ඥානසාර හිමිගෙනුත් ප්‍රශ්න කරයි


බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් බුද්ධශාසන අමාත්‍යංශ‍ය යටතේ ක්‍රියාත්මක වන බව කියන ආගමික පොලිස් ඒකකය වෙත කැඳවා තිබේ.


පසුගිය 19 වැනිදා මාධ්‍ය හමුවකදී කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් එක්තරා ආගමික සංවිධානයක් විසින් කරන ලද පැමිණිල්ලකට අනූව උන්වහන්සේට ආගමික පොලිස් ඒකකය වෙත පැමිණෙන ලෙසට දැනුම්දීමක් කර ඇත.


ඒ අනූව උන්වහන්සේ මේවන විට එම ස්ථානයට ගොස් ඇති අතර අදාළ ප්‍රකාශය ගැන උන්වහන්සේගෙන් එහි නිලධාරීන් මේවන විට අදහස් ලබා ගනිමින් සිටින බව බොදුබල සේනා සංවිධානය කියයි.


බුද්ධශාසන අමාත්‍යංශ‍ය යටතේ පසුගිය රජය විසින් ආරම්භ කරන ලද ආගමික පොලිස් ඒකකය ඉවත් කෙරුණු බවක්ද පසුගිය දිනවල වාර්තා විය.


එසේ වුවද මේවන විට උන්හන්සේ අදාළ පොලිස් ඒකකයේ රැඳි සිටියි.



ධීවරයින්ට වෙඩි තැබීම ගැන අගමැති රනිල් කී කතාව හරි!


සීමාව උල්ලංඝණය කර මෙරට මුහුදු සීමාවේ මසුන් අල්ලන ධීවරයින්ට වෙඩි තැබීමට නාවික හමුදාවට අයිතියක් ඇති බවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෑතකදී කර තිබූ ප්‍රකාශයේ වරදක් නැති බවත්, එම ප්‍රකාශය අගය කරන බවත්, වඩමරාච්චි ධීවර සංගමය පවසයි.


එම සංගමයේ සභාපති අරුල්දාස් මහතා අද දෙරණ සමග පැවැති විශේෂ සම්මුඛ සාකච්ඡාවකදී මේ බව පැවසීය.


ඉන්දීය ධීවරයින් මසුන් මැරීමේදී තහනම් ආම්පන්න භාවිතා කරමින් එම කටයුතු සිදුකරන නිසා ශ්‍රී ලංකා ධීවරයින්ට මත්ස්‍ය සම්පත නෙළා ගැනීමට නොහැකි වී ඇති බව ඒ මහතා පෙන්වාදුන්නේය.


මේ නිසා ඔවුන්ට වසරකට දින ගණනක් මසුන් මැරීමට ඉඩදිය යුතු බවට ඉන්දු - ලංකා ධීවර සාකච්ඡාවලදී එකඟ වූ බව වාර්තා වුණත් එයද ඵලක් නොවන බව හෙතෙම පැවසීය.


වසරක් තුළ දින ගණනක් මුහුදේ මසුන් බෝවීමට ඉඩදීම සඳහා මසුන් නොමරන කාලයක් ප්‍රකාශයට පත් කරන බව පෙන්වාදුන් අරුල්දාස් මහතා ඉන්දීය ධීවරයින් එම නීති ද කඩා මසුන් මැරීම නිසා ඔවුන්ගේ මුහුදු සීමාවේ මසුන් හිඟ වී ඇතැයි පෙන්වාදුන්නේය.


මේ නිසා දැන් ඔවුන්ට අවශ්‍ය වී ඇත්තේ ශ්‍රී ලංකා මුහුදු සීමාවේ සිටින මත්ස්‍ය සම්පත ද නැති කර දැමීම බවත්, නාවික හමුදාව ද ඔවුන්ට මසුන් ඇල්ලීමට සහය දෙන බවටත්, හෙතෙම චෝදනා කළේය.


ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් ඉන්දීය ධීවරයින්ට හිරිහැර වන බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කළද එය අසත්‍යයක් බව පැවසූ අරුල්දාස් මහතා දෙරටේ බලධාරීන්ට මෙම ප්‍රශ්නය විසඳිය නොහැකි නම් “අපි මේ ප්‍රශ්නය විසඳා ගන්නම්” යැයිද කියා සිටියේය.


ශ්‍රී ලංකා මුහුදු සීමාවේ මසුන් මරන ඉන්දීය ධීවරයින්ට වෙඩි තැබීම වරදක් නැති බව මෑතකදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබූ අතර ඊට ඉන්දීය දේශපාලනඥයින්, ධීවර සංගම් වල අප්‍රසාදය එල්ල වී තිබිණ.


මේ නිසා යොදා ගත් ශ්‍රී ලංකා සංචාරය අවලංගු කරන්නැයිද ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩිගෙන් ප්‍රාන්ත දේශපාලනඥයින් ඉල්ලීම් කර තිබූ බව වාර්තා විය.


කෙසේ වුවද දෙරටේ ධීවර ගැටලුව ගැන ඉන්දු - ලංකා ධීවර සංගම් නියෝජිතයින් දිල්ලි හි පසුගියදා තෙවන වටයේ සාකච්ඡා පැවැත් වූ අතර එහිදී එකඟතා කිහිපයකට එළඹුණු බවද වාර්තා විණ.



නඩරාජා රවි රාජ් ඝාතනයට නාවික හමුදාවේ 3ක් අත්අඩංගුවේ


ද්‍රවිඩ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් නාවික හමුදා සාමාජිකයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.


පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියා සිටියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි.


අදාළ නාවික හමුදා සාමාජිකයින්ගෙන් දෙදෙනෙකු මේවන විට සේවයේ නැති අය බවත්, අනෙක් කෙනා තවදුරටත් සේවයේ නිරත අයෙකු බවත්, ඒ මහතා පැවසීය.


2006 නොවැම්බර් මස 10 වැනිදා නඩරාජා රවි රාජ් මන්ත්‍රීවරයා කොළඹදී වෙඩි තබා ඝාතනය කර තිබුණි.


මේ අතර පසුගියදා වත්තල පැවැති උත්සවයකදී මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ජෝන් අමරතුංග මහතා කියා තිබුණේ සන්ඩේ ලීඩර් පුවත්පතේ කතෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය හා රවිරාජ් ඝාතනය ගැන ඉදිරි දින කිහිපයේදී වැදගත් තොරතුරු හෙළි වනු ඇති බවකි.



මහින්දට අභූත චෝදනා එල්ල කරන අයට ස්තූතිවන්ත වෙනවා



ජේ.ආර් හෝ චන්ද්‍රිකා මෙන්ම මහමැතිවරණ කල්දමන්න‍ට මේ ආණ්ඩුව විසින් කටයුතු කරනු ලැබුවහොත් වීදි සටන් කරන බව පිවිතුරු හෙළඋරුමයේ නායක,බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

මේවන විට මහින්ද උණුසුම සිසිල් කිරීම සඳහා මැතිවරණය කල්දැමීමේ සැලසුම් සකස්කරමින් සිටින බව හෙතෙම කියා සිටියේ අද(30) කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.


කෙනෙක් මැරුණම 7 දවසේ දානෙ දෙන්නේ අඬ අඬා බවත්,3 මාසේ දානෙ දෙන්නේ මූණ එල්ලගෙන බවත්,අවුරුද්දෙ දානෙ දෙන්නේ හිනාවෙවී බවත් ඔහු සිහිපත් කළේය.


මහින්ද රාජපක්ෂ මහතා කරුණු 4ක් හේතුවෙන් එලෙස අමතක කළ නොහැකි බව ගම්මන්පිල මහතා පෙන්වා දුන්නේය.


පළමුවැනි කාරණය නම් එතුමා තාමත් ජනතාව හමුවෙමින්,අදහස් උදහස් බෙදාගනිමින් දේශපාලනය කිරීම බවත්,දෙවැන්න නම් මේ රජය දවසින් දවස තමන්ගේ නොහැකියාව පෙන්නුම් කරමින් සිටීම බවත් ඔහු අවධාරණය කළේය.


තෙවැනි කාරණය නම් ආණ්ඩුවේ ඉහළම තැන සිට පහලම උදවිය දක්වා පිරිස් රාජපක්ෂ මහතාට අභූත චෝදනා එල්ල කිරීම නිසා එතුමාගේ ජනප්‍රියත්වය හා එතුමා කෙරෙහිවන ජනතා ප්‍රසාදය තව තවත් වැඩිවීම බව ගම්මන්පිල මහතා සඳහන් කළේය.


ඒ නිසාම මහින්ද රාජපක්ෂ මහතාට ‍අභූත චෝදනා එල්ල කරන අයට ස්තූතිවන්ත වන බවද ඔහු කියා සිටියේය.


එසේම සිව් වන කාරණය නම් මහින්ද රාජපක්ෂ මහතා අමතක නොවන තැනට තමන් ඇතුළු විපක්ෂයේ පිරිස් දිගින් දිගටම ඔහු පිළිබඳ කතා කිරීම බව හෙතෙම අවධාරණය කළේය.


පළාත් පාලන ආයතන හීලෑ නොවුණහොත් ඒවා කොමසාරිස්වරයෙකු යටතට පත්කිරීමට සූදානමක් තිබුණු බවත්,එසේ කරනු ලැබුවහොත් ඊට එරෙහිව උසාවි යන බවට තමන් ප්‍රතිචාර දැක්වූ බැවින් ඊට බියවී අවසානයේ තව ටික කාලයක් නිල කාලය කල්දැමූ බව ගම්මන්පිල මහතා සඳහන් කළේය.


පළාත් පාලන ආයතන සම්බන්ධයෙන් ව්‍යවස්ථානුකූල බලය ඇත්තේ ප්‍රධාන අමාත්‍යවරයාට මිස මධ්‍යම රජයේ පළාත් පාලන ඇමතිවරයාට නොවන බවත්,මධ්‍යම රජයේ පළාත් පාලන ඇමතිවරයා නිකම් බෝඩ් ලෑල්ලක් පමණක් බවත් ඔහු අවධාරණය කළේය.


පළාත් සභාවල ප්‍රධාන අමාත්‍යවරුන් නීති විරෝධී ලෙස පත්කරමින් ආ ගමන බස්නාහිර පළාතෙන් නතර කිරීමට තමන්ට හැකිවූ බවත්,ඒ අනුව තමාට බලයක් නැති වග මධ්‍යම රජයේ පළාත් පාලන ඇමතිවරයා විසින් පිළිගෙන තනතුර අතහැරිය යුතු බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.



සා.පෙළ කඩඉම උඩින්ම ජයගත් අය මෙන්න



2014 අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයෙන් දිවයිනේ පළමු ස්ථානය ලබා ගැනීමට කොළඹ නාලන්දා විද්‍යාලයේ එල්. තරිඳු නිර්මාල් වික්‍රමසිංහ සමත්ව තිබේ.

දෙවන ස්ථානය ගම්පහ සිරිකුරුස විදුහලේ ඩබ්.ඒ සඳනි නවංජනා ජයවර්ධන සමත්ව ඇත.


තෙවන ස්ථානය සඳහා තිදෙනෙකු තේරීපත්ව ඇත.


03. ඩී.එස්.සී අමාෂි නිවර්තනා - විශාකා බාළිකා මහ විද්‍යාලය, කොළඹ.


03. එස්.ඒ නුවනි නෙත්සරණි - රත්නාවලි බාළිකා මහ විද්‍යාලය, ගම්පහ.


03. ගරුණි හංසපානී අබේසිංහ - මහමායා බාළිකා විද්‍යාලය, නුවර.


04. දෙව්නි රුවන්කා හේමසිංහ - විශාකා බාළිකා මහ විද්‍යාලය, කොළඹ.


05. ආර්.ඩබ්ලිව්. දිව්‍යාංජලි උත්තරා රාජපක්ෂ - දේවි බාළිකා මහ විද්‍යාලය, කොළඹ


හයවන ස්ථානය සඳහා ද තිදෙනෙකු තේරීපත්ව ඇත.


06. එච්.කේ රන්සික ලසත් ගුණසේකර - තර්ස්ටන් විද්‍යාලය, කොළඹ.


06. දිලිනි සඳුනිකා පළිහක්කාර - සුජාතා විද්‍යාලය, කොළඹ.


06. අංජන රුචිරංග අභයදීප මදුරසිංහ - මොරවක කීර්ති අබේවික්‍රම මධ්‍ය මහ විද්‍යාලය, මොරවක.



කබ්රාල්ගෙන් ප්‍රකාශ සටහන් කරගනියි


හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාගෙන් මේවන විට ප්‍රකාශයක් සටහන් කරගනිමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක,සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.


හෙජින් තෙල් ‍ගිවිසුමට අදාළව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් මෙම ප්‍රකාශය සටහන් කරගන්නා බවත්, අද (30)පෙ.ව 9.30 සිට එය සිදුකරන බවත් හෙතෙම සඳහන් කළේය.



පාසල් සිසුවා ගෙල වැලලාගනියි


අක්කරෙයිපත්තුව, පාලමුන ප්‍රදේශයේදී පාසල් ශිෂ්‍යයෙකු සියදිවි හානිකර ගෙන තිබේ.


මොහු සිය සහෝදරියගේ නිවසේ කාමරයක් තුළ ගෙල වැලලාගෙන ඇති බව වාර්තා වේ.


මියගොස් ඇත්තේ වයස අවුරුදු 13ක් වු පාලමුන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.


සිය පියා සමඟ ඇතිකරගත් අමනාපයක් හේතුවෙන් මෙලෙස සියදිවි හානිකරගෙන ඇති බව පොලිසිය සඳහන් කළේය.


මෘත ශරීරය මේ වනවිට අක්කරෙයිපත්තුව රෝහලේ තබා ඇති අතර පශ්චාත් මරණ පරික්ෂණය අද දින පැවැත්වීමට නියමිතය.


අක්කරෙයිපත්තුව පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.



අද සිට නොමිලේ වයි ෆයි

රජයේ දින සියයේ වැඩපිළිවෙළ යටතේ නොමිලේ අන්තර්ජාල පහසුකම් ලබාදිමේ කටයුතු අද දිනයේ සිට ආරම්භ වීමට නියමිතව තිබේ.

ඒ අනුව එහි සමාරම්භක උත්සවය කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් අද පෙරවරුවේ ආරම්භ වීමට නියමිතය.


අද දිනයේ දිවයින පුරා පිහිටි තවත් ස්ථාන 26කදී මෙම කටයුතු ආරම්භ කෙරෙන බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන නියෝජිත ආයතනය සඳහන් කළේය.



ෆුල් ෆේස් තහනමට එරෙහිවෙයි - ගාලු මු‍වදොරදී විරෝධයක්


ෆුල් ෆේස් හෙල්මට් තහනම් කිරිමට එරෙහිව යතුරුපැදිකරුවන් පිරිසක් අද(29) පෙරවරුවේ විරෝධතා ව්‍යාපාරයක නිරත වී තිබේ.


ගාලු මෝදර පිටිය ඉදිරිපිටට පැමිණි යතුරුපැදිකරුවන් අග්‍රාමාත්‍ය කාර්යාලය වෙත ගොස් අදාළ තහනමට එරෙහිව ලිපියක් බාර දී ඇති බව වාර්තාවෙයි.


අනතුරුව ඔවුන් නීතිය හා මහජන සාමය පිළිබඳ අමාත්‍ය ජෝන් අමරතුංග මහතාද මුණගැසි ඇති බව සඳහන්ය.



තවත් ව්‍යාජ නෝට්ටුක් මතුවෙයි


ව්‍යාජ මුදල් නෝට්ටුවක් ලඟ තබාගෙන සිටි පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.


හැටන් පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ සෝදිසියකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.


සැකකරු සතුව තිබී රුපියල් පන්දහසේ ව්‍යාජ මුදල් නෝට්ටුවක් සොයාගෙන තිබේ.


සැකකරු හතලිස් වැනි වියේ පසුවන මාතලේ ප්‍රදේශයේ පදිංචි කරුවකු බව සඳහන්ය.


ඔහු අද හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



ජනපති සොහොයුරා අභාවප්‍රාප්තවෙයි


පොරොවකින් පහරදීම නිසා බරපතළ තුවාල ලැබූ ජනපති සොහොයුරු ප්‍රියන්ත සිරිසේන මහතා (40) කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද අලුයම 3.50ට පමණ මියගොස් තිබේ.


පෙරේදා සවස 7ට පමණ එල්ල වූ මෙම ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ ඒ මහතා එදිනම කොළඹට රැගෙනවිත් පෞද්ගලික රෝහලකට ඇතුළත් කෙරිණ.


ඒ මහතාට පැය කිහිපයක ශල්‍ය කර්මයක්ද එහිදී සිදු කර තිබුණි.


එහෙත් අද අලුයම ඒ මහතා අභාවප්‍රාප්ත වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු ලබන මස 8 වැනිදා තෙක් රිමාන්ඩ් කිරීමට පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ නියෝග කරන ලදී.



ජනපති සොහොයුරුට පහරදුන් සැකකරු රිමාන්ඩ්


ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සොහොයුරු ප්‍රියන්ත සිරිසේන හෙවත් වැලිරාජුට පොරොවකින් පහරදීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.


සැකකරු අද පොළොන්නරුව මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන මස 8 වැනිදා තෙක් රිමාන්ඩ් බාරයේ තබන‍ ලෙසට මෙම නියෝගය ලබා දී ඇත.


ඊයේ සවස සිදුවූ මෙම ප්‍රහාරයෙන් තුවාල ලැබූ වැලිරාජු නැමැත්තා මේවන විට කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබයි.



පාසල් දැරිය පැහැරගෙන ගොස් දූෂ්‍ය කළ නරුම පියා පෝරකයට


වයස අවුරුදු 16 ක පාසල් දැරියක දූෂණය කර ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වරදකරු වූ පුද්ගලයෙකුට මාතර මහාධිකරණය විසින් මරණ දඬුවම නියම කර තිබේ.


මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා විසින් මෙම නියෝගය ලබා දුන් බව අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.


මෙලෙස මරණ දඬුවම් නියම වී ඇත්තේ 34 හැවිරිදි සිවුදරු පියෙකුට බව සඳහන්ය.


2007 වසරේ පෙබරවාරි මස 13 වන දින හෝ ඊට ආසන්න දිනයකදී පාසල නිමවී නිවස බලා යමින් සිටි අදාළ දැරිය පැහැරගෙන ගොස් දූෂණය කර ඝාතනය කිරීම සම්බන්ධයෙන් විත්තිකරුට එරෙහිව චෝදනා එල්ලවී තිබුණි.


අදාළ චෝදනා සාධාරණ සැකයෙන් තොරව සනාථ වී ඇති බවට නිගමනය කළ අධිකරණය විත්තිකරුට මරණ දඬුවම නියම කර තිබේ.



මාලකගේ ඉල්ලීම ප්‍රතික්ෂේපයි


හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක සිල්වා මහතා විසින් රාත්‍රී සමාජ ශාලා වෙත යාමට කළ ඉල්ලීම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.


බ්‍රිතාන්‍ය ජාතික යුවළකට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනගාර ගත කර සිටි මාලක සිල්වා මහතාට ඇප නියම කිරීමේදී කොන්දේසි දෙකක් අධිකරණය විසින් පනවා තිබුණි.


එක් ඇප කොන්දේසියක් පනවා තිබූ අතර තවත් ඇප කොන්දේසියක් අධිකරණය විසින් පනවා තිබිණ.


එම නියෝග ඉවත් කරන මෙන් මාලක සිල්වා මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.


රාත්‍රී සමාජ ශාලා වලට ඇතුළුවීම වළක්වාලමින් පැනවූ ඇප කොන්දේසිය ඉවත් කිරීම ප්‍රතික්ෂේප කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා පැවසුවේ අදාළ ඇප කොන්දේසිය සැකකරුගේ සහ සමාජයේ ආරක්ෂාව වෙනුවෙන් පනවා ඇති බවයි.


කෙසේ වෙතත් මහජනතාව ප්‍රසිද්ධියේ රැස්ව සිටින ස්ථාන වල ඔවුන් බියගන්වන ආකාරායන් හැසිරීම වළක්වාලමින් පනවා තිබූ ඇප කොන්දේසිය ඉවත් කිරීමට අධිකරණය තීරණය කළේය.



රොෂාන්ගෙන් - ගාමිණිගෙන් ප්‍රකාශ ගත්තා


හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ව සිටි ගාමිණි සෙනරත් හා හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි රොෂාන් ගුණතිලක මහත්වරුන්ගෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය ප්‍රකාශ ලබාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා කියයි.


ගාමිණි සෙනරත් මහතාගෙන් මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන්ද, රොෂාන් ගුණතිලක මහතාගෙන් ගුවන් හමුදාවට මිග් ප්‍රහාරක යානා මිලදී ගැනීමේ ගනුදෙනුවක් සම්බන්ධයෙන්ද එසේ ප්‍රශ්න කර ඇති බව ඒ මහතා පැවසීය.


අද පෙරවරුවේ එම කටයුතු සිදුවූ බව ඒ මහතා කීවේය.



ජනපති සොහොයුරු පෞද්ගලික රෝහලකට ඇතුළත් කෙරේ


පොරොවකින් පහරදීම හේතුවෙන් තුවාල ලබා කොළඹට රැගෙන එනු ලැබූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සොහොයුරු ප්‍රියන්ත සිරිසේන හෙවත් වැලිරාජු මීට ටික වේලාවකට පෙර කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කෙරිණ.


ඔහු මේවන විට එම රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබේ.



ජාත්‍යන්තර කුමන්ත‍්‍රණකරුවන් ශක්තිමත්



රත්නපුර අද පස්වරුවේ පැවැති ජනරැලියට මහින්ද රාජපක්ෂ මහතා විසින් එවන ලද සුබපැතුම් පණිවිඩයේ මේ බව සඳහන් වෙයි.

එකී සුබපැතුම වැඩිදුරටත් පහත පරිදිය.


ගෞරවනීය මහා සංඝයා වහන්ස/ පුජකතුමනි,

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායකවරුන් ප‍්‍රමුඛ

ගරු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුනි, පළාත්සභා මන්ත‍්‍රීවරුනි,

නගර සභා/ප‍්‍රාදේශිය සභා සභාපතිවරුනි, මන්ත‍්‍රීවරුනි,

ආදරණීය මිත‍්‍රවරුනි,


‘‘දිනූ නිදහස අනතුරේ’’ තේමාය යටතේ පළමුව නුගේගොඩදී ද අනතුරුව මහනුවරදී ද මම මෙලෙස ඔබට සුබ පැතුවෙමි. රුවන්පුරයට ඒකරාශී වූ දස දහස් සංඛාත ඔබට සුබ පැතීමට අද තෙවැනිවත් මා භාග්‍යවන්තයකුව සිටී.


මාගේ පළමු යුතුකම වනුයේ අප ආදරණිය මාතෘභූමියේ ඒකීයභාවය වෙනුවෙන් 2005 සිට වසර 10 කාලයක් මා සමග ඍජුව පෙනී සිටි මේ දුෂ්කර මොහොතේ ද මා අතනොහැර සිටින ඔබ සියළු දෙනා වෙත මාගේ කෘතවේදීත්වය ප‍්‍රකාශ කිරීමයි. මිත‍්‍රවරුනි මාතෘභූමියට ආදරය කළ ඔබ නොසිටියානම් නැසැකවම බෙදුම්වාදයට එරෙහි අරගලය පරාජය වීමට ඉඩ තිබුණි. දෙවැනිව අවලාද හා චරිත ඝාතන හා බොරු බේගල් ඇද බාමින් බෙදුම්වාදයේ සුරතලූන් වූ ඇතැම් විදේශ රාජ්‍ය දියක් කළ කුමන්ත‍්‍රණ හමුවේ පසු නොබැස පසුගිය ජනාධිපතිවරණයේ දී මා කෙරෙහි විශ්වාසය තැබූ ඔබ සියලූ දෙනා වෙත නැවත නැවතත් මාගේ ගෞරවය ප‍්‍රකාශ කොට සිටිමි.


මිත‍්‍රවරුනි, මේ ඓතිහාසික රුවන්පුරයේ කොළොන්න, රක්වාන, පැල්මඩුල්ල,නිවිතිගල,බලංගොඩ, කලවාන, ඇහැළියගොඩ හා රත්නපුර සියලූ මැතිවරණ කොට්ඨාසයන්හි ජයග‍්‍රහණය බුලත්කොළය මත සහතික කලේ ඔබ විසිනි. ජාතික මතවාදය සබරගමුවේ ආත්මගරුත්වය ද රැකගැනීමට කැප වූ ඔබ සියළු දෙනා මා හදවතේ සදානුස්මරණිය ලෙස තැන්පත්ව සිටින බව දැනුම් දීමට කැමැත්තෙමි.


එක්සත් ජාතික පක්‍ෂ හවුල් ආණ්ඩුවේ ජනතා විරෝධී පාලනය පෙරලා දැමීමේ මූලික අරමුණ පෙරදැරිව ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ආත්මගරුත්වය වෙනුවෙන් ද එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සහෝදරත්වය වෙනුවෙන් ද මා කෙරෙහි තිබෙන ලෙන්ගතු බව ප‍්‍රකාශ කිරීම සඳහා ද මෙහි රොක් වූ ඔබ සියළු දෙනා වෙත මාගේ නොසැලෙන මිත‍්‍රත්වය පුන පුනා ප‍්‍රකාශ කිරීම සඳහා ද මම මේ අවස්ථාව උපයෝගී කරගනිමි.


මිත‍්‍රවරුනි, අද රටේ ජනමතය කුමක් වුවද ජනවාරි 08 වැනිදා ජාත්‍යන්තර කුමන්ත‍්‍රණකරුවන් අපට වඩා ශක්තිමත් වූ බව අපි පිළිගත යුතුව තිබේ. එමෙන්ම මැතිවරණයෙන් පරාජය වුව ද අපි කිසිවෙකු දේශපාලනයෙන් පරාජය කළ නොහැකි බව සතුරාට අවධාරණය කළ යුතුව තිබේ. එසේම පරාජිතයන් වුව ද නිවටයන් නොවන බව අප සතුරාට ඔප්පු කළ යුතුව තිබේ. බෙදුම්වාදයේ රූකඩ හා හෙවනැලි ජාත්‍යන්තර තලයේ හෙල්මන් කරන මෙවැන් පසුබිමක අපි අපගේ අධිෂ්ඨානය වඩාත් මුවහත් කර ගත යුතුව තිබේ.


ලෝකයේ දියුණු සංවර්ධිත රාජ්‍යයක් වශයෙන් ගොඩනැගෙමින් තිබූ අප ආර්ථිකය මුළුමනින්ම පාහේ ඇනහිටීම පිළිබඳව ද අපි එක්සත් ජාතික පක්‍ෂ සභාග ආණ්ඩුවේ අවධානය යොමු කළ යුතුය. එයට එරෙහි වන බව ද රත්නපුරයේ සිට ඔබ හඩනගා ලෝකයාට පැවසිය යුතුය.


එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අප මිතුරන් මෙන්ම මෙහි රැස්ව සිටින අතිබහුතර ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ආදරණීය පාක්ෂිකයන් බව මම දනිමි. එදා ජයවර්ධන-පේ‍්‍රමදාස දුර්දාන්ත පාලනයට එරෙහිව ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය මුළු ගැන්වී සිටියදී කොළඹ සිට කතරගම දක්වා දියත් කළ පාද යාත‍්‍රාව මට අද මෙන් මතකය. කකුලේ දිය පට්ට කඩමින් අගුපිල වල නිදා ගනිමින් ගිය ඒ ඓතිහාසික ගමනේ මා සමීපයෙන්ම සිටි සගයකු වූ වාසුදේව නානායක්කාර සහෝදරයාට ගෞරවයක් වශයෙන් මෙනම් අඹිලිපිටිය මහ විදුහලේදී ඝාතනයට ලක් වූ දරුවන්ගේ ලේ තැවරුනු කමීස ඇදගෙන පෙළපාලි ගිය අඹිලිපිටිය මව්වරුන් හා පියවරුන් මම අද දවසේදී ගෞරවයෙන් සිහිපත් කරමි. දරුදුක කවියකට පෙරළා ඔවුන් පාදයාත‍්‍රාවේ රැගෙන ගිය බැනරය මට තාම මතකය.


‘මූණු සයකි අත් දොලසකි මයුරා පිට වාහනේ

රුහුණු රටේ කතරගමේ කදිර දේව සාමිනේ

මුණු බැදන් අපේ දරුවන් උස්සන් ගිය කාරණේ

වානු බැරිය සුන්කල මැන පේ‍්‍රමදාස පාලනේ’’


මිත‍්‍රවරුනි, අපි ශ‍්‍රී ලංකාවද ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයද රැකගැනීම සඳහා අප‍්‍රමාණව සටන් කළෙමු. එකී උත්සාහයන් කිසි ලෙසක අපතේ යාමට ඉඩ දිය යුතු නොවේ. අපගේ ජයග‍්‍රහණ ගැන මෙන්ම අපගේ අඩුපාඩු ගැනද අතපසුවීම් ගැනද ඉගෙන ගැනීම සඳහා සියළු දෙනා නිහතමානී විය යුතුය, අවංක විය යුතුය.


මව්බිමේ එකීයභාවය ද සංවර්ධනයද ආත්මගරුත්වයද අභිමානයද සුරකින නිවහල් ශ‍්‍රී ලංකාවක් ගොඩනැගීම සඳහාද ඒ වෙනුවෙන් කැපවෙන ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ගොඩනැගීම සඳහාද අපි එක්සත්ව ගමනු කරමු. ලෝක දේශපාලන සිතියමේ ඉහළින්ම අපගේ අභිමානවත් ජාතික ධජය ලෙලදිය හැකි දේශයක් ගොඩනැගීමේ උතුම් අරමුණ වෙනුවෙන් අපි එක්ව සටන් කරමු.


සියලූ දෙනාය සුභ අනාගතයක් වේවා

තෙරුවන් සරණයි

සියලූ දෙවි පිහිටයි


මහින්ද රාජපක්‍ෂ

හිටපු ජනාධිපති



ජනාධිපති සොහොයුරාට තියුණු ආයුධයකින් ප්‍රහාරයක් - ගුවන් මගින් කොළඹට!


ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ බාල සොහොයුරු පි‍්‍රයන්ත සිරිසේන මහතාට තියුණු ආයුධයකින් සිදුකළ පහරදීමක් හේතුවෙන් බරපතළ තුවාල ලබා තිබේ.


පොළොන්නරුව, බැදිවැව, හතරේ ඇළ ප‍්‍රදේශයේදී මෙම ප්‍රහාරය එල්ල වී ඇති බව පොලීසිය කියයි.


පොරොවකින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති අතර ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ ඒ මහතා මේ වනවිට පොළොන්නරුව රෝහලෙන් හිඟුරක්ගොඩ රෝහලට මාරු කර යවා ඇත.


ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා ගුවන් මගින් කොළඹට රැගෙන ඒමට නියමිත බව ද වාර්තා වේ.



මම ළඟදීම එනවා!


තමන්ට එරෙහි චෝදනා සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණ සඳහා සහය පළ කිරීමට ළඟදීම දිවයිනට පැමිණෙන බව හිටපු ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ මහතා කියයි.


දිවිනැඟුම දෙපාර්තමේන්තුවේ සිදුව ඇතැයි කියන මූල්‍ය අක්‍රමිකතා ගැන ප්‍රකාශයක් ලබා ගැනීමට බැසිල් රාජපක්ෂ මහතා දිවයිනට ගෙන්වා ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඊයේ කියා සිටි අතර ඒ අනූව අදාළ පරීක්ෂණවලට සහය පළ කිරීම සඳහා තමන් දිවයිනට පැමිණෙන බව ඒ මහතා අද දෙරණට කියා සිටියේය.


හිටපු ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ මහතා පසුගිය ජනවාරී 8 පැවැති ජනාධිපතිවරණයෙන් පසු අමෙරිකාව බලා පිටත්ව ගිය අතර සිය සොහොයුරාගේ මැතිවරණයේ පරාජයේ වගකීම ද බාරගන්නා බව නිවේදනයක් මගින් සඳහන් කර තිබිණ.



මත්කුඩු ළඟ තබාගත්තාට පෝරකයට යයි


හෙරොයින් ළඟ තබාගැනීමේ චෝදනාවට වරදකරු වූ පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණය මරණ දඬුවම නියම කර තිබේ.


හෙරොයින් ග්‍රෑම් 303.5ක් ළඟ තබාගැනීම සම්බන්ධයෙන් විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබුණි.


සිද්ධියට අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේ විත්තිතකරුට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වීම හේතුවෙන් ඔහුට මරණ දඬුවම නියම කිරීමට මහාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා තීරණය කළ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.


මෙලෙස මරණ දඬුවම නියම වී ඇත්තේ ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුට බව සඳහන්ය.



ඇවන්ට්ගාඩ් ලොක්කන්ගේ බැංකු ගිණුම් පිරික්සනු!


හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හා ඇවන්ට්ගාඩ් ආරක්ෂක සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සියලූම බැංකු ගිණුම් පරික්ෂා කරන ලෙසට ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.


ගාල්ල වරායේ තිබී සොයාගත් ඇවන්ට්ගාඩ් ආරක්ෂක සමාගම විසින් පවත්වාගෙන ගිය අවි ගබඩාව සම්බන්ධ නඩුව අද විභාගයට ගත් අවස්ථාවේදී ගාල්ල මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය ලබාදුන් බව අද දෙරණ වාර්තාකරු පැවසීය.


අදාළ අවි ගබඩාව සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණ සිදුකරගෙන යනු ලබයි.


ඔවුන් විසින් කරන ලද ඉල්ලීමක් අනුව අධිකරණය මගින් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇතුළු සිව් දෙනෙකුගේ විදේශ ගමන් බලපත්‍රද තාවකාලිකව අත්හිටුවීමට පසුගියදා නියෝග කර තිබිණ.


හිටපු නාවික හමුදාපති අද්මිරාල් සෝමතිලක දිසානායක මහතාද එලෙස විදේශ ගමන් බලපත්‍රය අත්හිටවූ අයෙගෙන් කෙනෙකි.



අනියම් සැමියාගේ ප්‍රහාරයෙන් කාන්තාවක් මරුට


පානදුර උතුර, කෙසෙල්වත්ත ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී කාන්තාවක ඝාතනය කර තිබේ.


ආරවුලක් දුරදිග යාම හේතුවෙන් ඇති වු ගැටුමක් මත අදාළ කාන්තාවගේ අනියම් පුරුෂයා විසින් පහරදීම සිදුකර ඇති බව පොලිසිය පැවසුවේය.


පහරදීමෙන් බරපතළ තුවාළ ලැබු කාන්තාව පානදුර මුලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් ඇත.


මියගොස් ඇත්තේ 38 හැවිරිදි කෙසෙල්වත්ත, දිග්ගලපාර ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවකි.



ජාතීන් අතර සමගිය ගොඩනැඟීමට කාර්යාලයක්


ජාතීන් අතර සමගිය ගොඩනැඟීම සඳහා වන කාර්යාලයක් ස්ථාපිත කිරීමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.


හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙම කාර්යාලය පිහිටුවීමට අපේක්ෂා කරන බව ඒ මහතා කියයි.



මෛත්‍රී චීනයට පා තබයි


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා චීනයේ බෙයිජින් නුවරට ළඟා වී තිබේ.


ජනාධිපතිවරයා සිව්දින නිළ සංචාරයක් සඳහා ඊයේ පස්වරුවේ දිවයිනෙන් පිටත්ව ගියේය.


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රමුඛ මෙරට දූත පිරිස චීනයේ විදේශ කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රමුඛ පිරිසක් විසින් හරසරින් පිළිගෙන ඇත.


ජනාධිපතිවරයා පිළිගැනීමේ නිල උත්සවය අද චීන ජනාධිපති ෂී ජින් පින් මහතාගේ ප්‍රධානත්වයෙන් චීන මහජන ශාලාවේදී පැවැත්වීමට නියමිතය.


දෙරටේ නායකයින් අතර ද්වී පාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමටද නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේය.


එමෙන්ම දෙරට අතර ගිවිසුම් කිහිපයකටද අත්සන් තැබීමට නියමිතය.


චීන ජනාධිපතිවරයා විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත විශේෂ දිවා භෝජන සංග්‍රහයක්ද සංවිධානය කර ඇත.


ජනාධිපතිවරයාගේ චීන සංචාරය අතරතුර චීන අගමැති ලී ක්වැන්ග් හා චීන මහජන ජාතික කොංග්‍රසයේ විධායක කමිටු සභාපති බෙජියැන් යන මහත්වරුන් හමු වී සාකච්ඡා කිරීමටද නියමිතය.



මේක පෙරහුරුවක් -ඡන්දෙන් පස්සේ මුළු පාර්ලිමේන්තුවම එකම ආණ්ඩුවක්


මේ පල්වුණු දේශපාලන ක්‍රමය සහ සංස්කෘතිය අවසන් කරමින් මේ රටට අලුත් දේශපාලන සංස්කෘතියක් හඳුන්වා දිය යුතුව ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.


ශ්‍රීලනිප මහලේකම් මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා ලෙස ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරමින් සියලු පාර්ශවයන් එක්ව සහයෝගය ලබාදුන්නේ ඒ අලුත් දේශපාලන සංස්කෘතිය නිර්මාණය කිරීමේ ආරම්භක පියවර ලෙස බව අග්‍රමාත්‍යවරයා පෙන්වාදෙයි.


ශ්‍රීලනිප මහලේකම්වරයාව රටේ ජනපතිකරවීම සඳහා එජාපය සහයෝගය ලබාදුන්නේ මේ රටේ පළමු වතාවට බව වික්‍රමසිංහ මහතා කියා සිටියේ අද(25)අරලියගහ මන්දිරයේ පැවති පළාත්පාලන නියෝජිතයින්ට යතුරුපැදි ලබාදීමේ උත්සව අවස්ථාවට එක්වීමෙන් අනතුරුවය.


ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට සහයදුන් ශ්‍රීලනිපය කැබිනට් මණ්ඩලය හා එක්වීමට තීරණය කිරීම ඉතා හොඳ කාරණයක් බවත්, ඔවුන්ට ආණ්ඩුව සමග එක්වන ලෙස ආරාධනා කරනු ලැබුවේ ඉකුත් ජනවාරියේදී බවත් හෙතෙම සඳහන් කළේය.


මේ ආකාරයට ඇතැම් පක්ෂ කැබිනට් ඇමතිධූර ලබාගෙන රජයේ කටයුතු කරන අය මෙන්ම එලෙස ලබානොගෙන විධායක සභාව නියෝජනය කරන පිරිස්ද සිටින බවත්, මේ සියලුදෙනා පෙරමුණු 3ක සිට කටයුතු කළද ප්‍රජාතන්ත්‍රවාදය හා යහපාලනය වෙනුවෙන් කටයුතුකිරීම ඉතා වැදගත් බවත් අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.


ඉදිරි මහමැතිවරණයෙන් පසුව සියලු පාර්ශවයන් එක්ව වැඩකටයුතු කිරීම සඳහා මෙම ක්‍රියාදාමය පෙරහුරුවක් වනු ඇති බවත්,මහමැතිවරණයෙන් පසු මුළු පාර්ලිමේන්තුවම එකම ආණ්ඩුවක් බවට පත්කරලීම තමාට අවශ්‍ය බවත් ඔහු පෙන්වාදුන්නේය.


එම අලුත් පාලන ක්‍රමයට යාම සඳහා මෙම අත්හදා බැලීම ඉතා අගනා බවත්,රටට ජනතාවට සෙතක් වන්නේ එවැනි අත්හදාබැලීම් තුළින් බවත් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.


ඒ අනුව ශ්‍රීලනිප ඇමතිවරුන් ආණ්ඩුවට එක්වී කැබිනට් මණ්ඩලය ලෙස දිවුරුම්දීම මෙන්ම පළාත්පාලන ආයතනවල මන්ත්‍රීවරුන් සියලුදෙනාටම පක්ෂ භේදයකින් තොරව යතුරුපැදි දී සමානව සැලකීම ඉතා වැදගත් වන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.



මිලියන 200 මධ්‍යසාර බද්දට එරෙහිව අතුරු තහනම් නියෝගයක්


මධ්‍යසාර සහ බීර නිෂ්පාදනය කරන සමාගම් වලින් මාසයකට රුපියල් මිලියන 200 ක බද්දක් අයකිරීම සඳහා නව රජය විසින් නිකුත් කළ ගැසට් පත්‍රය අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කර තිබේ.


මෙරට මධ්‍යසාර නිෂ්පාදකයින්ගෙන් මසකට රුපියල් මිලියන 200 ක බද්දක් අය කිරීමට නව රජයේ අතුරු අයවැය මගින් යෝජනා කර තිබීම හමුවේ තම සමාගම් අප්‍රේල් මාසයේ සිට වසා දැමීමට සිදුවන බව කුඩා පරිමාණයේ මධ්‍යසාර නිෂ්පාදකයින්ගේ සේවක සංගමය පසුගියදා සඳහන් තිබුණි.


ඔවුන් පැවසුවේ මෙරට මධ්‍යසාර වෙළඳ පොළ තුළ ක්‍රියාත්මක විශාල සමාගම් 04 කට මෙම බද්ද ගෙවීමේ ප්‍රශ්නයක් නොමැති වුවත් කුඩා ප්‍රමාණයේ සමාගම් 08 කට මෙම බද්ද ගෙවීමට නොහැකි බවයි.


මේ නිසා, මෙම බද්ද ක්‍රියාත්මක වන ලබන අප්‍රේල් මාසයේ සිට කුඩා පරිමාණයේ නිෂ්පාදනාගාර වසා දැමීමට සිදුවන බවත් මේ නිසා පවුල් 4000 කගේ පමණ ජීවනෝපාය අහිමිවන බවත් ඔවුන් අවධාරණය කළේය.

දේශීය මධ්‍යසාර වෙළඳ පොළින් සියයට 10 ක් පමණ මෙම කුඩා පරිමාණයේ සමාගම් අටට හිමි අතර සුරා බදු දෙපාර්තමේන්තුව විසින් පිරිනැමූ නීත්‍යානූකූල බලපත්‍රයක් මගින් මෙම සමාගම් ව්‍යාපාරික කටයුතු සිදු කරයි.


මෙරට මධ්‍යසාර වෙළඳ පොළින් සියයට 80 කට ආසන්න ප්‍රමාණයක් DCSL, IDL, Rockland, Mendis යන විශාල සමාගම් විසින් අත්පත් කරගෙන තිබෙන අතර මේ වනවිටත් මෙම සමාගම් වලින් සමහරක් මාසයකට රුපියල් මිලියන 200 කට වැඩි බදු ප්‍රමාණයක් රජයට ගෙවනු ලබයි.


මේ නිසා, ෆිච් රේටින්ග්ස් ජාත්‍යන්තර ණය වර්ගීකරණ ආයතනය පසුගියදා පැවසුවේ මෙම නව බද්ද නිසා කුඩා සමාගම් වැසීයාමේ ඉඩක් තිබුණත් විශාල සමාගම් 04 කට මෙයින් වාසියක් අත්වෙනු ඇති බවය.


මෙම බද්ද නිසා කුඩා පරිමාණයේ මධ්‍යසාර නිෂ්පාදන සමාගම් වැසී යද්දී එම වෙළඳ පොළ කොටසද විශාල සමාගම් හතරට අත්පත් කරගත හැකිබව ෆිට්ච් රේටින්ග්ස් සඳහන් කර තිබුණි.



හකුළාගත් ෆුල් ෆේස් යළි එයි



මේමස 21 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට තීරණය කර යළි හකුළාගනු ලැබූ ෆුල් ෆේස් හෙල්මට් නීතිය යළිත් අප්‍රේල් මස 02 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.

දිනෙන් දින සම‍ා‍ජය තුළ ඉහළ යන අපරාධ වලට මෙම හෙල්මට් භාවිතා කිරීම වැඩි වී ඇති බව හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පවසා තිබුණි.


ඒ අනූව මේ මස 21 වැනිදා සිට ෆුල් ෆේස් හෙල්මට් පැළඳීම නතර කළ යුතු බවට තීරණයක් ගන්නා ලදී.


එසේ වුවද යතුරු පැදිකරුවන්ගෙන් එල්ල වූ විරෝධය හමුවේ එම නීතිය ක්‍රියාත්මක කිරීම නතර කිරීමට පොලීසිය තීරණය කළේය.


එහෙත් අද පැවැති මාධ්‍ය හමුවේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා කියා සිටියේ අදාළ නීතිය ලබන මස 2 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි.



බැසිල් ලංකාවට ගෙන්වා ගැනීමට අධිකරණ නියෝගයක් - පොලිස් මාධ්‍ය ප්‍රකාශක



මහපරිමාණ මූල්‍ය වංචා චෝදනා මත හිටපු ආර්ථික සංවර්ධන ඇමති පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණය නියෝගයක් ලබා ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.

මේවන විට පොලිස් මූලස්ථානයේදී පැවැත්වෙන මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව පැවසීය.


බැසිල් රාජපක්ෂ මහතා ඉකුත් ජනාධිපතිවරණය අවසන් වීමත් සමග අමෙරිකාව බලා පිටත්ව ගිය අතර ඔහුට පාර්ලිමේන්තුවෙන් මාස 3ක නිවාඩුවක්ද පසුගියදා අනුමත කෙරිණ.



ගිලන් රථ රියදුරන් අධිවේගය නොමිලේ ඉල්ලයි


කොළඹ ජාතික රෝහල දක්වා රො‍්ගීන් ප්‍රවාහනය කරන අවස්ථාවේදී තමන්ට අධිවේගී මාර්ගය ඔස්සේ නොමිලේ ගමන් කිරීමට අවස්ථාව ලබා දෙන ලෙස ගිලන් රථ රියදුරන් ඉල්ලීමක් කරයි.


පුත්තලම, හලාවත, කුලියාපිටිය සහ මීගමුවේ සිට හදිසි රෝගීන් නිරන්තර කොළඹ ජාතික රෝහල් වලට මාරු කර යවයි.


එසේ මාරු කර යවන රෝගීන්ගෙන් බහුතරයක් ඒ ඒ ප්‍රදේශවල ප්‍රාදේශීය රෝහල් වලින් වැඩි දුර ප්‍රතිකාර සඳහා මාරු කර එවන ලද රෝගීන්ය.


බරපතළ තත්ත්වයේ පසුවන රෝගියෙකුගේ ජීවිතය ගලවා ගැනීම සඳහා ඇතැම් ගිලන් රථ රියදුරන් කටුනායක - කොළඹ අධිවේගී මාර්ගය ඔස්සේ ගමන් කරයි.


නමුත් අධිවේගී මාර්ග නොමිලේ භාවිතා කිරීමට ගිලන් රථ වලට හිමිකමක් නැත.


මෙම තත්ත්වය හේතුවෙන් ගිලන් රථයේ රියදුරු, රිය සහයක සහ එම අවස්ථාවේ එහි සිටින වෛද්‍යවරයා හා හෙදිය එක්ව අධිවේගී ගාස්තුව ගෙවන බවද දැන ගන්නට ඇත.


මෙම තත්ත්වය ‍නිසා හදිසි රෝගියෙකු කොළඹ ජාතික රෝහල දක්වා රැගෙන අවස්ථාවේදී පමණක් තමන්ට ගාස්තු ගෙවීමකින් තොරව අධිවේගී මාර්ගය භාවිතා කිරීමට අවස්ථාව ලබාදෙන ලෙස ගිලන් රථ රියදුරන් ඉල්ලා සිටී.



කැපිටල් මහාරාජාගේ පිරිසක් දෙරණට කඩාපනිති



කැපිටල් මහාරාජා ආයතනයේ මාධ්‍යවේදීන් යයි කියා ගන්නා පිරිසක් දෙරණ මාධ්‍ය ආයතනයට කඩාවැදී අනවසරෙන් බලහත්කාරීව රූගත කිරීමක් සිදුකරන්නට යාමෙන් මේවන විට නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබේ.

අනවසරෙන් ඇතුළුව රූගත කරන්නට යාමෙන් ඒ පිළිබඳ ප්‍රශ්න කළ දෙරණ සේවක පිරිසක් සමග ඔවුන් ගැටුම්කාරී තත්ත්වයක් නිර්මාණය කර ගැනීමට උත්සාහ ගැනීම නිසා මෙම නොසන්සුන්කාරී තත්ත්වය හටගෙන ඇත.


මාධ්‍ය ආයතනයේ ප්‍රධානීන් විසින් මෙම සිදුවීම පිළිබඳ පොලීසිය දැනුවත් කර තිබේ.



ඇමතිලා නෙවෙයි විධායක ජනාධිපතිවරු ඉන්නේ


මේවන විට සිටින්නේ ඇමතිවරු නොව විධායක ජනාධිපතිවරු යැයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.


ස්වාමින් වහන්සේ පිරිසක් හා කලාකරුවන් පිරිසක් නාරාහෙන්පිට අභයාරාමයේදී අද පෙරවරුවේ හිටපු ජනාධිපතිවරයා මුණ ගැසිණ.


අනතුරුව මාධ්‍යවේදින් විසින් හිටපු ජනාධිපතිවරයාගෙන් විමසා සිටියේ තවත් මන්ත්‍රීන් පිරිසකට ඇමතිධූර ලබාදීම සම්බන්ධව දරණ අදහස ගැනයි.


එහිදී හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ දැන් සිටින්නේ ඇමතිවරු නොව විධායක ජනාධිපතිවරු බවයි.


දේශපාලනයට යළි එනවාදැයි ඇසුවිට කියන්න තියෙන්නේ තවමත් තමන් විවේකී සුවයෙන් සිටිනා බව යැයිද ඒ මහතා පැවසීය.



මේක විජාතික ආණ්ඩුවක් -ෆොන්සේකා කළ වීරකමක් නෑ-සෝභිත හිමි දන්න දේශපාලනයක් නෑ



මේක ජාතික ආණ්ඩුක් හෝ සභාග ආණ්ඩුවක් නොවන බව මහාචාර්ය නලින් ද සිල්වා මහතා පවසයි.

ජාතික ආණ්ඩුවක් නම් ජාතික වැදගත්කමින් යුතු ගැටළුවකදී රටේ සියලුම පක්ෂ එකමුතුවී පිහිටුවා ගත යුතු එකක්

බවත්,සභාග ආණ්ඩුවක් නම් රටේ ප්‍රධාන පක්ෂ එකතුවී පිහිටුවා ගත යුතු ආණ්ඩුක් බවත් මහාචාර්යවරයා කියා සිටියි.


එහෙත් මේවන විට පිහිටුවා ගෙන ඇති ආණ්ඩුව එක්සත් ජාතික පක්ෂයත්,මුස්ලිම් කොංග්‍රසයත් විසින් පිහිටුවා ගෙන ඇති බවත්,එකතුවී ඇත්තේ ශ්‍රීලනිපයේ සුළු කොටසක් පමණක් බවත්,ඒ ආකාරයෙන් සුළු කොටසක් පමණක් එකතුවීමෙන් ජාතික ආණ්ඩු සෑදිය නොහැකි බවත් හෙතෙම කියා සිටියේ අද(24)කොළඹ පැවති මාධ්‍ය හමවුකදීය.


එබැවින් මෙලෙස ස්ථාපිත වී ඇත්තේ ඉන්දියාවේ අවශ්‍යතාව මත පදනම්වුණු විජාතික ආණ්ඩුවක් බවත්,එය ආරම්භ වූයේ පසුගිය ජනවාරි 09 දින සිටම බවත් නලින් ද සිල්වා මහතා අවධාරණය කළේය.


මේ උදවියගේ එකම අභිප්‍රාය වූයේ මහින්ද රාජපක්ෂ මහතා පරාජය කිරීම බවත්,ඉදිරියේදී ඒ වෙනුවෙන් තවත් 4-5 දෙනෙකුට අමාත්‍යධූර හිමිවනු ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.


මේ යන්නේ යහපාලනයකට නොවන බව මේවන විට මහබැංකුවේ බැඳුම්කර වංචාවෙන් වැටහී ඇති බවත්,සෝභිත

හිමියන්ට දේශපාලනය නොතේරෙන බැවින් උන්වහන්සේ ඕනම කෙනෙකුට පාවිච්චි කළ හැකි බවත් හෙතෙම සඳහන් කළේය.


මහින්ද රාජපක්ෂ මහතා නියෝජනය කරනු ලැබුවේ රටේ ජාතිකත්වය බවත්,එසේම සිංහල -බෞද්ධ සංස්කෘතිය බවත් පෙන්වාදුන් මහාචාර්යවරයා මහින්ද පරාජය කිරීම තුළින් පරාජය වූයේ එකී ජාතිකත්වය බවද කියා සිටියේය.


මේ පවතින්නේ නීත්‍යනුකූල ආණ්ඩුවක් නොවන බවත්, අගමැතිවරයා නීත්‍යනුකූල නොමැති බවත්,ඊයේ පත්කෙරුණු නව කැබිනට් මණ්ඩලයද නීත්‍යනුකූල නොමැති බවත් ඔහු පැවසුවේය.


මේ මොහොතේ යළි මැතිවරණයක් පවත්වනු ලැබුවහොත් සිංහල ඡන්ද පදනමෙන් 65% ක් මහින්ද රාජපක්ෂ මහතාට හිමිවන බවත්,සෙස්සුවුන්ට ඉතිරි 35%ක් බෙදීයන බවත් සිල්වා මහතා සඳහන් කළේය.


ඒ නිසාම අද ආණ්ඩුවට එකතුවුණු ශ්‍රීලනිපයේ කිසිවෙකුටත් එහෙව් මැතිවරණයකින් පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට අවස්ථාව නොලැබෙන බැවින්,තව තව ඇමතිධූර පුදමින් පාර්ලිමේන්තුවේ තුනෙක් දෙකක බලයක් සාදාගැනීමට කටයුතු කරනු ඇති බව හෙතෙම කියා සිටියේය.


සරත් ෆොන්සේකා මහතා මේ දිනවල වීරයෙකු බවට පත්කර ඇති බවත්, ඔහු කළ වීරකමක් නොමැති බවත්, කරනු ලැබුවේ සුදුකොඩි කතාව හරහා රාජපක්ෂලාට බොරු චෝදනා ඉදිරිපත් කිරීම පමණක් බවත් සිල්වා මහතා අවධාරණය කළේය.


එලෙස බොරු චෝදනා ඉදිරිපත් කිරීමට තෑග්ගක් ලෙස ඔහුට 'ෆීල්ඩ් මාෂල්"තනතුර හිමිවූ බවත්,ඒ නිසාම අභ්‍යන්තර පරීක්ෂණයක් සිදුකළහොත් රාජපක්ෂලාට එරෙහිව ඔහු විසින් සාක්ෂිදෙනු ඇති බවත් සිල්වා මහතා සඳහන් කළේය.



ලෝක ක්ෂය රෝග දිනය අදයි


ලෝක ක්ෂය රෝග දිනය අදට යෙදී තිබේ.


“හඳුනානොගත් රෝගීන් 4000ක් අප අතර, හඳුනාගනිමු, ප්‍රතිකාර කරමු, සැමට සුවය සදමු“ යන්න මෙවර ලෝක ක්ෂය රෝග දිනයේ තේමාව යි.


ක්ෂය රෝගය පිළිබඳ ජාතික වැඩසටහන අද මහනුවර දී පැවැත්වෙයි.


එම රෝගය පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ පා ගමනක් ද අද පෙරවරු 8.30ට මහනුවර ළය චික්ත්සාගාරය අසලින් ආරම්භ වීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.


නොකඩවා පවතින කැස්ස ක්ෂය රෝගයක මූලික ලක්ෂණ ලෙස සැලකෙන අතර මෙවැනි තත්ත්වයකදී රෝහලකට ගොස් සෙම පටල පරික්ෂාවක් කර වැළඳී ඇත්තේ ක්ෂය රෝගයදැයි නිශ්චිතව හඳුනා ගත හැකිය.


ශ්‍රී ලංකාවේ වසරකට ක්ෂය රෝගීන් 9000ක් පමණ බව වාර්තා වන බව සෞඛ්‍ය අංශ පවසයි.



ලංගම බසය අනතුරේ - 8ක් රෝහලේ


දඹුල්ල - කුරුණෑගල මාර්ගයේ කිලෝමිටර් 55 කණුව ආසන්නයේ සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් 08 දෙනෙකු තුවාල ලබා තිබේ.


අධික වේගයෙන් ධාවනය වු ලංගම බස් රථයක් රියදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගයන් ඉවතට පැන නවතා තිබු කන්ටේනර් රථයක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලිසිය පැවසුවේය.


අනතුරින් බස් රථයේ ගමන්ගත් පුද්ගලයින් 08 දෙනෙකු තුවාල ලබා කුරුණෑගල රෝහලට ඇතුළත් කර ඇත.


අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ගොකරැල්ල පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.



ආන්දෝලනයට තුඩුදුන් ඉඩමේ සැබෑ හිමිකම කාටද?


කොළඹ, කොටුව එචිලන් චතුරශ්‍රය ප්‍රදේශයේ පිහිටි ඉඩමේ හිමිකාරිත්වය සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානය සතු නොවන බව නාගරික සංවර්ධන අධිකාරිය කියයි.


එහි සභාපති රංජිත් ප්‍රනාන්දු මහතා පැවසුවේ මෙම ඉඩමේ අයිතිය සම්බන්ධයෙන් මත භේදාත්මක තත්ත්වයක් මතුව ඇති බවයි.


‍එහෙත් එම ඉඩමේ අයිතිය අදාළ සමාගම සතු බවට නාගරික සංවර්ධන අධිකාරිය විසින් පිළිගෙන නැතැයි ඒ මහතා කියයි.


අදාළ ඉඩමේ අයිතිය මහරාජා ආයතනය සතු බවට නාගරික සංවර්ධන අධිකාරිය විසින් පිළිගෙන ඇති බවට පළවන වාර්තා ගැන කළ විමසීමකදී සභාපතිවරයා මේ බව පැවසීය.


ඔහු කියා සිටියේ එකී ඉඩම සම්බන්ධ ලියකියවිලි වලට අනූව එහි හිමිකාරිත්වය අදාළ සමාගමට අයත් බවට තහවුරු නොවන බවයි.


ඒ අනූව එම ඉඩමේ අයිතිය නාගරික සංවර්ධන අධිකාරිය විසින් පිළිගත් බවට පළ වන ප්‍රකාශය සම්පූර්ණ අසත්‍ය බවද ඒ මහතා අවාධාරණය කළේය.


කොළඹ, කොටුව එචිලන් චතුරශ්‍රය ප්‍රදේශයේ පිහිටි ඉඩමක් පසුගියදා කිසියම් පිරිසක් විසින් අත්පත් කර ගැනීමට යාමේදී ගැටුමක් හටගත් බව වාර්තා විය.


එම සිද්ධියට අදාළව පොලිසිය ද මැදිහත් වූ අතර ඒ අනූව නාගරික සංවර්ධන අධිකාරිය හා සාකච්ඡා කර අදාළ ගැටලුව විසඳාගන්නා ලෙසට දැනුම්දී පොලීසිය එම අවස්ථාවේදී ඇති වූ තත්ත්වය පාලනය කිරීමට සමත් විය.



මහපොළ 5000 ජූනියේ සිට දීමට රජය තීරණය කරයි


මහපොළ ශිෂ්‍යාධාර මුදල රුපියල් 2500 සිට 5000 දක්වා වැඩි කිරීම ජුනි මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ.


ඊට සමගාමිව මහපොළ ශිෂ්‍යාධාර නොලබන සිසුන් සඳහා වන ශිෂ්‍යාධාර දීමනාව රුපියල් 2000 සිට 2500 දක්වා වැඩි කිරීමට ද තීරණය කර ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේය.


ඒ අනුව සිසුන් 75,000 කට පමණ මේ යටතේ සහන සැලසෙයි.



පරාජය ශ්‍රීලනිපයට පමණයි - සෝමාරාමලාට එන ඡන්දයෙන් දඬුවම් ලැබෙයි


මේවන විට විපක්ෂ නායක ධූරය ද්‍රවිඩ ජාතික සන්ධානයට හිමිවීමේ අවදානමක් මතුව ඇති බව පිවිතුරු හෙළඋරුමයේ නායක,බස්නාහිර පළාත් මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.


එසේ වුවහොත් ජාත්‍යන්තර ලෝකය තුළ ද්‍රවිඩ ජාතික සන්ධානයේ මතයට වැඩි පිළිගැනීමක් හිමිවනු ඇති බව ඔහු කියා සිටියේ අද(23) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.


අනෙක් අතට ද්‍රවිඩ ජාතික සන්ධානයට විපක්ෂ නායක ධූරය නොලැබුණහොත් තමාට මේ රට තුළ 'දෙමළවීම'හේතුවෙන් එය නොලැබෙන බවට රාවයක්ද ජාත්‍යන්තරය තුළ ගෙනයා හැකි බව ගම්මන්පිල මහතා සඳහන් කළේය.


ජාතික ආණ්ඩු බිහිවන්නේ ඉතාම වැදගත් තීරණාත්මක අවස්ථාවන්හිදී බවත්,දෙවන ලෝක යුද සමයේ එයට මුහුණදීම සඳහා එවක බ්‍රිතාන්‍ය අග්‍රමාත්‍ය වින්සන්ට් චර්චිල් එවැනි ජාතික ආණ්ඩුවක් බිහිකළ බව ඔහු සිහිපත් කළේය.


එහෙත් ලංකාවට අදාළව 1987 දී ඉන්දීය ආක්‍රමණයක් සිදුවන විටත්,සුනාමි ව්‍යසනය ඇතිවූ අවස්ථාවේදීත්,කොටි ත්‍රස්තවාදය පරාජය කළ අවස්ථාවේදීත් ස්ථාපිත නොවුණු 'ජාතික ආණ්ඩුවක්'මේ හදිසියේ ස්ථාපිත කරනු ලැබුවේ කුමක් නිසාදැයි ගම්මන්පිල මහතා ප්‍රශ්න කළේය.


විපක්ෂය ලෙස ජවිපෙටද ආණ්ඩුවට එරෙහිව කටයුතු කිරීමෙන් තම දේශපාලන මතයට ඉඩක් හදාගැනීමට හැකිවීමෙන් මෙම අවස්ථාව ඔවුන්ටද ජයග්‍රහණයක් බවත්,විපක්ෂ නායකත්වය ලැබීම නිසා ටී.එන්.ඒ එකටද එය ජයග්‍රහණයක් බවත්,එල්ලවන අපවාද බෙදාහදා ගැනීමට හැකිවීමෙන් එජාපයටද මෙය ජයග්‍රහණයක් බවත් පෙන්වා දුන් ගම්මන්පිල මහතා පරාජය අත්ව ඇත්තේ ශ්‍රීලනිපයට පමණක් බව අවධාරණය කළේය.


1956 දී තල්දූවේ සෝමාරාම විසින් ශ්‍රීලනිප නිර්මාතෘ එස්.ඩබ්.ආර්.ඩී බණ්ඩාරනායක මහතා වෙඩිතබා ඝාතනය කළ බවත්,2015 දී තවත් සෝමාරාමලා පිරිසක් විසින් බණ්ඩාරනායක මහතා යළි වරක් දේශපාලනික වශයෙන් ඝාතනය කළ බව හෙතෙම සඳහන් කළේය.


තල්දූවේ සෝමාරාම ට නීතියෙන් දඬුවම් ලැබුණු බවත්,මේ සෝමාරාමලාට එළඹෙන මහ ඡන්දයේදී දඬුවම් ලැබෙනු ඇති බවත් ගම්මන්පිල මහතා වැඩිදුරටත් කියා සිටියේය.



කාට ඇමතිකම් දුන්නත් යහපාලනයේ මහා වංචාව වහන්න බෑ


මෙය ජාතික ආණ්ඩුවක් නොව සභාග ආණ්ඩුවක් බවත්,දේශපාලන බංකොළොත්භාවය හේතුවෙන් විපක්ෂයෙන් මන්ත්‍රීවරුන් පිරිසක් බාගෙන අටවාගත් එකක් බවත් මහජන එක්සත් පෙරමුණේ නායක,පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.


යහපාලනය පෙන්වා පිටුපස දොරින් ඇමතිකම් දීමෙන් පිළිඹිබුවන්නේ දේශපාලන අවිනිශ්චිතභාවය යයි මන්ත්‍රීවරයා කියා සිටියේ අද(23) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.


මෙම ආණ්ඩුවට සහය ලබාදිය යුතු බවට එක්සත් ජනතා නිදහස් සන්ධානය කිසිදු දේශපාලන තීන්දුවක් ගෙන නැති බවත්,ඒ සඳහා අවසරයක්ද නැති බවත් හෙතෙම සඳහන් කළේය.


කෙසේ වෙතත් මෙම සිදුවීම ජනතාව විසින් දුන් ජනවරම සපුරා උල්ලංඝණය කිරීමක් බව ගුණවර්ධන මහතා පෙන්වා දුන්නේය.


මහින්ද රාජපක්ෂ මහතා නැවත මේ රටේ නායකත්වයට ගෙන ආ යුතු බවට තමන් තීන්දුවක් ගත් බවත්,එම තීන්දුවෙන් පසු ජනතාවට කී දේ අද සත්‍යයක් බවට පත්වෙමින් තිබෙන බවත් ඔහු අවධාරණය කළේය.


යහපාලනය යටතේ සිදුවූ දැවැන්තම මූල්‍ය වංචාව මහබැංකුවේ බැඳුම්කර නිකුතුවට අදාළ වංචාව බවත්,ඒ පිළිබඳ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කළ දෙදෙනාටද මේවන විට ඇමතිධූර හිමිව ඇති බවත් ගුණවර්ධන මහතා සිහිපත් කළේය.


කාට ඇමති ධූර දුන්නත් මෙම වංචාව වහන්නට හැකියාවක් නොමැති බවත්,මේවන විට මහබැංකු අධිපතිට නිවාඩු දුන්න බව පවසා ඇතත් මේ වගකීමෙන් මිදෙන්නට අගමැතිවරයාට හැකියාවක් නොමැති බවත් ඔහු කියා සිටියේය.



පසන් කොඩිකාර දිවියෙන් සමුගනියි


ප්‍රවීණ පරිවර්තකයෙකු,ලේඛකයෙකු,නාට්‍යකරුවෙකු මෙන්ම විශ්වවිද්‍යාල බාහිර කථිකාචාර්යවරයෙකු වන පසන් කොඩිකාර මහතා අභාවප්‍රාප්ත වී තිබේ.


හදිසියේ රෝගාතුරුවූ ඔහු රෝහල්ගත කිරීමෙන් පසු කොළඹ පුද්ගලික රෝහලකදී අද(23)උදෑසන අභාවප්‍රාප්ත වී තිබේ.


අවසන් කටයුතු පිළිබඳ පසුව දැනුම්දෙන බව පවුලේ ඥාතීන් සඳහන් කරයි.



වෙලේසුදාට එරෙහි චෝදනා විභාගයට නීතිමය පදනමක් නෑ - විත්තියේ නීතිඥයින් කියයි


මත්කුඩු අලෙවියෙන් උපයාගත් මුදල් නීති විරෝධි ලෙස ආයෝජනය කළ බවට සමන්ත කුමාර නොහොත් වෙලේසුදා නැමැත්තාට එල්ලවී ඇති චෝදනා විභාග කිරීමට තරම් නීතිමය පදනමක් නොමැති බව විත්තියේ නීතීඥවරුන් අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබේ.


කොළඹ මහාධිකරණ විනිසුරු දේවිකා තෙන්නකෝන් මහත්මිය හමුවේ මෙම නඩුව අද කැඳවන ලදී.


එහිදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් පෙන්වාදුන්නේ වෙලේසුදාට එරෙහි චෝදනා 57ක් එකම චෝදනා පත්‍රයක ගොනු කර ඇති බවයි.


ඒ අනූව සියලු චෝදනා එකම චෝදනා පත්‍රයක දැමීම නීති විරෝධී බවත්, ඒවා වෙන් වෙන් වශයෙන් තිබිය යුතු බවත්, ඔවුන් පෙන්වාදුන්නේය.


එහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරුන් කියා සිටියේ මේ චෝදනා 57ම මතුවී ඇත්තේ එක සිද්ධියකින් බවයි.


ඒ නිසා එය නීති විරෝධි නොවන බවට ඔවුන් තර්ක කළහ.


ඒ අනූව දෙපාර්ශවයේ අදහස් සලකා බැලූ විනිසුරුවරිය ලබන මැයි මස 5 තෙක් නඩුව කල්දැමූ අතර එතෙක් වෙලේසුදා පොලිස් බාරයේ රඳවා තබා ගැනීමටත්, ඔහුගේ බිරිය හා ඥාති සොහොයුරිය එදින තෙක් රිමාන්ඩ් කිරීමටත් නියෝග කළ බව අප වාර්තාකරු පැවසීය.



සරණ යළි රිමාන්ඩ් - මරණ තර්ජනයක් ගැන තවත් නඩුවක්


රුපියල් ලක්ෂ 96ක් වටිනා යකඩ තොගයක් වංචා කළැයි කියන සිද්ධියට රිමාන්ඩ් භාරයේ සිටින හිටපු නියෝජ්‍ය ඇමති සරණ ගුණවර්ධන ලබන 30 තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අත්තනගල්ල අතිරේක මහේස්ත්‍රාත් සාවින්ද්‍යා නානායක්කාර මෙනවිය අද නියෝග කර තිබේ.


හලාවත එස්.එච්.ආර් රශ්මි නැමැති ව්‍යාපාරිකයෙකු විසින් කරන ලද පැමිණිල්ලක් අනූව පසුගිය 12දා රහස් පොලීසිය විසින් අත්අඩංගුවට ගත් හිටපු නියෝජ්‍ය ඇමතිවරයා එදිනම උසාවියට ඉදිරිපත් කිරීමෙන් පසු අද දක්වා රිමාන්ඩ් කර තැබිණ.


පැමිණිලිකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ලාල් කුමාරපේළි මහතා අද උසාවියේදී කියා සිටියේ සැකකරු‍ අපරාධකරුවෙකු බවයි.


එසේම සැකකරු අපරාධ නඩු කිහිපයක් සම්බන්ධයෙන් ඇප මත සිටිමින් මෙම වංචාව සිදු කර ඇති බැවින් මොහුට ඇප ලබාදීමට විරෝධය පළ කරන බව හෙතෙම පවසා ඇති අතර රහස් පොලීසිය ද එය සනාථ කරමින් අදහස් දැක්වූ බව අප වාර්තාකරු පැවසීය.


සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා ඇතුළු නීතීඥවරුන් ඔහුට ඇප ලබාදෙන ලෙස ඉල්ලා සිටියත් කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරිය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බවද වාර්තාකරු කියා සිටියේය.


මේ අතර යකඩ වංචාව ගැන කළ පැමිණිල්ල සම්බන්ධයෙන් අදාළ ව්‍යාපාරිකයාට හිටපු නියෝජ්‍ය ඇමතිවරයා විසින් මරණීය තර්ජන කර ඇතැයි කියන සිද්ධියක් ගැන ද පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ලාල් කුමාරපේළි මහතා උසාවියේදී කරුණු අනාවරණය කළ අතර ඒ අනූව සැකකරුට ඇප ලබානොදෙන්නැයි ද හෙතෙම ඉල්ලා තිබේ.


අදාළ මරණ තර්ජනය සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය විසින් තවත් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයිද පැමිණිලිකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා පවසා ඇත.


ඒ අනූව ඒ සම්බන්ධයෙන් වෙනම දිනයක නඩු විභාගයක් සිදුකිරීමට ද අතිරේක මහේස්ත්‍රාත්වරිය නියෝග කළ බව අප වාර්තාකරු පැවසීය.



පොලිස් පාට් දැමූ සන්ධාන මන්ත්‍රී දැලේ



ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී එම්.ප්‍රභාත් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (22) සවස හලාවත නගරයේ වැල්ල ප්‍රදේශයේදී මොහු අත්අඩංගුවට ගත් බව හලාවත පොලීසිය කියයි.


හලාවත පොලීසියට අනියුක්තව මත් කුඩු වැටලීම් සම්බන්ධයෙන් කටයුතු කරන පොලිස් නිලධාරීන් පිරිසක් සමග බහින් බස් වීමක් ඇති කරගෙන තමන් පොලීසියේ නිලධාරියෙකු ලෙස පෙනී සිටීම ප්‍රදේශීය සභා මන්ත්‍රීවරයාව අත්අඩංගුවට ගැනීමට හේතුව බව සඳහන්ය.


අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකාර මන්ත්‍රීවරයා බීමතින් සිට ඇති බව අප වාර්තාකරු කියයි.


සැකකරු හලාවත දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.


හලාවත මූලස්ථාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.හේරත් මහතා ඇතුළු නිලධාරීන් වැඩිදුර විමර්ශන කටයුතු කරගෙන යයි.



ලී ක්වාන් යූ නික්ම යයි!


සිංගප්පූරුවේ නිර්මාතෘවරයා මෙන්ම එරට කීර්තිමත් අග්‍රාමාත්‍යවරයෙකු වූ ලී ක්වාන් යූ අභාවප්‍රාප්ත වී තිබේ.


මිය යන විට 91 වන වියේ පසු වූ හෙතෙම දින ගණනාවක් රෝගාතුරුව සිට ඉකුත් දින කිහිපයයේ අසාධ්‍ය තත්ත්වයට පත්වූ බව එරට පුවත් සේවා අනාවරණය කරන ලදී.


කුඩා නගරයක්ව පැවති සිංගප්පූරුව බ්‍රිතාන්‍යයෙන් නිදහස ලබා මැලේසියාවෙන් වෙන්කර ස්වාධීන රාජ්‍යයක් ලෙස ස්ථාපිත කළ ලී ක්වාන් යූ මහතා වසර 31 ක් එරට අග්‍රාමාත්‍යවරයා ලෙස පාලනය හෙබවීය.


ඔහුගේ ජීවිතක්ෂයට පත්වීම නිවේදනය කළ එරට වත්මන් අග්‍රාමාත්‍ය ලී සෙයින් ලූන් මහතා කියා සිටියේ ඔහු නිදහස් වෙනුවෙන් පුරෝගීව සටන් කළා පමණක් නොව සිංගප්පූරු වැසියන් බව ලොවට ආඩම්බරයෙන් හඬ නගා කීමට හැකි ලෙස ජාතිය ගොඩනැඟූ බවයි.



එස්.එස්.සී. පිටියේ උණුසුම් තත්ත්වයක්

කොළඹ පාසල් දෙකක් අතර පැවති ක්‍රිකට් තරඟයක් අතරතුර නොසන්සුන්තාවයක් හටගෙන තිබේ.

ඒ කොළඹ එස්.එස්.සී. පිටිය තුළ බව වාර්තා වෙයි.


මහානාම විද්‍යාලය සහ කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලය අතර වාර්ෂික ක්‍රිකට් තරඟාවලියේදී මෙම උණුසුම් තත්ත්වය හටගෙන ඇති බව සඳහන්ය.



ශ්‍රී ලංකාවට අමෙරිකාවෙන් පැසසුම්

2015 ජනාධිපතිවරණයෙන් පසු ශ්‍රී ලංකාව සැ,කිය යුතු ප්‍රගතියක් අත්කරගෙන ඇති බව අමෙරිකාව පවසයි.

පසුගියදා මෙරට සංචාරයක නිරතවු අමෙරිකානු ජාත්‍යන්තර ආගමික නිදහස පිළිබඳ කොමිසමේ කොමසාරිස් එරික් පී. ශ්වෝර්ට්ස් මේ බව ප්‍රකාශ කර තිබේ.


එහිදි ඔහු ප්‍රකාශ කර ඇත්තේ තම සංචාරයේදි මෙරට අමාත්‍යවරුන් සමඟ සිදුකළ සාකච්ඡා වලදී ඔවුන් ඉදිරිපත් කළ අදහස් පිළිබඳ සතුට පළකරන බවයි.


ශ්‍රී ලංකාව තුළ සියළුම ආගම් අදහන පුද්ගලයින්ට නිදහසේ ජීවත් විමට නව රජය ගෙන ඇති වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ද එරික් පී. ශ්වෝර්ට්ස් මහතා සිය ප්‍රශංසාව පළකර තිබේ.


එමෙන්ම යම්යම් ක්‍රියාකරකම් හේතුවෙන් මානව හිමිකම් උල්ලංඝණය වු සුළු ජාතින් පිළිබඳ අවධානය යොමු කරන ලෙස තමා මෙරට බලධාරින් දැනුවත් කළ බවද අමෙරිකානු ජාත්‍යන්තර ආගමික නිදහස පිළිබඳ කොමිසමේ කොමසාරිස්වරයා පැවසුවේය.



අවංක මිනිස්සු කවුද කියලා දැන් මම දන්නවා

වර්තමානයේ රට තුළ කිහිපදෙනෙකු විධායක බලතල ගෙන කටයුතු කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඔහු පවසන්නේ ජනාධිපතිවරණයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා බලයට පත්වුව ද ආණ්ඩු බලය හෙබවීම එක්සත් ජාතික පක්ෂය විසින් සිදුකිරීම දක්නට ලැබෙන බවයි.


වාද්දූව විවේකාරාම මහ විහාරයේ අභිනවයෙන් ඉදිකරන ලද සංඝාවාස ගොඩනැගිල්ල සඟ සතු කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ අදහස් පල කළේය.


විවේකීව සිටින කාලය තුළ දී අවංක මිනිසුන් හඳුනාගැනීමේ හැකියාවක් ලැබී ඇති බව එහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේය.



වනජීවී නිලධාරියෙකුට වන අලි ප්‍රහාරයක්

වැල්ලවාය, තෙලූල්ල ප‍්‍රදේශයේදී වන අලියෙකු පහරදීමෙන් වනජීවී නිලධාරියෙකු මියගොස් අැත.

අද පස්වරුවේ සිදුකෙරුණු වනඅලි පලවා හැරීමේ මෙහෙයුමකදී මෙම පහරදීම සිදුව ඇති බව සදහන්ය.


මියගිය වනජීවී නිලධාරියා 29 වන වියේ පසුවන්නෙකි.



ජාතික හැඳුනුම්පත් හා විදෙස් ගමන් බලපත්‍ර රැසක් සමග අයෙක් මාට්ටු


විවිධ පුද්ගලයින්ගේ විදෙස් ගමන් බලපත්‍ර සහ ජාතික හැඳුනුම්පත් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු මුන්දලම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.


උඩප්පුව සිට හලාවත දක්වා බස් රථයකින් ගමන් කරමින් සිටියදී සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේය.


පොලිස් හදිසි ඇමතුම් ඒකකයට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිව ඇත.


ඔහු සතුව තිබී විදේශ ගමන් බලපත්‍ර 22ක් සහ ජාතික හැඳුනුම්පත් 8ක් සොයාගත් බව පොලීසිය සඳහන් කළේය.


සැකකරු මදුරන්කුලිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.



8 හැවිරිදි දැරිය දූෂ්‍ය කරලා


වයස අවුරුදු 08 ක් වන බාල වයස්කාර දැරියක දුෂණය කළ බව කියන 25 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වනාතවිල්ලුව පොලීසිය කියයි.


අත්අඩංගුවට ගෙන ඇත්තේ වනාතවිල්ලුව - කරතිව්,පොම්පරිප්පු පදිංචිකරුවෙකි.


සැකකරු අතවරයට පත්ව ඇති දැරියගේ, මවගේ අක්කාගේ ස්වාමි පුරුෂයා බව පොලීසිය කියයි.


මවට මුදලක් ලබා දීමට යැයි පවසා දැරිය රවටා ගෙන ඇති සැකකරු ඇය තම නිවසට කැදවාගෙන ගොස් දුෂණය කර ඇති බව පොලීසිය විසින් කරන ලද මූලික විමර්ශණ වලදී අනාවරණය වී ඇත.


තම දියණියට සිදුවී ඇති අපරාධය දැන ගෙන ඇති දැරියගේ මව විසින් මේ බව වනාතවිල්ලුව පොලීසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

අතවරයට පත්ව ඇති දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇත.


සැකකරු පුත්තලම දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.


වනාතවිල්ලුව පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු කරගෙන යයි.



ඝාතකයාටත් දඬුවම මරණයයි


තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයකු ඝාතනය කිරීමකට වරදකරු වූ විත්තිකරුවෙකුට රත්නපුර මහාධිකරණය මඟින් මරණ දඬුවම නියම කර තිබේ.


2011 වසරේ දී වැලිගෙපොල, කෝන්ගස්තැන්න ප්‍රදේශයේදී අදාළ ඝාතනය සිදුව තිබුණි.


සැකකරු කුඹල්ගම, සමනලවැව බෙලිහුල්ඔය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන 36 හැවිරිදි අයෙකි.


සිද්ධියට වැරදිකරු වීම හේතුවෙන් මහාධිකරණය මඟින් ඔහුට මරණීය දණ්ඩනය නියම කර ඇත.