වැලි, ගඩොල්, සිමෙන්ති වලට සමාජයක් හදන්න බෑ

කාන්තාවකගේ ගෞරවය, අයිතිය, සුරක්ෂිතතාව පිළිබඳ රජය වගකීමක් ගතයුතු බවත් ජනවාරී 8 වෙනිදායින් පසු ඇති කරන සමගි සන්ධාන ආණ්ඩුව තුළින් කාන්තාවකගේ ගෞරවය හා ආරක්ෂාව තහවුරුවන ලෙස නීතිය ක්‍රියාත්මක කරමින් නීතියේ ආධිපත්‍යය තහවුරු කරන බවත්, පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

අද (31) විහාර මහාදේවී රංගපීඨයේ පැවති කාන්තා සමුළුව අමතමින් ඒ මහතා මේ බව පැවසීය.


එහිදී ඔහු වැඩිදුරටත් මෙසේද පැවසූ බව පොදු අපේක්ෂකවරයාගේ මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයක සඳහන්ය.


රාජපක්ෂ පාලනය නීතියේ ආධිපත්‍ය අහිමි කර තිබේ. ස්ත්‍රී දූෂණ, විශාල වශයෙන් වර්ධනය වී ඇත. ඔවුන්ට සමහර අවස්ථාවලදී රාජ්‍ය රැකවරණය පවා ලැබේ. කාන්තාවකට ලැබිය යුතු සියලු සමාජ අයිතිවාසිකම් එක්සත් ජාතීන්ගේ ප්‍රඥාප්තිය පරිදි ආණුඩුක්‍රම ව්‍යවස්ථාවකට අවශ්‍යය. ශ්‍රේෂ්ඨාධිකරණ අගවිනිසුරුවරියක් ලෙස ශිරාණි බණ්ඩාරණායක මහත්මිය පත්වූවාය. එය අගවිනිසුරුවරියක ලෙස කාන්තාවක පත් වු පළමු අවස්ථාවයි. අරලියගහ මන්දිරයේ සිට අධිකරණයේ නඩු තීන්දු වෙනස් කිරීමට නොහැකි වූ විට බොරු චෝදනා ඉදිරිපත් කර ඇයට අගෞරව කිරීම මේ රටේ සමස්ත මව්වරුන්ටම අගෞරව කළ අවස්ථාවක් බව ද මෛත්‍රිපාල සිරිසේන මහතා පෙන්වාදුන්නේය.


මෙම අවස්ථාවට සම්බන්ධ වු ජාතික හෙළ උරුමයේ සභාපති පූජ්‍ය අතුරලියේ රතන හිමියන්.


අද මව්වරුන්ගේ දුක්ඛිත භාවය නිසා ඔවුන් විදේශ රටවල වහල් සේවකයන් ලෙස රැකියා කරනවා. විදේශ රැකියාවල යෙදෙන කාන්තාවන්ගෙන් ඩොලර් බිලියන 5ක් පමණ ලංකාවේ ආර්ථිකයට ලැබේ. මැදපෙරදිග ඇතුළු අනෙකුත් රටවලට මව්වරුන් පිටත් කිරීමේදී රාජ්‍යතාන්ත්‍රික භාවයත්, අචාරධර්ම හා ප්‍රතිපත්ති වල සිට කටයුතු කළයුතු බවත්, අප රජයට ප්‍රකාශ කළත් එය කිසිවිටෙකත් ඔවුන් සිදුනොකළ බවත් අතුරලියේ රතන ස්වාමීන් වහන්සේ පෙන්වාදුන්නේය.


එම අවස්ථාවට සම්බන්ධ වු කලා ශිල්පිණී රේණුකා බාලසූරිය මහත්මිය.


මම නිතරම දේශපාලන වේදිකාවට නැග්ග කෙනෙක් නොවේ. නමුත් රටට අකටයුත්තක් සිදුවන හැමවිටම දේශපාලන වේදිකාවට යොමුවෙනවා. මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය මා දකිනවා. වැලි, ගඩොල්, සිමෙන්ති වලට සමාජයක් හදන්න බෑ. එහි ජිවත් වෙන්න යහපත් මිනිසුන් සිටිය යුතුයි. මවක් තම පුතා ලැම්බෝගිනි කාර් එකක යනවාට වඩා සත්‍යය වෙනුවෙන් ඉදිරියෙන් සිටගත හැකි පුරවැසියෙක් වෙනවට සියලූ මව්වරුන් කැමතියි, මම සියලූ මව්විවරුන්ට ආරධනා කරනවා මෛත්‍රිපාලනයක් උදා කිරීමට එක්වන ලෙස යැයි ඇය සඳහන් කළාය.


මෙම අවස්ථාවට සම්බන්ධ වු අනෝමා ෆොන්සේකා මහත්මිය.


‘‘වසර 30ක් තිස්සේ රණවිරු බිරිඳක් ලෙස එහි දුක දරාගත්තා.වසර දෙකාහාමාරක් සිර ගත කළ සැමියෙකුගේ බිරිඳ ලෙස ජිවත් වුණා. එනිසා මට මේ ගැන කතා කරන්න අයිතියක් තියෙනවා. මීට පෙර කාන්තාවක් ලෙස සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය, හිටපු අගවිනිසුරුවරිය වන ශිරාණි බණ්ඩාරනායක මැතිතුමිය වැනි අයට අසාධාරණකම් සිදු වුණා. අද අලූත් පරපුරටත් ඒ තත්ත්වය උදා වෙමින් තිබෙනවා. හිරුණිකා, සෝලංගආරච්චි මහත්මිය වගේ අයටත් ඒ තත්ත්වයට මුහුණදෙන්නට සිදු වී තිබෙනවා. ඒනිසා මේ ක්‍රමවේදය වෙනස් කළ යුතුයි.



මධ්‍යම ප්‍රා.මාධ්‍යවේදියෝ වීදි බසිති

මධ්‍යම පළාතේ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් පිරිසක් ගම්පොළ නගරයේ බස්නැවතුම්පළ අසළ උද්ඝෝෂණයක නිරතවී තිබේ.

ප්‍රාදේශීය මාධ්‍යවේදීයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විරෝධය පළකරමින් ඔවුන් මෙලෙස උද්ඝෝෂණයේ නිරත වී ඇති බව සඳහන්ය.


අදාළ පහරදීම සිදුකළ පුද්ගලයා වහාම අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා ඔවුන් මෙම උද්ඝෝෂණයේ නිරත වු බවයි අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.


ඊයේ පස්වරුවේ එක්සත් ජාතික පක්ෂ පළාත් සභා මන්ත්‍රීවරයෙකුට පහරදී තුවාල සිදුකිරීමේ සිද්ධියක් ආවරණය කිරීමට ගිය අවස්ථාවේ දී මෙම පහරදීම සිදුව ඇති බව වාර්තාවෙයි.



ටී.එන්.ඒ. තුනක් ගැලවෙයි

කිලිනොච්චිය, පච්චිලිපලෙයි ප්‍රාදේශීය සභාවේ සභාපති ඇතුළු මන්ත්‍රීවරුන් සිව් දෙනෙකු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහය පළ කිරීමට තීරණය කර තිබේ.

අද වව්නියාව ප්‍ර දේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පච්චිලිපලෙයි ප්‍රාදේශීය සභාවේ සභාපති ඩොමිනික් ඇන්ටන් මහතා මෙය ප්‍රකාශ කළ බව අද දෙරණ වාර්තාකරු පැවසුවේය.


ඔහු සමඟ දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන ප්‍රා දේශීය සභාවේ උප සභාපති ආර්.රිෂිදාසන් , කේ.සිවරාජා සහ පී.කරන් යන මන්ත්‍රීවරුන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහය පළ කිරීමට තීරණය කර ඇති බව සඳහන්ය.


මේ හේතුවෙන් දෙමළ ජාතික සන්ධාන බලය යටතේ පැවති පච්චිලිපලෙයි ප්‍රාදේශීය සභාවේ බලය ඊ.පී.ඩී.පී සංවිධානයට හිමිවෙයි.



කුරුණෑගලින් 19ක් මෛත්‍රීට

කුරුණෑගල දිස්ත්‍රික්කයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු සහ ආසන සංවිධායකවරු 19 දෙනෙකු පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දැක්වීමට තීරණය කර තිබේ.

අද(31) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම මන්ත්‍රීවරුන් සහ සංවිධායකවරුන් පිරිස පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය පළ කරන බව කියා සිටියේය.


එ් අනුව පඬුවස්නුවර, නිකවැරටිය, උඩුබද්දාව, කොබෙයිගනේ, නාරම්මල සහ අලව්ව යන ප‍්‍රාදේශීය සභාවල මන්ත‍්‍රීවරුන් ඒ අතර සිටින බව වාර්තා වෙයි.



ජීවිතයේ ගත් අමාරුම තීන්දුව - අන්තවාදය ඇති තැන මම නෑ

පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට ඉදිරි ජනාධිපතිවරණයේදී සහයෝගය ලබාදීමට ගත් තීරණය තම ජීවිතයේ ගත්ත අමාරුම තීන්දුව බව නියෝජ්‍ය අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා පවසයි.

අද(31) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කර සිටියේය.


එසේම මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වන බව දැනගත් දින‍යේ සිට ඒ මහතාට සහයෝගය ලබාදීමට තමා කැමැත්තෙන් පසු වු බවද මුස්තාපා මහතා එහිදී සඳහන් කළේය.


තවද මෙරටේ සහජීවනය ගැන සිතා පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහයෝගය පළ කරන බවත්, මේ වෙලාවේ යුග පුරුෂයා මෛත්‍රීපාල සිරිසේන මහතා බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.


තමා අවුරුදු 9ක කාලයක් තිස්සේ ආණ්ඩුවේ සිටි බවත්, ඒ හේතුවෙන් ආණ්ඩුව ‍විවේචනය නොකරන බවත්, එම අවස්ථාවේදී හෙතෙම කියා සිටියේය.


එම මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙක් විසින් නෑගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ මහතා කියා සිටියේ අන්තවාදය ඇති තැන තමා නොසිටින බවයි.



බස් රථය පෙරළී දෙදෙනෙකු මරුට - තිහකට තුවාලයි

හැටන්-සලන්කන්ද ප්‍රදේශයේදී පුද්ගලික බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී 30 දෙනෙකුට තුවාල සිදුවී තිබේ.

තුවාල ලැබූවන් මේවන විට රෝහල්ගත කර ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.


අද (31) දහවල් මෙම අනතුර සිදුව ඇති බවත්, දික්ඔය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරන බවත් සඳහන්ය.



නිල්වලා ගඟට පැන්න කතට පිටරැටියන් පිහිටවෙයි

මාතර, මහානාම පාලමෙන් නිල්වලා ගඟට පැන සියදිවි නසා ගැනීමට උත්සාහ කළ කාන්තාවක විදෙස් ජාතිකයින් පිරිසක් විසින් බේරාගෙන තිබේ.

අද(31) දහවල් එම කාන්තාව මෙලෙස සියදිවි නසා ගැනීමට උත්සාහ කර ඇති බව පොලිසිය පැවසුවේය.


එම අවස්ථාවේ දී මාතර නිල්වලා ගගේ බෝට්ටුවකින් සංචාරය කරමින් සිටි විදෙස් ජාතිකයින් පිරිසක් විසින් ඇය බේරාගෙන ඇති බව සඳහන්ය.


මෙලෙස සියදිවි නසා ගැනීමට උත්සාහ දරා ඇත්තේ 31 හැවිරිදි කාන්තාවක බව පොලිසිය පැවැසුවේය.


ඇය මේවනවිට මාතර රෝහලේ ප්‍රතිකාර ලබන අතර මාතර පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.



ජනතා සුබ සිද්ධිය වෙනුවෙන් සෑම පියවරක්ම ගන්නවා

ඉදිරි රජයක් යටතේ ජනතා සුබ සිද්ධිය වෙනුවෙන් ගත හැකි සෑම පියවරක්ම ගන්නා බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

වව්නියාව ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම අදහස් පළ කළේය.


මේ අතර පසුගිය දා කාගේත් අවධානයට ලක්වු නියෝජ්‍ය අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා අද මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කොළඹ පැවැත්වෙන උත්සවයකට එක්ව සිටියි.


නියෝජ්‍ය අමාත්‍යවරයා ආණ්ඩු පක්ෂය අතහැර විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය ලබා දෙන බවට එහිදී විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් ප්‍රකාශ කරන ලදී.



සල්මන් ඛාන්ගේ ක්‍රියාව ලැජ්ජා සහගතයි

ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ඉන්දීය සුපිරි නළු සල්මන් ඛාන් විසින් සහයෝගය පළ කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ලැජ්ජාවට පත්වන බව ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය පවසයි.

එම පක්ෂයේ මහ ලේකම් ඩී. රාජා පවසන්නේ කලාකරුවන් මානව හිමිකම් සම්බන්ධයෙන් නැගී සිටියා‍ට කිසිදු ගැටලුවක් නොවන බවයි.


නමුත් දේශපාලන පක්ෂ වෙනුවෙන් පෙනී සිටීම අනෙකුත් කලාකරුවන්ටද කරන ලැජ්ජා සහගත කටයුත්තක් බවත්, මෙවැනි සිදුවීම් වලින් කලාකරුවන්ගේ තත්ත්වය පහත් මට්ටමට පත්වන බවත්, ඔහු ඉන්දීය මාධ්‍යයට පවසා තිබේ.



රත්‍රං ජාවාරම්කරු ඉන්දියාවේදී කොටු වුණේ මෙහෙමයි

රත්‍රං ජාවාරමක නිරතවු ශ්‍රී ලාංකික සරණාගත පුද්ගලයෙකු ඉන්දියාවේ දින්දිගුල්, බත්ලගුණ්ඩු ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ පුද්ගලයා එරට බත්ලගුණ්ඩු ප්‍රදේශයේ පුදුපට්ටි සරණාගත කඳවුරේ රැඳි සිටිය දී අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්ය.


මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 34 හැවිරිදි පොන්සල්කුමාර් නැමැති පුද්ගලයෙකි.


ඔහු සතුව තිබී ග්‍රෑම් 694ක් බරැති රත්‍රං කුට්ටි 02ක් සොයාගෙන තිබේ.


පසුගිය සදුදා ඉන්දියාවේ දනුෂ්කෝඩි ප්‍රදේශයේ දී රත්‍රං ජාවාරමේ නිරත වු ඉන්දීය ධීවරයින් දෙදෙනෙකු එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුණි.


ඔවුන්ගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලදී අදාළ පුද්ගලයා පිළිබඳ තොරතුරු අනාවරණය වී තිබේ.


ඒ අනුව ඉන්දීය පොලිසිය විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඇති අතර මීට පෙර ඔහු මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් වසර 08 ක කාලයක් පුසාල් බන්ධනාගාරයේ රඳවා සිටි අයෙකු බව සඳහන්ය.



වෑන් එකෙන් ඇවිත් වෙඩි තියලා මරලා

පාදුක්ක, බෝපේ උඩගම ප්‍රදේශයේ දී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර තිබේ.

ඊයේ(30) රාත්‍රී වෑන් රථයකින් පැමිණි පුද්ගලයෙකු විසින් වෙඩි තැබීම සිදුකර පළා ගොස් ඇති බව පොලිසිය පැවසුවේය.


වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබු පුද්ගලයා පාදුක්ක රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් තිබේ.


මියගොස් ඇත්තේ 30 හැවිරිදි බෝපේ උඩගම ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙකි.


ඝාතනය සම්බන්ධයෙන් පාදුක්ක පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.



ෆයිසර් මුස්තාපා හංසයාට එක්වෙයි

අයෝජන ප්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය ලබාදීමට තීරණය කර තිබේ.

මේ වන විට කොළඹ, විහාරා මහාදේවි එළිමහන් රංග පීඨයේ පැවැත්වෙන උත්සවයට නියෝජ්‍ය ඇමති ෆයිසර් මුස්තාපා මහතා පැමිණ ඇති අතර එහිදි විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් නියෝජ්‍ය අමාත්‍යවරයා පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දක්වන බව සඳහන් කර තිබේ.



ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනීමට නම් විපක්ෂයක් අවශ්‍යයි

ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනීමට නම් විපක්ෂයක් අනිවාර්යෙන්ම අවශ්‍ය බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

පැරණිම දේශපාලන පක්ෂය වන එක්සත් ජාතික පක්ෂය මේ වනවිට පරිහානියටපත්ව ඇති අතර එම පක්ෂයට ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු පවා තෝරාපත්කර ගැනීමට නොහැකි වී ඇති බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි.


බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති සමස්ථ ලංකා රක්ෂණ උපදේශකවරුන්ගේ සංගමයේ උත්සවයකට එක්වෙමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කර තිබේ.


ඕනෑම දේශපාලන පක්ෂයකට ප්‍රජාතන්ත්‍රවාදය පැවතිය යුතු බව පෙන්වා දෙන ජනාධිපතිවරයා වත්මන් ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදයට ඉහළින්ම ගරු කළ ආණ්ඩුවක් බව ද සඳහන් කළේය.



කලාකරුවන්ට ගැහුව සැකකාර මන්ත්‍රී පොලීසියට බාරවෙයි

අලුත් පරපුර සංවිධානයට කුරුණෑගල, කුඹුක්ගැටේ ප්‍රදේශයේදී ප්‍රහාරයක් එල්ල කළ බවට චෝදනා එල්ල වන ප්‍රධාන සැකකරුවෙකු වන වයඹ පළාත් සභා මන්ත්‍රී දොන් කමල් ඉන්දික මහතා පොලීසියට බාර වී තිබේ.

අද(31) උදෑසන ගොකරැල්ල පොලීසියට මොහු බාර වූ බව වයඹ දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති අනුර සරත් කුමාර මහතා පවසයි.


"ඒකාධිපති වියරුව පරදවමු" යන මැයෙන් ඉකුත් 29 වන දින අලුත් පරපුර කලාකරුවන් පිරිසක් විසින් කුරුණෑගල කුඹුක්ගැටේ ප්‍රදේශයේදී සංවිධානය කළ සංකෘතික ප්‍රසංගයකට ප්‍රහාරයක් එල්ල වුණි.


එහිදී සමනලී ෆොන්සේකා, ඉන්ද්‍රචාප ලියනගේ ඇතුළු තරුණ කලාකරුවන් කිහිප දෙනෙකුසේම චිත‍්‍රපට අධ්‍යක්‍ෂ උදය ධර්මවර්ධන සහ ප‍්‍රවීණ ගායක ලක්‍ෂමන් විජේසේකර මහතා ද තුවාල ලබා ඇති බව වාර්තා විය.



අභිරහස් ඝාතකයා සොයා පොලිස් පරීක්ෂණ

වැල්ලවාය, බද්දේලන්දයාය ප්‍රදේශයේ අත් පා ගැට ගසා ගෙල සිරකර සිදුකළ පුද්ගල ඝාතන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

වැල්ලවාය පොලිසියට ලැබුණු තොරතුරකට අනුව මළ සිරුර සොයාගෙන ඇති බව සඳහන්ය.


ප්‍රදේශයේ රක්ෂිතයක අත් පා ගැටසා ගෙළ වැල දමා ඝාතනය කොට තිබිය දී මළ සිරුර සොයාගත් බව පොලිසිය සඳහන් කළේය.


ඝාතනයට ලක්වු පුද්ගලයාගේ අනන්‍යතාව මෙතක් තහවුරු වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.



අනවසර විදුලි රැහැන මරුවා කැඳවයි

වල්මුල්ල, බෝවල ප්‍රදේශයේදී අනවසරයෙන් ඇද තිබු විදුලි රැහැනක ගැටී පුද්ගලයෙකු මියගොස් තිබේ.

යාබද නිවසේ ඉඩම හරහා ඇද තිබු අනවසර විදුලි රැහැනක ගැටී මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය සඳහන් කළේය.


මියගොස් ඇත්තේ බෝවල, කොහොඹගහ වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 35 හැවිරිදි පුද්ගලයෙකි.


අසල් වැසි නිවෙස් හිමියා සමඟ පැවති ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවට පොලිසිය සිදුකරන ලද පරීක්ෂණ වලදී අනාවරණය වී තිබේ.


ඝාතනය සම්බන්ධයෙන් මරණකරුගේ යාබද නිවෙස් හිමියා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



ආපදා තත්ත්වය පහව යයි

ආපදා තත්ත්වය ක්‍රමයෙන් පහව යමින් පවතින බව ආපදා කළමනාකරන මධ්‍යස්ථානය පවසයි.

කෙසේ වෙතත් ආපදා තත්ත්වයෙන් අවතැන්වුවන් සඳහා අඛණ්ඩව සහන සැලසීමේ කටයුතු සිදුකෙරෙන බව එම මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසුවේය.



මුගුරකින් පහරදී කත මරලා

වැල්ලව , තෝරායාය ප්‍රදේශයේ මුගුරකින් පහරදී කාන්තාවක ඝාතනය කර තිබේ.

වැල්ලව පොලිසියට ලැබුණු තොරතුරකට අනුව මළ සිරුර සොයාගෙන ඇති බව සඳහන්ය.


මෙලෙස ඝතානයට ලක්ව ඇත්තේ වැල්ලව තෝරායාය, කහපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 85 හැවිරිදි කාන්තාවකි.


ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට ඇයගේ පුතා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු 52 හැවිරිදි පුද්ගලයෙකු වන බව පොලිසිය සඳහන් කළේය.


සැකකරු කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



අපි අතරේ රහසිගත ගිවිසුම් නෑ

පොදු අපේක්‍ෂක මෛත‍්‍රිපාල සිරිසේන මහතා සහ තම පක්ෂය අතර කිසිදු රහසිගත ගිවිසුමක් නොමැති බව දෙමළ ජාතික සන්ධානය කියයි.

ඉදිරි ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට සහය ලබාදෙන බව ද්‍රවිඩ සන්ධානය අද කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේය.


එහිදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා පැවසුවේ එවැනි රහසිගත ගිවිසුම් මගින් ජාතික ප‍්‍රශ්නවලට විසඳුම් සොයා ගත නොහැකි බවයි.


ජාතික හෙළ උරුමය පොදු අපේක්ෂකයාට සහය පළ කරමින් සිටියදී ද්‍රවිඩ සන්ධානය පොදු අපේක්ෂකයාට සහය පළ කරන්නේ කෙසේදැයි මෙහිදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කළේය.


එහිදි ද්‍රවිඩ සන්ධානය කියා සිටියේ ජාතික හෙළ උරුමය රජය සමග සිටියදී පවා ජනාධිපතිවරයා සාකච්ඡා සඳහා තම පක්ෂයට ආරාධනා කළ බවයි.


එම අවස්ථාවේදී සාකච්ඡා සඳහා සහභාගිවූ බවත්, එදා එසේ නම් දැන් සාකච්ඡා වලට එය බාධාවක් වන්නේ කෙසේදැයි ඔවුන් එහිදී ප්‍රශ්න කළේය.


තම පක්ෂය ඕනෑම පක්ෂයක් සමග සාකච්ඡා කිරීමට සුදානම් බවත්, එසේ වුවහොත් රටටම යහපත් වන විසඳුමකට එළඹීමට හැකි බවද ද්‍රවිඩ සන්ධානය එහිදී කියා සිටියේය.



ඉන්දියානු නළුවන්ට සැප පහසුකම් දෙනවා - ලංකාවේ තරුණ කලාකරුවන්ට පහරදෙනවා

කුරුණෑගල, කුඹුක්ගැටේදී පැවැත් වූ සංගීත හමුව හා වත්මන් පාලනයේ අසාධාරණය සහ අකටයුතුකම් පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනට. සහභාගී වූ අලූත් පරපුරේ කලාකරුවන් පිරිසකට එල්ලවූ මැර ප‍්‍රහාරය පිළිබඳ අදහස් දැක්වීමේ මාධ්‍ය හමුවක් අද (30) සෝලිස් හෝටලයේදී පැවැත්වුණි.

මේ සඳහා කලා කෂේත‍්‍රයේ නියෝජනය කරන පිරිසක් සහභාගී වි සිටියහ.


එහිදී කලාකරුවන් කිහිප දෙනෙකු දැක්වූ අදහස් පොදු විපක්ෂයේ මාධ්‍ය ඒකකය විසින් නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


එය පහත පරිදිය.


ප‍්‍රවීණ ගායන ශිල්පී ලක්ෂ්මන් විජේසේකර


මම ඒ වැඩසටහනට සහභාගී වුණේ දියණියගේ අරාධනාවත් එක්ක. කුඹුක්ගැටේ ප‍්‍රදේශයේ ජංගම වේදිකාවක් තුළ තමයි එය සිදුවුණේ. එහි පළමු ගීතය මා විසින් ගායනා කළා. නිල් බලකායේ පිරිසක් එම වේදිකාව හරහා ගමන් කරමින් කෝලහාල ඇතිකළා. වත්මන් ජනාධිපති ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කරනවා කියල නිතරම ප‍්‍රකාශ කරනවා. එහෙත් එහෙම දෙයක් සිදුවුණේ නැහැ. ඔවුන් ගල්මුල් ප‍්‍රහාර පවා එල්ල කළා, නිල් බලකායේ පිරිස සුදානමින් පැමිණි බව හොඳින්ම දැකගත හැකි වුණා. ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරයා මට පා පහරක් එල්ල කළා. අපි අපේ අදහස් ප‍්‍රකාශ කරන්න ගියේ. අද අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතියත් අහිමි වෙලා.


රංගන ශිල්පිනි සමනලී ෆොන්සේකා


කලාකරුව කියන්නේ ගෝත‍්‍රික භාවයෙන් මිදෙමින් පරිකප්ලපනය පුළුල් කරන කෙනෙක්. පවතින සීමාවෙන් එහා ලෝකයක් දකින කෙනෙක්. හැමදෙනාම කැමති එවැනි කලාවක් දකින්න. අද අමන දේශපාලනය නිසා මිනිසුන් වියරු වෙලා. බලතණ්හාවෙන් වියරු වුණු රාජපක්ෂ රෙජිමයට ආවඩන කලාකරුවන්ගෙන් අහන්න කැමතියි මේ අසාධාරණය ඔවුන්ට පෙන්නේ නැද්ද කියලා.


ලේඛක මොහාන් රාජ් මඩවල


නාමල් රාජපක්ෂගේ නිල් බලකායට අයත් පිරිසක් එහි ටී ෂර්ට් ද ඇඳගෙන පැමිණ කාන්තාවකට නොකිය යුතු අකාරයේ නින්දිත පරුෂ වචන ප‍්‍රකාශ කළා. ඊට පස්සේ ලක්‍ෂ්මන් විජේසේකර පියාට අතින් පයින් පහර දුන්නා. මෙය හුදු දේශපාලනික වැඩසටහනක් නෙමෙයි. පවතින සමාජ ක‍්‍රමයේ ප‍්‍රශ්නය ජනතාවට කියන්න හදපු උත්සහායක් අද දේශපාලනය විසින් මැරකම් කරන්නන්ට රැකවරණය දෙනවා. මෙයට මූලිකත්වය ගත්තේ පළාත්සභා මන්ත‍්‍රී දොන් කමල් ඉන්දික. අද පාර්ලිමේන්තුවේ ඉහළ තනතුරු ලැබෙන්නේ මැරකම් කරන පුද්ගලයින්ට. අද මිනිස්සුන්ට පහර දෙන්නේ අනන්‍යතාවයත් හෙළි කරමින්. මේ තරමට මේ පාලන ක‍්‍රමයේදී පරාජයෙන් වියරු වැටිලා.


ගායක ඉන්ද්‍රචාප ලියනගේ


මෙම අරගලය 8 වෙනිදට පමණක් සීමා වෙන්නේ නැහැ. ඉන්පසු සංවිධානයක් ලෙස මේ අරගලය ආරම්භ කරනවා. මේ අවස්ථාව එක අවස්ථාවක් පමණයි. ඉන්පසු සමාජයේ යහපත සඳහා වෙනත් මගකට යොමු කිරීමට අපි සුදානම්.


උපුල් ශාන්ත සන්නස්ගල


ජනාධිපතිවරණයට ඉන්දියානු නළුවන් ගෙන්වා ඔවුන්ට සැප පහසුකම් ලබා දී වැඳ නමස්කාර කර පිළිගන්නවා. ලංකාවේ තරුණ කලාකරුවන්ට පහර දෙනවා. ප‍්‍රවීණ ගායන ශිල්පී ලක්ෂමන් විජේසේකර එම අවස්ථාවේදී දුවට කතා කරනවා, ඒ දරු කැක්කුම ඇති වුණ අවස්ථාව, ඒ ආඩම්බරකාර තාත්තා පියාට පහර දෙන විට දුව කෑ ගහනවා මේ සිදුවීම දකින කිසිම දෙමව්පියෙකුට නිහඬව සිටිය නොහැකියි. සරත්චන්ද්‍ර මහතාට, රූකාන්ත ගුණතිලකට ආණ්ඩුව විසින් පහර දුන්නා. අනෝජා වීරසිංහගේ නිවාස පවා ගිනි තිබ්බා. අපි එදා වගේම ජනවාරි 8 වෙනිදායින් පසුත් එවැනි දේ වලට විරුද්ධයි. මේක දෙවැනි නිදහස් අරගලයයි. මගෙන් ඉගෙනගත් ලක්‍ෂ 12 ක් පමණ ශිෂ්‍යයින්ට ආරාධනා කරනවා මේ සමග එකතුවෙන්න කියලා.


රංගන ශිල්පී බිමල් ජයකොඩි :


වර්තමාන ආණ්ඩුව විසින් නිදහස් අදහසක් දරන්නට ඇති මිනිසුන්ගේ අයිතිය උදුරගන ව්‍යාජ පියෙක් ලෙස පෙනී සිටිනවා. මේ අවස්ථාවේදී හැම කලා ශිල්පියෙකුටම ඊට විරුද්ධව එක්වන ලෙස ප‍්‍රකාශ කරනවා.



බදුල්ල - බණ්ඩාරවෙල පාරට පස් කන්දක්

බදුල්ල - බණ්ඩාරවෙල මාර්ගයේ උඩුවර 6 කණුව ප්‍රදේශයට පස් කන්දක් කඩා වැටී තිබේ.

මේ හේතුවෙන් එම මාර්ගයේ රථ වාහන ගමනාගමනයට බාධා එල්ල වී ඇත.


හාලිඇල සහ දෙමෝදර යන ප්‍රදේශ අතර පිහිටි උඩුවර තේ වතුයායේ කොටසක් මෙලෙස නාය යැමට ලක්ව ඇති බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.


මේ හේතුවෙන් අදාල මාර්ගයේ රථ වාහාන ගමනාගමනයේ දී විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලයි.



උඩරට දුම්රිය නානුඔය දක්වා යයි

උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු නානුඔය දක්වා පමණක් මේවන විට සිදුකරන බව දුම්රිය පාලක මැදිරිය පවසයි.

පසුගිය දිනවල පැවැති අයහපත් කාලගුණය හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ප්‍රදේශ කිහිපයකට පස් කඳු කඩා වැටීමෙන් දුම්රිය ධාවනයට බාධා එල්ල විය.


මේ හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය රඹුක්කන දක්වා සීමා කර තිබුණි.


කෙසේ වෙතත් ඊයේ දිනය වන විට එම මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු නිම කිරීමෙන් අනතුරුව මහනුවර දක්වා දුම්රිය ධාවනය කිරීමට පියවර ගත් බව දුම්රිය ගමනාගමන අධිකාරි එල්.ඒ.ආර්. රත්නායක මහතා සඳහන් කළේය.


මේ වන විට නානුඔය දක්වා වු දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු නිම කර ඇති බැවින් නානුඔය දක්වා දුම්රිය ධාවනය කෙරෙන බව එල්.ඒ.ආර්. රත්නායක මහතා වැඩිදුරටත් පැවසුවේය.



අතුරුදන් ගුවන් යානයේ මළ සිරුරු හමුවෙයි

එයාර් ඒෂියා ගුවන් සේවයට අයත් අතුරුදහන් වු ගුවන් යානයේ සුන්බුන් කොටස් කිහිපයක් සහ මළ සිරුරු 6ක් හමුවී තිබේ.

බොර්නියෝ දුපත අශ්‍රිත මුහුදේ පාවෙන් තිබී අදාළ මළ සිරුරු සහ ගුවන් යානා සුන්බුන් කොටස් හමු වී ඇති බව විදේශ වාර්තා පෙන්වා දෙයි.


එමෙන්ම ගුවන් යානයේ විය හැකි බවට සැක කරන හදිසි දොරටුවක්, ජීවිත ආරක්ෂක කබා කිහිපයක් සොයාගෙන ඇති බවද එම මාධ්‍ය පෙන්වා දෙයි.


ඉන්දුනිසියාවේ සිට සිංගප්පූරුව බලා පියාසර කරමින් තිබිය දී එම යානය පසුගිය 28 වන දින අතුරුදන් වී තිබුණි.


මෙලෙස අතුරුදන්ව වුණේ QZ 8501 නමැති යානාවක් බව සඳහන් වුණි.


අතුරුදන්වන අවස්ථාව වන විට එම යානාව මගීන් 162 දෙනෙකු සිට ඇති බව වාර්ති විය.


ඉන්දුනීසියාවේ, සුරාබයා නුවර සිට ගමන් ආරම්භ කළ එම ගුවන් යානය ජකර්තා ගුවන් පාලන මධ්‍යස්ථානය සමඟ තිබු සබඳතා එදින පෙරවරු 7.24ට නතර වී ඇති බව එයාර් ඒෂීයා ගුවන් සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන ලදී.


අතුරුදන්වීමට පෙර ගුවන්ධාවන පඨය වෙනස් කිරීම සම්බන්ධයෙන් අදාළ යානයේ නියමුවා විසින් විමසීමක් කර ඇති බව ද වාර්තා වුණි



වෛද්‍යවරුන්ට 15,000යි - විශේෂඥ වෛද්‍යවරුන්ට 35,000යි - අපටත් ඕනෑ - නැතිනම් 2දා සිට වර්ජනයේ

වෛද්‍යවරුන්ට දුන් රුපියල් 25,000 දීමනාව ජනවාරීයේ සිට රුපියල් 40,000 දක්වාද, විශේෂඥ වෛද්‍යවරුන්ට ලබාදුන් රුපියල් 25,000ක දීමනාව ජනවාරීයේ සිට රුපියල් 60,000 දක්වාද වැඩි කර ඇති බැවින් තමන්ට ද ඒ හා අනූරුපී දීමනාවක් ලබානොදුනහොත් නව වසරේ ජනවාරී 02දා සිට අඛණ්ඩ වැඩවර්ජනයක් ආරම්භ කරන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරයි.

වෛද්‍යවරුන්ගේ දීමනාව එකවරම රුපියල් 15,000කින් හා ‍විශේෂඥ වෛද්‍යවරුන්ගේ දීමනාව රුපියල් 35,000කින් එකවරම වැඩි කිරීම හෙද නිලධාරීන්ට කළ අසාධාරණයක් යැයිද ඒ අනූව තමන්ට ද සාධාරණයක් විය යුතු බව එම සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා කියයි.


ඒ අනූව රුපියල් 15,000ක දීමනාවක් ලබාදෙන ලෙස ඉල්ලා රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය අද පෙරවරු‍ෙව් 8 සිට පැය 24ක සංකේත වැඩවර්ජනයක් ආරම්භ කළ අතර සිය වර්ජන ක්‍රියාදාමය ගැන කොළඹදී අද (30) මාධ්‍ය හමුවක් පවත්වමින් රත්නප්‍රිය මහතා අදහස් පළ කළේය.


එහිදී ඔහු කියා සිටියේ සොයිසා, ළමා රෝහල, කාසල් විදීයේ කාන්තා රෝහල හා පිළිකා රෝහල හැරුණු විට දිවයිනේ රෝහල් 650ක හෙද සේවකයින් 26,500කගේ සහභාගිත්වයෙන් වර්ජනය සාර්ථකව ක්‍රියාත්මක වන බවයි.


පැමිණ සිටීම, නිදි බාධක සහ ප්‍රවාහන යන අංශ තුනට අදාළව දැනට වෛද්‍යවරයෙකුට ලබාදෙන රුපියල් 40,000ක දීමනාව හා විශේෂඥ වෛද්‍යවරුන්ට ලබාදෙන රුපියල් 60,000ක දීමනාවට අනූරූපිව තමන්ටද සැලකිය යුතු දීමනාවක් ලබාදෙන ලෙස ඉල්ලා සිටින බව සමන් රත්නප්‍රිය මහතා එහිදී පැවසීය.


මේ ගැන අද පස්වරු 3ට සෞඛ්‍ය ලේකම්වරයා සමග සාකච්ඡාවක් ලබාදී ඇති බවත්, සාකච්ඡා අසාර්ථක වුවහොත් අද ආරම්භ කළ වර්ජනය හෙට පෙරවරු 8න් අවසන් කර ලබන 2 වැනිදා සිට අඛණ්ඩ වර්ජනයක නිරත වන බව ඒ මහතා කියා සිටියේය.



ශ්‍රී ලංකා ධජය සහිත යාත්‍රාවලට මසුන් ඇල්ලීමට ඉඩනොදෙයි

ශ්‍රී ලංකා ධජය සහිතව විදේශීය ධීවර යාත්‍රා විසින් කරගෙන ගිය මසුන් ඇල්ලීම් කටයුතු වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා ධජය යටතේ විදේශීය ධීවර යාත්‍රා ජාත්‍යයන්තර මුහුදේ ධීවර කටයුතු වල නිරත වීම පිළිබඳ මෙරට ධීවර ප්‍රජාවගෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබුණි.


ඒ පිළිබඳ අවධානය යොමු කර ශ්‍රී ලංකා ධජය සහිත විදේශීය ධීවර යාත්‍රා මඟින් ධීවර කටයුතුවල නිරතවීම අත්හිටු වීමට තීරණය කළ බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශය සඳහන් කළේය.



අම්මයි දුවයි මඟ මරුවාට බිලි

සියඹලාණ්ඩුව - අම්පාර ප්‍රධාන මාර්ගයේ 14කණුව ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් මවක සහ දියණියක මියගොස් තිබේ.

අම්පාර දෙස සිට සියඹලාණ්ඩුව දෙසට ගමන් ගත් බස් රථයක පිටුපසින් පැමිණි ත්‍රීරෝද රථයක් බසයේ ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලිසීය සඳහන් කළේය.


අනතුරෙන් ත්‍රීරෝද රථයේ ගමන් ගත් මව, පියා සහ දියණියන් දෙදෙනා තුවාල ලබා වඩිනාගල රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී දෙදෙනාම මියගොස් ඇත.


මියගොස් ඇත්තේ 45හැවිරිදි කාන්තාවක සහ 8හැවිරිදි දැරියකි.


අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු සියඹලාණ්ඩුව පොලිසිය විසින් අත්අඩංගුවට ඇත.



තිස්ස අත්තනායකගෙන් රහස් පොලීසිය ප්‍රශ්න කරයි

තම අත්සන ව්‍යාජ ලෙස යොදාගනිමින් ගිවිසුමක් අත්සන් කර ඇති බවට පරීක්ෂණයක් කරන්නැයි විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් පොලිස්පතිවරයාගෙන් කළ ඉල්ලීමට අනූව සෞඛ්‍ය අමාත්‍ය තිස්ස අත්තනායක මහතාගෙන් රහස් පොලීසිය ප්‍රශ්න කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පැවසුවේ අද පෙරවරුවේ මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තිස්ස අත්තනායක අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති බවයි.


තිස්ස අත්තනායක මහතා විසින් පසුගියදා මාධ්‍ය හමුවකදී කියා සිටියේ විපක්ෂනායකවරයා හා මෛත්‍රිපාල සිරිසේන මහතා අතර රහස් ගිවිසුමක් අත්සන් කර ඇති බවයි.


මෙම ප්‍රකාශය ගැන සැලවීමෙන් පසු පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලා විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතා පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කරන ලදී.


තමාගේ හා මෛත්‍රිපාල සිරිසේන මහතාගේ අත්සන් ව්‍යාජ ලෙස යොදාගනිමින් සකස් කර ඇති බව කියන එම ගිවිසුම ගැන පරීක්ෂණයක් පවත්වන ලෙස විපක්ෂනායකවරයා පොලිස්පතිවරයාගෙන් ඉල්ලා තිබිණ.



උඩරට දුම්රිය මාර්ගයේ පාඩුව කෝටි 12ක්?

මධ්‍යම කඳුකරයට පසුගිය දිනවල ඇදහැළුණු ධාරානිපාත වර්ෂාවත් සමඟ උඩරට දුම්රිය මාර්ගයේ පේරාදෙණිය සිට මාතලේ දක්වාත් පේරාදෙණිය සිට බදුල්ල දක්වාත් පස්කඳු කඩාවැටීමෙන් සහ නායයෑමෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට සිදුවූ අලාභය රු.මිලියන එකසිය විස්සකට ආසන්න බව දුම්රිය දෙපාර්තමේන්තු දිස්ත‍්‍රික් ඉංජිනේරු ලසන්ත කුමාර මහතා පවසයි.

මේ වන විට විනාශයට පත්වූ උඩරට දුම්රිය මාර්ගයේ නඩත්තු කටයුතු ආරම්භකර ඇති බවත්, මින් සිදුවූ විශාලම අලාභය අඹේවෙල දුම්රිය ස්ථානය අසල නායයෑම බව ලසන්ත කුමාර මහතා සඳහන් කරයි.


අඹේවෙල දුම්රිය ස්ථානය අසල 137 වෙනි සැතපුම් කණුව ආසන්නයේ දුම්රිය මාර්ග දෙකක් අඩි 100ක් දිගට අඩි 60ක් ගැඹුරට නායයෑමෙන් සිදුවූ අලාභය මිලියන විස්සක් බව ඉංජිනේරුවරයා කියයි.


එම නායගිය ස්ථානය දුම්රිය දෙපාර්තමේන්තුවේ මාර්ග නඩත්තු අංශයේ සේවකයින් හතලිස් දෙනෙකු පමණ යොදවා සම්පූර්ණයෙන්ම කළු ගල් අතුරා සකස්කිරීමට කටයුතු කර ඇති අතර මේ සඳහා කළු ගල් කියුබ් දහසක් පමණ වැයවන බව ඇස්තමේන්තුකර ඇති බව ඉංජිනේරුවරයා පවසයි.


අඹේවෙල දුම්රිය ස්ථානය නායයෑමෙන් විනාශවු දුම්රිය මාර්ග දෙකෙන් එක් මාර්ගයක් පවතින අයහපත් කාලගුණයත් සමඟම දින තුනක් ඇතුළත සකස්කර උඩරට දුම්රිය මාර්ගයේ ගමනා ගමන කටයුතු යථා තත්වයට පත්කර එම ස්ථානයේ වැඩිම හානියක් සිදුවී තිබෙන දුම්රිය මාර්ගයේ නඩත්තු කටයුතු ඉන් අනතුරුව සිදුකරන බව දිස්ත‍්‍රික් ඉංජිනේරුවරයා පවසයි.


මේ සඳහා අවශ්‍ය කළු ගල් මාර්ග සංවර්ධන අධිකාරිය මඟින් ලබාදෙන අතර මෙම කළු ගල් අඹේවෙල දුම්රිය ස්ථානයේ සිට නායගිය ස්ථානයට දුම්රියෙන් සහ පෞද්ගලික අංශයේ ලොරි රථවලින් ප‍්‍රවාහනය කරන බව ඉංජිනේරුවරයා වැඩිදුරටත් කියයි.


ඡායා රූ - රංජිත් රාජපක්ෂ



පුත්තලම නගරාධිපතිට බැන්නැයි කොස්තාපල් අත්අඩංගුවේ

පුත්තලම නගරාධිපතිවරයාට බැන වැදී තර්ජනය කළ බව කියන පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පුත්තලම පොලීසිය කියයි.

අත්අඩංගුවට ගෙන ඇත්තේ අනුරාධපුර මූලස්ථාන පොලීසියට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල් 41347 නොයෙල් වොරන්ටියස් නම් අයෙකි.


වැසි ජලය බැස නොයාම හේතුවෙන් පීඩාවට පත්වී සිටි පුත්තලම 5 වන පටුමග පදිංචිකරුවන්ට ආහාර ද්ර ව්යන බෙදාදීම සඳහා පසුගිය 26 වැනිදා සවස පුත්තලම ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාන්තා බල මණ්ඩලයේ සාමාජිකාවන් පිරිසක් ගොස් ඇත.


එම ස්ථානයේ සිටි පිරිසක් තමන්ට බැණ තර්ජනය කර පළවා හැරි බව පුත්තලම ආසන බල මණ්ඩලයේ ලේකම් මේරි මාග්රුට් ප්‍රනාන්දු යන අයද පොලීසියට පැමිණිලි කරමින් පවසා තිබුණි.


මෙම සිද්ධිය දැන ගෙන එම ස්ථානයට ගිය තමන්ටද දෙදෙනෙකු බැන වැදී තර්ජනය කළ බවත්,ඒ අතර මෙම පොලිස් නිලධාරියාද සිටින බවත්, පුත්තලම නගරාධිපති කේ.ඒ.බායිස් මහතා පොලීසියට කර ඇති පැමිණිල්ලේ සඳහන් වේ.


සැකකාර පොලිස් නිලධාරියා කලහකාරී ලෙස හැසිරෙමින් තමන්ට පරුෂ වචනයෙන් බැන බදින ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන ද නගරාධිපතිවරයා විසින් පොලීසියට ඉදිරිපත් කර තිබේ.


ඒ අනුව සැකකාර පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගැනීමට පුත්තලම පොලීසියේ නිලධාරීන් කටයුතු කර තිබේ. සැකකරු පුත්තලම දිසා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.



මනමේන්ද්‍ර මහින්දටයි

ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහය පළ කිරීමට තීරණය කළ බව නව සිහල උරුමයේ නායක, ජනාධිපතිධූර අපේක්ෂක සරත් මනමේන්ද්‍ර මහතා පවසයි.

මේ වන විට කොළඹ පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළ බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.



ටී.එන්.ඒ. මෛත්‍රීට සහයවෙයි

දෙමළ ජාතික සන්ධානය ඉදිරි ජනාධිපතිවරණ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහයෝගය පළ කිරීමට තීරණය කර තිබේ.

මේ වන විට කොළඹදී පැවැත්වෙන මාධ්‍ය හමුවේදී දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා මේ බව සඳහන් කළ බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.


දෙමළ ජාතික සන්ධානය ඉදිරි ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහයෝගය ලබාදීමට ඉඩ ඇති බව ඇතැම් මාධ්‍ය මගින් ‍පසුගිය දින කිහිපය තුළම අනාවරණය කරන ලදී.



මෛත්‍රිගේ අාධාරකරුවන්ට පහරදුන් 4ක් අත්අඩංගුවේ

මහියංගණය, නිදන්ගල ප්‍රදේශයේ දී මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආධාරකරුවන් තිදෙනෙකුට පහරදී මැතිවරණ ප්‍රචාරක කාර්යාලයකට හානී සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ මහියංගණය පොලීසිය විසින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවයි.


පසුගිය ඉරිදා මෙම ප්‍රහාරය එල්ල කර තිබු අතර සිද්ධියෙන් තුවාල ලැබු පුද්ගලයින් මේ වන විට මහියංගණය රෝහලේ ප්‍රතිකාර ලබන බව සඳහන්ය.


අත්අඩංගුවට ගත් සැකකරුවන් මහියංගණය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 06 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව පොලීසිය සඳහන් කර සිටියේය.



එක්සත් ජාතීන්ගේ මහලේකම්ගෙන් ඉල්ලීමක්

නිදහස් හා සාමකාමී මෙන්ම විශ්වාසවන්ත ජනාධිපතිවරණයක් පැවැත්වීමට ශ‍්‍රී ලංකා රජය පියවර ගනු ඇතැයි තමාගේ විශ්වාසය බව එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කී මුන් මහතා පවසයි.

ඔහු රජයෙන් ඉල්ලා සිටින්නේ සාමකාමී හා විශ්වසනීය මැතිවරණ ක‍්‍රියාවලියකට අවශ්‍ය වැඩපිළිවෙළ ක‍්‍රියාවට නංවන ලෙසයි.


එසේම ඉතා මෑතක කාලයේදී අන්තවාදී අදහස් උදහස් ඇති බෞද්ධ කණ්ඩායම් විසින් ශ්‍රී ලංකාවේ මුස්ලිම් සහ ක්‍රිස්තියානි ප්‍රජාවන්ට එරෙහිව ප්‍රචණ්ඩත්වය හා එකිනෙකාගේ ගුණදොස් සොයමින් සොයමින් සිටින බවත්, එය ශ්‍රී ලංකාව නැවත වරක් කැරැල්ලකට යා හැකි මගක් විය හැකි බවත් ඒ මහතා එහිදී වැඩිදුරටත් පෙන්වාදී තිබේ.



අලුත් පරපුරට ගැහුවේ කවුදැයි අපි දන්නවා

ගොකරැල්ල කුඹුක්ගැටේ ප්‍රදේශයේ දී කලා කරුවන් පිරිසකට එල්ල වු ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් හඳුනාගෙන ඇති බව පොලීසිය පවසයි.

ප්‍රහාරයෙන් පුද්ගලයින් දෙදෙනකු තුවාල ලබා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා සඳහන් කළේය .


පහරදීම සිදුකළ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා බවද අජිත් රෝහණ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.



නාවික හමුදාව ඉන්දීය ධීවරයින්ට සහය වුණේ මෙහෙමයි

නාවික හමුදාව විසින් ඉන්දීය ධීවරයින් 08 දෙනෙකු බේරා ගෙන තිබේ.

කච්චතිව් දුපත අසන්නයේ වු මුහුදු සීමාවේ දී ධීවර යාත්‍රා දෙකක සිටි මෙම ධිවරයින් පිරිස බෙරාගත් බව නාවික හමුදාව සඳහන් කළේය.


උතුරු නාවික විධානයට අයත් නාවික හමුදා නිලධාරින් විසින් බේරාගත් මෙම ඉන්දීය ධීවරයින් 08 දෙනා ආරක්ෂිත ගොඩබිමට රැගෙනවිත් තිබේ.


එම ධීවරයින් ඩෙල්ෆ් පොලීසියට භාර දුන් බව නාවික හමුදාව සඳහන් ක‍ර සිටියේය.



ටී.එන්.ඒ. තීන්දුව අද!

ඉදිරි ජනාධිපතිවරණයේ දී දෙමළ ජාතික සන්ධානයේ ස්ථාවරය අද ප්‍රකාශයට පත් කිරිමට නියමිතයව තිබේ.

දෙමළ ජාතික සන්ධානයේ ප්‍රකාශකයෙකු සදහන් ක‍‍ළේ අද පෙරවරුවේ මාධ්‍ය හමුවක් පවත්වා සිය පක්ෂයේ ස්ථාවරය දැනුම්දෙන බවයි.


ඉලංගෙයි තමිල් අරුසුකච්චි පක්ෂය ඇතුළු දෙමළ ජාතික සන්ධානයට අයත් පක්ෂවල නියෝජිතයින් පසුගිය දින කිහිපය තුළම ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වනු ලැබුණි.


ඒ අනුව මේ වන විට ඉදිරි ජනාධිපතිවරණයේ දී සිය පක්ෂය අවසන් එකඟතාවයකට පැමිණ ඇති බව දෙමළ ජාතික සංධානය සදහන් ක‍ළේය.


මෙතෙක් දෙමළ ජාතික සන්ධාන සිය ස්ථාවරය ප්‍රකාශයට පත් නොකළ ද ආණ්ඩුව පවසන්නේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා සහ දෙමළ ජාතික සන්ධානය අතර එකඟතාවක් පවතින බවයි.



තැපැල් ඡන්දය සලකුණු කීරිමට අදත් අවස්ථාව

ජනාධිපතිවරණයට අදාළව තැපැල් ඡන්දය සලකුණු නොකළ පුද්ගලයින් සඳහා අද දිනයෙත් අවස්ථාව පවතින බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය පවසයි.

තැපැල් ඡන්ද සලකුණු කිරිම පසුගිය 23 සහ 24 යන දෙදින ලබා දී තිබු අතර පොලිස් නිලධාරින් සඳහා තැපැල් ඡන්දය සලකුණු කිරිමට පසුගිය 26 දින අවස්ථාව ලබා දී තිබුණි.


එම දින වල තැපැල් ඡන්දය සලකුණු කිරිමට නොහැකි වු පුද්ගලයින් සඳහා අද දිනයේ අවස්ථාව හිමිවන බව මැතිවරණ මහලේකම් කාර්යාලය සඳහන් කළේය.


සියලුම දිස්ත්‍රික් මැතිවරණ ලේකම් කාර්යාල වල ඒ සඳහා අවස්ථාව ලබා දී තිබේ.


ඒ අනුව තැපැල් ඡන්දය ප්‍රකාශ නොකළ පුද්ගලයින් රාජකාරි ආයතනය අයත් දිස්ත්‍රික්කයේ මැතිවරණ මහ ලේකම් කාර්යාලයට ගොස් සිය තැපැල් ඡන්දය සලකුණු කල හැකි බව අතිරේක මැතිවරණ කොමසාරිස් යු. අමරදාස මහතා සදහන් කර සිටියේය.


මේ අතර ජනාධිපතිවරණයට අදාළව තාවකාලික හැඳුනුම්පත් නිකුත් කිරීමේ කාලය ලබන 03වන දින අවසන් වන බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි.


වලංගු හැඳුනුම්පතක් නොමැති සැම පුද්ගලයෙකු ම ඡන්ද ප්‍රකාශ කීරිම සඳහා තාවකාලික හැඳුනුම්පතක් ලබා ගැනීම අනිවාර්යවෙයි.


ග්‍රාම නිලධාරිවරයා මාර්ගයෙන් අදාළ තවකාලික හැදුනුම්පත් ලබා ගත හැකි අතර ලබන 03 දිනෙන් පසුව තවකාලික හැදුනුම්පත් නිකුත් කිරිම නතර කරන බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය සඳහන් කළේය.



නිධානයක් ගොඩදාන්න ගිය හිමිනම ඇතුළු 13 ක් දැලේ

මහකුඹුක්කඩවල - කොහොඹගස් යාය ප්‍රදේශයේ අක්කර 18 ක් විනාශ ඉඩමක් මැද නිධානයක් ගොඩ ගැනීමට උත්සහ කළ බව කියන භික්ෂුන් වහන්සේ කෙනෙකු ඇතුළු 13 දෙනෙකු මුන්දලම මුන්දලම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (29)කළ වැටලීමකදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.


අත්අඩංගුවට ගෙන ඇති පිරිස අතර කාන්තාවන් දෙදෙනෙකු සහ කුඩා පිරිමි ළමයෙකුද වන බවත්,මොවුන් පැමිණි බව කියන වෑන් රථයක් හා ත්‍රී රෝද රථයක්ද පොලිස් බාරයට ගෙන ඇති බවත් සඳහන්ය.


පොලීසිය විසින් වැටලීම සිදු කරන විට අඩි 15 ක් පමණ ගැඹුරට කැණීම් කටයුතු කර තිබී ඇති අතර එම ස්ථානයේ තිබී වතුර මෝටරයක්,බෙර දෙකක්,බහිරව පුජාව සදහා යොදා ගන්නා මල් බුලත් තට්ටුවක් ඇතුළු දෑ පොලිස් බාරයට ගෙන ඇති බව අප වාර්තාකරු කියා සිටියි.


අත්අඩංගුවට ගෙන ඇති භික්ෂුන් වහන්සේ කුලියාපිටිය - කිතලව ප්‍රදේශයේ දේවාලයක් පවත්වා ගෙන යන වයස අවුරුදු 30 ක පමණ අයෙකු බව කියැවෙයි.


සෙසු සැකකරුවන් සැකකරුවන් අතර කුලියාපිටිය සහ බොරලැස්ස පදිංචිකරුවන් වන අතර ඔවුන් එකම පවුලේ අයවළුන් බව පොලීසිය විසින් අනාවරණය කරගෙන තිබේ.


ඔවුන් සමග අත්අඩංගුවට පත් වී ඇති කුඩා පිරිමි දරුවා දක්ෂ බෙර වාදකයෙකු බව පොලීසිය කියයි.


කැණීම් කටයුතු කර ඇති ස්ථානයේ මැණික් තිබෙන බවට තමන්ට අනාවරණය වී ඇති බව බව සැකකරුවන් පොලීසිය හමුවේ පවසා ඇත.


මේ දිනවල ඇද හැළෙන වැසි නිසා අවට පදිංචිකරුවන්ට නොදැන්න පරිදි නිධානය ගොඩ දැමීමට සැකකරුවන් සුදානම් වී සිට ඇති බවද පොලීසිය කියයි.


අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් පුත්තලම දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.


පුත්තලම කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සෙනරත් පද්මලාල් සඳුන්ගහවත්ත,කල්පිටිය සහකාර පොලිස් අධිකාරී මනෝජ් රණගල යන මහත්වරුන්ගේ උපදෙස් මත මුන්දලම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලලිත් සඳසිරි,උප පොලිස් පරීක්ෂකවරුන් වන එම්.ඩී.සරත්,සුභසිංහ,පොලිස් සැරයන් 41340 අමිත්,පොලිස් කොස්තාපල්වරුන් වන 59795 නිශාන්ත,33514 ජයවර්ධන,54756 බර්ෂාඩ්,50602 අමල්,පොලිස් සැරයන් රියදුරු 8596 පාලිත යන නිලධාරීන් විසින් මෙම වැටලීම සිදු කර තිබේ.



දඹුල්ල නියෝජ්‍ය නගරාධිපතිත් හංස වේදිකාවේ

දඹුල්ලේ අද පස්වරුවේ පැවැති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැතිවරණ රැළියට දඹුල්ල මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති කුසුම්සිරි ආරියතිලක මහතා සහ නාගරික මන්ත්‍රී එච්.එම් රූපසිංහ යන මහත්වරුද එක්ව සිටියහ.

දඹුල්ල ගම්උදා ක්‍රීඩාංගණයේදී මෙම රැළිය පැවැත්විණ.



හෙට අපි වර්ජනයේ!

දිවයින පුරා රෝහල්වල හෙට හෙට (30) උදෑසන 7 සිට එක්දින සංකේත වැඩ වර්ජනයක නිරත වන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප‍්‍රිය මහතා පවසයි.

රුපියල් රුපියල් 15,000ක දීමනාවක් ලබාදෙන ලෙස ඉල්ලා මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බව හෙතෙම කියයි.



කේ.පී. රාම් හා නගුලන් වහාම අත්අඩංගුවට ගත යුතුයි

වර්තමානයේ පවතින ආණඩුව විසින් මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ සන්ධානය සමග ත‍්‍රස්තවාදීන් කටයුතු කරන බවට අසත්‍ය ප‍්‍රචාරයන් ගෙන ගියත්, සැබෑම කොටි සංවිධානයේ නායකයින් මහින්ද රාජපක්ෂ මහතා සමග එක් වී සිටින බවත්, ජාතික හෙළ උරුමයේ මහ ලේකම් පාඨලී චම්පික රණවක මහතා පවසයි.

අද (29) පොදු අපේක්ෂක ජනාධිපතිවරණ මෙහෙයුම් කාර්යාලයේ දී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.


එහිදී පාඨලි චම්පික රණවක මහතා මෙසේ ද වැඩිදුරටත් අදහස් දැක්වූ බව පොදු අපේක්ෂක මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.


එම නිවේදනය වැඩිදුරටත් පහත පරිදිය.


2005 වසරේ මහන්ද චින්තන ප‍්‍රත්පත්ති ප‍්‍රකාශයේ ත‍්‍රස්තවාදීන් සමග සටන් කරන බව සඳහන් වූයේ නැත. එහි සඳහන් වූයේ ත‍්‍රස්තවාදී නායකයා සමග සාකච්ඡා මාර්ගයෙන් ප‍්‍රශ්න විසඳා ගන්නා බවයි. එහි ප‍්‍රතිඵලයක් ලෙස බැසිල් රාජපක්ෂ මහතා හා එමිල් ඛාන් සමග සාකච්ඡා පැවැත්වීය. ජය ලංකා ව්‍යාපාරය යටතේ සුනාමි ව්‍යවසනයෙන් පීඩාවට පත් වුවන්ගේ නිවාස සෑදිමට ලැබුණු මිලියන 700 මුදල ත‍්‍රස්තවාදීන්ට ලබා දුන් බවට තොරතුරු ලැබේ.


ප‍්‍රභාකරන්ගේ මරණයෙන් පසු 2009 ජූලි 21 වෙනි දින නිකුත් කළ ත‍්‍රස්තවාදීන් නැවත සංවිධානය වන බව ඉදිරිපත් කළ මාධ්‍ය නිවේදනයේ නව නායකයා පද්මනාදන් ලෙස හඳුන්වා දී තිබුණි. ලංකාව තුළ බොහෝ ඝාතන ප‍්‍රමාණයක් ඔහු විසින් සිදු කළා. ආයුධ හා පුපුරණ ද්‍රව්‍ය රටතුළට ගෙන ඒමට ඔහු දායක වුණා. ඔහු වර්තමාන ආණ්ඩුවේ රැකවරණය ලබමින් සිටිනවා. කිළිනොච්චිය ප‍්‍රදේශයේ සිට මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ කටයුතු මෙහෙයවනු ලබන්නේ ඔහු විසින්.


නැගෙනහිර පළාතේ විශාල පිරිසක් ඝාතනය කර ඌව, දකුණ වැනි ප‍්‍රදේශවල පවා භීෂණය පැතිර වූ ‘රාම්’ හා ‘නගුලන්’ යන ත‍්‍රස්තවාදී නායකයින් නිදහස් කර රාජපක්ෂ මහතාගේ දේශපාලන කටයුතු සඳහා යොදාගනී.පිල්ලේයාන් හා කරුණා අම්මාන් යන අයට අමතරව ලේ තැවරුණ ත‍්‍රස්තවාදීන් මහින්ද රාජපක්ෂ මහතා සමග සිටි. මහින්ද රාජපක්ෂ මහතාගේ උතුරේ ජන්ද වර්ජනය කිරීමේ ව්‍යාපෘතිය තුළින් නැවත ත‍්‍රස්තවාදී බලපෑම් මුළු රටටම ඇති වීමේ අවදානමක් තිබේ. රටට විණකළ ජාතිය විනාශ කරන මේ සෑම ත‍්‍රස්තයෙක්ම වහාම අත්අඩංගුවට ගත යුතු බව චම්පික රණවක අවධාරණය කරයි.


මෛත‍්‍රිපාල සිරිසේන මහතා බලයටපත් වූ විට රටේ එකීය භාවය අස්ථාවරවන බවට ආණ්ඩුපක්ෂය විසින් චෝදනා නගිමින් සිටි. මහින්ද චින්තනය ලොව දිනන මග ප‍්‍රකාශනය තුළ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන බව සඳහන් කළත් රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආයතන,ඒකීය භාවය පිළිබඳව කිසිදු සඳහනක් නැත.


නමුත් මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය තුළ අත්නෝමතික විධායක ජනාධිපති ක‍්‍රමය වෙනුවට කැබිනට් මණඩලය හරහා පාර්ලිමේන්තුව හා සම්බන්ධ වූ ආණ්ඩු ක‍්‍රම ව්‍යුහයක් හඳුන්වා දෙනු ඇත. එහිදී ජනාධිපතිවරයා නීතිය ඉදිරියේ අන් පුරවැසියන් හා සමානව සලකනු ඇත. මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රතිපත්තිය ප‍්‍රකාශනය, කිසියම් සංවිධානයක හෝ පුද්ගලයෙකුගේ ප‍්‍රතිපත්තියක් නොවෙයි.එය පොදු ප‍්‍රතිපත්තියකි.


මෙම අවස්ථාව සඳහා සම්බන්ධ වූ ජාතික හෙළ උරුමයේ සභාපති පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ මෙලෙස ප‍්‍රකාශ කළෝය.


‘‘වර්තමාන ආණඩුවට ත‍්‍රස්තවාදය නිර්මාණය කරගැනීමේ අවශ්‍යතාවක් තිබේ. මානුෂීය මෙහෙයුමක් කරා ගමන් කළේ අපි මූලිකත්වය ගැනීමෙන් පසුවය. 2012 වර්ෂයේදී කැසිනෝ නියාමන පනතක් ඇති කරගනිමින් කැසිනෝ ව්‍යාපාරිකයන්ට අවශ්‍ය පරිසරය සැකසීමට ආණුඩුව කටයුතු කළේය. අද වන විට මේ රටේ විසිදහසක් දෙනා මිය යන්නේ මත්ද්‍රව්‍ය හෙතුවෙනි. එය නැවැත්වීමට කටයුතු කළත් ඒ සඳහා අවස්ඵාව නොලැබුණි. එවැනි දේවලින් ලබා ගන්නා මුදල් ආණ්ඩුවේ මැතිවරණ කටයුතු සඳහා යොදාගනි.



අවුරුදු 17ක ළමයෙක් කපා කොටා මරලා

අංක 204/B. බියගම පාර, පට්ටිය, කැලණිය යන ස්ථානයේදී අද දහවල් වයස අවුරුදු 17ක ළමයෙකු කපා කොටා ඝාතනය කර ඇති බව පොලීසිය කියයි.

අද දහවල් 1.30ට පමණ මෙය සිදුව ඇති බවත්, සිද්ධිය ගැන පරීක්ෂණ කරන බවත්, පොලිස් මාධ්‍ය ඒකකය පැවසීය.


කණ්ඩායම් දෙකක් අතර කලක සිට තිබූ ආරවුලක ප්‍රතිඵලයක් ලෙස ඝාතනය සිදුව ඇතැයිද පොලීසිය කීවේය.



වැස්සෙන් වගා හානී වූ අයට නොමිලේ බිත්තර වී දෙනවාලු

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් හානි වු වගාවන් සඳහා වන්දි ලබාදීමේ කටයුතු කඩිනමින් ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

මෙවර කන්නයේ වගා කටයුතු සාර්ථකව සිදුවුව ද අධික වර්ෂාව හේතුවෙන් අස්වැන්න විනාශ වී යාමේ අවදානමක් පවතින බව වාර්තා වේ.


මේ හේතුවෙන් හානි වු වගාවන් සඳහා වන්දි ලබාදීමටත්, ඊළඟ කන්නය සඳහා ගොවීන්ට අවශ්‍ය සහනාධාර ලබාදීමටත් කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර ඇත.


විශේෂයෙන් බිත්තර වී නොමිලේ ලබාදීමට සහ අනෙකුත් බීජ රජයේ සහනාධාර ක්‍රමය යටතේ ගොවීන් වෙත ලබාදීමට තීරණය කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පැවසුවේය.



ස්වාමියා ඝාතනය කරනු එපා - සෝලංගආරච්චි මිය හැඬූ කඳුළින් කියයි

තම ස්වාමි පුරුෂයා ඝාතනය නොකරන ලෙසත්, වරදක් කර ඇත්නම් හිරේ විලංගුවේ දමා දඬුවම් දෙන ලෙසත් තිවංකා සෝලංගආරච්චි මහත්මිය ඉල්ලා සිටියි.

තම ස්වාමි පුරුෂයා වන මුල්ලේරියාව-කොටිකාවත්ත ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රසන්න සෝලංගආරච්චි මහතාගේ ජීවිතයට තර්ජන එල්ලවී තිබීම සම්බන්ධයෙන් අද (29) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය මේ බව සඳහන් කළාය.


සාවිත්‍ර ද සිල්වාගේ පැමිණිල්ලකට අනුව මිනිත්තු 5න් 5ට පොලීසිය පැමිණ ප්‍රසන්න ගැන අසන බවත්, සාවිත්‍ර පොලිසියට යන්නේ ආරක්ෂක අමාත්‍යංශයේ උපදේශකයෙකු වන නීතිඥ හරිගුප්තා රෝහණධීර සමග බවත්, ඒ නිසාම මෙම ව්‍යාජ පැමිණිලි සිදුවීම්වල එකට එකක සම්බන්ධයක් පවතින බවත් සෝලංගආරච්චි මිය කියා සිටියාය.


කළු පැහැති ඇඳුම් ඇඳගත්, මුහුණු ආවරණය කරගත් පිරිස් මෙන්ම සුදු වෑන් මේවන විට දිවා රැයේ කොටිකාවත්ත-මුල්ලේරියාව ප්‍රදේශවල සැරිසරන බවත්,මේ ආකාරයෙන්ම සැරිසරන ලද පිරිස් විසින් 2010 ඔක්තෝම්බර් මස 08 වන දින භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනය කළ බවත් ඇය සිහිපත් කළාය.


තම ස්වාමි පුරුෂයා ඝාතනය වනු දැකීම තමා කිසිසේත්ම අපේක්ෂා නොකරන බවත්, තම ස්වාමි පුරුෂයා තමාටත් , තම දරුවන්ටත් බෙහෙවින් ආදරය කරන බවත් ඇය සඳහන් කළාය.


දෙදෙනාගේ විවාහයට අත්සන් කරනු ලැබුවේද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බවත්, ජනාධිපතිවරයා තම බිරිඳට හා දරුවන්ට ආදරය දක්වන්නේ යම් සේක්ද එපමණකින්ම තම පවුලටද ආදරය හා රැකවරණය අවශ්‍ය බවත් සෝලංගආරච්චි මිය අවධාරණය කළාය.


කොළොන්නාව ප්‍රදේශයේ භීෂණකාරී තත්ත්වයක් දක්නට නොමැති වුවද රජය විසින් එවැන්නක් මවාපාන බවත්, එහෙත් ඒ කුමන වුවමනාවක් මතද යන්න තමන් නොදන්නා බවත් ඇය පෙන්වා දුන්නාය.


තම ස්වාමි පුරුෂයා අවි ආයුධ භාවිතා කිරීමට කැමැත්තක් දක්වන කෙනෙකු නොවන බවත්, එසේ වුවද වැරැද්ද දුට තැන වැරදි බව කියාපෑමට කිසිසේත්ම පසුබට නොවන බවත් ඇය කියා සිටියාය.


ඒ නිසාම ඔහුට මෛත්‍රීපාල සිරිසේන මහතාට යහපාලනයක් සඳහා සහයදීමට දේශපාලන තීන්දුවක් ගැනීමට සාධාරණ අයිතියක් ඇති බවත්, එවැනි තීරණයක් ගත් අයෙකුට මෙලෙස දරුණු ත්‍රස්තවාදියෙකු තරමට පළිගැනීමට කටයුතු කිරීම සුදුසු නොවන බවත් සෝලංගආරච්චි මිය පෙන්වාදුන්නාය.


තමා මේ වන විට ගැබිණි මවක වුවද හිතේ කිසිදු නිදහසක් නොමැති බවත්, උදෑසන අවදිවුණු මොහොතේ සිටම ස්වාමියාට ඇති තර්ජන හේතුවෙන් භීතියෙන් දිවි ගෙවීමට සිදුව ඇති බවත්, තම ස්වාමියාට අනතුරක් නොකරන ලෙස තමන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවත් ඇය හැඬූ කඳුළින් යුතුව වැඩිදුරටත් කියා සිටියාය.



බීමතින් රිය පැදවූ 660ක් අත්අඩංගුවේ

අද පෙරවරු 6න් අවසන් වු පැය 24ක තුළ බීමත් රියදුරන් 125දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක විශේෂ මෙහෙයුමක් පසුගිය 24 වැනිදා පොලීසිය ආරම්භ කළේය..


ඒ අනුව මේ දක්වා බීමත් රියදුරන් 660 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය පැවසීය.


අත්අඩංගුවට ගත් පිරිස අතුරෙන් 335 දෙනෙකුම යතුරුපැදිකරුවන්ය.


මීට අමතරව ත්‍රිරෝද රථ රියදුරන් 227 දෙනෙකු , මෝටර් රථ රියදුරන් 43 දෙනෙකු, වෑන් රථ රියදුරන් 20 දෙනෙකු, ලොරි රථ රියදුරන් 20 දෙනෙකු සහ පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථ රියදුරන් 5 දෙනෙකු අත්අඩංගුවට ගත් පිරිස අතර වේ.



මුතුහෙට්ටිට ඇප - පොලීසියට ඇතුළුවීම තහනම්

නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා අද රුපියල් ලක්ෂ 5 බැගින් වන ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට බද්දේගම මහේස්ත්‍රාත් චන්දිම එදිරිමාන්න මහතා නියෝග කර තිබේ.

එසේම සැකකරුට බද්දේගම අධිකරණ බලප්‍රදේශයේ කිසිදු පොලිස් ස්ථානයකට ඇතුළුවීමද වළක්වමින් එම නියෝගය නිකුත් කෙරිණ.


මෛත්‍රිපාල සිරිසේන මහතාගේ වඳුරඹ වේදිකාවට ගිනි තැබීමේ සිද්ධියේ සැකකරුවන් තිදෙනෙකු පොලිසියට පැමිණ බලහත්කාරයෙන් පැහැරගෙන යාමේ චෝදනා මත ඔහු අත්අඩංගුවට ගන්නැයි මහේස්ත්‍රාත්වරයා පසුගියදා වරෙන්තුවක් නිකුත් කරන ලදී.


පොලිස්පතිවරයා‍ මාර්ගයෙන් එසේ වරෙන්තුව නිකුත් කර තිබියදී නියෝජ්‍ය ඇමතිවරයා සිංගප්පූරුව බලාගොස් තිබිණ.


ඔහු ඊයේ දිවයිනට පැමිණි විට කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගත් අතර මීගමුව මහේස්ත්‍රාත්වරයා හමුවට පැමිණවීමෙන් පසු හෙට දක්වා රිමාන්ඩ් කිරීමට නියෝග කරන ලදී.


කෙසේ වුවද සැකකාර නියෝජ්‍ය ඇමතිවරයාව අද බද්දේගම මහේස්ත්‍රාත්වරයා හමුවට පැමිණවීමෙන් පසු මෙම නියෝගය නිකුත් කළ අතර ඒ අනූව සැකකරු ලබන ජනවාරී 26දා යළි උසාවියට ඉදිරිපත් කරන ලෙසද නියෝග කෙරිණ.



ස්ථාවර වන රට අස්ථාවර කරන්න විදෙස් රටවල් බලා සිටිනවා

ශ්‍රී ලංකාව ස්ථාවර රටක් ලෙස ගොඩනැගෙමින් තිබෙන විට එය අසාර්ථක කිරීම සඳහා ඇතැම් විදේශ රටවල් බලා සිටින බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අසත්‍ය ප්‍රචාර ගෙන යමින් රට සංවර්ධන කිරීමේ වැඩපිළිවෙළ වැළැක්වීම සඳහා ඇතැමුන් ගෙන යන වැඩසටහන් පිළිබඳව අවබෝධයෙන් කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා කියයි.


යුරෝපයේ ශ්‍රී ලාංකිකයෝ සංවිධානය සමග අද පෙරවරුවේ කොළඹ පැවති හමුවකට එක්වෙමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ බව පැවසීය.


ඉතාලිය, එංගලන්තය, ජර්මනිය, ස්විට්සර්ලන්තය, නෙදර්ලන්තය සහ ස්වීඩනය යන රටවල් නියෝජනය කරමින් නියෝජිතයින් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටි බව ජනාධිපතිවරණ ප්‍රචාරක මෙහෙයුම් කාර්යාලය සඳහන් කළේය.



අලුත් පරපුරට කුඹුක්ගැටේදී ප්‍රහාරයක්

ඒකාධිපති වියරුව පරාජය කිරීම හා මානව සමාජයේ නිදහස වෙනුවෙන් හඞනැඟීම ඉලක්ක කර ගනිමින් තරුණ කලාකරුවන්ගේ එකමුතුවකින් ඇරඹි‘‘අලුත් පරපුර ’’ සංවිධානයට කුරුණෑගල කුඹුක්ගැටේ ප්‍රදේශයේදී ප්‍රහාරයක් එල්ලවී තිබේ.

සමනලී ෆොන්සේකා,කසුන් කල්හාර,ඉන්ද්‍රචාප ලියනගේ,ජගත් මනුවර්ණ,අමා විජේසේකර, කෞෂල්‍ය කුමාරසිංහ ඇතුළු පිරිසකට මෙම ප්‍රහාරය එල්ලවී ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.


මේ පිළිබඳව කළ විමසුමකදී සමනලී ෆොන්සේකා කියා සිටියේ එජනිස පළාත් සභා මන්ත්‍රීවරයෙකු වන ජොන් කමල් ඉන්දික නමැති අය ඇතුළු පිරිසක් විසින් මෙම ප්‍රහාරය එල්ල කළ බවයි.


ගීත ගායනා කරමින්, අත් පත්‍රිකා බෙදමින් තම පිරිස විසින් ගෙනගිය වැඩසටහන නැවැත්විය යුතු බවට පළාත් සභා මන්ත්‍රීවරයා පැමිණ තර්ජනය කළ බවත්, ඉක්බිතිව ඔහුගේ මෙහෙයවීමෙන් ඔහු සමග පැමිණි පිරිස ගල් මුල් ප්‍රහාරයක් එල්ල කළ බවත් සමනලී ෆොන්සේකා අද දෙරණට කියා සිටියාය.


සිද්ධිය පිළිබඳව කුරුණෑගල පොලීසියට පැමිණිලි කරන බවද, මේවන විට තම පිරිස කුරුණෑගල නගරය දක්වා පැමිණෙමින් සිටින බවද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.



හකීම් දේශපාලන ගණිකාවක්

රවුෆ් හකීම් දේශපාලන ගණිකාවක් යැයි බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගල‍ෙබාඩඅත්තේ ඥානසාර හිමියන් පවසයි.

හකීම් මහතා 2005දී මෙන්ම 2010දීත් විපක්ෂ‍යේ අපේක්ෂකයා දිනවීමට කටයුතු කළ බව උන්වහන්සේ පෙන්වාදෙයි.


මැතිවරණයෙන් පසුව ඔහු නැවත ආණ්ඩුවට එක්වූ බවද ඥානසාර හිමියන් කොළඹදී අද (29) පැවැති මාධ්‍ය හමුවකදී පෙන්වාදුන්නේය.


මෛත්‍රිපාල සිරිසේන මහතා රවුෆ් හකීම් සමග හා චන්ද්‍රිකා මැතිණිය සමග ගැසූ ගිවිසුම් කුමක්දැයි හෙළි කළ යුතු බවද උන්වහන්සේ පැවසීය.


එල්.ටී.ටී.ඊය 2002 මුස්ලිම් ජනතාව ඝාතනය කරද්දී හකීම් ප්‍රභාකරන්ලා එක්ක සාම ගිවිසුම් ගැසූ බවත්, රටට සාමය ගෙන එන ගමනේදී මුස්ලිම් කොංග්‍රසයේ කිසිවෙකුත් ජීවිත පූජා නොකළ බවත්, ඥානසාර හිමියන් සඳහන් කළේය.


එසේම රවුෆ් හකිම් දෙමළ සන්ධානය සමග එකතු වී සිංහලයින්ට එරෙහිව ජාත්‍යන්තරයට ගතු කියන බවද උන්වහන්සේ පෙන්වාදුන්නේය.


“පාඨලි චම්පිකලා කැබිනට් එකේ කෑ ගහන්නේ නැතිව දැන් වේදිකාවේ ආණ්ඩුවේ වැරදි ගැන කියමින් කෑ ගහනවා” යැයිද උන්වහන්සේ පැවසීය.


එසේම දැන් “වෙනසක් වෙනසක් ගැන හැමතැනම කියවනවා. වෙනස හරියට වෙනවා නම් හොඳයි. විනාශයක් නැති නම් වෙනස හොඳයි” එහෙම නොවුණහොත් වෙන්නේ රට විනාශ වීම පමණක් යැයිද ඥානසාර හිමියන් කියා සිටියේය.



මුස්තාෆාගේ තීන්දුවත් අද කියයි

ආයෝජන ප්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා ඉදිරි ජනාධිපතිවරණයේ දී සහය පළ කරන පාර්ශවය පිළිබඳව අද දිනයේ විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතව තිබේ.

පසුගියදා සිංගප්පුරුව බලා පිටත්ව ගිය නියෝජ්‍ය අමාත්‍යවරයා අද අළුයම දිවයිනට පැමිණි බව අද දෙරණ ගුවන් තොටුපළ වාර්තාකරු සඳහන් කළේය.


තමා මෙරටට පැමිණ සිය ස්ථාවරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරන බව ෆසිසර් මුස්තාෆා මහතා සඳහන් කර තිබුණි.


බොදුබල සේනා සංවිධානය ඍජුවම ආණ්ඩුවට සහය පළ කරන්නේ නම් තමන් ආණ්ඩුවෙන් ඉවත් වන බව පසුගිය 12 වෙනිදා මාධ්‍ය හමුවකට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.