නේපාලයට තවත් කණ්ඩායමක් පිටත්වීමට සුදානම්!

භූමිකම්පාවෙන් පීඩාවට පත්ව සිටින නේපාල වැසියන්ගේ සහන සේවා කටයුතු සඳහා   තවත් කණ්ඩායම් කිහිපයක්   එරටට යැවීමට සැලසුම් කර තිබේ.

අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ අදාළ කණ්ඩායම් ඉදිරි දින කිහිපය තුළ නේපාලය බලා  පිටත්ව යාමට නියමිත බවයි.
 
 භූමිකම්පාවෙන්  පීඩාවට පත්ව සිටින නේපාල වැසියන් සඳහා මෙරට පළමු සහන සේවා කණ්ඩායම පසුගිය ඉරිදා දින මෙරටින් පිටත්ව ගියේය.

ඔවුන් මේ වන විටත් අදාළ සහන සේවා කටයුතු ආරම්භ කර ඇති බව  අදාළ සහන සේවා  කණ්ඩායමේ නායක මේජර් ජනරාල් මෛත්‍රී ඩයස් මහතා සඳහන් කළේය.

 නේපාලයේ කත්මන්ඩු අගනුවරට කිලෝමීටර් 60ක් ඈතින් පිහිටි දොලල්ගාඩ් නම් දුෂ්කර ගම්මානයේ කුඩාරම්වල රැඳී සිටිමින්   සහන සේවා කටයුතු ආරම්භ කර ඇති බව ඔහු පවසයි.

 මේ අතර නේපාලයේ සිටින ශ්‍රී ලාංකිකයින් 51 දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණීමට තානාපති කාර්යාලයේ රැඳී සිටින බව වාර්තා වෙයි.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කළේ එම පිරිස සහන සේවා කණ්ඩායම රැගෙන ගිය ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් යානයෙන් මෙරටට  එවීමට පියවර ගන්නා බවයි.

Post a Comment