අතුරුදන්වීම් වලට වැඩි වශයෙන් වගකිව යුත්තේ එල්.ටී.ටී.ඊ. සංවිධානයයි

යුද වාතාවරණයක් පැවති සමයේ උතුරේ සිදුවු අතුරුදන්වීම් වලට එල්.ටී.ටී.ඊ. සංවිධානය වගකිව යුතු බවට  වැඩිදෙනෙකු ප්‍රකාශ කර ඇති බව අතුරුදන්වූවන් පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව පවසයි.

 එහි සභාපති මැක්ස්වෙල් පරණගම මහතා ඉන්දීය පුවත්පතකට අදහස් පල කරමින් පෙන්වා දී ඇත්තේ සිය කොමිෂන් සභාවට සාක්ෂි ලබාදුන් ජනතාවගෙන් සියයට 60ක් එල්.ටි.ටි.ඊ. සංවිධානය අදාළ සිද්ධීන්වලට වගකිව යුතු බවට ප්‍රකාශ කර ඇති බවයි.

 එම ජනතාව අතුරෙන් සියයට 10ක් ප්‍රකාශ කර ඇත්තේ අතුරුදන්වීම්වලට ශ්‍රී ලංකා ආරක්ෂක අංශ සාමාජිකයින් වගකිව යුතු බවටයි.

 එමෙන්ම තවත් සියයට 10ක පිරිසක් එල්.ටි.ටි.ඊ. නොවන සටන්කාමී සංවිධාන වෙත මේ පිළිබඳව චෝදනා එල්ල කර ඇති බව මැක්ස්වෙල් පරණගම මහතා පවසයි.

සාක්ෂි ලබාදුන් පිරිසෙන් සියයට පහක් පමණ චෝදනා කර ඇත්තේ  නාදුනන කණ්ඩායම් විසින් මෙම අතුරුදන්වීම් සිදුකර ඇති බවයි.

දිස්ත්‍රික් වශයෙන් සැලකීමේ දී කිලිනොච්චි දිස්ත්‍රික්කයෙන් සාක්ෂි ලබාදුන් පිරිස අතුරෙන් සියයට 85ක් එල්.ටි.ටි.ඊ. සංවිධානය ඊට වගකිව යුතු බවට  ප්‍රකාශ කර ඇති බව  ඒ මහතා   සඳහන් කර ඇත.

 උතුරු නැගෙනහිර ප්‍ර දේශ ආශ්‍රිතව අතුරුදන්වීම් පිළිබඳව ජනාධිපති කොමිසම සිදුකළ විමර්ශනවලදී සිවිල් පුද්ගලයින්ගෙන් පැමිණිලි 16,000ක් සහ ආරක්ෂක අංශවලින් පැමිණිලි 5600ක් ලැබී තිබේ.

Post a Comment