ඌවෙන් පැමිණිලි 141ක්

ඌව පළාත් සභා මැතිවරණයට අදාළව මේ වනවිට සිදුවීම් 141 ක් පිළිබඳව තොරතුරු වාර්තා ඇති බව කැෆේ සංවිධානය පවසයි.

ඒ මොණරාගල දිස්ත්‍රික්කයෙන් 104 ක් සහ බදුල්ල දිස්ත්‍රික්කයෙන් 30 ක් සහ වෙනත් සිදුවීම් 7 ක් වශයෙනි.


අද(31) මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කැෆේ සංවිධානය මේ බව සඳහන් කළේය.



සෑම් විජේසිංහ මහතා අභාවප්‍රාප්ත වෙයි

පාර්ලිමේන්තුවේ හිටපු මහ ලේකම්වරයෙකු වන සෑම් විජේසිංහ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

අනු තුන් හැවිරිදි ඒ මහතා කොළඹ පිහිටි සිය නිවසේදී අභාවප්‍රාප්ති වී ඇති බව ඒ මහතාගේ පවුලේ ඥාතීන් සඳහන් කළේය.



ISIS අන්තවාදය බිහි කළ අමෙරිකාව වගකීම බාරගත යුතුයි

ලොව විශාලතම බෞද්ධ විහාරය ලෙස සැලකෙන බොරෝබුදුර් විහාරයට ප‍්‍රහාරයක් එල්ල වුවහොත් එහි වගකීම අයි.එස්.අයි.එස්. අන්තවාදය බිහි කොට පෝෂණය කළ අමෙරිකා එක්සත් ජනපදය බාර ගත යුතු යැයි ජාතික නිදහස් පෙරමුණ පවසයි.

අද(31) කොළඹ දී පැවැති මාධ්‍ය හමුවකදී ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප‍්‍රකාශක, හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී මොහොමඞ් මුසම්මිල් මහතා සඳහන් කළේය.


එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මොහොමඞ් මුසම්මිල් මහතා පහත පරිදි අදහස් දැක්වීය.


‘‘ස්ලැට්ෆෝම් නම් වෙබ් අඩවියෙන් සහ ෆේස් බුක් ජාලයන් හරහා ලොව විශාලතම බෞද්ධ විහාරය ලෙස සැලකෙන බොරෝබුදුර් විහාරයට ප‍්‍රහාරයක් එල්ල කරන බවට අයි.එස්.අයි.එස්. අන්තවාදී සංවිධානය පසුගියදා ප‍්‍රකාශ කොට තිබුණා. මේ ප‍්‍රකාශය ශ‍්‍රී ලංකාවේ මෙන්ම ලෝකය පුරා සාමය සහ සහජීවනය මෙන්ම ඓතිහාසික උරුමයන් අගය කරන බෞද්ධ ආගමිකයන්ගේ පමණක් නොව සියලූ ආගමිකයන්ගේ දැඩි පිළිකුළට හා විවේචනයට ලක් වුණා. ඉන්දුනීසියාවේ ජනාධිපතිවරයාත් මෙම ප‍්‍රකාශය හෙළා දකිමින් ප‍්‍රකාශයක් නිකුත් කර තිබුණා.


අවුරුදු 1200කට වඩා පැරණි මෙම විහාරය, ඒ නිසාම ලෝක උරුමයක් ලෙසද නම්කර තිබෙනවා. ක‍්‍රිස්තු වර්ෂ 9වන සියවසේදී ඉදිකර ඇති මෙම විහාරයේ බුද්ධ ප‍්‍රතිමා 504ක් තිබෙනවා. මුහුදු මට්ටමේ සිට අඩි 869ක් උසින් පිහිටි මෙම විහාරස්ථානය ලොව පුරා සංචාරකයන්ගේ නෙත් සිත් පැහැරගත් ස්ථානයක්. මෙම විහාරස්ථානයට මීට ඉහතදීත් ත‍්‍රස්ත ප‍්‍රහාරයක් එල්ල වී තිබෙනවා.


ඉන්දියාවේ බුද්ධගයාවට වගේම ශ‍්‍රී දළදා මාලිගාවට ත‍්‍රස්ත ප‍්‍රහාරයන් එල්ල වූ අවස්ථාවන්වල මේ රටේ සාමය හා සහජීවනය අගය කරන ජනතාවට වේදනාවක් දැනුණා. ඒ වගේම කාත්තන්කුඩි මුස්ලිම් දේවස්ථානයට ත‍්‍රස්ත ප‍්‍රහාරයක් එල්ල වුණු අවස්ථාවේදීත් අන්තවාදී නොවන සියලූ ජන කොටස්වලට එවැනිම වේදනාවක් දැනුණා. එනිසා ඓතිහාසික උරුමයක් වන මෙවැනි ආගමික සිද්ධස්ථානයක් විනාශ කිරීමට උත්සාහ ගැනීම අපි දැඩි පිළිකුළෙන් යුතුව හෙළා දකිනවා.


අඩුපාඩු සහිතව වුවත් කැරලිකරුවන්ට හා අන්තවාදීන්ට හිස එසවීමට නොදෙමින් ඉරාකය පාලනය කිරීමට සදාම් හුසේන් ජනාධිපතිවරයා සමත් වුණා. නමුත් අමෙරිකා එක්සත් ජනපදය හා බි‍්‍රතාන්‍යය ඇතුළු බටහිර රටවල් ඉරාකයේ තෙල් සම්පත කොල්ලකෑමට එය ආක‍්‍රමණය කළා. සදාම් හුසේන්ව එල්ලලා මැරුවා. අයි.එස්.අයි.එස්. කැරලිකරුවන්ට නවීන ආයුධ, රථ වාහන දීලා ඔවුන් පෝෂණය කරමින් තමයි සදාම් හුසේන් මරා දැම්මේ. අමෙරිකා එක්සත් ජනපදය, අයි.එස්.අයි.එස්. සංවිධානයට ආධාර දුන් ආකාරය මේ වන විට ලොවටම අනාවරණය වී අවසන්. අයි.එස්.අයි.එස්. සංවිධානය, අමෙරිකා එක්සත් ජනපදයේ අන්තවාදී නිර්මාණයක් බව ඉතා පැහැදිලියි.


ලෝකවාසී ජනතාවගේ ගෞරවය, ආදරය දිනාගත්, මෙවැනි ඓතිහාසික සිද්ධස්ථානවලට ප‍්‍රහාර එල්ල කිරීමේ අරමුණ කුමක්ද? මේ ප‍්‍රහාර එල්ල වන්නේ ලෝකවාසී ජනතාව සමගියෙන් ජීවත් වීමට එරෙහිවයි. විවිධ ජනකොටස් අතර පවතින බැඳියාව විනාශ කොට ඒ වෙනුවට අන්තවාදයට පාර කැපීම මෙවැනි ප‍්‍රහාර එල්ල කිරීමෙන් ඔවුන් බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මෙවැනි ප‍්‍රහාරයන්ගේ වගකීම, අයි.එස්.අයි.එස්. වැනි අන්තවාදී සංවිධාන බිහි කළ අමෙරිකා එක්සත් ජනපදය බාර ගත යුතුයි. අමෙරිකා එක්සත් ජනපදය උත්සාහ කරන්නේ ලොව පුරා සාමකාමී රටවල් තුළ විවිධ ජාතිවාදී, ආගම්වාදී ගැටුම් ඇති කරලා, ඒ ගැටුම් දඩමීමා කරගෙන එම රටවලට ඇතුළු වෙලා, ඒවායේ ආර්ථික සම්පත් කොල්ලකන්නටයි. ලිබියාවේ කළේ ඒක. අද වන විට ලිබියාව සීසීකඩ වෙලා, ඉතා ඛේදනීය ඉරණමකට මුහුණ දීලා තිබෙනවා.


අපේ රට තුළත් විවිධ ජනකොටස් සහ ආගම් අතර ගැටුම් අවුලූවාලීමේ සැලසුමක් ක‍්‍රියාත්මක වෙනවා. එය අපි හොඳින් තේරුම් ගත යුතුයි. ඒ වගේම එවැනි ගැටුම්වලට කිසිදු අනුබලයක් නොදිය යුතුයි. සුළු සිදුවීමක් වුවත්, එවැනි ගැටුමකට තුඩු දිය හැකි අවාසනාවන්ත සිදුවීමක් පසුගියදා නැගෙනහිර විශ්වවිද්‍යාලය තුළ සිදු වී තිබෙනවා. විශ්වවිද්‍යාල පරිපාලනය සමග සිංහල භාෂාවෙන් කතා කරන්න ගිය සිංහල ශිෂ්‍යාවකට සිංහල භාෂාවෙන් කතා කරන්න දීලා නැහැ. ඒ ශිෂ්‍යාවට "දෙමළ භාෂාවෙන් කතා කරන්න" කියා පවසා තිබෙනවා.


දෙමළ බස නොදන්න නිසා ඇය නැවත සිංහල බසින් කතා කරන්න සූදානම් වෙද්දී එය ඉංග‍්‍රීසියට පරිවර්තනය කරන්න පරිවර්තකයකු යොදා ගෙන තිබෙනවා. මෙවැනි සිදුවීම් විශ්ව විද්‍යාල පද්ධතියේ විවිධ තැන්වල සිදුවීමට පුළුවන්. නමුත් මෙවැනි සිදුවීම් අන්තවාදීව ක‍්‍රියා කරන ඇතැම් පිරිස්වලට සිය අන්තවාදී උවමනා වෙනුවෙන් යොදාගත හැකියි. නැගෙනහිර නියෝජනය කරන ඇතැම් විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් රජරට විශ්වවිද්‍යාලයට නැගෙනහිරින් පැමිණි ශිෂ්‍යාවන්ට පර්දාව පළඳින ලෙස බල කරන බව දැන ගැනීමට ලැබී තිබෙනවා. මේවා වැරදි ක‍්‍රියා.


අපේ රටට ඉස්ලාම් ආගම ආවේ අරාබි සංස්කෘතියත් සමග නොවේ. ඒක පැහැදිලිව වටහා ගත යුතුයි. අපේ රටට ඉස්ලාම් ආගම පැමිණියේ ඉන්දියාව හරහා. ඉන්දියානු - ආසියානු සංස්කෘතියත් සමගයි මෙරටට ඉස්ලාම් ආගම ආවේ. අපේ අම්මලා, ආච්චිලා මුහුණ වහගෙන "අබාය" ඇඳගෙන හිටියේ නැහැ. ඔවුන් ඔළුව වහගත්තේ සාරිපොටෙන්. ඒක අපේ සංස්කෘතියට ගැලපුණා. එදා සිංහල මිනිහයි, මුස්ලිම් මිනිහයි වෙන් කරන සාධකයක් බවට ඇඳුම පත් වුණේ නැහැ. ඒ නිසා මේ "මැද පෙරදිගකරණය" කරන්න උත්සාහ කරන අන්තවාදීන් විසින් අමාරුවේ දමන්නේ සාධාරණව හිතන, සමගියෙන් ජීවත් වෙන්න ඕනෙ කියලා හිතන මුස්ලිම් ජනතාවයි. ජාතිවාදී රැල්ලක් පෝෂණය වන විට අසරණ වෙන්නේ ඉහත කී ආකාරයට හිතන, පතන මුස්ලිම් ජනතාවයි.


අපට උරුම වූ ආසියාතික ලක්‍ෂණයත් සමග ඉස්ලාම් ආගම ශ‍්‍රී ලංකාවේ පැවතුණා මිසක්"මැදපෙරදිගකරණය වූ ඉස්ලාම් ආගමක්" මෙහි පැවතුණේ නැහැ. අද බලහත්කාරයෙන් මැදපෙරදිගකරණයක් කිරීමට කුඩා කල්ලි කණ්ඩායම් උත්සාහ කරනවා. මේකට සමහර බුද්ධිහීන කොටස් හසු වෙනවා.


අනෙකුත් ජනකොටස් සමග එක්ව අපි මුස්ලිම් ජනතාව වශයෙන් අවුරුදු 1000කට අධික කාලයක් තිස්සේ රැක ගත්තු උරුමය ආරක්‍ෂා කර ගැනීම අපි කාගෙත් වගකීමක්. ඉරාකයේ වගේ ජාති, ආගම් වශයෙන් ශ‍්‍රී ලංකාවේ ජනතාව වෙන් කිරීමට අමෙරිකා එක්සත් ජනපදය උත්සාහ කරනවා. ඒ උවමනාවන් විවිධ පැතිවලින් එන්න පුළුවන්. ඒ සියලූ දේවල් පරාජයට පත් කිරීම සඳහා අපි බුද්ධිමත්ව කටයුතු කළ යුතුයි.


බෞද්ධාගමේ තිබෙන පන්සිල් පද 05 පිළිපඳින එක අපට ප‍්‍රශ්නයක් නොවෙයි. ඉන් ජීවිතයට ලැබෙන්නේ හොඳ දෙයක්. මම ඉස්ලාම් භක්තිකයෙක් වුවත් පන්සිල් පදවල තිබෙන හරය ජීවිතයට එකතුකර ගන්න පැකිළෙන්නේ නැහැ. මැදපෙරදිග මුස්ලිම් ලක්‍ෂණවලට වැඩිය ආසියාතික මුස්ලිම් ලක්‍ෂණ සහිත සමාජයක් විදියටයි අපි ජීවත් වුණේ. එම තත්ත්වයන් ආරක්‍ෂා කර ගනිමින් අන්තවාදීව ක‍්‍රියා කරන පිරිස් පරාජයට පත් කිරීමට ජාතික හා ජාත්‍යන්තර වශයෙන් අත්වැල් බැඳ ගත යුතුයි.


එසේම අපි ජාතික නිදහස් පෙරමුණ ලෙස ඉන්දුනීසියානු රජයෙන් හා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා "ඓතිහාසික වටිනාකමක් සහිත බොරෝබුදුර් විහාරය ආරක්‍ෂාකර ගැනීම සඳහා වැඩපිළිවෙළක් යොදන ලෙස."



මීගලෑවේ දරුවා පැහැරගැනීමට සහයෝගය දුන් තවත් අයෙක් දැලේ

මීගලෑව ප්‍ර දේශයේ දී දරුවෙකු පැහැරගෙනයාමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන්ට ආධාර අනුබල ලබාදුන් බව කියන පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊයේ(30) අත්අඩංගුවට ගත් සැකකරු අද දිනයේ ගල්ගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණි.


එහිදි සැකකරු ලබන 03 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කර ඇති බව පොලීසිය පැවසුවේය.


අඹන්පොල, ඇහැටුවැව ප්‍රදේශයේ පදිංචි අදාළ සැකකරු පැහැරගත් දරුවා රඳවා තබාගත් නිවස කුලීයට ලබාගැනීමට මුදල් ලබාදීම, ඔහු යටතේ සේවය කළ අයෙකුගේ හැඳුනුම්පත් පිටපතක් සිම් කාඩ්පතක් ලබාගැනීම සඳහා සහයෝගය මෙම පුද්ගලයා විසින් ලබා දී තිබේ.


දිනිදු දරුවා පැහැරගෙන යාමේ සිද්ධියේ තවත් සැකකරුවෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.



හොර පාරෙන් යන බස් ගැන විශේෂ මෙහෙයුමක්

බලපත්‍ර රහිත දුර ගමන් සේවා බස් රථ සම්බන්ධයෙන් විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසයි.

ඔහු පවසන්නේ මඩකලපුව, ත්‍රීකුණාමලය, කල්මුණ හා අක්කරෙයිපත්තුව ආදී ප්‍රදේශවලට නීත්‍යානුකූල බලපත්‍ර රහිතව බස් රථ ධාවනය වන බවට පොලීසියට තොරතුරු ලැබී ඇති බවයි.


ඒ අනුව කොළඹ නගරයෙන් පිටවන ස්ථානවල සිට මෙම මෙහෙයුම් ක්‍රියාත්මක වෙයි.


ඊයේ(31) රාත්‍රී සිට ආරම්භ වු මෙම මෙහෙයුමේ දි බලපත්‍ර නොමැතිව ධාවනය වු දුර ගමන් සේවා බස් රථ 06කට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබේ.


ඉදිරි දිනවලදීත් මෙම මෙහෙයුම් අඛණ්ඩව සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කළේය.



විදෙස් ගමන් මලු තුනක් ගල්වෙයි

විදේශයකින් මෙරටට එවන ලද ගමන් මලු තුනක තිබූ භාණ්ඩ වෙනුවට එම ගමන් මලුවලට පත්තර සහ කොන්ක්‍රීට් පතුරු දමා වංචා සිදුකළ තැපැල් නිලධාරීන් සිව් දෙනෙකු ඇතුළු පුද්ගලයින් අට දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය මැයි මස තුන්වන දින ඩුබායිහි සිට මෙරටට එවන ලද විදේශ ගමන්මලු තුනක් අයිතිකරුවන් රැගෙන නොයාම සම්බන්ධයෙන් කොටුව මධ්‍යම තැපැල් හුවමාරුවේ දී පරීක්ෂාවට ලක් කර ඇති බව වාර්තා වෙයි.


එහිදි අදාළ ගමන්මලු වල පත්තර සහ කොන්ක්‍රීට් පතුරු දමා ඇති බවට මධ්‍යම තැපැල් හුවමාරුවේ විදේශ තැපැල් අධිකාරී ජේ.එච්.එම්.සමරසිංහ මහතා විසින් කොටුව පොලීසියට පැමිණිලි කර තිබේ.


ඒ අනුව සිදුකළ විමර්ශනයකින් පසු තැපැල් ස්ථානාධිපතිවරයෙකු, පාර්සල් අංශයේ ස්ථානාධිපතිවරයෙකු, කාර්යාල කාර්යය සහයකයෙකු , අදේශ කම්කරුවෙකු සහ තවත් පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් බව කොටුව පොලීසිය සඳහන් කළේය.


අදාළ නිලධාරීන් විසින් එම පාර්සල් මාරු කර වංචාව සිදුකිරීම සඳහා රුපියල් එක් ලක්ෂ දස දහසක පමණ මුදලක් ලබාගෙන ඇති බවට අනාවරණය වෙයි.


ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය වී ඇත්තේ අදාළ පාර්සල් තුළ ජංගම දුරකථන සහ පරිගණක තිබී ඇති බවයි.


සැකකරුවන් විසින් පිටකොටුව වෙළෙඳසැලකට ලබා දී ඇති අදාළ ගමන් මලු වල තිබු ජංගම දුරකථන 173ක් සහ පරිගණක 4ක් පොලිස් බාරයට ගෙන තිබේ.


සැකකරුවන් ගාල්ල, රඹුක්කන, නිට්ටඹුව, කොළඹ, අලවතුගොඩ සහ තිහාරිය යන ප්‍ර දේශවල පදිංචිකරුවන් බව පොලීසිය පැවසුවේය.


ඔවුන් අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.



පුද්ගලයින් 4ට බඹරුන්ගෙන් ප්‍රහාරයක්

තෙල්දෙණිය, ගොඩමුන්න ප්‍රදේශයේ දී පුද්ගලයින් සිව් දෙනෙකු බඹර ප්‍රහාරයකට ලක්ව තිබේ.

අද උදෑසන වෙළෙඳසැලක් වෙත දියර කිරි රැගෙන යමින් සිටියදී අදාළ පිරිස බඹර ප්‍රහාරයට ලක්ව ඇති බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.


තුවාල ලැබූවන් අතර වයස අවුරුදු හතරාමාරක පමණ වන දරුවෙකු සිටින බව වාර්තා වෙයි.


බඹර ප්‍රහාරයෙන් තුවාල ලැබූවන් තෙල්දෙණිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර මහ රෝහලට ඇතුළත් කර තිබේ.



නීති විරෝධී මත්පැන් පෙරීමේ ස්ථානයක් වටලයි

වෙන්නප්පුව, බෝලවත්ත ප්‍රදේශයේ පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් පෙරීමේ ස්ථානයක් වටලා තිබේ.

වෙන්නප්පුව පොලීසියට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇති බව වාර්තා වෙයි.


එහිදි නීති විරෝධී මත්පැන් බෝතල් 100ක් සහ මත්පැන් පෙරීමට භාවිත කරන උපකරණ පොලීසිය භාරයට ගෙන තිබේ.


වැටලීම සිදුකිරීමේ දී සැකකරු පළාගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා වෙන්නප්පුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.



නවපිල්ලේගේ වැඩ ඉවරයි - සෙයිද් අල් හුසෙන් වැඩ අරඹයි

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයේ නව මහ කොමසාරිස්වරයා ලෙස සෙයිද් අල් හුසෙන් කුමරු හෙට(01) සිය ධුරයේ වැඩ ආරම්භ කිරීමට නියමිතව තිබේ.

එම ධුරයේ කටයුතු කළ නවනීදන් පිල්ලෙයි මහත්මිය‍ගේ හය වසරක සේවා කාලය අවසන් වීම හේතුවෙන් නව පත් කිරීම සිදුකෙරුණි.


සෙයිද් අල් හුසේන් කුමරු ජෝර්දාන රජ පෙළපතට සම්බන්ධ අයෙකු වන අතර ජිනීවාහි එක්සත් ජාතීන්ගේ ජෝර්දාන නිත්‍ය නියෝජිතයා ලෙස කටයුතු කළ අයෙකි.



එ.ජා.ප. නියෝජ්‍ය නායක ධූරය සජිත්ට?

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ධුරය ඇතුළු තනතුරු රැසක් පිරවීමට කඩිනමින් කටයුතු කරන බව එම පක්ෂයේ මහලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ මේ මස මුල් සතියේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ දී මේ සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවයි.


නියෝජ්‍ය නායක ධුරය සඳහා සජිත් ප්‍රේමදාස මහතාගේ නම යළිත් යෝජනා වී ඇති අතර ඒ සම්බන්ධයෙන් ද අවධානය යොමුකර ඇති බව ඊයේ(30) පස්වරුවේ මහනුවර දී පැවති මාධ්‍ය හමුවකදී තිස්ස අත්තනායක මහතා සඳහන් කළේය.


මේ අතර විවිධ හේතු මත එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වු සහ ඉවත් කළ පුද්ගලයින්ට යළි පක්ෂය සමග එක්වීමට ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු මහතාගේ නායකත්වයෙන් යුත් අභියාචනා මණ්ඩලය හමුවේ කරුණු දැක්වීමට අවස්ථාව සලසා දී ඇති බව ද තිස්ස අත්තනායක මහතා සඳහන් කර සිටියේය.



ලෝකයම ජයගත හැකි තරුණ පරපුරක් රට තුළ ගොඩනැගෙමින් තිබෙනවා

සාමයෙන් සහ සංවර්ධනයෙන් පිරි රටක් පිළිබඳ ජනතාවට ලබාදුන් අපේක්ෂා නිසි අයුරින් ඉටුකරන තුරු රජයේ ගමන නවතා නොදමන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ සංවර්ධනයේ ප්‍රතිලාභ සියලු දෙනා භුක්ති විඳින රටක් මෙන්ම ලෝකයම ජයගත හැකි තරුණ පරපුරක් ද රට තුළ ගොඩනැගෙමින් තිබෙන බවයි.


“ රට රකින නිල් පවුර සුරකිමු මව්බිම “ යන තේමාව යටතේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කඩුවෙල නියෝජිත සම්මේලනයට එක්වෙමින් ජනාධිපති මහින්ද රාජපක්ස මහතා මේ අදහස් පළ කළේය.


ජනාධිපතිවරයා ඊයේ(30) පස්වරුවේ විහාර මහාදේවී එළිමහන් පීඨයේ පැවති කොළඹ නාගරික බල ප්‍රදේශයේ ආසන නියෝජිත සම්මේලනයට ද සහභාගී වුණි.


මේ අතර කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වෙන ශිල්ප උදාන ජාතික හස්ත කර්මාන්ත 2014 ප්‍රදර්ශනය නැරඹීමට ද ජනාධිපතිවරයා සහභාගී වු බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.



සෞඛ්‍ය වර්ජනය පැය 48ට අත්හිටුවයි

පරිපුරක වෛද්‍ය වෘත්තිකයින් දියත් කර ඇති වැඩ වර්ජනය ත‍ාවකාලිකව අත්හිටුවා තිබේ.

අද පස්වරුවේ සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලලිත් දිසානායක මහතා සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව අදාළ තීරණය ගත් බව පරිපූරක වෛද්‍ය වෘත්තිකයින්ගේ සම්මේලය සඳහන් කළේය.


සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් ඉල්ලීමි සම්බන්ධයෙන් අදාළ බලධාරීන් සමඟ සාකච්ඡා කර නිසි පිළිතුරක් ලබා දෙන බවට පොරොන්දුවීමෙන් අනතුරුව වර්ජනය පැය 48ට අත්හිටුවා තිබේ.


එසේම පරිපුරක වෛද්‍ය වෘත්තිකයින්ගේ වැඩ වර්ජන අත්හිටුවන ලෙස කොළඹ දිසා අධිකරණය ඊයේ(29) නියෝගයක් නිකුත් කළේය.


අධිකරණ නියෝගය සම්බන්ධයෙන් තමන් දැනුවත් වී නොමැති බව පරිපුරක වෛද්‍ය සේවා වෘත්තීය සමිති ඒකාබද්ධ බල මණ්ඩලයේ ප්‍රධාන ලේකම් අජිත් තිලකරත්න මහතා එහිදී පැවසුවේය.


මාධ්‍ය මගින් ඒ පිළිබඳ ප්‍රචාරය වුවද නිල වශයෙන් ඒ සම්බන්ධයෙන් තමා දැනුවත් කර නොමැති බව අජිත් තිලකරත්න මහතා සඳහන් කළේය. ෙ



රූපලාවන්‍යාගාර පරීක්ෂණ කටයුතු සාර්ථකයි

දිවයින පුරා පිහිටි රූපලාවන්‍යාගාර පරික්ෂාවට ලක් කිරිමේ වැඩසටහන සාර්ථකව සිදුකරන බව විලවුන් උපකරණ හා ඖෂධ අධිකාරිය පවසයි.

පසුගිය සති තුනක කාලය තුළ සිදුකළ වැටලිම් 26ක ප්‍රමාණයෙන් ප්‍රමිතියෙන් තොර රූපලාවන්‍යාගාර තුනක් සොයාගැනිමට හැකි වු බව එහි අධ්‍යක්ෂ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා පැවසුවේය.


මේ අතර ඉදිරියේදිත් රූපලාවන්‍යාගාර පරීක්ෂා කිරිම අඛණ්ඩව සිදුකරන බව ද අධ්‍යක්ෂ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා කියා සිටියේය.



දක්ෂිණ අධිවේගයේ අනතුරක් - 14ක් රෝහලේ

දක්ෂිණ අධිවේගි මාර්ගයේ ගාල්ල පින්නදූව පිටවීමේ දොරටුව අසළ දි සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් 14 දෙනෙකු තුවාල ලබා තිබේ.

අද දහවල් 12.00 ට පමණ මෙම අනතුර සිදුව ඇත බව පොලිසිය පැවසුවේය.


කොට්ටාව සිට ගාල්ල බලා ධාවනය වූ ලංගම බස් රථයක් ප්‍රවේශ පත්‍ර ගැනිම සඳහා නවතා තිබියදි පිටුපසින් පැමිණි පෞද්ගලික බස් රථයක් ගැටිමෙන් අනතුර සිදුව ඇති බව සඳහන් වෙයි.


අනතුරෙන් පිටුපසින් පැමිණි පෞද්ගලික බස් රථයේ රියදුරු ඇතුළු 14දෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන් කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වෙයි.


අනතුර සම්බන්ධයෙන් පින්නදූව පොලිස් මුරපොළ වැඩිදුර විමර්ශන සිදුකරයි.



ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්

ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අතර පැවැත්වුණු තෙවන එක්දින ක්‍රිකට් තරඟයෙන් ඉතා විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

පළමුවෙන් පන්දුවට පහරදුන් පකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම සියලුම කඩුළු දැවි ලකුණු 102 ක් රැස්කර ගන්නා ලදී.


ජයග්‍රහණ බලාපොරොත්තුවෙන් පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 18.2 කඩුළු 3ක් දැවී තිබියදී ජයග්‍රහණය සනිටුවන් කළේය.


ඉතා අගනා ඉනිමක් ක්‍රීඩා කළ තිලකරත්න දිල්ෂාන් අර්ධ ශතකයක් ලබා ගත් අතර මහේල ජයවර්ධන ලකුණු 26ක් ලබා ගැනීමට සමත් විය.



කතක් ඝාතනය කර රන් සොරාගත් 2ක් අත්අඩංගුවේ

කාන්තාවක ඝාතනය කර රන් භාණ්ඩ කොල්ලකෑමකට සම්බන්ධ පුද්ගලයින් දෙදෙනෙකු මහරගම ප්‍රදේශයේ දි අත්අඩංගුවට ගෙන තිබේ.

මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් එක්කයේ නිලධාරින් කණ්ඩායමක් සිදුකළ විමර්ශනයකදි සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.


අදාළ පුද්ගලයින් දෙදෙනා 2012 වසරේ ජනවාරි මාසයේ 09 දින පිළියන්දල වෑවල ප්‍ර දේශයේ කාන්තාවක ගෙල සිරකර ඝාතනය කර රන් භාණ්ඩ සොරකම් කර ඇති බව පොලිසිය පැවසුවේය .


අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 26 ක් වන හබරණ සහ ඇඹිලිපිටිය ප්‍ර දේශ වල පදිංචි පුද්ගලයින් දෙදෙනෙකු වන අතර ඔවුන් අද කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.



වන අලි ප්‍රහාරයකින් කතක් මරුට

විල්ගමුව, හඳුන්ගමුව ප්‍රදේශයේ දි වන අලි ප්‍රහාරයකට ලක්ව කාන්තාවක මියගොස් තිබේ.

අදාළ කාන්තාව සිය සහෝදරියගේ නිවසට යමින් සිටින අවස්ථාවේදි වන අලි ප්‍රහාරයට ලක්ව ඇති බව සඳහන් වෙයි.


පහර කෑමට ලක් වු කාන්තාව හඳුන්ගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව පොලිසිය සඳහන් කළේය.


මියගොස් ඇත්තේ 52 හැවිරිදි කාන්තාවකි.


මළ සිරුර හඳුන්ගමුව රෝහලේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් විල්ගමුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.



පොලීසිය නිසි ක්‍රියාමාර්ගගෙන නෑ

මොණරාගල දිස්ත්‍රික්කයේ පවතින තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිසිය මේ දක්වා නිසි ක්‍රියාමාර්ග ගෙන නොමැති බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසයි.

මැතිවරණ නිරීක්ෂණයේ නිරත පැෆ්රල් සංවිධානය සඳහන් කළේ මොණරාගල දිස්ත්‍රික්කයේ දේශපාල පක්ෂ කාර්යාල වලට පහර දිමේ සිද්ධීන් සම්බන්ධව ලැබෙන පැමිණිලි වල ඉහළ යාමක් දක්නට ලැබෙනව බවයි.


මෙම තත්ත්වය ඉදිරියේ දී තවත් වර්ධනය විය හැකි බව ද එම සංවිධානය පෙන්වා දි තිබේ.


මේ අතර අද අළුයම මොණරාගල දිස්ත්‍රික්කයේ පක්ෂ කාර්යාල කිහිපයකට ප්‍රහාර එල්ල කර ඇති බව රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.


කෙසේ වෙතත් මොණරාගල ප්‍රදේශයේ ආරක්ෂාව තර කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා සඳහන් කර සිටියේය.



තරඟයට වාර්ෂාවෙන් බාධා

ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අතර පැවැත්වෙන තුන්වන එක්දින ක්‍රිකට් තරඟට වර්ෂාවෙන් බාධා ඇති වීම හේතුවෙන් මේ වන විට තරඟය තාවකාලිකව අත්හිටුවා තිබේ.

තරඟය අත්හිටුවන අවස්ථාවේදී පකිස්ථාන කණ්ඩායම කඩුළු 8ක් දැවී ලකුණු 81 ට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වී තිබුණි.


කාසියේ විසිය ලබාගත් පකිස්ථාන කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කරන ලදී.



දුම්රියට බිලිවූයේ කවුරුන්දැයි තාම හඳුනාගෙන නෑ

මරදාන සිට මාතර බලා ධාවනය වූ දුම්රියකට බිලි වීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ.

බෙන්තොට ප්‍රදේශයේදී මෙලෙස දුම්රියට බිලිවී ඇත්තේ වයස අවුරුදු 45-50 විය හැකි පුද්ගලයෙකු බවට පොලීසිය සැක පළකරයි.


එසේ වුවද ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කවුරුන්ද යන්න මෙතෙක් අනන්‍යතාව තහවුරු කරගෙන නොමැති අතර මෘත ශරීරය බලපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.



රක්ෂිතයේ අක්කර 5ක් ඉවරයි

නුවරඑළිය-බෝගුරුඇල්ල රක්ෂිත ප්‍රදේශයේ ඇතිවූ ගින්නකින් අක්කර 5ක පමණ ප්‍රදේශයක් ගින්නෙන් දැවී ගොස් ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.

නුවරඑළිය නගර සභා ගිනි නිවන ඒකකය, පොලීසිය හා ප්‍රදේශවාසීන් එක්ව මේවන විට ගින්න මැඩපවත්වා ඇති බව සඳහන්ය.


ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැති අතර නුවරඑළිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.



පකිස්ථානය පිත්ත අතට ගනියි

ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අතර පැවැත්වෙන තුන්වන එක්දින ක්‍රිකට් තරඟයේ කාසියේ වාසිය ලබාගත් පකිස්ථානය පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කර තිබේ.

අද තරඟය දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.


දෙරට අතර පැවති දෙවන එක්දින තරඟයේ ජයහිමි කර ගරනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.



බස් රථය අවසන් ගමන් යවයි

මන්නාරම, බස් නැවතුම්පොළේ ප්‍රධාන දොරටුව අසළ දී පුද්ගලයෙකු බස් රථයකට යටවීමෙන් මියගොස් තිබේ.

බස් රථය බස් නැවතුම්පලට ඇතුල් කිරීමට උත්සාහ කිරීමේ දී ඉදිරියෙන් ගමන් කළ මගියෙකු එම බස් රථයට යටවීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය පැවසුවේය.


අනතුරින් තුවාල ලැබු පුද්ගලයා මන්නාරම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.


මියගොස් ඇත්තේ මන්නාරම, උප්පුකුලම ප්‍රදේශයේ පදිංචිව සිටි 62 හැවිරිදි පුද්ගලයෙකි.


අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



බඹර ප්‍රහාරයකින් අයෙක් මරුට - 6ක් රෝහලේ

හැටන්, දිඹුලපතන ප්‍රදේශයේ දී බඹර ප්‍රහාරයකට ලක්ව පුද්ගලයෙකු මියගොස් තිබේ.

බඹර ප්‍රහාරයෙන් කාන්තාවන් සිව් දෙනෙකු ඇතුළු තවත් පුද්ගලයින් 06 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව පොලිසිය පැවසුවේය.


මියගොස් ඇත්තේ හැටන්, දිඹුලපතන ප්‍රදේශයේම පදිංචිව සිටි 55 හැවිරිදි පුද්ගලයෙකි.


ප්‍රදේශයේ ආගමික ස්ථානයක් අසළ තිබු බඹර කූඩුවක් රිලවෙකු විසින් කඩාගෙන යාමත් සමඟ එහි සිටි බැතිමතුන් පිරිසක් මෙලෙස බඹර ප්‍රහාරයට ලක්ව ඇති බව සඳහන් වෙයි.


තුවාල කරුවන් කොටගල ප්‍රාදේශීය රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව පොලිසිය පැවසුවේය.



වර්ජනය තවදුරටත් - අධිකරණ නියෝගය ගැන දැනුවත් නෑ

පරිපුරක වෛද්‍ය වෘත්තිකයින් දියත් කර ඇති වැඩ වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක කරන බව පරිපුරක වෛද්‍ය සේවා වෘත්තීය සමිති ඒකාබද්ධ බල මණ්ඩලය පවසයි.

එම බල මණ්ඩලයේ ප්‍රධාන ලේකම් අජිත් තිලකරත්න මහතා පවසන්නේ ඊයේ(29) රාත්‍රී සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ජාව අසාර්ථක වු බවයි.


මේ අතර පරිපුරක වෛද්‍ය වෘත්තිකයින්ගේ වැඩ වර්ජන අත්හිටුවන ලෙස කොළඹ දිසා අධිකරණය ඊයේ නියෝගයක් නිකුත් කළේය.


පරිපුරක වෛද්‍ය සේවා වෘත්තීය සමිති ඒකාබද්ධ බල මණ්ඩලයේ ප්‍රධාන ලේකම් අජිත් තිලකරත්න මහතා පවසන්නේ අධිකරණ නියෝගය සම්බන්ධයෙන් තමන් දැනුවත් වී නොමැති බවයි.


මාධ්‍ය මගින් ඒ පිළිබඳ ප්‍රචාරය වුවද නිල වශයෙන් ඒ සම්බන්ධයෙන් තමා දැනුවත් කර නොමැති බව අජිත් තිලකරත්න මහතා පැවසුවේය.


කෙසේ වෙතත් අධිකරණ නියෝගයට අනුව වර්ජනයේ නියුතු පරිපුරක වෛද්‍ය සේවා වෘත්තිකයින් රාජකාරියට වාර්තා කළ යුතු බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලලිත් දිසානායක මහතා අද දෙරණට කියා සිටියේය.



ජාතික ගුරු මාරු ප‍්‍රතිපත්තියට පටහැනිව නම් කිරීම ප‍්‍රජාතන්ත‍්‍රවාදී නොවන අත්තනෝමතික ක්‍රියාවක්

ජාතික පාසල්වල අතිරික්ත යයි හඳුනාගත් ගුරුවරුන්ගේ නාම ලේඛනයක් අධ්‍යාපන ලේකම්වරයා විසින් වයඹ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට යොමු කොට එම ගුරුවරුන් ජාතික පාසල් වලින් පළාත් පාසල් වලට ස්ථාන මාරු කිරීමට මේ දිනවල කටයුතු යොදමින් තිබෙන බව ලංකා ගුරු සංගමය පවසයි.

මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය මේ බව සඳහන් කළේය.


එම මාධ්‍ය නිවේදනය පහත පරිදි වෙයි.


ගුරුවරු 100 කට වැඩි පිරිසකගේ නම් එහි ඇතුළත් කොට ඇති අතර මෙම ගුරුවරුන් අතිරික්ත ගුරුවරු වශයෙන් නම් කරන ලද්දේ කුමන පදනමකින් ද යන්න ගැටළුවකි. සමහර ජාතික පාසල්වල වසර 14 ක් 15 ක් වැනි කාලයක් සේවය කළ ගුරුවරු සිටියදී වසර 10 කට අඩු ගුරුවරු ගණනාවක් මේ අනුව අතිරික්ත කොට ඇත. මෙය පැහැදිලිවම අත්තනෝමතිකව පලි ගැනීමේ චේතනාවෙන් සිදු කරන ලද කි‍්‍රයාදාමයක් බව පැහැදිලිය.


2007/20 දරණ ජාතික ගුරු මාරු ප‍්‍රතිපත්තියට අනුව ගුරුමාරු වීම් මාරු මණ්ඩලය හරහා සිදු විය යුතු අතර අතිරික්ත ගුරුවරු තෝරා ගැනීම ද විධිමත් මණ්ඩලයකින් සිදු කළ යුතුය. මෙම පාසල්වල අතිරික්ත ගුරුවරු තෝරා ගැනීමේ පදනම විනිවිද නොපෙනෙන විදුහල්පතිවරුන්ගේ අවශ්‍යතා මත ජාතික පාසල් අධ්‍යක්ෂවරයාගේ තනි අභිමතය පරිදි සිදුවූවක් බව පැහැදිලිය.


මීට ඉහතදී අතිරික්ත ගුරුවරු ස්ථාන මාරු කරන පදනමෙන් ජාතික පාසල් අධ්‍යක්ෂවරයා මධ්‍යම හා සබරගමු පළාත්වල ගුරුවරු ස්ථාන මාරු කරන ලද අතර එහිදී ගුරු මාරු මණ්ඩල නොතකා පෞද්ගලික අභිමතාර්ථ ඉටු කර ගැනීම වෙනුවෙන් ජාතික පාසල් අධ්‍යක්ෂවරයා යොදාවගෙන් ස්ථාන මාරු සිදු කර තිබුණි.


මෙම කි‍්‍රයාදාමයට ගුරු සංගම් දැඩි විරෝධය පළ කිරීමෙන් අනතුරුව අධ්‍යාපන ලේකම්වරයා ගුරු සංගම් නියෝජිතයින් ඇතුළත් අභියාචනා මණ්ඩලයක් පසුව පත් කරන ලදී. අනතුරුව අනෙකුත් පළාත්වල අතිරික්ත මාරුවීම් මාරු මණ්ඩල හරහා සිදු කිරීමට ද අධ්‍යාපන ලේකම්වරයා එකඟතාවය පළ කළ අතර ඒ අනුව මුලින් ම උතුරු මැද පළාතේ ස්ථාන මාරු ලේඛනය ගුරු මාරු මණ්ඩල හරහා සකස් වුවද ජාතික පාසල් අධ්‍යක්ෂවරයා එම ලේඛනය ද කි‍්‍රයාත්මක නොකරන ලදී.


එවැනි පසුබිමක නැවතත් වයඹ පළාතේ මෙලෙස අතිරික්ත ගුරුවරු ගුරුමාරු මණ්ඩලවලින් තොරව 2007/20 ජාතික ගුරු මාරු ප‍්‍රතිපත්තියට පටහැනිව නම් කිරීම ප‍්‍රජාතන්ත‍්‍රවාදී නොවන අත්තනෝමතික කි‍්‍රයාදාමයක් බැවින් වහාම මෙම කි‍්‍රයාව නතර කොට විධිමත් මාරු මණ්ඩල හරහා අතිරික්ත ගුරුවරු හඳුනාගෙන ස්ථාන මාරු කිරීමට කටයුතු කරන ලෙස ලංකා ගුරු සංගමය ඉල්ලා සිටී. මේ සම්බන්ධයෙන් අධ්‍යාපන ලේකම්වරයාට ද ලංකා ගුරු සංගමය ලිඛිතව දැනුම් දී ඇති අතර තවදුරටත් මෙම කි‍්‍රයාදාමය පෙරට යන්නේ නම් ඊට එරෙහිව ගත හැකි උපරිම කි‍්‍රයාමාර්ග ගැනීමට ද පසුබට නොවන බව ද තවදුරටත් අවධාරණය කර සිටී.



කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි

කොළඹ ප්‍රදේශ කිහිපයකට සැප්තැම්බර් මස පළමු වැනි දින ජලය සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ අනුව අදාළ දිනය තුළ පෙරවරු 8.00 සිට පස්වරු 5.00 දක්වා පැය නවයක කාලයක් මෙලෙස ජලය සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය සඳහන් කළේය.


නුගේගොඩ, හයිලෙවල් පාර, විජේරාම හන්දිය, පිටකෝට්ටේ, ඇතුල්කෝට්ටේ, මිරිහාන, උඩහමුල්ල, පාගොඩ, නාවල යන ප්‍ර දේශ සඳහා මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ලැබේ.



ඒක පුද්ගල ආදායම වැඩිවීමෙන් පමණක් සෑහෙන්න බෑ

ඒකපුද්ගල ආදායම වැඩි කිරීමෙන් පමණක් සෑහීමකට පත් නොවී තම පාලන කාළය තුළ දූගී දුප්පත් කමින් තොර ආර්ථික වශයෙන් ශක්තිමත් ගම් දනව් මේ රට පුරා ඇති කිරීම ජනාධිපතිතුමාගේ අරමුණ යැයි මුදල් අමාත්‍යංශ ලේකම් ආචාර්ය පී.බී.ජයසුන්දර මහතා පවසයි.

අද(29) රත්නපුර නව නගරයේ පිහිටි සබරගමු පළාත් ශ්‍රවණාගාරයේ පැවති සාකච්ඡාවකට එක් වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.


2015/2017 මධ්‍ය කාලීන අයවැය යෝජනා සඳහා පළාත් සභා මට්ටමින් අදහස් ලබාගැනීමේ අරමුණින් මුදල් අමාත්‍යංශ ලේකම්වරයා ඇතුළු මහා භාණ්ඩාගාරයේ ජ්‍යේෂ්ඨ නිළධාරී රැසක් මේ අවස්ථාවට එක්ව සිටි අතර සබරගමු මහ ඇමති මහීපාල හේරත් මහතා ඇතුළු පළාත් අමාත්‍යවරුන් ද පළාත් සභාවේ ජ්‍යේෂ්ඨ නිළධාරීන් ද මෙම සාකච්ඡාවට එක් වූහ.


මෙහිදී මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය පී.බී.ජයසුන්දර මහතා කියා සිටියේ 2015/2017 මධ්‍ය කාලීන ආයෝජන සැලැස්ම සහ ඉදිරි අයවැය යෝජනා සකස් කිරීමට පූර්වගාමීව ඒ ඒ පළාත් සභාවල අවශ්‍යතා සහ අදහස් උදහස් විමසමින් මෙවන් සංවාදයක් ආරම්භ කරනුයේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නියමයක් හේතුවෙන් බවය.


මීට පෙර වයඹ සහ මධ්‍යම පළාත් සභා සමග මේ හා සමාන සංවාද වට දෙකක් පැවති බවට ජයසුන්දර මහතා මෙහිදී සිහිපත් කළේය.


පළාත් සභා ක්‍රමය මෙරට ආරම්භ වී වසර 25ක් ඉක්ම ගොස් ඇතත් ජාතික අයවැය සම්පාදනය සඳහා යෝජනා අදහස් උදහස් ලබාගැනීමට මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා සහ භාණ්ඩාගාරයේ ජ්‍යේෂ්ඨ නිළධාරීන් පළාත් සභා බලධාරීන් මුණ ගැසෙන්නේ ඉතිහාසයේ පළමු වරට යැයි ද පී.බී ජයසුන්දර මහතා කියා සිටියේය.


ඉදිරි අයවැය ජනාධිපතිතුමා මුදල් අමාත්‍යවරයා වශයෙන් මෙරටට ඉදිරිපත් කරන දස වෙනි අයවැය බව කී ඔහු එකී ඓතිහාසිකත්වය සේම රට ශීඝ්‍ර දියුණුවට ලක් වෙමින් තිබියදී රටේ කිසියම් හෝ ප්‍රදේශයක් එම දියුණුවට හසු නොවී ඇත්නම් එම ප්‍රදේශද ශීඝ්‍ර සංවර්ධනයකට දායක කර ගැනීම පළාත් මට්ටමින් මුදල් අමාත්‍යංශය සිදු කරන මෙම සංවාදයන්හි අරමුණ බවද ලේකම්වරයා පෙන්වා දුන්නේය.


සෞඛ්‍යය,අධ්‍යාපන,මාර්ග ,විදුලිය මේ කුමන ක්ෂේත්‍රයකට අදාළව වුව සැලසුම් සම්පාදනයේදීත් ප්‍රතිපාදන වෙන් කිරීමේදීත් දුෂ්කර ගම් දනව් වලට වැඩි අවධානය යොමු කරමින් ග්‍රාමීය ජනතාවගේ ජන ජීවිතය නංවාලීම සඳහා පළාත් සභා ඉදිරිපත් කරන යෝජනා වලට අවශ්‍ය අරමුදල් ලබාදීමට රජය සූදානම් බවද මුදල් අමාත්‍යංශ ලේකම්වරයා සඳහන් කළේය.



කුඩු ළඟ තබා ගත් කතුන් 2ක් ඇතුළු 7ක් අත්අඩංගුවේ

හෙරොයින් ළඟ තබා ගෙන සිටි කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් 07 දෙනෙකු ඌරගස්මං හන්දිය තුඩුව ප්‍රදේශයේදී අත්ඩංගුවට ගෙන තිබේ.

ඌරගස්මං හන්දිය පොලිසියකට ලැබුණු තොරතුරකට අනුව සිදු කළ වැටලිමකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.


අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔවුන් සතුව තිබි හෙරොයින් ග්‍රෑම්11යි මිලිග්‍රෑම් 125 ක් පමණ පොලිසිය විසින් සොයා ගෙන තිබේ.


සැකකරුවන් එම ප්‍රදේශයේම පදිංචිකරුවන් වන අතර ඔවුන් අද ඇල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



පරිපූරක වෛද්‍ය සේවා වර්ජනයට එරෙහිව අතුරුතහනම් නියෝගයක්

පරිපූරක වෛද්‍ය සේවා වෘත්තිකයින් විසින් කරගෙන යනු ලබන වැඩවර්ජනය අත්හිටුවන ලෙස කොළඹ දිසා අධිකරණයෙන් අතුරුතහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

රෝගියෙකු විසින් ගොනු කළ පෙත්සමක් සලකා බලා අධිකරණය විසින් එළඹෙන සැප්තැම්බර් මස 12වන දින දක්වා බලපැවැත්වෙන පරිදි මෙම අතුරුතහනම් නියෝගය සිදුකෙරුණු බව අද දෙරණ වාර්තාකරු පවසයි.


ඉල්ලීම් කිහිපයක් අරමුණු කර ගනිමින් පරිපූරක වෛද්‍ය සේවා වෘත්තිකයින් විසින් ආරම්භ කර ඇති වැඩවර්ජනයට අදට(29) දින 4කි.


මේ හේතුවෙන් දිවයින පුරා රෝහල්වල කටයුතු බොහෝ සෙයින් අඩපණවී ඇතත්, බලධාරීන් සමග කරන ලද සාකච්ඡා මගින් විසඳුමකට එළඹීමට නොහැකිවීම හේතුවෙන් ඉල්ලීම් ලැබෙනතුරු වැඩවර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව පරිපූරක වෛද්‍ය සේවා වෘත්තිකයින්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය නිවේදනය කර තිබිණි.


කෙසේ වෙතත් කොළඹ ජාතික රෝහලේ රෝගියෙකු විසින් ගොනුකරන ලද පෙත්සමක් සලකා බැලූ ප්‍රධාන විනිසුරු සුජාතා අලහප්පෙරුම විසින් ‘පරිපූරක වෛද්‍ය සේවා වෘත්තිකයින්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය‘නියෝජනය කරනු ලබන වෘත්තීය සමිති 5ට මෙම අතුරුතහනම් නියෝගය ලබාදුන් බව අද දෙරණ වාර්තාකරු වැඩිදුරටත් කියා සිටියි.



ඩෙල්ෆ් සභාපති ඝාතනයේ උතුරේ හිටපු විපක්ෂ නායකට ඇප ලැබෙයි

ඩෙල්ෆ් ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති 44 හැවිරිදි ඩැනියෙල් රෙක්සියන්ගේ ඝාතනයේ ප‍්‍රධාන සැකකරු වන උතුරු පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක කන්දසාමි කමලේන්ද්‍රන් යන අය අද (29) ඇප මත නිදහස් කර තිබේ.

සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු යාපනය මහාධිකරණ විනිසුරු අන්නලිංගම් ප්‍රේම්ශංකර් මහතා විසින් මෙලෙස ඇප ලබාදුන් බව අද දෙරණ වාර්තාකරු පවසයි.


ඒ අනුව කන්දසාමි කමලේන්ද්‍රන් යන අය රු.ලක්ෂ 2ක මුදල් ඇපයක්ද, ලක්ෂ 5 බැගින් වන ශරීර ඇප දෙකක් ද මත නිදහස් කෙරුණු අතර ඝාතනයට ලක්වුණු සභාපතිවරයාගේ බිරිඳ වන අනීතා රෙක්සියන්ට මුදලින් රු.50,000 ක ද, රු. ලක්ෂ 1 බැගින් ශරීර ඇප දෙකක්ද මත නිදහස් කිරීමට පියවර ගෙන තිබේ.


ඝාතනයේ ප්‍රධාන සැකකරු වන කමලේන්ද්‍රන්ට දැඩි ඇප කොන්දේසි පනවා විනිසුරුවරයා විසින් අවවාද කළ බවත්, ඒ අනුව නඩුවේ විත්තිකරුවන්ට බලපෑම් කළ නොහැකි බවත්, විදේශ ගතවීම තහනම් බවත්, සතියකට එක් වරක් වැල්ලවත්ත පොලීසියේ අත්සන් කළ යුතුව ඇති බවත් , යාපනය ප්‍රදේශයේ වාසය කළ නොහැකි බවත් විනිසුරු විසින් අවධාරණය කළ බව අප වාර්තාකරු පවසයි.


මෙම නියෝගයන්ට පටහැණිව ක්‍රියා කළ හොත් ඇප අවලංගු කර වහා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරන බව විනිසුරුවරයා විසින් සඳහන් කර ඇත.


සැකකරුවන් විසින් මේ වසරේ පෙබරවාරි මාසය තුළදී ඉදිරිපත් කරන ලද ඇප අයදුම්පතක් සලකා බැලීමෙන් අනතුරුව මෙලෙස අද දිනයේ ඇප ලබාදීම සිදුකළ බවත්, ඝාතනයට සැක පිට අත්අඩංගුවට ගෙන සිටින තෙවන විත්තිකරු ඇප ඉල්ලා නොමැති බැවින් ඔහුට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කළ විනිසුරුවරයා ඔහු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසද නියෝග කර තිබේ.


ඝාතනයට ලක්වූ සභාපතිවරයාගේ බිරිඳ වන අනීතා රෙක්සියන්, ප්‍රධාන සැකකරු වන කමලේන්ද්‍රන් සමග සමග පවත්වාගෙන ගිය අනියම් සම්බන්ධයක් මත මෙම මනුෂ්‍ය ඝාතනය සිදුවූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සොයාගෙන තිබුණි.


හිසේ තුවාලයක්ද සහිතව හිටපු ඩෙල්ෆ් සභාපතිවරයා පුංකුඩුතිවු දුපතේ පිහිටි ඔහුට අයත් නිවසේ 2013.11.26 දින මියගොස් තිබුණි.


ස්වාමි පුරුෂයා “වස පානය කර සිය දිවි හානි කරගන්නට ඇති බවත් මරණය පිළිබඳ සැකයක් නොමැති බවත්” එම අවස්ථාවේදී ඔහුගේ බිරිඳ වන රෙක්සියන් අනීතා ප‍්‍රකාශ කර තිබූ බව එකල පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනයක දැ‍ක්විණි.


කෙසේ වෙතත් පසුව මෙම මරණය සැක සහිතවීම හේතුවෙන් මේ පිළිබඳ පරීක්ෂණ සිදුකළ පොලීසිය මෙය ඝාතනයක් බව තහවුරු කර ගැනීමෙන් පසු ඊට සැකපිට මෙම සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලදී.



සිවිල් ආරක්ෂකයෙක් මරා පුළුස්සා ලක්ෂ 2ක් කොල්ලකෑ සැකකරුවෙක් රිමාන්ඩ්

රාජකාරියට යමින් සිටි සිවිල් ආරක්ෂක සෙබ‍‍‍ළෙකු ඝාතනය කර පුළුස්සා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

සිද්ධියට අදාළ නඩුව අද (29) කැඳවු අවස්ථාවේ සැකකරු ලබන 12 වනදා දක්වා රක්ෂිත බන්දනාගාර ගත කරල ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු යුරේෂා ද සිල්වා මෙනෙවිය නියෝග කර ඇත.


මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ අනුරාධපුර, මුස්ලිම් කටුකැලියාව ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙකි.


මේ අතර අදාළ අපරාධය සම්බන්ධයෙන් මීට පෙර අත්අඩංගුවට ගත් පළමු සැකකරු වන අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි සිවිල් ආරක්ෂක බලකායේ සෙබළෙකු ද ලබන 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.


පසුගිය ජුලි මස 20 වැනිදා අනුරාධපුර අසිරික්කගම ප්‍රදේශයේ පිහිටි තම නිවසේ සිට රාජකාරියට යමින් සිටි 37 හැවිරිදි සිවිල් ආරක්ෂක බලකායේ සෙබළෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර පුළුස්සා දමා ඔහු සතුව තිබු රුපියල් ලක්ෂ 02ක පමණ මුදලක් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් අදාළ සැකකරුවන්ට අධිකරණය හමුවේ චෝදනා එල්ල වී තිබුණි.



පකිස්ථානු සරණාගතයින්ගේ නඩුවේ තීන්දුව සැප්තැම්බර් 1දා

නීතී විරෝධි අයුරින් මෙරට රැඳී සිටින පාකිස්ථානු ජාතික සරණාගතයින් රටින් පිටුවහල් කිරීම අත්හිටුවමින් පනවා ඇති තහනම් නියෝගය ඉවත් කරන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් වු තීන්දුව සැප්තැම්බර් මස 01 වනදා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය දැනුම් දී තිබේ.

පකිස්ථානු ජාතික සරණාගතයින් පිරිසක් ගොනු කළ පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව ඔවුන් මෙරටින් පිටුවහල් කිරීම තහනම් කරමින් අභියාචනාධිකරණය පසුගිය දා තහනම් නියෝගයක් නිකුත් කර තිබුණි.


එම තහනම් නියෝගය ඉවත් කරන ලෙස ආගමන විගමන පාලකවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා අද අධිකරණයෙන් ඉල්ලා සිටි බව අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.


එම සරණාගතයින් පිරිස නීති විරෝධි අයුරින් වීසා බලපත්‍ර නොමැතිව මෙරට රැඳී සිටින බව සඳහන් කළ රජයේ නීතිඥවරයා ඔවුන්ගෙන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් එල්ල වන බව ද ප්‍රකාශ කර ඇත.


එමෙන්ම එම සරණාගතයින්ගෙන් මෙරට තුළ මැලේරියාව වැනි රෝග පැතිර යාමේ අවධානමක් පවතින බවද රජයේ නීතිඥවරයා ප්‍රකාශ කර ඇති බව සඳහන්ය.


අදාළ සරණාගතයින් අපරාධ ක්‍රියාවල නිරත වී ඇති බවට ද පොලිස් වාර්තා මගින් අනාවරණය වී ඇති බව රජයේ නීතිඥවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.


කෙසේවෙතත් පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරයා කියා සිටියේ එම සරණාගතයින් පාකිස්ථානයට පිටුවහල් කිරීම තුළින් ඔවුන්ගේ ජිවිත වලට තර්ජන එල්ල වීමට ඉඩකඩ පවතින බවයි.


ඒ අනුව දෙපාර්ශවයේම කරුණු සලකා බැලු අභියාචනාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා එම තහනම් නියෝගය ඉවත් කරන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් වු තීන්දුව ලබන 01 වනදා ප්‍රකාශයට පත් කරන බව දැනුම් දී ඇත.



පියා, මව හා පුතු මැරූ 2ක් පෝරකයට

2002.02.12 දින ගාල්ල උඩුගම, හෝමගලවත්තේ වතු බංගලාවකදී පියෙකු, මවක හා පුතෙකු කපා කොටා ඝාතනය කළ බවට වරදකරුවන් වූ පුද්ගලයින් දෙදෙනෙකුට ගාල්ල පළාත්බද මහාධිකරණය අද (29) මරණ දඬුවම නියම කර තිබේ.

ගාල්ල පළාත්බද අභියාචනාධිකරණයේ විනිසුරු පද්මා පලිහක්කාර මහත්මිය විසින් මෙම තීන්දුව ලබාදුන් බව අප වාර්තාකරු කීවේය.


ඝාතනයට ලක්වූ අයට තියුණු ආයුධ වලින් පහරදී කපා කොටා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔවුන්ට අධිචෝදනා එල්ල වී තිබිණ.



සෞඛ්‍ය ඇමතිත් අසරණයි

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වැඩවර්ජන සමග ඇතිවී ඇති අර්බුදය හමුවේ සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතාද අසරණවී ඇති බව එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා පවසයි.

රාජපක්ෂවරුන්ගේ හොරකම් නිසා එම ගැටළු විසඳීමට නොහැකිව ඇති බව මන්ත්‍රීවරයා කියා සිටියේ අද(29) කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.


වර්තමානයේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළව අමාත්‍යවරුන් 11 දෙනෙකු සිටින බවත්, එසේ වුවද පවත්නා වැඩවර්ජන හා අර්බුද විසඳීමට මාධ්‍ය නිවේදන නිකුත් කිරීම හැර කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නා බවත් ඔහු පෙන්වා දුන්නේය.


සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයාද උඩු බිරීම හැර අන් යමක් නොකරන බව මාන්නප්පෙරුම මහතා කියා සිටියේය.


රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයටද ආණ්ඩුව විසින් හෙංචයියන් පිරිසක් දමා එය දෙඩක කර ඇති බවත්, ඒ නිසාම ප්‍රශ්නය උග්‍රවී ඇති බවත් හෙතෙම සඳහන් කළේය.


ගෞරවයෙන් සැලකූ වෘත්තීන් දෙකක් වන වෛද්‍යවරුන් හා හෙද හෙදියන් අතරද ගැටුම් උග්‍රවී ඇති බවත්, එහි වගකීම සම්පූර්ණයෙන්ම ආණ්ඩුව විසින් බාරගත යුතුව ඇති බවත් මන්ත්‍රීවරයා අවධාරණය කළේය.


යුද්ධය පවත්නා කාලයේ සියලුම ප්‍රශ්න ඒ මත දමා ආණ්ඩුව විසින් ඇඟ බේරාගත් බවත්, මේවන විට යුද්ධය නිමාවී වසර 5ක් ගෙවී ඇතත් සෞඛ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් කිසිදු සාධනීය මැදිහත්වීමක් නොකෙරුණු බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.



කරාපිටියේ බෙහෙත් ඇත්තේ තව දින 2යි - ඉබි යතුරු කඩලා බෙහෙත් ගන්නවා

කරාපිටිය රෝහලේ බෙහෙත් ඇත්තේ තවත් දින දෙකකට ප්‍රමාණවත් බැවින් ඖෂධ ගබඩාවල ඉබි යතුරු කඩා හෝ ඖෂධ ගන්නා බව එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ජයම්පති සේනානායක මහතා කියයි.

රෝහල් පරිපූරක සේවක වර්ජනය හේතුවෙන් රෝගීන්ට ලබාදීමට ඉතිරිව ඇත්තේ තවත් දින 2ට ප්‍රමාණවත් බෙහෙත් බැවින් ඉබි යතුරු දමා ඇති ගබඩාවලින් බෙහෙත් ගැනීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ලිඛිත අවසරයක් ලැබී ඇති බවද හෙතෙම පවසයි.


පරිපූරක වැඩවර්ජනයේ සිව්වන දිනය අද වේ.


සෞඛ්‍ය අමාත්‍යවරයා වර්ජනය අතහැර සේවයට වාර්තාකරන්නැයි ඉල්ලා සිටියත් වර්ජනයේ නිරත වෘත්තීය සමිති එය ප්‍රතික්ෂේප කර තිබේ.



දිවි පැටවුන් විකිණීමේ ජාවාරමක් වව්නියාවෙන් - නිවැසියන් අතුරුදන්

දිවි පැටවුන් විකිණීමේ ජාවාරමක් හෙළි කර ගැනීමට වවුනියාව වනජිවි අඩවි වන නිලධාරීන් හා වවුනියාව පොලිස් නිලධාරීන් සමත්ව තිබේ.

වවුනියාව වනජිවි අඩවි ආරක්ෂක නිලධාරි එම්.ඩී.එල් ලයනල් මහතා පැවසුවේ විකිණීමට රැගෙනවිත් තිබු දිවි පැටියෙකු වවුනියාව, කුරුමන්කාඩු ප‍්‍රදේශයේ නිවසක සඟවාගෙන සිටින බවට වවුනියාව පොලිසිය වෙත ලද තොරතුරක් මත වනජීවි නිලධාරීන් හා පොලිස් නිලධාරීන් අදාළ නිවස වැටලූ බවයි.


එහිදී විකිණීමට රැගෙනවිත් නිවසේ වැසිකිළියේ රඳවා සිටි දිවි පැටියෙකු සොයා ගැනීමට හැකි වී ඇත.


නිවස වටලන අවස්ථාවේ නිවැසියන් පළාගොස් ඇති අතර, සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර, වවුනියාව වනජිවි අඩවි ආරක්ෂක නිලධාරීන් හා වවුනියාව පොලිසිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පුළුල් පරීක්ෂණ මෙහෙයවයි.


නිවස වටලන අවස්ථාවේ අදාළ දිවි පැටියා ආහාර නොමැතිව මරණාසන්නව සිටි බවත්, පශු වෛද්‍ය නිලධාරීන් පැමිණ දිවි පැටියා පරීක්ෂා කිරීමේදී දිවි පැටියා මියගොස් ඇති බවත් හෙළි වී ඇත.


වනජිවි දෙපාර්තමේන්තුවේ උතුරු පළාත භාර පශු වෛද්‍ය නිලධාරි බී.ගිරිදරන් මහතා මියගිය දිවි පැටියාගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළ අතර, අහාර නොමැතිව දිවි පැටියා මියගොස් ඇති බවට වාර්තා ඉදිරිපත් කොට තිබේ.


මියගිය දිවි පැටියා මාස තුනක පමණ වයසේ පසුවන බැව්ද වනජීවි නිලධාරීන් පැවසීය.


අදාළ සිදුවීම සම්බන්ධයෙන් වවුනියාව පොලීසියෙන් සිදු කළ විමසීමකදී වවුනියාව පොලිසිය පැවසුවේ දිවි පැටියා විකිණීම පිණිස රැගෙනවිත් ඇති බවට මුලික පරීක්ෂණවලින් අනාවරණය වී ඇති බවත්, දිවි පැටියා රඳවාගෙන සිටි නිවැසියන් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ මෙහෙයවන බවත්,ය.


(දිවි පැටියා මියගොස් සිටි අයුරු)


ඡායා රූ - මාධව කුලසූරිය



උසස් පෙළ උත්තර පත්‍ර බැලීම හෙට සිට

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පළමු අදියරේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු හෙට (30) ආරම්භ කෙරේ.

විභාග දෙපාර්තමේන්තුව සදහන් කළේ ලබන 12 වෙනි දින දක්වා තෝරා ගත් පාසල් 10 ක් ඒ සඳහා යොදා ගන්නා බවයි.


ඒ අනුව කොළඹ රාජකීය, විශාඛා, කළුතර තිස්ස මධ්‍ය විද්‍යාලය, රත්නපුර ෆර්ගසන් උසස් විද්‍යාලය, කුරුණෑගල මලියදේව බාළිකා විද්‍යාලය, කුලියාපිටිය ශාන්ත ජෝසප් විද්‍යාලය සහ කෑගලු බාළිකා විද්‍යාලය ලබන 12 වෙනි දින දක්වා වසා තැබෙනු ඇත.


ඊට අමතරව මහනුවර කිංග්ස්වුඩ්, ගාල්ල විද්‍යාලෝක සහ බදුල්ල විහාර මහා දේවි බාළිකා විද්‍යාලය ද එම කාලය තුළ වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේය.


දෙවන අදියරේ ඇගයිම් කටයුතු ලබන මස 14 වන දා සිට 27 වන දා දක්වා සිදු කිරීමට නියමිතය.


05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් සිදු කරන පාසල් ඔක්තෝම්බර් 02 වන දා ආරම්භ කෙරෙනු ඇත.


මේ අතර අවසන් පාසල් වාරයේ අධ්‍යයන කටයුතු සඳහා සෙසු පාසල් ලබන සඳුදා (01) සිට ආරම්භ කෙරේ.



ගැබිණි මව යටකළ රියදුරු රිමාන්ඩ්

යාපනය, අච්චුවේලි, නවක්කීරි ප‍්‍රදේශයේදි ගර්භණි මවකට මරු කැඳවමින් ටිපර් රථයක් ධාවනය කළ රියදුරා සැප්තැම්බර් 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට යාපනය මල්ලාකමි අධිකරණය විසින් නියෝග කර තිබේ.

යාපනය කොක්කුවිල් ප‍්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි ටිපර් රථ රියදුරෙකු එලෙස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මල්ලාකමි අධිකරණය නියෝග කර ඇත.


අච්චුවේලි, නවක්කීරි සරස්වති වීදිය ප‍්‍රදේශයේදී සිදු වු අනතුරක් හේතුවෙන් 25 හැවිරිදි ශෂිදරන් සුභාෂිණි නමැති ගැබිණි මවක් ඊයේ(28) දහවල් මියැදුණි.


ගැබිණි මව යටකළ ටිපර් රථයට ප‍්‍රදේශවාසීන් ගිනි තබා විනාශ කොට තිබිණ. සිද්ධිය සමිබන්ධයෙන් අච්චුවේලි පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.



උපාධිධාරී තරුණිය ඔස්ට්‍රේලියාවේදී මැරුණ හැටි ගැන විශේෂ පරීක්ෂණයක්

උපාධිධාරී ශ්‍ර්‍රී ලාංකික තරුණියක් ඔස්ට්‍රේලියාවේ, සිඩ්නි හි ඔයක ගිළී මියයාම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට විශේෂ පොලිස් කණ්ඩායමක් පත්කර තිබේ.

ඔස්ට්‍රේලියාවේ, සිඩ්නි, මොන‍ාකෝ හි නිවාස සංකීර්ණයක එම තරුණිය, ඇයගේ සොහොයුරා හා පියා ද සමගින් වසර කිහිපයක සිට වාසය කරමින් සිට ඇත.


පසුගිය (26) අඟහරුවාදා රාත්‍රී 7.30ට පමණ සිය සොහොයුරිය කෑමට යමක් ගෙන ඒමට නිවසින් පිටත්ව ගොස් ඇති බවත්, එදින රාත්‍රී ඇය නිවසට නොපැමිණි බවත්, ඇයගේ සොහොයුරා බව කියන සහන් රාජපක්ෂ ‍ඔස්ට්‍රේලියානු පොලීසියට පවසා තිබේ.


නිවසට මීටර් ගණනාවක් දුරින් පිහිටි ඔයක තම සොහොයුරියගේ සිරුර පසුදින උදෑසන තිබෙන අයුරු තමන් දුටු බව ද සොහොයුරා පොලීසියට පවසා ඇත.


අමීෂා රාජපක්ෂ (31) සිය සොහොයුරිය තම පවුලේ සිටි දක්ෂතම කෙනා බවත් ඇය නැතිවීම දරාගත නොහැකි බවත් මේ පිළිබඳව අදහස් දක්වමින් සහන් රාජපක්ෂ සොහොයුරාත් මියගිය තරුණියගේ පියාත් පොලීසියට පවසා තිබේ.


මෙම මරණය සැක සහිත බැවින් මේ ගැන පරීක්ෂණයක් කරන ලෙසට ඔවුන් ඒ අනූව පොලීසියට දැනුම්දී ඇත.


මියගිය තරුණිය තොරතුරු තාක්ෂණ උපාධිධාරිණියක බව පැවසෙන අතර ඇය ඔස්ට්‍රේලියාවට ගොස් ඇත්තේ 2009 වසරේදීය.


ඒ අනූව පරීක්ෂණ පවත්වන ඔස්ට්‍රේලියානු පොලීසිය මේ සඳහා සී.සී.ටී.වී කැමරා දර්ශන ද උපයෝගි කර ගන්නා බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.



ශ්‍රී ලංකා ගුවන් හමුදාවට උදව් කරනවා

මෙරට ගුවන් හමුදාවට තාක්ෂණික පුහුණුව සහ වෘත්තීය ප්‍රවිණතාව ලබාදීම සඳහා සහය දෙන බව පකිස්ථාන් ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් තහීර් රෆීක් බට් මහතා පවසයි.

මෙරට සංචාරයක නිරතව සිටින පකිස්ථාන් ගුවන් හමුදාපතිවරයා ඊයේ ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡාවක නිරත විය.


එහිදී දෙපාර්ශවය අතර ආරක්ෂක සහයෝගිතාවය සම්බන්ධයෙන් කරුණු රැසක් සාකච්ඡාවට බදුන් වු බව වාර්තා වෙයි.


පකිස්ථාන් ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් තහීර් රෆීක් බට් මහතා යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් දයා රත්නායක, නාවික හමුදාපති වයිස් අද්මිරාල් ජයන්ත පෙරේරා සහ ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක යන මහත්වරුන්ද ඊයේ හමු වී සාකච්ඡාවල නිරත විය.



1000 හොර එකක් කීවාට පසු 100 කොළ දෙකක් දීලා

ඉන්ධන ලබාගැනීම සඳහා ව්‍යාජ රුපියල් 1000ක මුදල් නෝට්ටුවක් ඉදිරිපත් කර පළාගිය තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මහඔය සමූපකාර ඉන්ධන පිරවුම් හලට පැමිණි යතුරු පැදිකරුවෙකු ඉන්ධන ලබාගැනීම සඳහා රුපියල් 1000ක මුදල් නෝට්ටුවක් ඉදිරිපත් කර ඇති අතර ඉන්ධන පිරවුම් හලේ අයකැමියා විසින් එය ව්‍යාජ මුදල් නෝට්ටුවක් බවට හඳුනාගෙන ඇත.


මුදල් අයකැමියා විසින් ඒ පිළිබඳ යතුරුපැදිකරු දැනුවත් කළ පසු ඔහු එම මුදල් නෝට්ටුව ලබාගෙන රුපියල් සියයයේ මුදල් නෝට්ටු 02කින් අදාළ මුදල ගෙවා පළාගොස් ඇති බව පොලිසිය පැවසුවේය.


පසුව ඉන්ධන පිරවුම් හලේ අයකැමියා විසින් මහඔය පොලිස් ස්ථානයට මේ බව දැනුම් දී ඇති අතර ඒ අනුව අදාළ සැකකරු පදියතලාව නගරයේදී අත්අඩංගුවට ගෙන ඇත.


අත්අඩංගුවට‍ ගෙන ඇත්තේ 22 හැවිරිදි පදියතලාව ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි.


සැකකරු දෙහිඅත්තකණ්ඩිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.



සිලාවතුරේ ළමුන් දෙන්නෙක් දියේ ගිළී මරුට

සිලාවතුර, අරිප්පු බටහිර ප්‍රදේශයේ වෙට්ටිකුලම නැමති කුඩාවැවක දියනෑමට ගිය ළමුන් දෙදෙනෙකු දියේ ගිළී මියගොස් තිබේ.

ඊයේ පස්වරුවේ අදාළ ළමුන් දෙදෙනා දියනෑමට ගොස් ඇති අතර එහිදී ඔවුන් දියේ ගිළී මියගොස් ඇති බව සිලාවතුර පොලිසිය සඳහන් කළේය.


මියගොස් ඇත්තේ 13 හැවිරිදි දැරියක් සහ 08 හැවිරිදි දරුවෙකු බවට අනාවරණය වී ඇත.



ආබාධිතයින් ඡන්ද මධ්‍යස්ථානවලට ගෙන යන්න මැ.කොගේ අනුමැතිය

ශාරීරික ආබාධයන්ට ලක්වූවන් සහ දෘශ්‍යාබාධිත පුද්ගලයින් ඡන්ද මධ්‍යස්ථාන කරා රැගෙන යාමට තවත් අයෙකුගේ සහය ලබාගැනීම සඳහා මැතිවරණ කොමසාරිස්වරයාගේ අනුමැතිය හිමිව තිබේ.

ඒ සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග කිහිපයක් ද මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා විසින් දැනුම් දි ඇති බව වාර්තා වෙයි.


ආබාධිත පුද්ගලයින් ග්‍රාම නිලධාරිවරයා මාර්ගයෙන් ඒ සඳහා ඉල්ලුම්පතක් සම්පූර්ණ කළ යුතු අතර රජයේ වෛද්‍ය නිලධාරියෙකු වෙත ඉදිරිපත් වී ඔහුගේ ආබාධිත තත්ත්වය පිළිබඳ තහවුරු කර ගත යුතුය.


එවැනි පුද්ගලයින් ඡන්ද මධ්‍යස්ථානයට රැගෙන යාමට ඉදිරිපත් වන අය ද වයස අවුරුදු 18 සම්පූර්ණ කර තිබිය යුතු අතර ඡන්ද විමසීමට අදාළ අපේක්ෂකයෙකු, දේශපාලන පක්ෂ නියෝජිතයෙකු වශයෙන්, ඡන්ද මධ්‍යස්ථානයක කටයුතු කරන අයෙකු හෝ වෙනත් ආබාධ සහිත අයෙකු නොවිය යුතු බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය පවසයි.


ආබාධිත පුද්ගලයින් සහ ඔවුන් රැගෙන යන පුද්ගලයින් ද ඡන්දය භාවිත කිරීම සඳහා අනන්‍යතාව තහවුරු කළ යුතුය.



ඇන්ඩෘ ජයමාන්න දිවිසැරියට සමුදෙයි

ජාතික හා ජාත්‍යන්තර ඇගයීමට ලක්වුණු ප්‍රවීණ කැමරා අධ්‍යක්ෂ ,චිත්‍රපට අධ්‍යක්ෂ හා නිෂ්පාදක ඇන්ඩෘ ජයමාන්න මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

පිළිකා රෝගී තත්ත්වයක් හේතුවෙන් ඉතාලියේ MONZA නගරයේ VIA MONTE CASSINO, NO 08 දරණ ලිපිනයේ Casa Di Cura හි ප්‍රතිකාර ල​බමින් සිටියදී හෙතෙම අවසන් හුස්ම හෙළූ බව පවුලේ සාමාජිකයෙක් සඳහන් කළේය.


ඔහු විසින් කැමරා අධ්‍යක්ෂණය කළ හාරලක්ෂය, හඳයා, මංගලා, මරුවා සමග වාසේ, පලගැටියෝ වැනි චිත්‍රපට සම්මානයටද පාත්‍රවී තිබේ.



නිල ඡන්ද පත්‍රිකා අද සිට බෙදයි

ඌව පළාත් සභා ජන්ද විමසීමට අදාළව නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ කටයුතු අද සිට ආරම්භ කරන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

මැතිවරණ මහලේකම් කාර්යාලය විසින් ඌව පළාත් සභා ඡන්ද විමසීමට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා මේ වන විට තැපැල් දෙපාර්තමේන්තුව වෙත බාරදී තිබේ.


ඒ අනුව අද (29)සිට ලබන සැප්තැම්බර් 12 වන දින දක්වා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම සිදුකිරීමට නියමිතය.


සැප්තැම්බර් මස 07 වන ඉරිදා දිනය නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීමේ විශේෂ දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.



ඔට්ටු සූදුව වටලන්න ගිහින් ගැටුමක් - එස්.අයි ඇතුළු 2ක් රෝහලේ

මුදල් ඔට්ටුවට සූදු ක්‍රීඩා කරමින් සිටි ස්ථානයක් වැටලීමට ගිය අවස්ථාවේදී ඇති වූ ගැටුමකින් තුවාල ලැබූ උප පොලිස් පරීක්ෂකවරයෙකු සහ තවත් පුද්ගලයෙකු හලාවත මහා රෝහලට ඇතුළත් කර තිබේ.

අද (29)අලුයම හලාවත - මුන්නේෂ්වරම ප්‍රදේශයේදී මෙම ගැටුම හට ගෙන ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.


හලාවත - මුන්නේෂ්වරම ප්‍රදේශයේ පවත්වා ගෙන යන මුදල් ඔට්ටුවට සූදු ක්‍රීඩාකරන ස්ථානයක් සම්බන්ධයෙන් වූ තොරතුරක් හලාවත පොලීසියට ලැබී ඇත.


ඒ අනුව ක්‍රියාත්මක වී ඇති පොලීසියේ නිලධාරීන් වැටලීම සදහා ගොස් ඇති අතර උප පොලිස් පරීක්ෂකවරයෙකු ඇතුළු පිරිසක් මෙම වැටලීමට සහභාගි වී තිබේ.


වැටලීම සිසු කරන විට ඇති වූ ගැටුමකදී තුවාල ලැබූ හලාවත පොලීසියට අනියුක්තව සේවය කරන උප පොලිස් පරීක්ෂ දිල්රුක් යන අය සහ සූදු ක්‍රීඩාවේ නිරත වෙමින් සිටි එක් අයෙකු හලාවත මහා රෝහලට ඇතුළත් කර ඇත.


එම ස්ථානයේ සිටි සෙසු පිරිස පලාගොස් ඇති බව පොලීසිය කියයි.


හලාවත පොලීසිය වැඩිදුර පරීක්ෂණ කරගෙන යයි.



රාජගිරිය, බත්තරමුල්ල මාර්ගයේ වාහන තදබදයක්

රාජගිරිය, බත්තරමුල්ල මාර්ගයේ මේ වන විට දැඩි වාහන තදබදයක් ඇති වී තිබෙන බව වාර්තා වෙයි.

අදාළ මාර්යේ පොල්දූව හන්දියේ ඇති පාලමේ අලුත් වැඩියා කටයුත්තක් හේතුවෙන් මෙලෙස මාර්ග තදබදයක් ඇති වි ඇති බව සඳහන් වෙයි.


එසේම අදාළ මාර්ගය මගහරිමින් ගමන් ගන්නා ලෙස රියදුරු මහතුන්ගෙන් පොලීසිය ඉල්ලීමක් කරයි.



රහස් පොලීසියට තර්ජන කළැයි කී වාස්ට ඇප!

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසකට මරණ තර්ජනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාට ඇප නියම කර තිබේ.

අදාළ නඩුව කොළඹ මහාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේ විනිසුරු අයිරාංගනී පෙරේරා මහත්මිය රුපියල් විසි පන්දහසක මුදල් ඇපයක් මත විත්තිකරු නිදහස් කිරීමට නියෝග කළ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.


නඩුවේ සාක්ෂිකරුවන්ට බලපෑම් නොකළ යුතු බව විත්තිකරුට දැනුම් දුන් විනිසුරුවරිය ඔහුගේ විදේශ ගමන් තහනම් කරන ලෙස ද නියෝග කර ඇති බව සඳහන්ය.


2013 වසරේ ජුනි මස 13 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරී ෂානි අබේසේකර ඇතුළු නිලධාරීන් පිරිසකට මරණ තර්ජන කළ බවට වාස් ගුණවර්ධන මහතාට චෝදනා එල්ල වී ඇත.


අදාළ නඩුව ලබන මස 12 වන දින යළි කැඳවීමට නියමිතය.



අලි දෙන්නෙක් මැරුවාට ලක්ෂ 4ක් දඩ

වන අලි දෙදෙනෙකු මැරූ බවට චෝදනා එල්ල වී තිබූ පුද්ගලයින් දෙදෙනකුට කැබිතිගොල්ලෑව දිසා අධිකරණය රුපියල් ලක්ෂ 4ක දඩ නියම කර තිබේ.

ගෙවත්තට පැමිණි වන අලි දෙදෙනෙකු විදුලිසැර වද්දවා මරා දැමූ බවට හොරොව්පතාන වනජීවී කාර්යාලය සහ වනසත්ව නියාමකවරුන් විසින් විත්තිකරුවන්ට එරෙහිව නඩු පවරා තිබුණි.


අදාළ නඩුව අද විභාගයට ගත් අවස්ථාවේ එක් විත්තිකරුවෙකු අධිකරණය හමුවේ වරද පිළිගෙන ඇති බව සඳහන්ය.


අනෙක් විත්තිකරු නිවැරදිකරු බව ප්‍රකාශ කර තිබුණ ද නඩු විභාගයෙන් අනතුරුව ඔහු ද එම චෝදනාවට වරදකරු බවට දිසා විනිසුරු රාජා සිරිමෙවන් මහේන්ද්‍රරාජා මහතා විසින් නිගමනය කර ඇත.


විත්තිකරුවන්ට රුපියල් ලක්ෂ දෙක බැගින් දඩ නියම කළ දිසා විනිසුරුවරයා එම දඩය නොගෙවන්නේ නම් මාස 6 බැගින් සිර දඩුවම් නියම කළ බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.


මෙලෙස දඩුවම් නියම වී ඇත්තේ හොරොච්පතාන ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකුට බව සඳහන්ය.