19 පාර්ලිමේන්තුවට - ජනපතිත් එයි

19 වන ආණ්ඩ්‍රක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට අදාළ විවාදය අද පාර්ලිමේන්තුවේදී පැවැත්වෙයි.

මේ අතර අදාළ පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීම සඳහා ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ද මේවන විට මැතිසබයට පැමිණ සිටියි.

ඒ අනූව අදාළ පනත් කෙටුම්පත දෙවන වර කියවීම ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් මීට ටික වේලාවකට පෙර ආරම්භ කළ බව අද දෙරණ පාර්ලිමේන්තු වාර්තාකරු පැවසීය.

මීට අදාළ ඡන්ද විමසීම හෙට සවස 6.30ට පමණ සිදු කිරීමට නියමිත බව සඳහන්ය.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පසු ගිය කාලය තුළ දැඩි ව්‍යාකූල තත්ත්වයක් පැවති අතර අවස්ථා දෙකකදී මෙය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට උත්සාහ කළ ද එම උත්සාහයන් ව්‍යර්ථ වුණි.

කෙසේ වෙතත් අද දිනයේ මෙය විවාදයට ගැනීමට නියමිතය.

පාර්ලිමේන්තුව තුළ මෙම ව්‍යවස්ථා කෙටුම්පත සම්මත වීමට තුනෙන් දෙකක බහුතර බලයක් අවශ්‍ය වන අතර දැනට පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් 150 දෙනෙකුගේ සහාය මීට අවශ්‍ය වේ.

කෙසේවෙතත් පසුගිය සති කිහිපය තුළම දේශපාලන පක්ෂ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් විවිධ අදහස් පළ කළ ද මේ වනවිට අදාළ පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට සහාය දෙන බව පවසා ඇත.

කෙසේ වෙතත් දෙමළ ජාතික සන්ධානය අදාළ පනත් කෙටුම්පතට සහය ලබා දෙන්නේද නැත්ත යන්න පිළිබඳව මේ වන තෙක් සිය පක්ෂයේ අවසන් තීරණය ප්‍රකාශයට පත් කර නැත.

19 ට සහාය ලබා දිය යුතු නොමැති බව දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකු එහි නායක ආර්. සම්බන්ධන් මහතාට පවසා තිබේ.

Post a Comment