දිනිදු යශේන් පැහැරගැනීමේ නඩුව - ප්‍රධාන සැකකරු ඇතුළු 3ට ඇප!

ගල්ගමුව, මීගලෑව ප්‍රදේශයේ දිනිදු යශේන් දරුවා පැහැර ගැනීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු සහ තවත් සැකකරුවන් දෙදෙනෙකු ඇප මත මුදාහැර තිබේ.

ගල්ගමුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් එක් සැකකරුවෙකු රුපියල් 20,000ක් සහ අනෙක් සැකකරුවන් දෙදෙනා රුපියල් හත් ලක්ෂ 50,000 බැගින් වු ශරීර ඇප 02 ක් මත මුදාහැරි බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.


කෙසේවෙතත් සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි තවත් සැකකරුවන් දෙදෙනෙකු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.


ඇප ලබා දීමට අදාළ ලේඛන සම්පූර්ණ කිරීමට නොහැකි වීම හේතුවෙන් ඔවුන් මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති බව සඳහන්ය.


කප්පම් ලබා ගැනීමේ අරමුණින් ගල්ගමුව, මීගලෑව ප්‍රදේශයේ සිව් හැවිරිදි දිනිදු යශේන් දරුවා පසුගිය ජූලි මස 28 වැනිදා පැහැර ගත් අතර ඉන් දින කිහිපයකට පසුව එම දරුවා සොයා ගැනිණ.



පස්කන්දකට බලංගොඩ දෙන්නෙක් බිලි

බලංගොඩ, ඕලුගංතොට, සමන්පුර ප්‍රදේශයේ නිවසක් මතට පස්කන්දක් කඩා වැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.

අද පස්වරු 3.15ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර අනතුරින් මියගොස් ඇත්තේ වයස අවුරුදු 45ක හා 55ක පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු බව පොලිස් මාධ්‍ය ඒකකය පැවසීය.


මේ අතර නායයෑමේ අවදානමක් හේතුවෙන් ඇල්ල, කුඹල්වෙල , කොට්ටගස්වත්ත ප්‍රදේශයේ නිවාස 60ක පුද්ගලයින් ඉවත් කර තිබේ.


ඇල්ල ප්‍රාදේශිය ලේකම් සමන්ති රණසිංහ මහත්මිය සඳහන් කළේ බොල්විලගලකන්ද නායයෑමේ තත්ත්වයක් නිරික්ෂණය වීම හේතුවෙන් මෙම පියවර ගත් බවයි.


නිවාස වලින් ඉවත් කෙරුණු පුද්ගලයින් දෝව විද්‍යාලයේ තාවකාලිකව නතර කර ඇති බව ඇය සඳහන් කළාය.



පොලීසියට ලොකු පාඩුවක් - බොබී ගාලුකොටුවෙන් වැටී මරුට

ගාල්ල කොට්ඨාස පොලිස් නිල සුනඛ අංශයේ සිටි සුනඛයින් තිදෙනාගෙන් එක් සුනඛයෙකු අද (31) ගාල්ල කොටු පවුරෙන් වැටී මියගොස් තිබේ.

අද පෙරවරුවේ මෙම අනතුර සිදුව ඇත්තේ පුහුණුවීම් අතරතුරය.


බොබී නැමැති අවුරුදු 6ක් වයසැති සුනඛයෙකු මෙලෙස මියගොස් ඇත.


මෙම සුනඛයා පුපුරණ ද්‍රව්‍ය සම්බන්ධ විමර්ශන ස‍ඳහා යොදාගෙන ඇති අතර එම කටයුතු සඳහා යොදාගැනීමට ගාල්ල පොලීසියේ තවත් සුනඛයෙක් සිටින බව අප වාර්තාකරු කියයි.


අපරාධ විමර්ශන කටයුතු සඳහා යොදාගන්නා අනෙක් සුනඛයා වන රොකී පසුගියදා ගාල්ල අක්මීමන 6 හැවිරිදි දැරියගේ දූෂකයා පොලීසියට කොටුකර දීමට සහය විය.



ධනපතියන්ට හෙලිකොප්ටරෙන් ගිහින් කැමතිම ඉඩම දෙන ආණ්ඩුව දුප්පතුන්ට සලකන්නේ මෙහෙමයි

ධනපතියෙක් හෝ ආයෝජකයෙක් ඉඩමක් ගැනීමට පැමිණි විට හෙලිකොප්ටරයෙන්, රජයේ වියදමෙන් ඔවුන් රැගෙන ගොස් ඉල්ලන ඕනෑම ඉඩමක් දෙන පාලකයින් දුප්පත් ජනතාව සම්බන්ධයෙන් අනුගමනය කරන්නේ කොහේ හෝ මුල්ලකට ඇද දැමීමේ ප‍්‍රතිපත්තියක් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි.

එම පක්ෂයේ මධ්‍යම කාරක සභික දුමින්ද නාගමුව අද (31) රාජගිරියේ පැවති මාධ්‍ය හමුවකදී පවසා සිටියේ මෙම ප‍්‍රශ්නය පරිපාලන නිලධාරීන්ගේ හෝ මීරියබැද්ද ජනතාවගේ හෝ දේශපාලනඥයන් කිහිප දෙනෙකුගේ හුදකලා ප‍්‍රශ්නයක් නොව සමස්ථ පාලන ක‍්‍රමයේම ප‍්‍රශ්නයක් බවයි.


එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු මෙසේද පැවසීය.


‘‘මීරියබැද්ද නායයාමට පෙර 2005 වසරේදීත් ඉන් පසුව 2011 වසරේදීත් අනතුරු ඇගවීම් කර තිබූ නමුත් ඒ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් පියවර ගන්න අසමත් වීමේ ප‍්‍රතිඵලය තමයි මේ ඛේදවාචකය.


නිලධාරීන් කියනවා ඉඩම් දුන්නා, ජනතාව ගියෙ නෑ කියලා. ජනතාව කියනවා. සමහරුන්ට ඉඩම් ලැබුණේ නෑ. තවත් සමහරුන්ට ඉඩම් ලැබුණත් ඒවායේ පදිංචියට යන්න පහසුකම් නෑ කියලා. ඉඩමක් දෙනවා කියලා කොහේ හරි මුල්ලක් පෙන්නුවාට වැඩක් නෑ. නිවසක් හදාගන්නේ කොහොමද? එතන සිට රැකියාවට යන්න පුළුවන්ද? දරුවන් පාසල් යවන්න පුළුවන්ද? මේ වගේ ප‍්‍රශ්න තියෙනවා. මීට කලින් ආණ්ඩුව සුනාමි අනතුර කියලා වෙරළබඩ ධීවර ජනතාව ඉවත් කරනන හැදුවා. නාගරික පීඩිතයන්ව නිවෙස්වලින් එලවා දමනවා. සාම්පූර්වල ඉඩම් පැහැරගෙන ඒ ජනතාව අනාත කදවුරුවල.


මෙගා ෆෝන් එකෙන් කෑ ගහලා නායයන්න ඉඩ තියෙනවා මෙතනින් යන්න කීවට එහෙම තැනින් තැනට ගෙනියන්න මිනිස්සු කියන්නේ ගඩොල් ගොඩවල් නෙමෙයි. මෙවැනි ආපදා අවදානමක් නිසා පදිංචි තැනින් ඉවත් කරන්න වෙනවා නම් ඒ ගැන ඒ ජනතාව සමග සාකච්චා කළ යුතුයි. තමන්ගේ ජීවිත ගැන තීරණ ගන්න පරපාධිපත්‍ය බලය ජනතාව සතුවිය යුතුයි කියලා අපි කියන්නේ ඒ නිසයි. දැන් ඒ බලය ජනතාවට නෑ. ධනපතියන්ට ඉඩම් දෙනකොට නම් ඉල්ලන ඉඩම දෙනවා. රජයේ වියදමෙන් හෙලිකොප්ටර‍ෙයන් අරං ගිහින් ඉඩම් පෙන්නනවා. ජේමිස් පැකර්ට ඉඩම් දුන්නේ එහෙම. ශැංගිලා සමාගම හමුදා මූලස්ථානයේ ඉඩම ඉල්ලූවම හමුදා මූලස්ථානය ඉවත්කරලා ඒ ඉඩම දුන්නා. නමුත් පීඩිත ජනතාවගෙන් ගන්න කැමති තැන අහන්නේ නෑ. අනෙක් අවශ්‍යතා ගැන අහන්නේ නෑ. දේශපාලන නිලධාරීන් හවුලකින් අත්තනොමතික තීරණ ගන්නවා. එක්කෝ මීරියබැද්දෙදී වගේ ‘කිව්වේ නෑ’ කියලා මිනිස්සුන්ට බනිනවා. නැතිනම් වනාත මුල්ලෙදී වගේ බලහත්කාරයෙන් එලවනවා.


මේ ව්‍යයසනයන්ට මූලික හේතුව ඊනියා සංවර්ධනය නිසා පරිසරයට සිදුකර ඇති හානිය. මේ ඊනියා සංවර්ධනය නිසා රටේ ඉන්න තැනක් නෑ. යන්න තැනකුත් නෑ. උතුරු මැද පළාතේ හා වෙනත් කෘෂිකාර්මික ප‍්‍රදේශවල ජලය වස වෙලා. දැන් ඒ ප‍්‍රදේශවල ඉන්න බෑ. සුනාමි නිසා වෙරළබඩ තීරයෙත් ඉන්න බැරිලූ. දැන් නාය යන නිසා මධ්‍යම කඳුකරයෙනුත් යන්නලූ. මේ ක‍්‍රමය නිසා ඉන්න තැනක් නැති වෙලා. හැමතැනම අවදානමේ. සංවර්ධනය ගැන ආර්ථිකය ගැන තමන් පදිංචි වෙන තැන ගැන තීරණ ගැනීමේ බලය ඒ කියන්නේ පරමාධිපත්‍යයේ බලය ජනතාවට ලබාදීම හැර මේ ප‍්‍රශ්නවලට වෙන විසදුම් නෑ.


මේක තනි තනි අයගේ වැරැද්දට වඩා මුළු ක‍්‍රමයේම වැරැද්ද පෙන්වන උදාහරණයක්. අනාථ වූ දරුවන්ව බලගන්නවා වගේ කතා කියලා ඇත්ත වගඋත්තර කරුවන්ට හැංගෙන්න දෙන්න බෑ. ව්‍යයසනයක් වුණාම ඒකෙන් දේශපාලන වාසි ගන්න එපා කියලා ව්‍යයසන පිටුපස තිබෙන දේශපාලන හේතු හඟවන ආණ්ඩුවේ උත්සාහයත්, මේ ව්‍යයසනය හුදු ආණ්ඩු විරෝධයකට ලඝු කිරීමට විපක්ෂයේ ඇතැම් පක්ෂ දරන උත්සාහයත් පරදවා පරිසර විනාශයෙන් තොර ආර්ථිකයක්, තමන් පිළිබඳ තීන්දු ගැනීමේ බලය ජනතාවට හිමිවන සැබෑ ප‍්‍රජාත්න්ත‍්‍රවාදී ක‍්‍රමයක් වෙනුවෙන් අපි සටන් වදිනවා.’’



කොහෙන් ගත්තත් හෙට සිට මිල එකයි

කොළඹ පිරවුම් හල්වල ඩීසල් හා පෙට්‍රල් විකුණන මිලට වඩා ශත 50 ක් 60 ක් වැඩියෙන් පිට පළාත්වලදී ඩීසල් හා පෙට්‍රල් විකිණීම ලංකා ඛනිජ තෙල් සංස්ථාව පසුගිය කාලයේ සිදුකළත් එය හෙට (01) සිට නතර කරන බව ඛනිජ තෙල් සංස්ථාව කියයි.

ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති සිරිසේන අමරසේකර මහතා පැවසුවේ ඒ අනූව හෙට සිට ලංකාව පුරාම ඉන්ධන එකම මිලකට අලෙවි කරන බවයි.


මේ ගැන වැඩිපුර කියවන්න...



හෙළ උරුමය හෙට ඡන්දේ දෙන්නේ නැහැලු

අයවැය දෙවනවර කියවීමේ පළමු වටයේ ඡන්ද විමසීමේ දී ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකීමට ජාතික හෙළ උරුමය තීරණය කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂය සඳහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ තම යෝජනා සම්බන්ධයෙන් අවසන් තීරණයකට මෙතෙක් එළඹීමට නොහැකි වීම මෙම තීරණයට හේතුව වන බවයි.


ජනාධිපතිවරණයට පෙර ව්‍යවස්ථා සංශෝධන සහ දේශපාලන ප්‍රතිසංස්කරණ සිදුකළ යුතු බව ඉල්ලා ජාතික හෙළ උරුමය රජයට යෝජනා කිහිපයක් ඉදිරිපත් කර ඇත.


ඒ සම්බන්ධයෙන් දෙපාර්ශවයේ නියෝජනයෙන් අනුකමිටුවක් පත්කර ඇති අතර එමගින් මෙතෙක් අවසන් තීරණයකට එළඹ නැත.


මේ අතර අයවැය දෙවනවර කියවීමට අදාළ ඡන්ද විමසීම හෙට පැවැත්වෙන අතර අයවැය තෙවනවර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වෙන්නේ නොවැම්බර් 24 වෙනි දිනය.



රතුපස්වල නඩුව - කර්මාන්ත ශාලාවක් ඉවත්කරයි

රතුපස්වල ජල දූෂණයට සම්බන්ධ බවට චෝදනා ලැබු කර්මාන්තශාලාවක් නඩු විභාගයෙන් ඉවත් කිරීමට අභියාචනාධිකරණය අද අවසර ලබා දී ති‍බේ.

සියනෑ ජලය සුරැකිමේ සංවිධානය මගින් ගොනුකර තිබු නඩුවක් කැඳවු අවස්ථාවේ අදාළ කර්මාන්තශාලාව වෙනුවෙන් ඉදිරිපත් කෙරුණු කරුණු සැලකිල්ලට ගෙන අභියාචනාධිකරණය මෙම අවසරය ලබාදුන් බව අද දෙරණ අධිකරණ වාර්තාකරු කේ.එස් උදයකුමාර සඳහන් කළේය.



මීරියබැද්දට සුනඛයින්ගේත් සහය - විපක්ෂ නායක ශෝක දිනයක් ඉල්ලයි

කොස්ලන්ද, මීරියබැද්ද ප්‍රදේශයේ නායයෑමට ලක්වු භූමියේ සුන්බුන් අතර සිරවූවන් සෙවීමේ මෙහෙයුම් තෙවන දිනටත් අද (31) පෙරවරුවේ සිට ආරම්භ කර තිබේ.

අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ මෙහෙයුම් කටයුතු ඉතා සෙමෙන් සිදු කිරිමට සිදුව ඇති බව යුධ හමුදා මාධ්‍ය අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර මහතා ප්‍රකාශ කළේය.


සිරවී සිටින පුද්ගලයින් සෙවීම සඳහා යුධ හමුදාව විසින් නිල සුනඛයන් ද යොදාගෙන තිබේ.


පෙරේදා සිදූවූ මෙම නායයාමෙන් අතුරුදන් වූවන් ගණන සියයට වැඩි බව ආපදා කළමනාකරණ බලධාරීන් කියයි.


මේ අතර මෙතෙක් සොයාගෙන ඇත්තේ මළ සිරුරු 3කි.


නිවාස 66ක් සම්පූර්ණයෙන්ම විනාශයට පත්ව ඇති අතර අතුරුදන් වූවන් සෙවීමේ මෙහෙයුමට හමුදාවෙන් 700ක් පමණ ද ගුවන් හමුදාවෙන් නිලධාරීන් 52ක්ද හෙලිකොප්ටර් යානා වල සහය ද ලබා ගෙන ඇත.


මේ අතර අවතැන් කඳවුරු තුනක විපතට පත්වූවන් 1200ක පමණ පිරිසක් මේ වන විට රඳවා ඇත.


ඔවුන්ට අවශ්‍ය වෛද්‍ය පහසුකම් ඇතුළු සෙසු පහසුකම් ලැබෙන බව එම කඳවුරු වල ප්‍රතිකාර කටයුතු වල නිරතව සිටින වෛද්‍ය එරංග අසේල මහතා ප්‍රකාශ කළේය.


මේ අතර විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු එම පක්ෂයේ නියෝජිත පිරිසක් අද පෙරවරුවේ මීරියබැද්ද ප්‍රදේශයේ සංචාරයක නිරත වුණි.


අද දෙරණ වාර්තාකරුවන් සඳහන් කළේ විපතට පත්වූවන්ට සහන සැලසීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට සිය පක්ෂයේ සහය පළ කරන බව එහිදී විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළ බවයි.


නායයෑමෙන් විපතට පත්වූවන් වෙනුවෙන් ජාතික ශෝක දිනයක් ප්‍රකාශ කළ යුතු බව ද විපක්ෂ නායකවරයා එහිදී සඳහන් කර තිබේ.


මේ අතර නායයෑමෙන් විපතට පත්වූවන් පොදු රාජ්‍ය මණ්ඩලය වෙනුවෙන් සංවේගය පළ කරන බව පොදු රාජ්‍ය මණ්ඩලයීය මහ ලේකම් කමලේශ් ශර්මා මහතා පවසයි.


ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කරමින් කමලේශ් ශර්මා මහතා සිය සංවේගය පල කර ඇත.


කමලේශ් ශර්මා මහතා පසුගිය සතියේ දී මෙරට සංචාරයක ද නිරත වුණි.



උතුරට යන සංචාරකයින් සපුරාලිය යුතු කොන්දේසි මෙන්න

උතුරු පළාතේ සංචාරය කරන විදේශිකයින්ට ඒ සඳහා වන පූර්ව අනුමැතිය ලබා ගැනීමේ අයදුම්පත්, ෆැක්ස් සහ විද්‍යුත් තැපෑල මගින් ආරක්ෂක අමාත්‍යංශය වෙත යොමු කළ හැකි බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

+94112328109 යන ෆැක්ස් අංකය සහ modclearance@yahoo.com යන විද්‍යුත් ලිපිනයට එම අයදුම්පත් යොමු කළ හැකි බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.


යාපනය, කිළිනොච්චිය, මුලතිව් දිස්ත්‍රික්ක මන්නාරම දිස්ත්‍රික්කයේ වෙඩිතලතිවු ප්‍රදේශයෙන් උතුරට වු ප්‍රදේශය සහ වව්නියාව දිස්ත්‍රික්කයේ ඕමන්තෙයි වලින් උතුරට වු ප්‍රදේශ කරා ගමන් කරන විදේශිකයන්ට පූර්ව අනුමැතියක් ලබා ගත යුතුය.


අයදුම්පත්‍රයට සම්පූර්ණ නම, විදේශ ගමන් බලපත්‍ර අංකය, සංචාරයේ ආරම්භක දිනය සහ යළි පැමීණීමට නියමිත දිනය, සංචාරයට හේතුව සහ ගමන් ගන්නේ පුද්ගලික වාහනයකින්ද නැතහොත් වෙනත් ක්‍රමයකින්ද යන්න ඇතුළත් කළ යුතු බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.


පුද්ගලික වාහනයකින් ගමන් කරන්නේ නම් එහි ලියාපදිංචි අංකය, රියදුරුගේ නම ඇතුළු තොරතුරු ඉදිරිපත් කළ යුතුය.


අදාළ ප්‍රදේශවල මේ වන විට ක්‍රියාත්මක ව්‍යපෘතියකට හෝ ආයෝජන කටයුත්තකට පිටත්ව යන්නේ නම් අදාළ නියෝජිත ආයතන හරහා එම අයදුම්පත් යොමු කළ යුතු බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.


මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ආරක්ෂක අමාත්‍යංශයේ www.defence.lk නිල වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකිය.



විපක්ෂ නායකවරයා ඇතුළු පිරිසක් මීරියබැද්දට

කොස්ලන්ද, මීරියබැද්ද ප්‍රදේශයේ නායයෑම් සිදුවු ස්ථානයට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පක්ෂයේ නියෝජිත පිරිසක් ගොස් තිබේ.

විපක්ෂ නායකවරයා ඇතුළු පිරිස මේ වන විට එම ස්ථානය නිරීක්ෂණය කරමින් සිටින බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.


එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක දයා ගමගේ, ඌව පළාත් විපක්ෂ නායක හරීන් ප්‍රනාන්දු යන මහත්වරුන් ඇතුළු පිරිසක් මේ සඳහා එක්ව සිටිති.



රටේ නම කැත කළ 14ක් අත්අඩංගුවේ

විදෙස් රටවලට කසළ තේ යැවීමේ ජාවාරමක නිරත වූ පුද්ගලයින් 14දෙනෙකු සපුගස්කන්ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සපුගස්කන්ද, හෙයියන්තුඩුව ප්‍රදේශයේ පුද්ගලික කර්මාන්ත ශාලාවක කළමනාකාරාවරයෙකු සහ එහි සේවකයින් 13 දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.


කසළ තේ විදෙස් රටවලට යැවීම සඳහා සූදානම් කරමින් සිටින බවට සපුගස්කන්ද පොලිසියට ලැබුණු තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර තිබේ.


එම ස්ථානයේ තිබී සොයාගත් කසල තේ ප්‍රමාණය මෙතෙක් ගණනය කර නොමැති බව පොලිසිය සඳහන් කළේය.


අත්අඩංගුවට ගත් කළමනාකරු අද මහර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර සේවකයින් 13 දෙනාට අද දිනයේ මහර අධිකරණයේ පෙනී සිටින ලෙස දැනුම් දී පොලිස් ඇප මත මුදා හැර ඇත.


සිද්ධිය සම්බන්ධයෙන් සපුගස්කන්ද පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.



රත්තරන් රටින් පිට නොයයි

නීති විරෝධී ලෙස ගුවන් මගින් රත්‍රං තොගයක් රැගෙන යාමට උත්සාහ කළ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අද අළුයම 1.25ට පමණ ශ්‍රී ලංකන් එයාර් යූ. එල් 173 දරන ගුවන් යානයෙන් ඉන්දියාවේ බැංගලෝර් බලා පිටත්වීමට සූදානම්ව සිටියදී ඔවුන් ගුවන් තොටුපළ රේගුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.


ඔවුන් සතුව තිබී රත්‍රං කැබලි 04ක් සොයාගෙන ඇති අතර එම රත්‍රං කලිසම් පටියෙහි සඟවාගෙන යාමට උත්සහ දරා තිබේ.


අදාළ රත්‍රං කැබලි ග්‍රෑම් 528ක බරකින් යුක්ත වන අතර ඒවායෙහි මුළු වටිනාකම රුපියල් 26 ලක්ෂ 37, 000ක් පමණ වන බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණි මහතා සඳහන් කළේය.


රේගුව වැඩිදුර පරීක්ෂණ කරයි.



මාස්පොත අනතුරින් 2ක් මරුට

කුරුණෑගල - පුත්තලම මාර්ගයේ මාස්පොත දී සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් අයෙකු තුවාල ලබා තිබේ.

ඊයේ රාත්‍රී 07.40ට පමණ කුරුණෑගල දෙසට ධාවනය වූ වෑන් රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක මුහුණට මුහුණ ගැටීමෙන් අනතුර සිදුව ඇත.


අනතුරෙන් යතුරුපැදිකරු ඇතුළු තිදෙනෙකු තුවාල ලබා කුරුණෑගල රෝහලට ඇතුළත් කිරීමේ දී පැදිකරු සහ කාන්තාවක් මියගොස් ඇති බව පොලිසිය පැවසුවේය.


මියගොස් ඇත්තේ 32 හැවිරිදි වාරියපොල , රත්මලේ ප්‍රදේශයේ පදිංචිව සිටි පිරිමි පුද්ගලයෙක් සහ 39 හැවිරිදි නාත්තන්ඩිය සාහරගම ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවකි.


අනතුරෙන් තුවාල ලැබු 18 හැවිරිදි තරුණයෙකු කුරූණෑගල රෝහලේ ප්‍රතිකාර ලබයි.


මේ අතර හිඟුරක්ගොඩ - වෙහෙරගල අතුරුමාර්ගයකදී ට්‍රැක්ටර් රථයක් ඇළකට පෙරළී සිදුවු අනතුරකින් 25 හැවිරිදි තරුණයෙකු මියගොස් ඇත.


ඊයේ පස්වරු 05.20ට අදාළ ට්‍රැක්ටර් රථය ඇළකට පෙරළී මෙම අනතුර වී ඇති බව පොලිසිය පැවසුවේය.



දැදුරු ඔයේ වාන් දොරටු විවෘතයි - ජනතාවට විමසිල්ලෙන් සිටින්නැයි ඉල්ලීමක්

දැදුරුඔය පිටාර ගැලීම හේතුවෙන් එහි වාන් දොරටු කිහිපයක් විවෘත කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

මේ හේතුවෙන් බිංගිරිය, හලාවත, වාරියපොල සහ නිකවැරටිය යන ප්‍රදේශ වල ජනතාවට ඒ පිළිබඳ අවධානයෙන් සිටින ලෙස ආපදා කළමනාකරන මධ්‍යස්ථානය ඉල්ලීමක් කරයි.


මේ අතර දිවයිනේ දිස්ත්‍රික් කිහිපයක තවදුරටත් නායයෑමේ අවදානම පවතින බව ජාතික ගොඩැනිගිලි පර්යේෂණ ආයතනය පවසයි.


මහනුවර, මාතලේ, නුවරඑළිය, බදුල්ල, කෑගල්ල , රත්නපුර, කළුතර, ගාල්ල, මාතර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්ක වලට අදාළව එම අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර තිබේ.


ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ නායයෑමේ අවදානමක් සහිත ප්‍රදේශ වලින් තවත් පවුල් රැසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර ඇති බවයි.



ශ්‍රීලනිප-හෙළ උරුම දීගයේ වාර්තාව අදයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ජාතික හෙළ උරුමය අතර එකඟතාවයන් පිළිබඳ සොයාබැලිම සඳහා පත් කළ අමාත්‍ය අනු කමිටු වාර්තාව අද දිනයේ ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

පසුගිය දා පැවති සාකච්ඡාවකින් අනතුරුව අදාළ කරුණු සාකච්ඡා කිරීම සඳහා දෙපාර්ශවයේ නියෝජිතයින්ගෙන් සමන්විත අනු කමිටුවක් පත් කෙරුණි.


මේ අතර ඉදිරි ජනාධිපතිවරණයකදි සහය පළ කළ යුත්තේ කුමන පාර්ශවයට ද යන්නා තීරණය කිරිම සඳහා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ උත්තරීතර මණ්ඩලය අද රැස්වෙයි.


එම පක්ෂයේ ප්‍රකාශකයෙකු කියා සිටියේ පක්ෂ නායක අමාත්‍ය රවුෆ් හකීම් මහතාගේ ප්‍රධානත්වයෙන්උත්තරීතර මණ්ඩලය අද පස්වරුවේ රැස්වීමට නියමිත බවයි.



ඡන්ද හිමි නාම ලේඛනය සහතික කිරීම අදයි

2014 වර්ෂයට අදාළ ඡන්ද හිමි නාමලේඛන සහතික කිරීමේ කටයුතු අද දිනයේ සිදුකරන බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි.

ඒ අනුව ඡන්ද හිමි නාමලේඛනය සහතික කිරීමෙන් අනතුරුව සියලුම දිස්ත්‍රීක් ලේකම් කාර්යාලවල, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සහ ග්‍රාම නිලධාරී කාර්යාලවල එම නාමලේඛනය ප්‍රදර්ශනය කිරීමට නියමිතය.


ඉදිරියේ දී පැවැත්වීමට නියමිත මැතිවරණ සඳහා මෙම ඡන්ද හිමි නාමලේඛනය යොදා ගන්නා බව මැතිවරණ මහලේකම් කාර්යාලය සඳහන් කරයි.



අනවසර ධීවර යාත්‍රා බෑ - ජනපති උපදෙස්

අනවසරයෙන් ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වී ධීවර කටයුතු වල නිරත වන යාත්‍රා නැවැත්වීමට සහය වන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නාවික හමුදාවට උපදෙස් ලබාදී තිබේ.

එමෙන්ම තහනම් කර ඇති පන්න ක්‍රම උපයෝගී කරගැනීම වහාම නැවැත්වීමට පියවර ගැනීමට ද ජනාධිපතිවරයා නාවික හමුදාවට උපදෙස් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.


ධීවර සමිති නියෝජිතයින් සමග ඊයේ පස්වරුවේ අරලිය ගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම උපදෙස් ලබාදී තිබේ.


යුරෝපා සංගමය විසින් ශ්‍රී ලංකාවේ මාළු මිලදි ගැනීමට පනවා ඇති තහනම සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු කිරීමට විශේෂ කමිටුවක් පත් කිරීමට ජනාධිපතිවරයා උපදෙස් ලබා දි ඇති බව එම මාධ්‍ය අංශය ප්‍රකාශ කරයි.


මීට අමතරව ගැඹුරු මුහුදේ නිරත වන ධීවර යාත්‍රා ලියාපදිංචි ගාස්තුව රුපියල් 15,000ක සිට රුපියල් 5000 දක්වා අඩු කිරීමටද ජනාධිපතිවරයා මෙහිදි තීරණය කර තිබේ.


ධීවරයින්ගේ මාළු ස්ථාවර මිලකට ධීවර සංස්ථාව මගින් මිලදි ගැනිමේ වැඩපිළිවෙලක් සකස් කරන ලෙස ජනාධිපතිවරයා ධීවර අමාත්‍යවරයාට මෙහිදි උපදෙස් ලබා දි ඇති බව වාර්තා වේ.


කරවල කර්මාන්තයේ නියුතු වන්නන්ට හිඟයකින් තොරව මාළු සැපයීමට කටයුතු කරන ලෙස ද එහිදි ධීවර සංස්ථාවට උපදෙස් ලැබී තිබේ.



පුත්තලම-මන්නාරම පාර එළුවන්කුලමෙන් වැහෙයි

පුත්තලමේ - මන්නාරම දක්වා ඇති මාර්ගය එළුවන්කුලම ප්‍රදේශයේදී වසා දමා ඇති බව පුත්තලම ආපදා කළමණාකරන ඒකකය පවසයි.

කලාඔයේ ජල මට්ටම ඉහළයාම මෙම තත්ත්වයට හේතු වී ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.


විල්පත්තුව ජාතික වනෝද්‍යානය මැදින් ඇති මෙම මාර්ගය එළුවන්කුලම ප්‍රදේශයේදී කලාඔය හරහා ගමන් කරන්නේ සපත්තු පාලමක් මතිනි.


කලාඔයේ ජල මට්ටම ඉහළයාමත් සමගම මෙම ස්ථානයේ ජලයද ඉහළ යන බැවින් තාවකාලිකව එම මාර්ගය වසා දැමීමට බලධාරීන් කටයුතු කරති.


ඒ අනුව පුත්තලමේ සිට එළුවන්කුලම හරහා මන්නාරම දක්වා ගමන් නොකරන ලෙස ආපදා කළමණාකරන ඒකකය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.



කොළඹ ඩුප්ලිකේෂන් පාර අවහිරවෙයි

කොළඹ, ඩුප්ලීකේෂන් මාර්ගය හරහා ගසක් කඩා වැටීම හේතුවෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු මේ වන විට සම්පූර්ණයෙන් ඇනහිට ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.

ත්‍රීරෝද රථයක් සහ කැබ් රථයක් මතට අදාළ ගස කඩා වැටී ඇති අතර එක් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බවද වාර්තා වෙයි.


මේ වන විට මාර්ගය හරහා වැටී ඇති ගස ඉවත් කිරීමේ කටයුතු සිදුකරන බවත්, මාර්ගය අවහිර වී ඇති බැවින් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලීමක් කරයි.



නාය යාහැකි තැන් සියල්ල හඳුනනවා - නිසි පියවර නොගත්තේ ඇයි?

ශ්‍රී ලංකාවේ නායයෑමට ලක්විය හැකි ස්ථාන සියල්ලම පාහේ හඳුනාගෙන ඇති බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසයි.

නායයෑමට ලක්වු මීරියබැද්ද ප්‍රදේශය සම්බන්ධයෙන් ද මීට පෙර අනතුරු ඇඟවීම් සිදුකර තිබු බව හෙතෙම සිහිපත් කරයි.


කෙසේ වෙතත් නායයෑමට ලක්වු කොස්ලන්ද මිරියබැද්ද භූමි ප්‍රදේශය අයත් වැවිලි සමාගම මේ සම්බන්ධයෙන් ආරක්ෂිත ක්‍රියාමාර්ග අනුගමනය නොකිරිම පිළීබඳව අද දෙරණ අදාළ සමාගමෙන් කළ විමසීමේදී කළමනාකාර අධ්‍යක්ෂවරයා මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වීම ප්‍රතික්ෂේප කළේය.


මේ පිළිබඳ අද දෙරණ වැවිලිකරුවන්ගේ සංගමයේ සභාපති රොෂාන් රාජදුරේ මහතාගෙන් කළ විමසීමකදි ඔහු කියා සිටියේ සිදුකළ අනතුරු ඇඟවීම් පිළිබඳ නිසි ක්‍රියාමාර්ග ගැනීමට තම සංගමයේ සමාගම් ක්‍රියා කර ඇති බවයි.


එහෙත් අදාළ සමාගම මෙම සිද්ධියේ දි කුමන ක්‍රියා මාර්ගයක් ගත්තේ ද යන්න තමාට ප්‍රකාශ කළ නොහැකි බව හෙතෙම කියා සිටියේය.


සාමාන්‍යයෙන් අනතුරු ඇඟවීම් සිදුකළ විට ඊට යහපත් ප්‍රතිචාරයක් දක්වන බව වැවිලිකරුවන්ගේ සංගමයේ සභාපති රොෂාන් රාජදුරේ මහතා පවසයි.


ඉදිරියේ දී ද ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය අනතුරු ඇඟවීම් සිදුකළහොත් ඒ සම්බන්ධයෙන් පියවර ගන්නා බව රොෂාන් රාජදුරේ මහතා වැඩිදුරටත් කියා සිටියි.



වැලි ජාවාරම්කරුවන් තිදෙනෙක් දැලේ

නීති විරෝධි අයුරින් වැලි ජාවාරමේ නිරත වූ පුද්ගලයින් තිදෙනෙකු ගොඩකවෙල පල්ලෙබැද්ද ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

උඩවලව පොලිස් විශේෂ කාර්යය බලකායට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ වැටලීමක දී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.


එහිදි වැලි කියුබ් 01ක් සහිත ටිපර් රථයක් පොලිස් විශේෂ කාර්යය බලකාය භාරයට ගෙන තිබේ.


සැකකරුවන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ගොඩකවෙල පොලිස් ස්ථානය වෙත බාරදී තිබේ.



රන් කැබලි තොගයක් රේගුවේ හිරවෙයි

නීති විරෝධීව රත්‍රං තොගයක් රැගෙන ඩුබායි හි සිට පැමිණි පුද්ගලයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමකට ලැබුණු තොරතුරකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වෙයි.


සැකකරු පරීක්ෂා කිරිමේ දී ඔහු පැළඳ සිටි බඳ පටියේ සඟවා තිබු රන් කැබලි 20 ක් සොයා ගෙන තිබේ.


එම රත්‍රං වල බර කිලෝ ග්‍රෑම් 2 ක් පමණ වන බව පොලිසිය සඳහන් කළේය.


අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ 12, හුසේනියා වීදිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු වැඩිදුර විමර්ශන සඳහා රේගු කාර්යාලය වෙත බාර දි තිබේ.



මනුසත් දෙරණ මීරියබැද්දට

හල්දුම්මුල්ල, මීරියබැද්ද වත්ත ප්‍රදේශය නායයෑම හේතුවෙන් මේ වන විට අවතැන් වී සිටින පුද්ගලයින් සඳහා දෙරණ මාධ්‍ය ජාලය මගින් මෙහෙයවනු ලබන මනුසත් දෙරණ සමාජ සත්කාරක වැඩසටහන ක්‍රියාත්මක කර තිබේ.

ඊයේ(29) දිනයේදී මීරියබැද්ද වත්ත ප්‍රදේශයේ සිදුවු අවාසනාවන්ත සිදුවීමෙන් පසු මේ වන විට අවතැන් වු පුද්ගලයින් ස්ථාන කිහිපයකම රඳවා ඇති අතර ඔවුන් ‍වෙනුවෙන් අධාර උපකාර කිරීම සඳහා හෙට දිනයේදී මනුසත් දෙරණ කණ්ඩායම අදාළ ප්‍රදේශයට පිටත්ව යෑමට නියමිතය.


අවතැන් වු පුද්ගලයින් වෙනුවෙන් ඔබට අධාර සැපයීමට හැකි අතර ඒ සඳහා 077 070 100 යන දුරකථන අංකය ඔස්සේ අමතා අධාර කිරීමට ඉඩ ප්‍රස්ථාව මනුසත් දෙරණ කණ්ඩායම විසින් සලස්වා දී තිබේ.


එසේමත් නොමැතිනම් අංක 320. ටී.බී. ජයා මාවත, කොළඹ 10 යන ලිපිනයෙහි පිහිටි අපගේ ප්‍රධාන කාර්යාලයට වෙත වියළි අත්‍යවශ්‍ය භාණ්ඩ පමණක් බාරදිය හැකිය.


ඊයේ උදෑසන සිදුවු අදාළ ඛේදවාචකය හේතුවෙන් මේ වන විටත් 818ක පිරිසක් අවතැන් වී සිටින බවත්, එම පිරිස අවතැන් කඳවුරු දෙකක මේ වන විට රඳවා ඇති බවත් වාර්තා වෙයි.



කොළඹට හෙට වතුර නැහැ

හෙට(31) දිනයේ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

මට්ටක්කුලිය, මෝදර, මුතුවැල්ල, මාදම්පිටිය, මහවත්ත, කොටහේන, ග්‍රෑන්ඩ්පාස්, බ්ලුමැන්ඩල් පාර, ජෝර්ජ් ආර් ද සිල්වා මාවත සහ ඊට සම්බන්ධ සියළු අතුරු මාර්ගවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය සඳහන් කළේය.


හෙට රාත්‍රී 09.00 සිට පසුදින රාත්‍රී 09.00 තෙක් පැය 24 ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට නියමිතය.


මහ කොළඹ ජල පුනරුත්තාපන ව්‍යාපෘතිය යටතේ සිදු කෙරෙන නව ජලනල එළීමක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව සඳහන් වෙයි.



ධීවර වෙස්ගත් කුඩු ජාවාරමක් - 8ට මරණ දඬුවම්

ධීවරයින් ලෙස වෙස්ගෙන ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර මහා පරිමාණ මත්කුඩු ජාවාරමක් සිදුකළ බවට අධිකරණයෙන් වරදකරුවන් වූ පුද්ගලයින් අට දෙනෙකුට මරණීය දඬුවම් නියම කර තිබේ.

අද(30) කොළඹ මහ අධිකරණ විනිසුරු ප්‍රීති පත්මන් සුරියසේන මහතා විසින් අදාළ තීන්දුව ලබා දී ඇති බව අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.


මරණීය දඬුවම් නියම් වු පුද්ගලයින් අතර ඉන්දීය ජාතිකයින් 5 දෙනෙකු සහ ශ්‍රී ලංකික ජාතිකයින් තිදෙනෙකු සිටින බව වැඩිදුරටත් සඳහන් වෙයි.



හල්දුම්මුල්ල ඛේදවාචකයේ වගකීම කාටද?

හල්දුම්මුල්ල, කොස්ලන්න පෙ‍දෙස නායයාමෙන් සිදුවුණු ඛේදවාචකයේ වගකීම එම ජනතාව මතම පැටවීමේ උත්සාහයක් ක්‍රියාත්මක වන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

එම පක්ෂයේ දේශපාලන මණ්ඩලය විසින් නිකුත් කරන ලද නිවේදනයක මේ බව දැක්වෙයි.


එකී නිවේදනයේ මෙසේද සඳහන්ය.


හල්දුම්මුල්ල කොස්ලන්ද ප‍්‍රදේශයේ මීරියබැද්ද ග‍්‍රාමයේ ඊයේ (29) උදෑසන සිදුවූ දරුණු නායයාම හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 10කට වැඩි පිරිසක් මියගොස් 150කට ආසන්න පිරිසක් අතුරුදහන් වී තිබේ.


මෙම ව්‍යසනය හේතුවෙන් මියගිය අයගේ ඥාතීන් වෙත සාතිශය සංවේගය පළ කරන අපි තුවාල ලැබූවන්ට ඉක්මන් සුව ප‍්‍රාර්ථනා කරමු. එසේම විපතට පත්වූවන්ගේ පවුල්වලට සහන සැලසීමට අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා ලෙසටත් මේ වන විට අවදානම් ලෙස හඳුනාගෙන ඇති සියලූ ස්ථානවල පදිංචි ජනතාවට කඩිනමින් ආරක්ෂාකාරී ස්ථාන ලබාදෙන ලෙසටත් අපි ආණ්ඩුවට බලකර සිටිමු.


නායයෑම ස්වාභාවික විපතක් ලෙස සලකනු ලැබුවද පූර්ව පරීක්ෂාකාරීවීම් මගින් ජීවිත හානි සිදුවීම අවම කරගත හැකි බව පොදු පිළිගැනීමයි. ආණ්ඩුවේ ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසන්නේ 2004දී සහ 2011දී හල්දුම්මුල්ල මීරියබැද්ද ප‍්‍රදේශය නාය යා හැකි බැවින් එම ප‍්‍රදේශයෙන් ජනතාව ඉවත් කිරීමට පියවර ගන්නා ලෙසට ප‍්‍රාදේශීය බලධාරීන්ට දැනුම්දී තිබූ බවය.


මෙම ව්‍යසනකාරී සිදුවීම විසින් පෙන්වා දෙන්නේ ඒ කිසිවක් කි‍්‍රයාවට නොනැගුණු බවත් ඒ වෙනුවෙන් පුද්ගලයින් සිය ගණනකට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවූ බවත්ය.


මේ අතර ආණ්ඩුවේ විවිධ පාර්ශව වෙතින් ප‍්‍රකාශයට පත්වන්නේ මෙම ප‍්‍රදේශය අනතුරුදායක බැවින් ඔවුන්ට එම ප‍්‍රදේශයෙන් ඉවත් වන ලෙසට පූර්වයෙන් දැනුම් දී තිබූ බවය. ඒ අනුව හැඟෙන්නේ, සිදුවූ විනාශයේ වගකීම පස් යට වැළළුණු ජනතාව විසින්ම භාරගත යුතුව ඇති බවකි. එහෙත් මෙසේ පවසමින් ආණ්ඩුවට වගකීමෙන් පලා යා නොහැකිය.


ජනතාවට ඉවත්වන ලෙසට අනතුරු ඇඟවූවද ඔවුන්ට එසේ යාමට වෙනත් ස්ථානයක් නැත. මෙම අනාරක්ෂිත ජනතාව සුරක්ෂිත යැයි හඳුනා ගන්නා ලද ස්ථානවල ස්ථීරව පදිංචි කරවීමද තමන්ට අයත් වගකීමක් බව වගකිවයුත්තන්ට නොවැටහීම පුදුමයකි.


තවමත් මධ්‍ය කඳුකරයට අධික වැසි ලැබෙමින් ඇති අතර අදූරදර්ශී විවිධ මානව ක‍්‍රියාකාරකම් හේතුවෙන් අනාරක්ෂිත වූ තව තවත් භූමිභාගයන් නායයෑමේ අවදානම ඉහළ යමින් තිබේ. මේ අනුව නායයෑමේ අවදානම ඇති අනාරක්ෂිත ස්ථානවල පදිංචි ජනතාව ඒවායින් ඉවත්කර ආරක්ෂිත භූමිභාගයන්හි පදිංචි කරවීම නොපමාව සිදු කළ යුතුය.


කෙසේ වුවද පදිංචිකරුවන්ගේ ආර්ථික හා සමාජීය ජීවිතය ගැටගැසී ඇත්තේ ඔවුන් කාලයක් පදිංචි වී සිටි ස්ථානවලටය. එබැවින් එම කරුණුවලටද සැලකිල්ල යොමුකරමින් මෙම නැවත පදිංචිකරවීම් තිරසාර වැඩපිළිවෙළක් අනුව කි‍්‍රයාත්මක කළ යුතුව තිබේ. එසේ නොකොට විපතකින් පසු වැළළුණු මිනිසුන් මත වරද පැටවීමට උත්සාහ කිරීම ශිෂ්ටසම්පන්න ක‍්‍රියාවක් නොවන බවද අපි ආණ්ඩුවට අවධාරණය කරමු.



නුවරඑළියේ පවුල් 337ක් ඉවත් කරයි

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ දැණුම්දීමක් මත නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ නායයෑමේ අවදානමක් ඇති ස්ථාන කීපයක පවුල් 337ක් එම ස්ථාන වලින් ඉවත් කර තිබේ.

ඒ අනුව පුද්ගලයින් 1200ක පිරිසක් අදාළ ප්‍රදේශවලින් ඉවත් කළ බව වාර්තා වෙයි.


නුවරඑළිය දිස්ත‍්‍රික් ලේකම් ඩී.පී.ජී. කුමාරසිරි මහතා සඳහන් කළේ කොත්මලේ, වැවන්ඩන් ප්‍රදේශයෙත්, වළපනේ, ලිඩස්ඩීන් වත්ත ප්‍රදේශයේත්, නුවරඑළිය ලිපකැලේ ප්‍රදේශයෙත් ජීවත්ව සිටි පුද්ගලයින් මෙලෙස එම ස්ථාන වලින් ඉවත් කළ බවයි.


අදාළ ප්‍රදේශයෙන් ඉවත් කරන ලද පුද්ගලයින් මේ වන විට තාවකාලික ස්ථාන තුනක රඳවා ඇති බවද ඒ මහතා අද දෙරණට වැඩිදුරටත් සඳහන් කර සිටියේය.



සහන සැලසීමට ඉන්දියාව සූදානම්

කොස්ලන්ද - හල්දුම්මුල්ල,මීරියබැද්ද වත්ත පෙදෙසේ නායයාම හේතුවෙන් පීඩාවට පත් ජනයාට සහන සැලසීමට සූදානම් බව ඉන්දියාව පවසයි.

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් වයි.කේ සිංහා විසින් විදෙස් කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතාට දුරකථන ඇමතුමක් ලබාදෙමින් මේ බව සඳහන් කර තිබේ.



දෙමටගොඩ පුද්ගල ඝාතනයක්

දෙමටගොඩ 65 වත්ත ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබේ.

මෝටර් රථයකින් පැමිණි නාඳුනන පිරිසක් අද(30) පෙරවරුවේ අදාළ පුද්ගලයාට තියුණු ආයුධයකින් පහරදී පළාගොස් ඇති බව පොලිසිය පැවසුවේය.


බරපතළ තුවාල ලැබු පුද්ගලයා ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.


මෙලෙස මියගොස් ඇත්තේ දෙමටගොඩ 65 වත්ත ප්‍රදේශයේම පදිංචිව සිටි 39 හැවිරිදි පුද්ගලයෙකි.


සිද්ධිය සම්බන්ධ සැකකරුවන් හඳුනාගෙන නොමැති අතර දෙමටගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.



ජනපති මීරියබැද්දට පැමිණෙයි

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හෙළිකොප්ටර් යානයකින් කොස්ලන්ද - හල්දුම්මුල්ල, මීරියබැද්ද පෙදෙසට ගොඩබැස්ස බව අද දෙරණ වාර්තාකරු පවසයි.

නායයාම හේතුවෙන් පීඩාවට පත් ජනතාව ගැන සොයාබැලීම හා කඩිනම් සහනසේවා සැපයීම විධිමත් කිරීම මෙම සංචාරයේ අරමුණ බැව් සඳහන්ය.


මෙම පෙදෙසේ මේවන විට වාර්තාවන තොරතුරු වලට අනුව වතු නිවාස 120 ක් පමණ යටවී ඇති අතර අතුරුදහන් වූවන් සොයා මෙහෙයුම් ආරම්භ කර තිබේ.



මීරියබැද්දේ මෙහෙයුම් යළි අරඹයි - 818 ක් අවතැන්

හල්දුම්මුල්ල, කොස්ලන්ද මීරියබැද්ද වත්ත ප්‍රදේශයේ සිදුවු නායයෑමෙන් අතුරුදන් වු පුද්ගලයින් සෙවීමේ කටයුතු අද(30) දිනයේ යළි ආරම්භ කර තිබේ.

මේ වන විට අදාළ ප්‍රදේශය කාලගුණික තත්ත්වය යහපත් මට්ටමකින් පවතින බව සඳහන් වෙයි.


ඊයේ(29) පස්වරුවේ පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙහෙයුම් කටයුතු තාවකාලිකව නතර කරනු ලැබුණි.


එසේම මේ වන විට අවතැන් වූ පුද්ගලයින් 818 දෙනෙකු සිටින බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකාරක එම්.එල්. උදයකුමාර මහතා අද දෙරණට පැවසුවේය.


තවද අවතැන් වූ පුද්ගලයින් අතරින් පවුල් 146 ක පුද්ගලයින් 518 දෙනෙකු කොස්ලන්ද දෙමළ විද්‍යාලයේ සිටින බවත්, පවුල් 97ක පුද්ගලයින් 300 දෙනෙකු පූනාගල දෙමළ මහා විද්‍යාලයේ සිටින බවත් ඒ මහතා සඳහන් කර සිටියේය.


එම පුද්ගලයින් සඳහා මේ වන විටත් අහාරපාන ආදිය රජය මෙන්න රාජ්‍ය නොවන ආයතනද එක්ව ලබාදෙමින් සිටින බවද වාර්තා වෙයි.


අතුරුදන් වූවන් සෙවීමේ කටයුතු සඳහා යුධ හමුදා නිලධාරීන් පන්සිය දෙනෙකු පමණ යොදවා ඇත.


මීරියබැද්ද ප්‍ර දේශයේ ඊයේ පෙරවරුවේ ඇති වු නායයෑම් තත්ත්වය හේතුවෙන් වතු නිවාස 120ක් පමණ යටවී තිබුණි.


එසේම ඊයේ දීනයේදී අදාළ ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුම් වලදී පුද්ගල මළ සිරුර 10ක් සොයා ගැනීමට හැකි විය.



රට මල් පැල රේගුවේ හිරවෙයි

තායිලන්තයේ බැංකොක් නුවර සිට නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වු මල් පැල තොගයක් සමඟ පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ(29) රාත්‍රී 11.30ට පමණ දිවයිනට පැමිණි ගම්පහ ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.


එහිදි සැකකරු සතුව තිබී ඇනතූරියම්, ඕකිඩ් තවත් මල් පැල කිහිපයක් සොයාගෙන තිබේ.


සැකකරු සම්බන්ධයෙන් ගුවන් තොටුපොළ රේගුව වැඩිදුර විමර්ශන සිදුකරයි.



මානසික රෝග සංගණනයක් ක්‍රියාත්මකයි

මෙරට සිටින මානසික රෝගීන් හඳුනාගැනීම සඳහා සංගණනයක් සිදුකිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ මානසික සෞඛ්‍ය ඒකකය විසින් මෙම සංගණනය සිදුකිරීමට නියමිතය.


මෙරට සිටින මානසික රෝගීන් සංඛ්‍යාව සහ මානසික රෝග වර්ග පිළිබඳව හඳුනාගැනීම මෙම සංගණනයේ අරමුණය.


සංගණනයට අදාළ මූලික කටයුතු වන ප්‍රශ්න මාලාව සකස් කිරීම මේ දිනවල සිදුවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.


ප්‍රශ්න මාලාව සකස් කිරීමෙන් අනතුරුව කොළඹ දිස්ත්‍රික්කය තුළ මෙම සංගණනයට අදාළ අත්හදා බැලීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.


ලබන වසරේ දී මෙම සංගණනය දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.



දිස්ත්‍රික් 6ක් නායයෑමේ අවදානමක

පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ දිවයිනේ දිස්ත්‍රික්ක 06 ට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ බදුල්ල, මහනුවර, නුවරඑළිය, රත්නපුර, මාතලේ කළුතර යන දිස්ත්‍රික්ක සඳහා මෙම නායයැමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි.


පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් පස්කඳු කඩා වැටීම්, ඉවුරු කඩාවැටීම් සහ ගල් පෙරළීම් වැනි දෑ සිදුවිය හැකි බැවින් ඒ පිළිබඳ අදාළ දිස්ත්‍රික්වල ජනතාව වැඩි අවධානයක් යොමුකළ යුතු බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේය.


මේ අතර , නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවල මාර්ග කිහිපයක් ද නායයෑමේ අවදානම් සහිත මාර්ග ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ප්‍රකාශයට පත් කර තිබේ.



දරුවා පැහැරගත් හිමිනම අපරාධයකට සම්බන්ධයිලු

හොරණ ප්‍රදේශයේ බාලවයස්කාර දරුවෙකු පැහැරගත් බවට චෝදනා ලැබ රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින හිමිනම මනුෂ්‍ය ඝාතනයකට ද සම්බන්ධ බව පොලිසිය පවසයි.

අදාළ හිමිනම විසින් පසුගිය 23 වන දා 09 හැවිරිදි දරුවෙකු පැහැරගෙන ගොස් තිබු අතර එම දරුවා අනුරාධපුර ප්‍රදේශයේ දී පොලිසිය විසින් සොයා ගනු ලැබුණි.


මේ අතර අදාළ හිමිනම පසුගිය 20 වන දා අරලගන්විල ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට මුඟුරකින් පහරදී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.


පහරකෑමෙන් බරපතළ තුවාල ලැබු පුද්ගලයා අනුරාධපුර මහරෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද අළුයම මියගොස් තිබේ.


මියගොස් ඇත්තේ 60 හැවිරිදි අරලගන්විල,යාය 05 ශ්‍රී විසුද්ධාරාමයේ නැවති සිටි අයෙකෙි.


සැකකාර හිමිනම මෙම සිද්ධිය සඳහා ද අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.



විපතට පත් ජනතාවට ජනපති සිය සංවේගය පළකරයි

මීරියබැද්ද ප්‍රදේශයේ සිදුවු නායයෑමෙන් විපතට පත්වු ජනතාවට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය සංවේගය පළකර තිබේ.

විපත පිළිබඳ දැනගත් විගස ජනාධිපතිවරයා එම ජනතාව මුදා ගැනීමේ කටයුතු සහ සහන සැලසීමේ කටයුතු කඩිනමින් සිදු කරන ලෙස අදාළ අංශ දැනුවත් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.


විපතට පත්ව සිටින වතු ජනතාව පිළිබඳ සොයා බැලීම සඳහා අමාත්‍ය තොණ්ඩමන් මහතා ද ගුවන් මගින් එම ස්ථානයට පිටත්කර යැවීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබේ.


උත්සව කිහිපයකට සහභාගී වීම සඳහා ත්‍රිකුණාමලයට ගොස් සිටින ජනාධිපතිවරයා එම සෑම අවස්ථාවක දීම එම සිදුවීම පිළිබඳව සංවේගය පළකර ඇති බව සඳහන් වෙයි.



හල්දුම්මුල්ල පාසල් 4ක් තාවකාලිකව වසාදමයි

හල්දුම්මුල්ල අධ්‍යාපන කොට්ඨාසයට අයත් පාසල් 4ක් තාවකාලිකව වසා තැබීමට තීරණය කර තිබේ.

ඒ අනුව අම්පිටි කන්ද ක.වි,කොස්ලන්න දෙමළ මහා විද්‍යාලය,පූනාගල දෙමළ මහා විද්‍යාලය හා ක්‍රේක් විද්‍යාලය ලබන සඳුදා(03)වනතුරු වසාතබන ලෙස ප්‍රධාන අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් එස්.පී අඹන්වල මහත්මියට උපදෙස් ලබාදී ඇත.


නායයාම් හේතුවෙන් ඇතිවූ හදිසි ආපදා තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇති බව සඳහන්ය.



ගුරුවරියක් දුෂණයකර මරලා - පාසල් සිසුවා පොලිස් දැලේ

පේරාදෙණිය, කිරිබත්කුඹුර ප්‍රදේශයේ දී පෙර පාසල් ගුරුවරියක ඝාතනය කළ පාසල් සිසුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ පෙර පාසල් ගුරුවරිය සමඟ ඇති කරගත් බහින් බස්වීමක් දුරදිගයාම හේතුවෙන් මෙම ඝාතනය සිදුකර ඇති බව පොලිසිය පැවසුවේය.


ගුරුවරිය බැනවැදීම හේතුයෙන් කෝපයට පත් වු සිසුවා ඇයව දූෂණය කර ගෙල මිරිකා ඝාතනය කර ඇති බව වාර්තා වෙයි.


ඝාතනයට ලක්ව ඇත්තේ 74 හැවිරිදි ගුරුවරියක් වන අතර ඝාතනයට සම්බන්ධ සිසුවා 17 හැවිරිදි අයෙකු බව පොලිසිය පැවසුවේය.


මේ සම්බන්ධයෙන් පේරාදෙණිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.



බිරිඳගේ ගෙල කපා බාල්කයේ එල්ලුණු සැමියා මරුට

ගාල්ල, හබරාදුව කළුගල, ග‍්‍රාමීය රෝහල අසළ නිවසක පදිංචිව සිටි අඹුසැමි යුවළක් අතර වූ ආරවුලක් දුරදිග යාමෙන් බිරිඳගේ ගෙල කපා සැමියා සියදිවි හානිකරගෙන තිබේ.

අද (29) දහවල් සැමියා විසින් සිය බිරිඳ ගේ ගෙල පිහියකින් කපා ඔහු නිවසේ බාල්කයේ ගෙල වැලලාගෙන මියගොස් ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.


පහරකෑමට ලක්වූ ස්ත්‍රීයගේ ගෙල පෙදෙසට බරපතල තුවාළ සිදුවී ඇති බවත්, ඇය මීට ස්වල්ප වේලාවකට පෙර ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවත් සඳහන්ය.


අඹුසැමි යුවළ අතර, දීර්ඝ කාලයක සිට මත ගැටුම් හා රණ්ඩු සරුවල් පැවති බව අසල්වැසියෝ පවසති.


ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ගම්වැසියන් මහතුන් ලෙස හඳුන්වන පනස් වියැති කුලී වැඩ කිරීමෙන් ජීවිකාව සරිකරගත් පුද්ගලයෙකි.


ගාල්ල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන කාන්තාවගේ වයස අවුරුදු 45 කි.


සිද්ධිය සම්බන්ධයෙන් හබරාදුව පොලිසිය පරීක්ෂණ සිදු කරයි.



සුෂ්මාගෙන් ධීවරයින්ට පොරොන්දුවක්

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින ධීවර ගැටලුවට තාවකාලික විසඳුමක් ලබා දෙන බවට එරට විදේශ කටයුතු අමාත්‍ය සුෂ්මා ස්වරාජ් මහත්මිය පවසයි.

විදේශ අමාත්‍යවරිය සමඟ ඉන්දියාවේ ප්‍රාන්ත අමාත්‍ය පොන් රාධක්‍රිෂ්ණන් සිදුකළ සාකච්ඡාවකින් අනතුරුව සුෂ්මා ස්වරාජ් මෙම පොරොන්දුව ලබා දී ඇති බව සඳහන් වෙයි.


අදාළ සාකච්ඡාවේ දී විදේශ අමාත්‍යවරිය ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකා නාවික හමුදා බාරයේ පසුවන ඉන්දීය ධීවරයින් නිදහස් කිරීමට පියවර ගතහොත් අදාළ ගැටලුවට ස්ථිර විසඳුමක් ලබා ගත හැකි බවයි.


කෙසේ වෙතත් පොන් රාධක්‍රිෂ්ණන් අමත්‍යවරයා ගේ ඉල්ලීම සලකා බලා අදාළ ගැටලුවට කඩිනමින් තාවකාලික විසඳුමක් ලබා දීමට සුෂ්මා ස්වරාජ් පොරොන්දු වී තිබේ.



මීරියබැද්ද ගිලා බසියි - සහන කණ්ඩායම් පිටත්වෙයි

හල්දුම්මුල්ල, මීරියබැද්ද ප්‍රදේශය මේ වන විට නාය යමින් පවතින බව ආපදා කළමානාකරණ මධ්‍යස්ථානය පවසයි.

අදාළ ප්‍රදේශයේ සිටින ප්‍රදේශවාසීන්ගේ සහය සඳහා මේ වන විටත් මෙහෙයුම් ආරම්භ කර ඇති බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යාක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේය.



මාබෝලේ අනතුරකින් පුද්ගලයෙක් මරුදකියි

කොළඹ - මීගමුව ප්‍රධාන මාර්ගයේ මාබෝලේ ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

කොළඹ සිට මීගමුව බලා ධාවනය වු ලොරි රථයක් එම දිශාවටම ගමන් කළ පාපැදියක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය සඳහන් කළේය.


අනතුරෙන් පාපැදිකරු බරපතළ තුවාල ලබා ප්‍රතිකාර සඳහා රාගම රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ඔහු මියගොස් තිබේ.


මියගිය පුද්ගලයා කවුරුන්ද යන්න මෙතෙක් හඳුනාගෙන නොමැත.


අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද(29) වත්තල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



උඩරට දුම්රිය මග හිරවෙයි

උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා එල්ලවී තිබේ.

දුම්රිය පාලක මැදිරිය ප්‍රකාශ කළේ කොළම සිට බදුල්ල දක්වා ගමන්ගන්නා දුම්රිය බණ්ඩාරවෙල දක්වා සීමා කර ඇති බවයි.


බදුල්ල සිට කොටුව බලා ධාවනයවීමට නියමිත දුම්රිය බණ්ඩාරවෙල සිට ආරම්භ කෙරෙන බව දුම්රිය පාලක මැදිරිය කියා සිටියේය.


ඊයේ රාත්‍රී ඇල්ල දෙමෝදර අතර ප්‍රදේශයේ ගමන්කරමින් තිබු දුම්රියක එංජිමක් මතට පස්කන්දක් කඩාවැටී ඇති බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකාරක එම්.එල්.උදයකුමාර මහතා සඳහන් කළේය.


එහි පස් ඉවත් කර දුම්රිය ධාවනය යථා තත්ත්වය පත් කිරීමේ කටයුතු පොලිසිය සහ යුදහමුදා සහය ඇති ව සිදුකෙරෙන බව එම්.එල්.උදයකුමාර මහතා වැඩිදුරටත් කීවේය.



නැගෙනහිර හෙද වර්ජනය අත්හිටුවයි

අද පැවැත්වීමට තීරණය කර තිබු නැගෙනහිර පළාත් සෞඛ්‍ය හෙද වර්ජනය අවලංගු කළ බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති සමන් රත්නප්‍රි මහතා කියා සිටියේ නැගෙනහිර පළාත් බලධාරීන් සමඟ පැවති සාකච්ජා සාර්ථකවීම හේතුවෙන් වර්ජනය අවලංගු කළ බවයි.


දීර්ඝ කාලයක් තිස්සේ ඉල්ලීම් කළද විසඳුම් නොලැබුණු ගැටළු කිහිපයක් හේතුවෙන් අද දිනයේ මඩකළපුව හා ත්‍රීකුණාමලය දිස්ත්‍රීක්කවල සංකේත වැඩවර්ජනයක් දියත් කරන බව හෙද සංගමය විසින් මීට පෙරාතුව නිවේදනය කර තිබුණි.


කෙසේ වෙතත් ඊයේ පස්වරුවේ පැවති සාකච්ඡා වලින් පසුව දෙපාර්ශවය අතර ඇතිවූ යම් එකඟතාවයන් මත වර්ජනය අවලංගු කිරීමට පියවර ගත් බව රත්නප්‍රිය මහතා සඳහන් කළේය.



ශර්මා මහකොමසාරිස්වරුන් හමුවෙන්න නියමිතයි

පොදුරාජ්‍ය මණ්ඩලයීය සංවිධානයේ මහලේකම් කමලේෂ් ශර්මා මහතා මෙරට මණ්ඩලයීය රටවල මෙරට මහකොමසාරිස්වරුන් හමුවීමට නියමිතව තිබේ.

අද (29) පෙරවරුවේ මෙම හමුව සිදුවීමට නියමිත බව සඳහන්ය.


ඔහු ඊයේ පස්වරුවේ සිවිල් සංවිධාන නියෝජිතයින් හමුවි සාකච්ජාවක නිරතවිය.


ශ්‍රී ලංකාවේ පැවති පොදුරාජ්‍ය මණ්ඩලයීය සමුළුවේ ප්‍රගති සමාලෝචනය කිරීම කමලේෂ් ශර්මා මහතාගේ මෙරට සංචාරයේ අරමුණ බව කියැවෙයි.


ඔහු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද හමුවී සාකච්ජාවකද නිරත විය.


පසුගිය සෙනසුරාදා දිවයිනට පැමිණි කමලේෂ් ශර්මා මහතා අද පස්වරුවේ දිවයිනෙන් පිටත්වයාමට නියමිතය.



දුවන බව්සරයෙන් හොරට තෙල් ඇදලා - තිදෙනෙක් දැලේ

ඉන්ධන සංස්ථාවට අයත් බව්සරයකට ධාවනය සඳහා නිකුත් කර තිබූ ඉන්ධන සොරකම් කර අලෙවි කිරීමට උත්සහ කළ එම බව්සරයේ රියදුරු,රිය සහායකවරයා සහ ඉන්ධන මිලදී ගැනීම සිදු කළ සැකකරු මුන්දලම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (28) රාත්‍රීයේ මුන්දලම පොලිස් වසමේ පුලිච්චාකුලම ප්‍රදේශයේදී මෙම වැටලීම සිදු කර ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.


සැකකරුවන් විසින් අලෙවි කිරීම සදහා සුදානම් කර තිබුණු ඩීසල් ලීටර් 40 ක්ද පොලිස් බාරයට ගෙන ඇත.


ඒ සමගම ඉන්ධන ජාවාරමට යොදා ගත් පෙට්‍රල් ලීටර් 19,800 ක් අඩංගු බව්සරයක් සහ ත්‍රීරෝද රථයක්ද පොලිස් බාරයට ගෙන ඇති බව සඳහන්ය.


අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් කිරිදිවැල,පන්නල සහ පුලිච්චාකුලමේ පදිංචිකරුවන් බව පොලීසිය කියයි.


ඉන්ධන සංස්ථාවට අයත් බව්සර් වලින් අතර මගදී හොර රහසේ ඉන්ධන සොරකම් කර අලෙවි කිරීමේ ජාවාරමක් සම්බන්ධ තොරතුරු මුන්දලම පොලීසියට ලැබී තිබුණු අතර ඒ අනුව සිදු කරන ලද විමර්ශනයකින් පසුව මෙම වැටලීම සිදු කර ඇත.


අත්අඩංගුවට ගෙන ඇති බව්සරයේ ධාවනය සදහා පුරවා තිබූ ඉන්ධන ටැංකියෙන් මෙම ඉන්ධන සොරකම් කර ඇති බව පොලීසිය විසින් අනාවරණය කරගෙන තිබේ.


සැකකරුවන් පුත්තලම දිසා අධිකරණයටඉදිරිපත් කිරීමට නියමිතය.


මුන්දලම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලලිත් සදසිරි,රථ වාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක සුභසිංහ යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් විසින් මෙම වැටලීම සිදු කර ඇති බව අප වාර්තාකරු වැඩිදුරටත් කියා සිටියි.



මාර්ගය අවහිරයි

බණ්ඩාරවෙල-වැල්ලවාය මාර්ගයේ ඇල්ල,රාවණාඇල්ල පෙදෙසේ පස් කඳු කඩා වැටීමෙන් මාර්ගය අවහිර වී තිබේ.

එමනිසා රථ වාහන ගමනාගමනයට බාධා එල්ලවී ඇති බැවින් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය රියදුරන්ගෙන් ඉල්ලීමක් කරයි.



සරසවි සිසුන්ට ප්‍රහාර එල්ල කළ පුද්ගලයින්ට ඇප

බලංගොඩ, පඹහින්න මංසන්ධියේ දී සත්‍යග්‍රහයේ නිරත වු සබරගමුව විශ්වවිද්‍යාල සිසුන් පිරිසකට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි සැකකරුවන් 07 දෙනා ඇපමත මුදාහැර තිබේ.

බලංගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් ජී. ලලිත් කන්නන්ගර මහතා විසින් මෙම නියෝගය නිකුත් කර ඇති බව වාර්තා වෙයි.


ඔවුන් රුපියල් දෙලක්ෂ 50,000 බැගින් වු ශරීර ඇප මත මුදාහැරි බවයි අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.


සිද්ධියට අදාළ නඩුව ලබන වසරේ මාර්තු මස 10 වනදා යළි කැඳවීමට නියමිතය.



බැංකු කළමණාකරුගේ මුල්‍ය වංචාව හෙළිවෙයි

බදුල්ල විවිධ සේවා සමූපකාර සමිතියේ කැන්දගොල්ල බැංකු කළමණාකාරවරයා විසින් සිදුකළ බව කියන රුපියල් කෝටියකට වැඩි මූල්‍ය වංචාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශන ආරම්භ කර තිබේ.

රුක්මල් සුරවීර හේරත් නැමැති අදාළ පුද්ගලයා ව්‍යාජ අත්සන් යොදා ලිපි ලේඛන සකස්කර බැංකුවේ සමිතියට අයත් රුපියල් එක් කෝටි පන් ලක්ෂ 25,000 ක පමණ මුදලක් වංචා කර ඇති බව සඳහන් වෙයි.


මේ සම්බන්ධයෙන් බදුල්ල විවිධ සේවා සමූපකාර සමිතියේ සමාන්‍යාධිකාරිවරයා විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශන ආරම්භ කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පැවසුවේය.


විමර්ශනයට අනුව 2004 වසරේ සිට 2011 වසර දක්වා අදාළ පුද්ගලයා මෙම වංචාව සිදුකර ඇති බව අනාවරණය වී තිබේ.


සැකකරු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 31 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.


සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන සිදුකරයි.



හොඳම පොදු අපේක්ෂක මහින්දයි - හෙළ උරුමයේ යෝජනා පිළිගත යුතුයි

ජාතික හෙළ උරුමයේ යෝජනා ආණ්ඩුව විසින් පිළිගත යුතුව ඇති බව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලබොඩඅත්තේ ඥානසාර හිමි පවසයි.

ජනතා ආණ්ඩුව ජනතාවට කන්දිය යුතුව ඇති බවත්, මෙවැනි බලපෑම් නොකළහොත් ආණ්ඩුව ඉබාගාතේ යන බවත් උන්වහන්සේ කියා සිටියේ අද(28) කොළඹ පැවති මාධ්‍ය හමුකදීය.


සිංහල-බෞද්ධයන්ටද මේවන විට පීඩනය දැනෙන බැවින් තමන් ආණ්ඩුවට කියා සිටින්නේ ‘ළඟ නොබලා දුර බලන්න‘යයිද ඥානසාර හිමියන් සඳහන් කළේය.


‘අපි වවමු-රට නඟමු‘ යයි බෝඩ් අල්ලාගෙන ගියද තාමත් දඹුල්ලේ එළවළු කුණුවෙමින් පවත්නා බව උන්වහන්සේ පෙන්වාදුන්නේය.


අප රටේ සංවර්ධනය යනු අමෙරිකාවෙන් ණයට අරන් ඕස්ට්‍රේලියාවෙන් ඇපල් කෑමට සමාන බවත්, පාරවල් තැනීම ,ගොඩනැඟිලි තැනීම අතීතයේද සිදුකෙරුණු බවත් ඥානසාර හිමියන් අවධාරණය කළේය.


පොදු අපේක්ෂකයෙකු පිළිබඳ මතුවන කතිකාව පිළිබඳ මාධ්‍යවේදියෙකු විමසන ලද පැනයකට ප්‍රතිචාර දක්වමින් ඥානසාර හිමියන් කියා සිටියේ හැංගි මුත්තං කෙළින බවක් මිස තාමත් පොදු අපේක්ෂකයෙකු පැහැදිලිව දැකගත නොහැකි බවයි.


සන්ධානයෙන් තරඟ කරනුයේ මහින්ද රාජපක්ෂ මහතා බව දැනටමත් දන්නා බවත්, ඔහුගේ සුදු තැන් හා කළු තැන් හඳුනන බවත්, ඔහුට අභියෝග කළ හැකි උඩු රැවුළක් සහිත නියම පිරිමියෙකු දකින්නට නොමැති බවත් උන්වහන්සේ සඳහන් කළේය.


කවුරුන් හෝ මතුවෙතැයි අපේක්ෂාවෙන් මැද්දටවී තමන් සිටින බවත්, ඒ අර්ථයෙන් සන්සන්දනය කර බැලුවහොත් හොඳම පොදු අපේක්ෂකයා මහින්ද රාජපක්ෂ මහතාම බවත්, ඔහු වටේ ඔය කියන වර්ගයේ හැම කෙනෙකුම ඒකරාශිවී සිටින බවත් උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියේය.