්සභා මන්ත්‍රී වී. ජයතිලක මහතා සඳහන් කළේය.


කෙසේ වෙතත් එම විරෝධතාව සඳහා උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතා සහභාගී නොවු බව වී ජයතිලක මන්ත්‍රීවරයා කියා සිටියේය.


එසේ වුවද ශ්‍රී ලංකාවේ ද්‍රවිඩ ජන සංහාරයක් සිදුවූ බවට පසුගියදා උතුරු පළාත් සභාව යෝජනාවක් සම්මත කර ගත් අතර එම යෝජනාව ඉදිරිපත් කර තිබූණේද උතුරු පළාත් සභාවේ මහඇමතිවරයා විසිනි.


මේ අතර අද විරෝධතාවයට සහභාගී වූ මන්ත්‍රීවරුන් යළි පැමිණීමෙන් පසුව මාසික සභා වාරයේ කටයුතු යළි ආරම්භ කළ බව ජයතිලක මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.



ක්‍රිස් ගේල් ලෝක කුසලාන ක්‍රිකට් පොත අලුතින් ලියයි - වාර්තා බිඳ වැටෙයි


ක්‍රිකට් වංශ කතාව අලුතින් ලියමින් ‍ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ පළමු ද්විත්ව ශතකය ලබාගත් පිතිකරුවා බවට පත්වීමේ භාග්‍යය මීට ටික වේලාවකට පෙර බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ක්‍රිස් ගේල්ට හිමිවිය.


ක්‍රිස් ගේල් මේවන විට පැවැත්වෙන කොදෙව් සිම්බාබ්වේ තරඟයේදී පන්දු 138දී ලකුණු 201ක් ලබා නොදැවි කඩුල්ලේ රැඳී සිටියි.


ඔහු එම ලකුණු සංඛ්‍යාව ලබා ගැනීමට 6 පහර 16ක් හා 4 පහර 9ක් එල්ල කර තිබුණි.


එසේම එක්දින තරඟවලදී ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් පිහිටුවන ලද හොඳම සබඳතාවයද මෙම තරඟයේදී පිහිටුවීමට ගේල් හා මාලන් සැමුවෙල් සමත්ව සිටින අතර දැනටමත් ඔවුන්ගේ එම සබඳතාවය ලකුණු 300 ඉක්මවා ගොස් ඇත.


මීට පෙර ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් පැවැති හොඳම සබඳතාවය වූයේ ඉන්දීය පිතිකරුවන් වන රාහුල් ඩ්‍රාවිඩ් හා සව්රව් ගංගුලි ශ්‍රී ලංකාවට එරෙහිව 1999 පැවැති තරඟයකදී ලකුණු 318ක් ලබා ගනිමින් පිහිටුවා තිබූ වාර්තාවය.


මෙම තරඟය නවසීලන්තයේ කැන්බරා හී පැවැත්වෙයි.



රන් කාසි ගිල ඉන්දියාවට ගිය ලාංකිකයා මාට්ටු



නිතී විරෝධි අයුරින් රත්‍රං රැගෙන ගිය ශ්‍රී ලාංකිකයෙකු ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඉන්දියාවේ කෝචි ගුවන්තොටුපළේදී ඔහු අත්අඩංගුවට ගෙන ඇත.


අදාළ පුද්ගලයා රත්‍රං කැබලි ගුද මාර්ගයේ සඟවාගෙන පැමිණි බවට සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු රත්‍රං කාසි ගිලදමා ඇති බවට අනාවරණය වී තිබේ.


ඒ අනුව සැකකරු එර්නාකුලම් රජයේ රෝහල වෙත ඇතුළත් කර සිදුකළ පරික්ෂාවේදී රත්‍රං කාසි 13ක් සොයාගෙන ඇත.



බිරිඳට එරෙහි චෝදනා අසත්‍යයි - හෘද ස්පන්දන වේගය වැඩිවෙන තරමට කැඳවනවා



මේක කළු කොටින්ට නිදහස් දවසේ නිදහස ලැබෙන, කොටි ත්‍රස්තවාදය ඉවර කරපු නායකයින්ට, ඒ වෙනුවෙන් කැපවුණු මිනිසුන්ට සහ ඔවුන්ගේ දරු පවුල්වලට හිරගෙවල් ලැබෙන යුගයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

උදාවී ඇති වෙනස එය බව මන්ත්‍රීවරයා කියා සිටියේ අද (23) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් කට උත්තරයක් ලබාදීමෙන් අනතුරුව මාධ්‍යය වෙත අදහස් දක්වමිනි.


2011 වසරේ කරන ලද පැමිණිල්ලකට අනුව තමාට කරන ලද දැනුම්දීමක් හේතුවෙන් තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන අංශයට කටඋත්තරයක් ලබාදුන් බවත්, ඇතැම්විට ඉදිරියේදී යළි වරක් කැඳවන්නට ඉඩ ඇති බවත් වීරවංශ මහතා සඳහන් කළේය.


චෝදනාව අදාළ වන්නේ 'අයුතු ජන රාශියට'විය හැකි බවත්, පෙළපාලියක් යාම හේතුවී ඇති බවත් ඔහු කියා සිටියේය.


තමාට ගොනු කර ඇති පැමිණිල්ලත්, තම බිරිඳට ගොනු කර ඇති පැමිණිල්ලත් වෙන වෙනම චෝදනා වලට අදාළ බවත්, ඉදිරියේදී තම දරුවන්ටත් වෙනම පැමිණිලි ඉදිරිපත්වේද නොදන්නා බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.


බිරිඳට ව්‍යාජ ගමන් බලපත්‍ර සකස් කළ බවට එල්ල කර ඇති චෝදනා සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත්, ඒ බව ඉදිරියේදී අධිකරණයේදී ඔප්පු කර පෙන්වන බවත් මෙහිදී මාධ්‍යවේදියෙකු විසින් විමසන ලද පැනයකට ප්‍රතිචාර දක්වමින් වීරවංශ මහතා අවධාරණය කළේය.


පසුගිය 18 වන දින නුගේගොඩ පැවති රැස්වීමෙන් පසු බොහෝ දෙනෙකුගේ හෘද ස්පන්දන වේගය වැඩිවී ඇති බවත්, එය වැඩිවෙන තරමට තමන් සී.අයි.ඩීයට හෝ උසාවියට කැඳවන වාර ගණන වැඩිවිය හැකි බවත් ඔහු සිහිපත් කළේය.


‍කෙසේ වුවද මෙවැනි කටයුතු මගින් තම දේශපාලන ගමන නැවැත්විය හැකි යයි කෙනෙකු විශ්වාස කරන්නේනම් එය අමු මුලාවක් බවද , ප්‍රතිපත්ති මත පිහිටා ඇති තම දේශපාලන ගමන ඒ ආකාරයෙන්ම ඉදිරියට ගමන් කරනු ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.



වීරවංශ බිරිය රිමාන්ඩ් කිරීම හෝ නොකිරීම අධිකරණ වෛද්‍ය වාර්තා අනූවයි



අත්අඩංගුවේ පසුවන හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මිය රිමාන්ඩ් බාරයට පත් කරන්නේ ද නැද්ද යන්න පිළිබඳ අධිකරණ වෛද්‍ය වාර්තාව සලකා බැලීමෙන් අනතුරුව තීන්දුවක් ගන්නා බව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රකාශ කර තිබේ.

අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඇය අත්අඩංගුවට ගෙන මේ වන විට මාලබේ ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක රඳවා සිටින බවයි.


අත්අඩංගුවේ පසුවන ශෂී වීරවංශ මහත්මිය රිමාන්ඩ් බාරයට පත්කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලීමක් කරන ලදී.


එම ඉල්ලීම සලකා බලමින් කොළඹ මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා මේ බව ප්‍රකාශ කළ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු කේ.එස්.උදය කුමාර සඳහන් කළේය.



එදා මානව හිමිකම් කඩවීම් ගැන ඕස්ට්‍රේලියාව නිහඬවීම ගැටළු සහගතයි



ඉකුත් පාලන සමයේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම් දැක දැක නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම පිළිබඳ ලාංකිකයින් තුළ ඕස්ට්‍රේලියාව පිළිබඳ සැකයක් පවතින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

නීති විරෝධී ලෙස ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වන පිරිස් වැළැක්වීමට ක්‍රියාත්මකවීම සම්බන්ධයෙන් ‍ටෝනි ඇබර්ට් සහ රාජපක්ෂ රෙජිමය අතර එකඟතාවක් සහිත සමීප සබඳතාවක් පැවතීම ඊට හේතුවූ බව ඔහු කියා සිටියි.


'ද ඔස්ට්‍රේලියන්'මාධ්‍යයට අදහස් දක්වමින් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේය.


කෙසේ වුවද නීති විරෝධී මිනිස් ජාවාරම් කරනු ලැබුවේද පසුගිය රජයේ සමීපතමයින් විසින් බවත්, ආරක්ෂ අංශ මෙන්ම විශේෂයෙන්ම නාවික හමුදා සහය නොමැතිව එවැනි ජාවාරම් ක්‍රියාත්මක කළ නොහැකි බවත් අග්‍රාමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නේය.


ඔස්ට්‍රේලියාව පමණක් නොව ලෝකයේ බොහෝ රටවල් ශ්‍රී ලංකාවේ පැවති රජය විසින් මානව හිමිකම් උල්ලංඝණය කිරීම් පිළිබඳව නිහඬ පිළිවෙතක් අනුගමනය කළ බවද වික්‍රමසිංහ මහතා මෙහිදී සිහිපත් කළේය.


හිටපු ආගමන අමාත්‍ය ස්කොට් මොරිසන් ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී ද්‍රවිඩ ජාතික සන්ධානයේ නියෝජිතයින් හමුවීම ප්‍රතික්ෂේප කළ බවත්, එහිදී ඔහු රාජ්‍ය තාන්‍ත්‍රික පිළිවෙත අනුගමනය කිරීමට අපොහොසත් වුණු බවත් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.


එම සිදුවීම හේතුවෙන් ඔස්ට්‍රේලියා ආගමන අමාත්‍යංශය කෙරෙහි පැවති ජනතාවගේ ගෞරවය පළුදුවූ බවද ඔහු පෙන්වා දුන්නේය.


කෙසේ වෙතත් තමන් ඕස්ට්‍රේලියානු විරෝධී නොවන බවත්,සිදුවූ සිදුවීම් වලින් ඕස්ට්‍රේලියාව පාඩම් උගත යුතුව ඇති බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.



විමල් රහස් පොලීසියේ!



පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගෙන් මේවන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ප්‍රශ්න කරමින් සිටින බව වාර්තා වේ.

එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක හිටපු පාර්ලිමේන්තු මොහොමඩ් මුසම්මිල් මහතා කියා සිටියේ නීතිඥයින්ගේ ද සහය ඇතිව ඔහු අද රහස් පොලීසියට ගිය බවයි.


රහස් පොලීසිය විසින් කරන ලද දැනුම්දීමක් අනූව මන්ත්‍රීවරයා අද පෙරවරුවේ එහි ගොස් ඇති අතර මේවන විට ඔහුගෙන් ප්‍රශ්න කරන බව දැනගන්නට ඇති බවත්, එහෙත් එසේ ප්‍රශ්න කරන්නේ ශෂී වීරවංශ මහත්මියගේ විදේශ ගමන්බලපත්‍ර සම්බන්ධ ගැටලුවදැයි නොදන්නා බවත්. ඒ මහතා පැවසීය.


මේ ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් විමසීමක් කිරීමට උත්සාහ කළත් ඔහු සම්බන්ධ කර ගැනීමට නොහැකි විය.



මම ජනපති වුණේ සියලු ජන කොටස්වල සහයෝගයෙන්

තමා ජනාධිපති ධුරයට පත්වූයේ මෙරට සිංහල දෙමළ සහ මුස්ලිම් යන සියලු ජන කොටස්වල සහයෝගයෙන් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

අද පෙරවරුවේ කඳුරුවෙල, ජුම්මා මුස්ලිම් පල්ලියට ගොස් ආශිර්වාද ලබාගැනීමෙන් අනතුරුව පොළොන්නරුව දිස්ත්‍රික් මුස්ලිම් ජනතාව අමතමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කර තිබේ.


ජනාධිපතිවරයා පෙන්වාදෙන්නේ ශ්‍රී ලාංකික ජනතාවගේ ජනාධිපතිවරයා ලෙස සියලු ජනතා අපේක්ෂා ඉටු කිරීමට උපරිමයෙන් කැපවන බවයි.


සියලු ජනතාව තමා කෙරෙහි තැබූ විශ්වාසය කිසිදු අයුරකින් කඩ කිරීමට සූදානම් නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.



මහින්ද පරදවනවා!



මහින්ද රාජපක්ෂ මහත්මයා තමන් සමඟ මැතිවරණයකට තරඟ කළේ එක වරක් බවත්, එවර ඔහු ජනපති වුයේ වැඩි ඡන්ද ලක්ෂ එකහමාරකින් බවත්, එයද ප්‍රභාකරන්ගේ පිහිටෙන් යැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද වෙන්නප්පුවේදී පැවසීය.

එසේම යළිත් ඔහු බලයට ගෙන ඒමට පිරිසක් සුදානම්වන බවත්, ඊට තමාගේ අකමැත්තක් නැති බවත්, ඊට මුල් පුරා ඇත්තේ නුගේගොඩ කල්ලිය බවත්, අගමැතිවරයා එහිදී කියා සිටියේය.


කෙසේ වුවද ඉදිරි මහ මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් වුව ඔහු පරාජය කිරීමට තමන් සූදානම් යැයි ඔහු අවධාරණය කළේය.


තමන් කිසිවිටෙකත් ඉදිරි මහ මැතිවරණයට මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් වනු ඇතැයි විශ්වාස නොකරන බවද පැවසු අගමැතිවරයා මහමැතිවරණයෙන් ජාතික ආණ්ඩුවක් හදා රටේ සියලු ප්‍රශ්න අවුරුදු 2ක් තුළ විසඳිය යුතු බවද කියා සිටියේය.



අනතුරක් - විකල්ප මාර්ග භාවිතා කරන්න


වත්තල, ම‍ාබොල, විජයපාර හන්දියේ සිදුව ඇති අනතුරක් හේතුවෙන් කොළඹ - මීගමුව මාර්ගයේ ජා-ඇල දක්වා වාහන තදබදයක් හටගෙන තිබේ.


මේ නිසා විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලීමක් කරයි.


ලොරි දෙකක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවද, අනතුරින් කිසිවෙකුටත් තුවාලයක් සිදුව නැති බවද, පොලිස් මාධ්‍ය ඒකකය පැවසීය.


අනතුරට ලක්වූ ලොරි දෙක එම ස්ථානයෙන් ඉවත් කර වාහන ගමනා ගමනය සඳහා මාර්ගය යථා තත්ත්වයට පත්කිරීමේ කටයුතු මේවන විට සිදුවන බවද පොලීසිය කීවේය.



ගුණරත්නම් සොයා ආවේ කවුද? - පරීක්ෂණයක් ඕනෑ



පන්නිපිටියේ පිහිටි තමාගේ පක්ෂ කාර්යාලයට අනවසරයෙන් ඇතුළු වී කුමාර් ගුණරත්නම් ගැන සොයා බැලුයේ කවුද? යන්නත්, එවැනි ‍නියෝගයක් ලබාදුන්නේ කවුද? යන්නත් සොයාබලා ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි අජිත් කුමාර මන්ත්‍රීවරයා අද පාර්ලිමේන්තුවේදී කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.

ඊයේ පස්වරුවේ වූ සිද්ධිය ගැන විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු කියා සිටියේ මේ නිසා තමාගේ වරප්‍රසාද උල්ලංඝණය වී ඇති බවයි.


අජිත් කුමාර මන්ත්‍රීවරයා විසින් ඊට අදාළව අද පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය වැඩිදුරටත් පහත පරිදිය.