පාර්ලිමේන්තුවේ විශේෂ පක්ෂනායක රැස්වීමක්

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ, කතානායක චමල් රාජපක්ෂ මහතා ඇතුළුව පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින්ගේ ප්‍රධානත්වයෙන් මේවන විට විශේෂ සාකච්ඡාවක් පාර්ලිමේන්තුවේදී පැවැත්වෙයි.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදාළව විපක්ෂය විසින් ඉදිරිපත් කළ සංශෝධන සම්බන්ධයෙන් මෙම සාකච්ඡාව පැවැත්වෙන බව අප වාර්තාකරු කියයි.

සංශෝධන ගැන වියවුල් ලිහන්න හදිසි කමිටුවක්

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ සංශෝධන සම්මත කර ගැනීමට අදාළ ව්‍යකූල තැන් සමහන් කරගනු  පිණිස විශේෂ කමිටුවක් පත්කර තිබේ.

ඒ අනුව අග්‍රමාත්‍යවරයා ප්‍රමුඛ එජාපය නියෝජනය කරමින් නි.විදේශ අමාත්‍ය අජිත් පී පෙරේරා,නාගරික සංවර්ධන අමාත්‍ය රාවුෆ් හකීම්,පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්දිරන් යන අය පත්කර ඇත.

එසේම එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අනුර ප්‍රියදර්ශන යාපා,රජීව් විජේසිංහ,ෆයිසර් මුස්තාපා යන අය පත්කර ඇතැයි දැනගන්නට ලැබේ.

ඒ අනුව මෙම දෙපාර්ශවය හැකි ඉක්මනින් මෙම සංශෝධන සම්බන්ධයෙන් එකඟතාවකට පැමි‍ණිය යුතුව තිබේ.

කෙසේ වෙතත් අද දහවල් පැවති එජනිස මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ශ්‍රීලනිපය විසින් ගෙන ආ සංශෝධන සම්ම්ත කර ගැනීමටත්,එජාපය විිසින් ගෙන එන ලද සංශෝධන වලට එරෙහිව ඡන්දය භාවිතා කිරීමටත් ඇතැම් මන්ත්‍රීවරුන් විසින් යෝජනා කර තිබීමද මෙම ව්‍යාකූල තත්ත්වයට හේතුවී ඇත.

විශේෂයෙන්ම ජාතික විද්වත් සභාවට ව්‍යවස්ථාදායක සභාවෙන් පිට අග්‍රාමාත්‍යවරයා විසින්  විද්වතුන් පත්කිරීමට විධිවිධාන ඇතුළත් කිරීම වෙනුවට පාර්ලිමේන්තුව තුළින්ම නියෝජිතයින් නම් කිරීමට විධිවිධාන ඇතුළත් කිරීමද වඩා සුදුසු යයි ශ්‍රීලනිප පාර්ශවය විසින් ගෙන එන ලද සංශෝධනවල ඇතුළත්ය.

‍මූල්‍ය අපරාධ විමර්ශන පොලිසිය ගැන ජනපතිත් දැනගෙන ඉඳලා නෑ?

"පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය"නමින් ඉකුත් පෙබරවාරි මස 13 වන දින නිකුත් කරන ලද විශේෂ  ගැසට් නිවේදනයක් මගින් පොලිස් ඒකකක් පිහිටුවීම තමා නොදන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පවසා තිබේ.

අද (28) 12.30 ට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වුණු එජනිස කණ්ඩායම් නායක රැස්වීමේදී මේ බැව් අනාවරණය වී ති‍බේ.

 අග්‍රාමාත්‍යවරයා විසින් පත්කරන ලද අනුකාරක සභාවක තීරණයකින් මෙම පොලිස් ඒකකය ක්‍රියාවට නංවා ඇති බවත්,එමගින් අග්‍රාමාත්‍යවරයා දේශපාලන කටයුත්තක් ලෙස එය අවභාවිතා කිරීමේ සැකයක් මතුවන බවත් එජනිස මන්ත්‍රීවරුන් විසින් පෙන්වා දී තිබේ.

ඒ අනුව එය අලුත් පොලිස් නීතියක් බවට පත්ව ඇති බැවින් මුළුමනින්ම අහෝසි කරන ලෙස මෙම මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේශ් ගුණවර්ධන මහතා අද දෙරණට කියා සිටියේය.

ජනාධිපතිවරයා මේ අවස්ථාවේදී ප්‍රකාශ කර ඇත්තේ තමන් එකී ගැසට් නිවේදනය පිළිබඳ යමක් නොදන්නා නමුත් ඒ සම්බන්ධයෙන් තමාගේ පුද්ගලික අවධානය යොමුකරන බවයි.

එසේම මේවනතුරු එම විශේෂ පොලිස් ඒකකය මගින් බරපතළ සිදුවීම් පිළිබඳ ගැටළු මතුනොවී ඇති බවද ජනාධිපතිවරයා පෙන්වාදී ඇතත්,තමා මින්මතු ඒ පිළිබඳ පුද්ගලික අවධානය අනිවාර්යෙන්ම යොමුකරන බවද සඳහන් කර තිබේ.

නේපාලයේ විපතට පත් ජනයාට ඔබේ දායකත්වය දෙන්නේ මෙහෙමයි

භූ කම්පනයෙන් විපතට පත් නේපාල ජනතාවට අවශ්‍ය ද්‍රව්‍ය  පරිත්‍යාග කිරීමට කැමැත්තක් දක්වන පුද්ගලයින්ට ඒවා දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත බාරදිය හැකි බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.

විපතට පත් ජනතාවගේ හදිසි අවශ්‍යතා සපුරාලීම සඳහා අවශ්‍ය වන   ද්‍රව්‍යය නේපාල රජය විසින් දැනුම්දී ඇති බව එම කාර්යාලය කියයි.

 ඒ අනුව කූඩාරම්, මෙට්ට, පානීය ජලය, ජලය පිරිසිඳු කිරීමේ උපකරණ, සනීපාරක්ෂක කට්ටල හා භාණ්ඩ මෙන්ම එළිමහන් කඳවුරු සඳහා අවශ්‍ය උපකරණ අත්‍යවශ්‍යව පවතින බව නේපාල රජය විසින් දැනුම් දී ඇත.

පරිත්‍යාග කිරීමට කැමති සංවිධාන හා පුද්ගලයින් ඒ ඒ දිස්ත්‍රික් ලේකම්වරයා වෙත ඒවා බාරදිය හැකි බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේය.

එමෙන්ම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය හරහා ද  මේ සම්බන්ධයෙන් තොරතුරු ලබාගත හැකි බව එම කාර්යාලය වැඩිදුරටත් පැවසුවේය.

අක්මීමන දයාරතන හිමි ඇතුළු 17ට ඇප

කූරගල පුරාවිද්‍යා භූමියට නීති විරෝධීව ඇතුළුවීමට උත්සාහ කළ බවට චෝදනා එල්ල වූ සිහල රාවය සංවිධානයේ පූජ්‍ය අක්මීමන දයාරතන හිමි ඇතුළු භික්ෂූන් වහන්සේ 6 නමක් සහ පුද්ගලයින් 17 දෙනෙකු ඇප මත මුදා හැර තිබේ.

බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණය මෙම නියෝගය ලබාදුන් බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.

අධිකරණය විසින් ලබාදී තිබූ වාරණ නියෝගයක් නොසලකමින් පසුගිය 04 වන දින අදාළ භික්ෂූන් වහන්සේ ඇතුළු පිරිසක් කූරගල පුරාවිද්‍යා භූමියට ඇතුළුවීමට උත්සාහ කළ බවට චෝදනා කරමින් බලංගොඩ පොලිසිය මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණි.

අදාළ පිරිසට අද දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර තිබූ බව අද දෙරණ වාර්තාකරු පැවසුවේය.

ඒ අනුව රුපියල් දෙලක්ෂ 50,000 බැගින් වූ ශරීර ඇප මත ඔවුන් මුදා හැරීමට අධිකරණය නියෝග කර ඇත.

සිද්ධියට අදාළ  නඩුව සැප්තැම්බර් මස 29 වැනිදා යළි විභාගයට ගැනීමට නියමිතය.

බැසිල් මාස 3ක් නිවාඩුයි


හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය,පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවේ මාස 3ක නිඩාවු කාලයක් ලබාදී තිබේ.

අදාළ යෝජනාව විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් පාර්ලිමේන්තුවට ගෙනවිත් ඇති අතර ඊට සභාවේ කිසිදු විරෝධයක් එල්ලනොවූ බව අද දෙරණ වාර්තාකරු පවසයි.

දිවිනැඟුම දෙපාර්තමේන්තුවේ සිදුවූ බව කියන මුදල් අක්‍රමිකතාවට අදාළව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ ප්‍රශ්න කිරී‍මෙන් පසු අත්අඩංගුවට ගත් බැසිල් රාජපක්ෂ මහතා කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදුව මේවන විට රක්ෂිත බන්ධනාගාර ගත කර ඇතත් බන්ධනාගාර රෝහලේ සිට ජාතික රෝහලට මාරුකර එවා ඇත.

මීට ඉහතදීද මාස 3ක කාලයකට නිවාඩු අනුමත කරවාගෙන තිබුණු බැසිල් රාජපක්ෂ මහතාට යළි මාස 3ට නිවාඩු අනුමත වූයේ දෙවෙනි වරටය.

එසේම 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළව විවාදයේ දෙවන දිනය වන බැවින් එකී විවාදය මේවන විට පාර්ලිමේන්තුවේ ආරම්භ වී තිබේ.

අමෙරිකානු රාජ්‍ය ලේකම් මැයි 02දා එයි


අමෙරිකානු එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් ජෝන් කෙරී එළඹෙන මැයි 02වන සෙනසුරාදා දින ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබේ.

ඉකුත් පාලන සමයේ අමෙරිකාව-ශ්‍රීලංකාව අතර දුර්වලව පැවති රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කරගනු පිණිස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී සාකච්ඡා කිරීම මෙම සංචාරයේ අරමුණ බැව් සඳහන්ය.

එසේම මෙම සංචාරයේදී ඉකුත් මැතිවරණය සාර්ථකව පැවැත්වීම හා බලහුවමාරුව සිදුවීම කෙරෙහිද කෙරීගේ අවධානයට ලක්වනු ඇතැයි රොයිටර් පුවත් සේවය උපුටා දක්වයි.

එපමණ් නොව ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝණයවීම් පිළිබඳව , එනම් විශේෂයෙන් පැවති යුදමය වාතාවරණය තුළ සිදුවූ අකටයුතුකම් පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇතැයි කියැවෙයි.

ශ්‍රී ලංකා සංචාරයෙන් පසු ජෝන් කෙරී මැයි මස 05 වන දින ඩිබූටි ජනරජය බලා ගොස් එහි නායකයින් හමුවී යෙමනයේ පවත්නා ගැටුම්කාරී තත්ත්වය හා ගැටුම් සමනය කිරීමෙහිලා ලබාදිය හැකි සහය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතය.