නෙළුම් කුළුණෙන් රහස් ඔත්තු බලන්නේ නෑ - ඉන්දියාවේ ප්‍රකාශය ශ්‍රී ලංකාවටත් අපහාසයක්

ශ්‍රී ලංකාවේ මේවන විට ඉදිකරගෙන යමින් තිබෙන නෙළුම් කුළුණ ව්‍යාපෘතිය මගින් රහස් ඔත්තු බැලීමේ සැලැස්මක් තම රටට ඇතැයි ඉන්දියාව විසින් සිදු කරන “පදනම් විරහිත“ ප්‍රකාශ තරයේ ප්‍රතික්ෂේප කරන බවත්, එය හුදෙක් ශ්‍රී ලංකා රජයට කරන අපහාසයක් බවත්, චීනය පවසයි.

අදාළ ඉදිකිරීම් බාරව සිටින චීන සමාගම් විසින් මේ බව අවධාරණය කරයි.

ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය හා සන්නිවේදන අවශ්‍යතා මුවාවෙන් නෙළුම් කුළුණ නමින් ක්‍රියාත්මක කර ඇති මෙම ව්‍යාපෘතියෙන් චීනය ඉන්දියානු සාගර කලාපයේ රහස් ඔත්තු බැලීම සඳහා ඉලෙක්ට්‍රෝනික සන්නිවේදන ශ්‍රවණ මුරපොළක් ඉදිකරන බව ඉන්දියානු උපාය මාර්ගික විශ්ලේෂකයෙකු වන භෂ්කර් රෝයි නැමැත්තා පවසා තිබේ.

ඊට ප්‍රතිචාර දක්වමින් අදාළ ඉදිකිරීම් බාරව සිටින චීන සමාගම් පවසා ඇත්තේ ඒවා “පදනම් විරහිත“ ප්‍රකාශ බවයි.

නෙළුම් කුළුණ ව්‍යාපෘතියට ශ්‍රී ලංකාණ්ඩුවේ කැබිනට්ටුව අවසර දී ඇතැයිද පෙන්වාදෙන අදාළ සමාගම් එහි ඉදිකිරීම් ආරම්භ කරනු ලැබුවේ ශ්‍රී ලංකාවේ  විදුලි සංදේශ නියාමන කොමිසම සමග ගිවිසුමකට එළඹීමෙන් පසුව බවය.

කොළඹ නගරය කේන්ද්‍ර කර ගනිමින් ඉදිවෙමින් පවතින මෙම නෙළුම් කුළුණ ගැන විශ්ලේෂණාත්මක වාර්තාවක් ඉදිරිපත් කරන  ඉන්දීය උපාය මාර්ගික විශ්ලේෂක භෂ්කර් රෝයි  කියා සිටින්නේ මෙය “ඉලෙක්ට්‍රොනික ඔත්තුසේවා පහසුකම් සපයන ස්ථානයක් බවට“ සැකයක් නොමැති බවයි.

ඉන්දීය ඔත්තු සේවා, හමුදා සහ රාජ්‍ය තාන්ත්‍රික දූත සේවාවන් හි හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සැදුම්ලත් බුද්ධි මණ්ඩලයක් වන දකුණු ආසියානු විශ්ලේෂක කණ්ඩායමේ (South Asia Analysis Group - SAAG) නිල වෙබ් අඩවියට පසුගිය 10 වැනිදා ලිපියක් ලියන නවදිල්ලියේ වෙසෙන උපාය මාර්ගික විශ්ලේෂක භෂ්කර් රෝයි විසින් මෙම අනාවරණය සිදුකර තිබිණ.

ඔහු එමගින් අවධාරණය කර තිබුණේ නෙළුම් කුළුණ වූ කලී පැරීසියේ “අයිෆල් කුළුණට වඩා මීටර් 26ක් උසින් වැඩි, දකුණු ආසියාවේ උසම කුළුණ ලෙසද, එක් පසෙකින් ඉන්දීය සාගරයද, අනෙක් පසින් ඉන්දියාවද ආවරණය කිරීමට“ සමත් බවය.

මෙම කුළුණේ ඉදිකිරීම් අවසන් කිරීමට ඉඩ දුනහොත් එය ඉන්දියන් සාගරයේ මෙන්ම දකුණු ආසියාවේද ආරක්‍ෂාවට තර්ජනයක් විය හැකි බවට ඔහු එමගින් අනතුරු අඟවා තිබිණ.

චීන එක්සිම් බැංකුව විසින් සපයන මූල්‍යාධාර යටතේ මෙම කුළුණ ඉදිකරනු ලබන්නේ ‘චීනයේ ජාතික ඉලෙක්ට්‍රොනික ආනයන අපනයන සංස්ථාව’ (China National Electronic Import and Export Corporation - CNEIEC) සහ ‘චීනයේ ඒරෝස්පේස් ලෝන්ග් මාච් ජාත්‍යන්තර වෙළෙඳ සමාගම’ (Chinese Aerospace Long – March International Trade (CALMIT) යන සමාගම් 2ක විසිනි.

කෙසේ වුවද නෙළුම් කුළුණ ආසියාවේ උසම කුළුණ ලෙස, දෙස් විදෙස් සංචාරකයින්ගේ අවධානය දිනාගන්නා ස්ථානයක් ලෙසද, සුපිරි වෙළඳ සංකීර්ණයකින්ද සමන්විත එය ගුවන් විදුලි සන්නිවේදන හුවමාරු මධ්‍යස්ථානයක් ලෙසද භාවිතයට ගැනීමට අපේක්ෂා කෙරේ.

නෙලුම් කුළුණ ව්‍යාපෘති ගිවිසුමට 2012 ජනවාරි මස මුල් සතියේ දී අත්සන් තැබුණු අතර ජනවාරි 20 වැනිදා නිල වශයෙන් එහි  ඉදිකිරීම් ඇරඹිණ.

ඒ සඳහා වැයවන ඩොලර් මිලියන 104.3ක මුදල චීනයේ එක්සිම් බැංකුව විසින් සැපයීමට නියමිතය.
කොළඹ බේරේ වැව හා ඩී. ආර් විජේවර්ධන මාවත ප්‍රත්‍යන්ත භූමි භාගයක ඉදිකෙරෙන මීටර් 350ක් උසින් යුතු මෙම දැවැන්ත ස්ථම්භය වර්ග මීටර් 30,600ක බිම් ප්‍රමාණයක් පුරා පැතිර පවතින බව සඳහන්ය.

Post a Comment