19 ට අත උස්සා සිංහලයන්ට විරුද්ධ වෙන්න එපා


19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හුදු දේශපාලනයකට ලඝු කළ නොහැකි බවත්,එය ජනතාවගේ අයිතිවාසිකම් සම්බන්ධ කාරණයක් බවත් රාජකීය පණ්ඩිත,ආචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි පවසයි.

19 වන ව්‍යවස්ථා සංශෝධනය අනුමත කිරීම යනු සිංහලයන්ට මරණ වරෙන්තුව නිකුත් කිරීමකට සමාන දෙයක් බව උනවහන්සේ කියා සිටියේ අද (27) ජාතික සංවිධාන එකමුතුව ලෙස පවත්වන ලද මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

මෙම ව්‍යවස්ථා සංශෝධනයට අනුව ස්වාධීන කොමිෂන් සභාවන්ට අදාළව තීරණ ගනු ලබන කමිටුවට ඇතුළත් වන 10 දෙනාගෙන් පස් දෙනෙකුම සුළු ජාතීන් නියෝජනය කරන බවත්,එහි සුළු ජාතීන්ට වැඩි තැනක් දී ඇති බවත් අභයතිස්ස හිමියන් අවධාරණය කළේය.

එය බහුතර සිංහල ජනයාගේ මූලික අයිතිවාසිකමක් කඩවීමක් බව උන්වහන්සේ ගේ අදහසයි.

එබැවින් සිංහලයන්ට එරෙහිව මෙම ව්‍යවස්ථා සංශෝධනයට අත ඔසවන්නේ නැතුව සි‍ටීමට මහජන නියෝජිතයින් වගබලාගත යුතුව ඇති බව අභයතිස්ස හිමි කියා සිටියි.

මෙම අවස්ථාවට එක්වුණු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා කියා සිටියේ මෙම ව්‍යවස්ථා සංශෝධනය,ශ්‍රේෂ්ඨාධිකරණයෙන්ද ප්‍රතික්ෂේප වූ බවයි.

ඒ අනුව නැවත පාර්ලිමේන්තුවට ගෙනවිත් ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ප්‍රතික්ෂේප වුණු ව්‍යවස්ථා සංශෝධනයක් බවත්,එය සම්මත කිරීම නීති විරෝධී බවත් අමරසේකර මහතා පෙන්වාදෙයි.

19 වන ව්‍යවස්ථා සංශෝධනය වෙනුවෙන් අරගල කරන මාදුළුවාවේ සෝභිත හිමියන් ආදේශවී ඇති බවත්,ඔවුන්ගේ එකම අභිප්‍රාය වී තිබුණේ මහින්ද රාජපක්ෂ මහතා පරාජය කිරීම පමණක් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Post a Comment