ලංකා විදුලි සේවක සංගමයේ වාර්ෂික සමුළුව ඔක්. 03 දා

සේවක අයිතීන් දිනාගැනීම, වැඩකරන ජනතා බලයක් ගොඩනැගීම යන තේමා පාඨය මුල්කරගනිමින් ලංකා විදුලි සේවක සංගමයේ 12 වන වාර්ෂික සමුළුව ඔක්තෝම්බර් මස 03 දින කොළඹ මහජන පුස්තකාල ශ‍්‍රවණාගාරයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති ලාල්කාන්ත මහතාගේ ප‍්‍රධානත්වයෙන් මෙම සමුළුව පැවැත්වීමට නියමිත බව ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ජී.ඒ රංජන් ජයලාල් මහතා පවසයි.


දිවයින පුරා සියළු විදුලි බලාගාර, වැඩබිම්, කාර්යාල නියෝජනය කරමින් අති විශාල සාමාජික සංඛ්‍යාවක් මෙම සමුළුවට සහභාගීවීමට නියමිත බව ලංකා විදුලි සේවක සංගමය විසින් නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


එමෙන්ම මෙම සමුළුවේදී විදුලි බල ක්ෂේත්‍රයට අදාළව විශේෂ යෝජනා ගණනාවක් සම්මත කර ගැනීමට තීරණය කර ඇති බවද එකී නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය.



ක්‍රිස් නෝනිස් ඉල්ලා අස්වීමේ ලිපියක් බාරදුන්නේ නෑ

බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා මහ කොමසාරිස් ක්‍රිස් නෝනිස් මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය බාර නොදුන් බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

අද(30) පස්වරුවේ පැවති කැබිනට් මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කෙහෙළිය රඹුක්වැල්ල මහතා මේ බව සඳහන් කර සිටියේය.


එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල රැස්වීමට සහභාගී වීම පිණිස අමෙරිකාව බලා පිටත්වගොස් සිටි රජයේ මන්ත්‍රීවරයෙකු විසින් ක්‍රිස් නෝනිස් මහතාට පහරදීමක් සිදුකළ බව ඇතැම් මාධ්‍ය ඔස්සේ වාර්තාකර තිබුණි.


මේ හේතුවෙන් බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ක්‍රිස් නෝනිස් මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය බාරදී ඇති බවට නිල නොලත් මාධ්‍ය සඳහන් කර සිටියේය.


කෙසේ වෙතත් අද මාධ්‍ය හමු‍වෙදී මාධ්‍යවේදීන් විසින් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසා සිටියේ බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා වන ක්‍රිස් නෝනිස් මහතා කිසිදු ඉල්ලා අස්වීමේ ලිපියක් බාරදී නොමැති බවයි.



දරු තිදෙනාට වස පොවා මවත් වස බොයි

බිංගිරිය- වීරපොකුණ, පොල්ලන්දළුව ප්‍රදේශයේ මවක දරු තිදෙනාටද වස පොවා තමන්ද වස පානය කර තිබේ.

තිදෙනාම මේවන විට හලාවත මහරෝහලේ ප්‍රතිකාර ලබන බව අද දෙරණ වාර්තාකරු පවසයි.


අද (30) දහවල් වයස අවුරුදු 7ක හා වයස අවුරුද්දයි මාස 2ක ගැහැණු දරුවන් දෙදෙනෙකුද, වයස අවුරුදු 5ක පිරිමි දරුවෙකුද වස පෙවීම නිසා හලාවත රෝහලට ඇතුළත් කර තිබේ.


ඔවුන් මේවන විට රෝහලේ 11වන වාට්ටුවේ ප්‍රතිකාර ලබන බවත්, දරුවන්ට වස පෙවූ බව කියන මව 5වන වාට්ටුවේ ප්‍රතිකාර ලබන බවත් අද දෙරණ වාර්තාකරු කියා සිටියි.


මෙසේ දරුවන්ට වස පොවා මවද වස පානය කරනු ලැබුවේ කුමන හේතුවක් නිසාද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත.


ප්‍රතිකාර ලබන මවගේ හා එක් දරුවෙකුගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග පවසයි.



හැටන්-නුවරඑළිය පාර වැසෙයි

හැටන්-නුවරඑළිය මාර්ගයේ නානුඔය, බංගලාහත ප්‍රදේශයේ පස් කන්දක් කඩා වැටීම නිසා මාර්ගය අවහිරවී තිබේ.

මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස රථ වාහන රියදුරන්ගෙන් නුවරඑළිය දිස්ත්‍රීක් ලේකම් ඩී.පී.ජී කුමාරසිරි මහතා පවසයි.



බස් රථ ගැන පැමිණිලි කරන්න SMS සේවාව අරඹයි

පෞද්ගලික බස් රථ සම්බන්ධයෙන් පැමිණිලි හෙට(01) සිට තම ජංගම දුරකථනය ඔස්සේ කෙටි පණිවිඩයක් මගින් යොමු කිරීමට හැකි බව පුද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව පෞද්ගලික බස් රථ සම්බන්ධයෙන් පැන නගින ගැටලු මහජනතාවගේ පෞද්ගලික දුරකථනය හරහා ප්‍රවාහන සේවා අමාත්‍යාංශයේ ස්ථාපිත කර ඇති 0716 550 000 යන අංකය වෙත කෙටි පණිවිඩ යොමු කළ හැකි බව පුද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍ය සී.බී. රත්නායක මහතා සඳහන් කළේය.


බස් රථ සම්බන්ධයෙන් පැමිණිලි කිරීමේදී බස් රථයේ ලියා පදිංචි අංකය, මාර්ග අංකය, වේලාව, ආදිව පැහැදිලිව සඳහන් කරන මෙන් එම අමාත්‍යාංශය මහජනතාවයෙක් ඉල්ලීමක් කරයි.


ගුණාත්මක මගී ප්‍රවාහන සේවාවක් රට තුළ ක්‍රියාත්මක කිරීමේ අරමුණින් පුද්ගලික සේවා අමාත්‍යාංශය මෙලෙස වැඩපිළිවෙළවල් රැසක් ආරම්භ කර ඇති බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.



මස්කෙළිය ප්‍රදේශයේදී පිරිසකට බඹර ප්‍රහාරයක්

මස්කෙළිය, ගැලැන්ටිල් වත්ත ප්‍රදේශයේ තේ දළු නෙළමින් සිටි වතු කම්කරුවන් පිරිසක් බඹර ප්‍රහාරයට ලක්ව තිබේ.

බඹර ප්‍රහාරයට ලක් වුවන් අතර කාන්තාවන් 16 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 23 දෙනෙකු වන බව පොලිසිය පැවසුවේය.


පැවති අධික සුළං තත්ත්වය හේතුවෙන් ප්‍ර දේශයේ ‍තේ වත්තක පිහිටා තිබු බඹර කූඩුවක් ඇවිස්සී ඔවුන් මෙම ප්‍රහාරයට ලක්ව ඇති බව සඳහන් වෙයි.


බඹර ප්‍රහාරයෙන් තුවාල ලැබු පිරිස මස්කෙළිය දිසා රෝහලට ඇතුළත් කර ඇති අතර මස්කෙළිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.



පස් කන්දකට යටවී 1ක් මරුට තවත් අයෙක් රෝහලේ

නාවලපිටිය, හඳුන්ගලවත්ත ප්‍රදේශයේ දී පස් කන්දකට යටවීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබේ.

එම ප්‍රදේශයේ ගෙපළක බැම්මක් ඉදිකරමින් සිටියදී අසළ තිබු පස්කන්දක් කඩා වැටීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය පැවසුවේය.


අනතුර සිදුවන අවස්ථාවේ දී එම ස්ථානයෙන් පුද්ගලයින් දෙදෙනෙකු ඉදිකිරීම් කටයුතුවල නිරත වී ඇති බව සඳහන් වෙයි.


පස්කන්දට යටවීම හේතුවෙන් එහි සිටි එක් පුද්ගලයෙකු එම ස්ථානයේ දීම මියගොස් ඇති අතර අනෙක් පුද්ගලයා ප්‍රතිකාර සඳහා නාවලපිටිය රෝහල වෙත ඇතුළත් කර තිබේ.


මියගොස් ඇත්තේ 57 හැවිරිදි නාවලපිටිය කැටබුලාව ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙකි.


සිද්ධිය සම්බන්ධයෙන් නාවලපිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.



අමෙරිකානු තානාපතිනි මල්වතු මහනාහිමියන් බැහැදකියි

අමෙරිකානු තානාපතිනි මිචෙල් ජේ සීසොන් මහත්මිය ඇතුළු අමෙරිකානු තානාපති කාර්යාල නිලධාරින් පිරිසක් මල්වතු පාර්ශවයේ මහනායක අති පුජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමි බැහැදැක තිබේ.

අද(30) පෙරවරුවේ මල්වතු විහාරයට ගිය තානාපතිනිය සහ නිලධාරින් පිරිස පළමුව අනුනායක අති පූජ්‍ය නියන්ගොඩ ශ්‍රී විජිතසිරි නාහිමි බැහැදැක ආශීර්වාද ලබාගත් බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.


ඉන් අනතුරුව මිචෙල් ජේ සීසොන් මහත්මිය ඇතුළු පිරිස මල්වතු මහනායක අති පුජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමි බැහැදැක තිබේ.


එහිදි තානාපතිනිය ඇතුළු පිරිස උන්වහන්සේ සමඟ සාකච්ජාවක නිරත වූ බව අද දෙරණ වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේය.



ඉන්දීය ධීවරයින් 16 ක් දැලේ

යාපනය,කරෙයිනගර් මුහුදු සීමාවේ අනවසරයෙන් මසුන් ඇල්ලූ ඉන්දීය ධිවරයින් 16 දෙනෙකු අද(30)අළුයම උතුරු නාවික හමුදා නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

දකුණු ඉන්දියාවේ කෝට්ටෛයිපටිනම් ප‍්‍රදේශයේ සිට ට්‍රෝලර් යාත‍්‍රා හතරකින් පැමිණ උතුරු මුහුදු සීමාවේ අනවසරයෙන් මසුන් ඇල්ලූ පිරිසක් එලෙස අත්අඩංගුවට ගත් බව යාපනය ධීවර පරීක්ෂක කාර්යාල නියෝජ්‍ය අධ්‍යක්ෂ නඩරාජා ගනේෂමූර්ති මහතා පවසයි.


අත්අඩංගුවට ගත් ධීවරයින් අද(30)කයිට්ස් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බැව් යාපනය දිස්ති‍්‍රක් ධීවර පරීක්ෂක කාර්යාල නිළධාරීන් සඳහන් කරයි.


සිද්ධිය සමිබන්ධයෙන් යාපනය දිස්ති‍්‍රක් ධීවර පරීක්ෂක කාර්යාලය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.



හරීන් පොරොන්දුවට පිටුපෑවා - ගම්මන්පිල අස්නොවීමට හේතු දක්වයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා තමන් කළ අභියෝගය නිසි ලෙස පොරොන්දුවූ පරිදි ඉටු නොකළ බව බස්නාහිර පළාත් කෘෂිකර්ම, ගොවිජන සංවර්ධන, සුළු වාරිමාර්ග, කර්මාන්ත සහ පරිසර අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

පෝස්ටර් කටවුට් ආදිය ප්‍රදර්ශනය නොකරමින් මැතිවරණයේදී මනාප 50,000 ක් රැගෙන පෙන්වන ලෙස අභියෝග කළද හරීන් ප්‍රනාන්දු මහතා බොහෝ තැන්වල කටවුට් හා පෝස්ටර් ප්‍රදර්ශනය කර තිබුණු බව ගම්මන්පිල මහතා ඡායාරූප සහිතව පෙන්වා දුන්නේය.


බස්නාහිර පළාත් සංස්කෘතික නිකේතනයේදී පැවැති මාධ්‍ය හමුවකදී හෙතෙම මෙම කරුණු අනාවරණය ක‍ළේය.


එහිදී ඔහු මෙසේද සඳහන් කළේය.


පහුගිය සැප්තැම්බර් විසි වෙනිදා ඌව පළාත් සභා මැතිවරණය පැවැත්වුණු දවසේ, ඒ දවසේම මම විදේශ ගත වුණා.තිරසර සංවර්ධනය පිළිබඳ ප්‍රාදේශීය ආණ්ඩු ජාලයේ සභාපතිවරයා විදිහට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්තුමා මට ආරාධනාවක් කරලා ලෝක දේශගුණික සමුළුවට සහභාගී වෙන්න කියලා. ඒ අනුව මම විදේශගත වුණා මම ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර සිටියදී වෙබ් අඩවිවල ප්‍රවෘත්ති පළවෙලා මට මගේ මිතුරන් විද්‍යුත් තැපෑල මගින් එවා තිබුණා.


“ගම්මන්පිල ඉල්ලා අස්වේ”, “ගම්මන්පිල ඉල්ලා අස්වෙන්නේ නැත්තේ ඇයි?”, “ගම්මන්පිල ඉල්ලා අස්වෙයිද?” හේතුව තමයි හරීන් ප්‍රනාන්දු අපේ හිතවත් මන්ත්‍රීතුමාට පුළුවන්නම් මනාප පන‍ස් දහසක් ගන්න කියලා අභියෝග කරලා දැන් ඉතින් එතුමා 50,000ට එක් ලක්ෂ හැත්තෑ තුන්දහසක්ම අරන් තියෙන නිසා ඉල්ලා අස්වුණාය, ඉල්ලා අස්වෙන්න යනවාය යනාදී වශයෙන් වෙබ් අඩවිවල ප්‍රවෘත්ති පළවෙලා තිබුණා. විද්‍යුත් මුද්‍රිත මාධ්‍යවල මේ කතාවේ ඇත්ත නැත්ත ගැන මගෙන් විමසීම් කරන්න ගත්තා.


මම අභියෝගයක් කරලා කවුරුහරි ඒ අභියෝගය ජයගත්තා නම් කවුරුවත් මට සිහිපත් කරන්න අවශ්‍යය වෙන්නේ නැහැ. එහෙමනම් මම ඇමරිකාවේ ඉඳන්ම මගේ ඉල්ලා අස්වීමේ ලිපිය එවන්නේ. මේ දක්වා මම ජනතාවට කවරදාකවත් බොරුවක් කියලා නැහැ. වංචාවක් කරලා නැහැ. ඒ නිසා මම කියූදේ කරන කෙනෙක්. කරන දේ කියන කෙනෙක්. එහෙනම් ඇත්තටම මොකද වුණේ ?


අවාසනාවට වුණේ මොකක්ද කියලා දන්නැති කෙනෙක් තමන්ගේ ෆේස්බුක් ගිණුමේ විකෘති කළ වීඩියෝ පටයක් දාලා තිබ්බා රූපවාහිනී සංවාදයක. ඒක පාදක කරගෙන අනෙකුත් වෙබ් අඩවි සොයාබලන්නේ නැතිව අර තල්ගෙඩිය වැටුණාම ලෝකේ පෙරළෙනවයි කියලා දිව්ව සත්තු රැළවගේ ඒ බොරු විකෘති කළ වීඩියෝපටය පදනම් කරගෙන ප්‍රවෘත්ති දාලා තිබුණා.එහෙනම් ඇත්තටම මොකද වුනේ කියලා බලන්න අපි දැන් ඇත්ත වීඩියෝපටයට යමු. (වීඩියෝ පටය නැරඹීමට මෙම සබැඳිය වෙත යන්න (http://ift.tt/ZmGQZu)


මම හිතන්නේ දැන් හැමෝම දැක්කා වෙච්ච දේ. මොකක්ද, එතුමා පොරොන්දුවක් දෙනවා අදින් පස්සේ, කවදද මේ අද 2014 අගෝස්තුමාසයේ 14 වෙනිදා රාත්‍රීයේ පොරොන්දු වෙනවා අදින් පස්සේ මම පෝස්ටර් ගහන්නේ නෑයි කියලා. හැබැයි මම පනස් දහසක් ගන්න බෑයි කියලා නෙවෙයි කිව්වේ. මම දන්නවා මේ පෝස්ටර් ගැසීම සහ නැති එක අතර පරතරය. එතුමාම කියනවා බදුල්ලේ මනාප ලක්ෂයක් ගන්න බැහැයි කියලා පොස්ටර් නැතුව. ඊට පස්සේ පනස්දහේ අභියෝගය එතුමා බාරගන්නවා. හැබැයි ඒත් පොස්ටර් ගහනවා. ඇයි පෝස්ටර් ගහන්නේ, එතුමා මනාප එක් ලක්ෂ හැත්තෑ තුන්දහසක් ගන්නවා. එතුමා දන්නවා පොස්ටර් නොගහා හිටියොත් පනස් දහසක් ගන්න බැහැයි කියලා. එතකොට පොස්ටරය ගැසීමේ බලපෑම තමයි ඔය වැඩි වුණු එක්ලක්ෂ විසිතුන්දහස.


එතකොට එතුමා 2014 අගෝස්තුමාසයේ 14 විද්‍යුත් නාළිකාවක, සජීවී රූපවාහිණී සංවාදයක ජාතියට පෙරොන්දු වෙනවා මම අදින් පස්සේ පෝස්ටර් ගහන්නේන නැහැයි කියලා. එතුමා ඒ පොරොන්දුව රැක්කාද කියලා අපි දැන් බලමු. මේ ඇවිත් පසුගිය සෙනසුරාදා පොරොන්දුවෙන් මාස එකහාමාරකට, පස්සේ මැතිවරණයෙන් සතියකට පස්සේ ගත් ඡායාරූප. අපි කිව්වා නීතිවිරෝධී කටවුට් තියෙන්න බැහැයි කියලා මේ පොස්ටර්, නීතිවිරෝධී කටවුට් තියෙනවා. එම පෝස්ටර් සහ නීතිවිරෝධී කටවුට් කිහිපයක් පහතින් දක්වා ඇත.


ඒ වගේම සැප්තැම්බර් මාසේ තුන් වෙනිදා ඌව පරණගම පොලීසියෙන් හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීතුමාගේ පෝස්ටර් අලවමින් පාරේ තීන්තවලින් අඳිමින් සිටි තුෂාන් ඇන්ටන් කියන පුද්ගලයා අත්අඩංගොඩ අරගෙන වැලිමඩ උසාවියට ඉදිරිපත් කළා. ඒ නඩුවක් විභාග වෙනවා. ඒ නඩුවේ මීලඟ නඩු දිනය ඔක්තෝබර් මාසේ විසිඑක් වෙනිදායි. පෝස්ටර් තියෙනවා. පෝස්ටර් ඇලෙව්වා කියලා පිළිඅරන් පොලීසියට කටඋත්තර දීලා නඩු වැටිච්ච මිනිස්සු ඉන්නවා. එහෙනම් අපේ රටේ මාධ්‍ය ප්‍රශ්න කළ යුත්තේ මගෙන්ද? එහෙම නැත්නම් අපේ හිතවත් හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීතුමාගෙන්ද? දුන් පොරොන්දු කැඩුවේ ඇයි කියලා එතුමාගෙන් කවුරුවත් ඇහුවේ නැහැ.


ඇත්තෙන්ම මට එතුමාව පීඩනයට ලක් කරන්න ඕනේ වුනේ නැහැ. එතුමා මැතිවරණයට තරඟකරන කෙනෙක්. මම මැතිවරණය තරඟ නොකරන කෙනෙක්. මට මතකයි අපි හිටිය පීඩනය. ඒ නිසා එතුමා පෝස්ටර් අලවන බව අපි හොඳටම දැනගෙන හිටියා. හැබැයි ඉතින් එතුමා එහෙනම් මේ අභියෝගය අතහැරියායි කියලා හිතලා, අපි ඇයි මේ දුන් පොරොන්දු කඩ කරන්නේ කියලා එතුමා පස්සෙන් ගියේ නැහැ. මොකද එතුමා අපේක්ෂකයෙක්. මම අපේක්ෂකයෙක් නොවී එහෙම කරන එක සදාචාරාත්මක නැහැයි කියලා මට හිතුණා. නමුත් වඳින්න ගිය දේවාලේ හිසේ කඩන් වැටුණා වගේ දැන් ඔන්න අහනවා කෝ අස් වෙනවද ? පනස්දහට වඩා ගත්තානේ කියලා. හැබැයි භාර දුන්න කොන්දේසිය, භාර දුන්නු අභියෝගය ඉටු කරන්නේ නැතිව. ඉතින් අපි සාක්ෂි සහිතව මේක ඉදිරිපත් කළා. ඉතින් අපි එතුමා පෝස්ටර් අලවලා, නීති කඩලා, පරිසරය විනාශ කරලා හරි එතුමා එක්ලක්ෂ හැත්තෑතුන්දහසක වාර්තාගත මනාපයක්, වාර්තාගත මනාප ප්‍රතිශතයක් ලබාගත් නිසා අපේ මිත්‍රයෙක්, දේශපාලනයේ ඉන්න හොඳ සටන්කාමියෙක්. ඉතින් එතුමා ඒ ලබාගත්ත ජයග්‍රහණය ගැන අපි සතුටු වෙනවා.


මේ රටේ තියෙන ලොකුම ප්‍රශ්නය තමයි විපක්ෂය දුර්වලවීම. ආණ්ඩුවේ පහුගිය කාලයේ වෙච්ච අඩුපාඩුවලට වැඩියෙන් වගකියන්න ඕනේ විපක්ෂය විදිහටයි මම දකින්නේ. මේ ආණ්ඩුව ඇතුළේ තිබුණා හැඟීමක් අපි මොනවා කළත් ඡන්දේ දිනනවා. ඒ නිසා සමහරු නීතිය ගණන් නොගෙන හිටියා. සමහර අය ඉතා විවෘතවම වංචා දූෂණවල යෙදුනා. දැන් ඒ හරීන් ප්‍රනාන්දු මහතාගේ ජයග්‍රහණයත් එක්ක එහෙම්මම බැහැයි කියලා හැඟීමක් ඇති වෙලා තියෙනවා. ඒක හොඳ තත්ත්වයක් විදිහටයි මම දකින්නේ.



දෙහිවල වෙඩි තැබීමක් - 2ක් රෝහලේ

දෙහිවල ප්‍රදේශයේ සිදුවු වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.

ඊයේ(29) රාත්‍රියේ මෙම වෙඩි තැබීම සිදුව ඇති බව සඳහන් වෙයි.


වෙඩි ප්‍රහාරයට ලක්වු පුද්ගලයින් දෙදෙනා මාර්ගය අසළ වැටි සිටිය දී සොයා ගෙන ඇති බව පොලිසිය පැවසුවේය.


ඔවුන් දෙදෙනො ප්‍රතිකාර සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.


මෙලෙස තුවාල ලබා ඇත්තේ දෙහිවල, පොකුණ පාර ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි.


වෙඩි තැබීම සිදුකළ පුද්ගලයින් හෝ වෙඩි තැබීමට හේතුව පිළිබඳ මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති අතර දෙහිවල පොලිසිය ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබේ.



වැල්ලව ප්‍රදේශයේ පුද්ගල ඝාතනයක්

වැල්ලව, නිකදළුපොත ප්‍රදේශයේ දී මුගුරකින් පහරදී පුද්ගලයෙකු ඝාතන කර තිබේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 76 හැවිරිදි අයෙකු බව පොලීසිය සඳහන් කළේය.


ඝාතනයට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු 26 හැවිරිදි නිකදළුපොත ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකු බව පොලිසිය පැවසුවේය.


සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.



ශෂීන්ද්‍ර මහ ඇමතිවරයා ලෙස දිවුරයි

ඌව පළාත් සභාවේ නව මහ ඇමතිවරයා ලෙස ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා මීට ස්වල්ප වේලාවකට පෙර ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ.

2009 වසරේ සිට 2014 දක්වා ඌව පළාත් සභාවේ මහ ඇමතිවරයා වශයෙන් කටයුතු කළ ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා මෙවර පළාත් සභා මැතිවරණයෙන් මොණරාගල දිස්ත්‍රීක්කයෙන් මනාප 96,619ක් ලබාගෙන නැවතත් මහ ඇමති ධූරය හිමිවුණි.



රත්‍රං ජාවාරමක තොරතුරු හෙළිවෙයි

මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට රත්‍රං ගෙන යාමේ ජාවාරමක තොරතුරු අනාවරණය කරගැනීමට නාවික හමුදාව සමත් වී තිබේ.

උතුරු නාවික කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදි මෙම ජාවාරමේ තොරතුරු හෙළිකරගෙන ඇති බව වාර්තා වෙයි.


එහිදි ඉන්දියාවට ගෙන යාමට සඟවා තිබු කිලෝග්‍රෑම් එකයි ග්‍රෑම් 700ක රත්‍රං තොගයක් නාවික හමුදාව විසින් සොයාගෙන තිබේ.


මඩගල්තුරෙයි වෙරළේ තීරයේ නවතා තිබු ධීවර යාත්‍රාවක සඟවා තිබියදී මෙම රත්‍රං සොයාගෙන ඇති බව නාවික හමුදාව සඳහන් කළේය.


සොයාගත් රත්‍රං වැඩිදුර පරීක්ෂණ සඳහා රේගුවට භාර දී තිබේ.



රැඳවියන්ටත් ලබන වසරේ සිට දුරකථන පහසුකම්

ලබන වසර ආරම්භයේ සිට රැඳවියන් සඳහා දුරකථන පහසුකම් ලබාදීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර අධිකාරී තුෂාර උපුල් දෙණිය මහතා සඳහන් කළේ මෙහි පළමු අදියර කොළඹ රීමාන්ඩ් බන්ධනාගාරයෙන් ආරම්භ කිරීමට නියමිත බවයි.


ඊට අදාළ මූලික සැලසුම් මේ වන විට සකස් කරමින් පවතින බව තුෂාර උපුල් දෙණිය මහතා වැඩිදුරටත් සඳහන් කළේය.



ශෂීන්ද්‍ර ඇතුළු පිරිස අද දිවුරුම්දෙති

ඌව පළාත් සභාවේ නව මහ ඇමතිවරයා ලෙස ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා අද දිවුරුම්දීමට නියමිතව තිබේ.

අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ මෙම දිවුරුම්දීම සිදුවන බව එක්සත් ජනතා නිදහස් සන්ධානය සඳහන් කරයි.


2009 වසරේ සිට 2014 දක්වා ඌව පළාත් සභාවේ මහ ඇමතිවරයා වශයෙන් කටයුතු කළ ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා මෙවර පළාත් සභා මැතිවරණයෙන් මොණරාගල දිස්ත්‍රීක්කයෙන් මනාප 96,619ක් ලබාගත්තේය.


ප්‍රධාන අමාත්‍යවරයාට අමතරව එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඌව පළාත් සභාවට තේරී පත් වු අනෙක් මන්ත්‍රීවරුන් ද අද දිනයේ දිවුරුම්දීමට නියමිතය.


පසුගිය 20 වන දින පැවති ඌව පළාත් සභා ඡන්ද විමසීමෙන් මන්ත්‍රී ධුර 19ක් හිමිකර ගැනීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය සමත්විය.


මේ අතර ඌව පළාත් සභාව සඳහා තේරී පත් වු එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් දිවුරුම්දීම ලබන 07 වන දින සිදුකිරීමට නියමිතය.


පක්ෂයේ ජාතික නායක රනිල් වික්රුමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී මෙම දිවුරුම්දීමේ උත්සවය පැවැත්වෙන බව එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක ගයන්ත කරුණාතිලක මහතා සඳහන් කළේය.



බලපිටියේ සිසුන්ගෙන් ගුටි කෙළියක්-දෙදෙනෙක් රෝහලේ

බලපිටිය ප්‍රදේශයේ පාසලක උසස් පෙළ පංතිවල සිසුන් දෙපිරිසක් අතර ගැටුමක් හටගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා කියා සිටියේ එම ගැටුමෙන් සිසුන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවයි.


ඔවුන් ප්‍රතිකාර සඳහා බලපිටිය රෝහලට ඇතුළත් කර තිබේ.


ගැටුම සම්බන්ධයෙන් සිසුන් පස් දෙනෙකු අහුංගල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවද අජිත් රෝහණ මහතා සඳහන් කළේය.


මේ සම්බන්ධයෙන් අහුංගල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.



වැඩ බලන අගවිනිසුරු ලෙස සලීම් මාර්සුෆ් මහතා දිවුරයි

වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ ජ්‍යේෂ්ඨ විනිසුරු ජනාධිපති නීතිඥ සලීම් මාර්සුෆ් මහතා අද(29) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ඉදිරියේ දිවුරුම් දී තිබේ.

ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාද මෙම අවස්ථාවට සහභාගී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.



සාජන්ට් ගැහුවේ එයත් එක්ක නොගිය නිසයි - රත්නපුරේ ගුටි කෑ ස්ත්‍රීය ඇත්තම කියයි

තමාට පොලිස් සැරයන්වරයා විසින් අමානුෂික ලෙස පහරදෙනු ලැබුවේ ඔහුත් සමග යහන්ගතවීමට නොගිය නිසා බව රත්නපුර නගරයේදී පහරකෑමට ලක්වූ ස්ත්‍රීය පවසයි.

රත්නපුර,කනාදොළ ප්‍රදේශයේ පදිංචි ඇය කියා සිටියේ දින කිහිපයකට ඉහතදී මෙම පොලිස් නිලධාරියා තමාට අයුතු ලෙස අනවශ්‍ය තැනකට යාමට යෝජනා කළ නමුත් තමන් විසින් එකී යෝජනාව ප්‍රතික්ෂේප කළ බවයි.


අසරණකමට දරුවන්ට කෑම බීම ලබාදීම සඳහා තමන් යම් මුදලක් සොයාගැනීමට පිරිමින් සමග ගියද තමන් පිළිබඳ වැරදි ලෙස නොසිතන ලෙස ඒ මොහොතේ පොලිස් නිලධාරියාගෙන් ඉල්ලා සිටි බවද ඇය කියා සිටියි.


එහෙත් ඊට දින කිහිපයකට පසුව දෙවෙනි හා තුන්වෙනි වරටද තමන්ට එම පොලිස් නිලධාරියා අයුතු යෝජනා කළද තමන් දැඩි සේ ප්‍රතික්ෂේප කළ බැවින් තමන් සමග වෛර බැඳගෙන සිටි බව ඇය අවධාරණය කළාය.


ඒ නිසාම ගංගා නම් තවත් කාන්තාවකට කතා කොට තමන් සමග ගැටුමක් ඇති කරගන්නා ලෙස එම පොලිස් නිලධාරියා උපදෙස් දී තිබුණු බැවින් එකී ගංගා තමන් සමග රණ්ඩුවකට පැටළුණු බවත්, ඒ ගැටුම යන අතරවාරයේ ඇය විසින් පොලිස් නිලධාරියාට කතා කොට තමාට පහරදෙන ලෙස ඉල්ලා සිටි බවත් මෙම ස්ත්‍රීය පවසයි.


ඒ අනුව වහා එතනට පැමිණි පොලිස් නිලධාරියා තමාට අසභ්‍ය වචනයෙන් බැණවැදී වයරයකින් පහරදුන් බවත්, අනතුරුව බිම දමාගෙන පයින් පහරදුන් බවත් ඇය කියා සිටියි.


අවසානයේ තමන් එම පහරදීම පිළිබඳ පැමිණිල්ලක් කිරීමට පොලීසියට ගියද ඒ මොහොතේ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා නොසිටි බැවින් තමන් ආපසු හැරී පැමිණි බවත්, ඉන් පසු ඒ පිළිබඳ වැඩිදුර ක්‍රියා මාර්ගයක් ගැනීමට තමන් කල්පනා නොකළ බවත් ඇය අද දෙරණට සඳහන් කළාය.


මෙම පහරදීම සිදුවූයේ රත්නපුර බස්නැවතුමේ කෝප් සිටි ඉදිරිපිට බවත්, මේවන විට සිද්ධියට දින 8ක් පමණ ගතවී ඇති බවත් පහරකෑමට ලක්වුණු ස්ත්‍රීයගේ සැමියා පවසයි.


තම බිරිඳ වැඩිපුර ගැවසෙන්නේ බස්නැවතුම ආශ්‍රිතව බවත්, එදිනද තමන් සමග නගරයට ගොස් තමන් කල්වේලා ඇතිව තමන් පැමිණිය නමුත් ඇය බස් නැවතුම්පළේ නැවතුණු බවත් ඔහු සිහිපත් කරයි.


කෙසේ නමුත් මෙම පහරදීමෙන් පසු ඇයගේ පපු පෙදෙස රිදෙන බව නිතර කියා සිටින බවත්,විටෙන් විට වමනය යන බවත්, ඒ අවස්ථාවේදී වමනය සමග ලේ පිටවන බවත් සැමියා සඳහන් කළේය.


ඒ නිසාම ඇය මේවන විට සිටින්නේ වේදනාවෙන් වුවත්, පහරදෙනු ලැබුවේ පොලිසියේ මහත්තයෙක් නිසා ලජ්ජාවටත්, බියටත් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා රෝහල්ගතවීමට කල්පනා නොකරන බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.


රත්නපුර නගරයේදී පොලිස් නිලධාරියෙකු විසින් ස්ත්‍රීයකට පහරදෙන දර්ශනයක් ඇතුළත් වීඩියෝ දර්ශනය මාධ්‍ය මගින් ප්‍රචාරය වීමෙන් පසුව රත්නපුර සහකාර පොලිස් අධිකාරීවරයා විසින් ඒ පිළිබඳ කරන ලද පරීක්ෂණයකට අනුව මේවන විට අදාළ පොලිස් සැරයන්වරයා හඳුනාගෙන වැඩතහනමට ලක්කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක,ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසයි.


සිද්ධිය සම්බන්ධයෙන් තව දුරටත් පොලිස් පරීක්ෂණ සිදුකෙරෙන බවත්, අදාළ කාන්තාව මේවන විට ප්‍රදේශයේ නොමැති නිසා ඇය සොයා විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇති බවත්, ඇය සොයා ගැනීමෙන් පසු ඇයගෙන් සාක්ෂි ලබා ගැනීමට අපේක්ෂා කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.


සිද්ධිය ඇසින් දුටුවන්ගේ සාක්ෂි මේවන ලබාගනිමින් සිටින බවත්, සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමෙන් පසු විනය ක්‍රියාමාර්ග ගැනීමට අමතරව අදාළ පොලිස් නිලධාරියාට අපරාධයක් සිදුකර ඇත්නම් අපරාධ නීතිය අනුවද අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට කිසිසේත්ම පසුබට නොවන බව අජිත් රෝහණ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.



රිය අනතුරකින් කතක් මරුට

පුනරීන්, යාපනය මාර්ගයේ මඩිවිල්නාඩු ප්‍රදේශයේ දී සිදුවු රිය අනතුරකින් කාන්තාවක මියගොස් තිබේ.

යාපනය දෙසට ගමන් කරමින් තිබු යතුරු පැදියක් මාර්ගය හරහා ගමන් කරමින් සිටි කාන්තාවක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලීසිය පැවසුවේය.


අනතුරෙන් බරපතළ තුවාල ලැබු කාන්තාව කිළිනොච්චිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.


මියගොස් ඇත්තේ 62 හැවිරිදි පුනරීන් රාමලිංගම්වීදිය ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවකි.


අනතුරෙන් යතුරු පැදිකරු ද තුවාල ලබා කිළිනොච්චිය රෝහලේ ප්‍රතිකාර ලබන අතර පුනරීන් පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.



ගල්කිස්සේදී තිස්තුන් ලක්ෂයක් කොල්ලකයි

ගල්කිස්ස ප්‍රදේශයේ පෞද්ගලික විද්‍යාලයකට අයත් රුපියල් ලක්ෂ තිස් තුනක මුදලක් කිසියම් පිරිසක් විසින් කොල්ලකා තිබේ.

අද(29) පෙරවරු 11.00 ට පමණ අදාළ කොල්ලකෑම සිදුවී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.


රුපියල් 33,868,50 ක මුදලක් තොගයක් අදාළ පාසලේ විධායක නිලධාරියෙකු විසින් බැංකුවේ තැන්පත් කිරීමට යෑමේදී ත්‍රීරෝද රථයකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මුදල් තොගය කොල්ලකා පළාගොස් ති‍බේ.


සැකකරුවන් පිළිබඳව මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති බව පොලීසිය පවසයි.


ගල්කිස්ස පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.



සරණාගත පෙත්සම ප්‍රතික්ෂේපවෙයි

ශ්‍රි ලංකාව තුළ රැඳී සිටින පකිස්ථාන සහ ඇෆ්ගනිස්ථාන සරණාගතයින් පිටුවහල් කිරිමට රජය ගෙන ඇති තීරණය නීති විරෝධී බවට ප්‍රකාශ කරන ලෙස ඉල්ලා යොමු කළ පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය අද(29) ප්‍රතික්ෂේප කර තිබේ.

මෙරට ක්‍රියාත්මක මානව හිමිකම් ක්‍රියාකාරින් පිරිසක් විසින් ගොනු කළ පෙත්සමෙන් දැනුම් දි තිබුණේ අදාළ සරාණාගතයින් පිටුවහල් කිරිමට ශ්‍රි ලංකා රජය ගෙන ඇති තීරණය මගින් ඔවුන්ගේ ජීවිත වලට අනතුරු සිදුවිය හැකි බවයි.


රජය වෙනුවෙන් පෙනි සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කියා සිටියේ වීසා නොමැතිව මෙරට රැඳී සිටින පුද්ගලයින් පිටුවහල් කිරිමට රජයට අයිතියක් පවතින බවයි.


එමෙන්ම එක්සත් ජාතින්ගේ සංවිධානයේ සරණාගතයින් පිළිබඳ ප්‍රඥප්තියට ශ්‍රි ලංකාව අත්සන් කර නොමැති බැවින් ඒ පිළිබඳ වගකීමක් රජයට නොමැති බව ද රජයේ නීතිඥවරයා පෙන්වා දුන්නේය.


කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අදාළ පෙත්සම විභාග කිරිමට තරම් කරුණු නොමැති බව ප්‍රකාශ කරමින් එය ප්‍රතික්ෂේප කළේය.



රංගේ බණ්ඩාරගේ හෝටලයකට වෙඩි ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතාට අයත් කරුවලගස්වැව පිහිටි හෝටලයට කිසියම් පිරිසක් විසින් වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති බව කරුවලගස්වැව පොලීසිය පවසයි.

අද(29) අලුයම 3.00 ට පමණ මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.


වෙඩි තැබීම සදහා ටී.56 වර්ගයේ ගිනි අවියක් භාවිතා කරන්නට ඇති බවට විශ්වාස කළ හැකි බව පොලීසිය පැවසුවේය.


හෝටලයට වෙඩි උණ්ඩ 24 ක් එල්ලවී ඇති බව දැනට කරණ ලද පරීක්ෂණ වලදී පොලීසිය විසින් අනාවරණය කරගෙන ඇත.


වෙඩි තැබීම සිදු කරන ලද්දේ සුදු පැහැති ජීප් රථයකින් පැමිණි පිරිසක් බව සිද්ධිය ඇසින් දුටු අය පොලීසියට පවසා ඇති බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.


මෙම වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් හානි සිදුවී නැති අතර වෙඩි තැබීම කවුරුන් විසින් සිදු කලාද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත.


කරුවලගස්වැව පොලීසිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ වයඹ - උතුරු මැද සිවිල් ආරක්ෂක බල සේනා මූලස්ථානයට ආසන්නයේ වෙඩි තැබීමට ලක්වූ රංගේ බණ්ඩාර මන්ත්‍රීවරයාට අයත් හෝටලය පිහිටා ඇත.


කරුවලගස්වැව පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.



කලවංචිකුඩියේ අභිරහස් මරණයක්

කලවංචිකුඩි, නාගපුරම් ප්‍රදේශයේ දි පුද්ගලයෙකු නිවසක් තුළ ගෙලෙහි කැපුම් තුවාල සහිතව මියගොස් තිබේ.

මේ සම්බන්ධයෙන් කලවංචිකුඩි පොලිසියට ලැබුණු තොරතුරකට අනුව විමර්ශන ආරම්භ කර තිබේ.


මියගොස් ඇත්තේ නාගපුරම් පරණ බේකරියපාර ප්‍රදේශයේ පදිංචිව සිටි 68 හැවිරිදි පුද්ගලයෙකි.


මළ සිරුර සම්බන්ධයෙන් මූලික මහේස්ත්‍රාත් පරික්ෂණය සිදුකර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කලවංචිකුඩි රෝහලේ තැන්පත් කර ඇති බව පොලිසිය පැවසුවේය.



ලංකාවට පැමිණි චීන සම්මැරීනය ගැන ඉන්දීයාව අවධානයෙන්

පසුගිය දා ශ්‍රි ලාංකීය මුහුදු සීමාවට චීන සබ්මැරීනයක් පැමිණීම සම්බන්ධයෙන් තම පූර්ණ අවධානය යොමුව ඇති බව ඉන්දියාව පවසයි.

අද්මිරාල් රොබින් දෝවන් පවසන්නේ ඉන්දිය සාගර කලාපයේ සිදුවන සියලු සංසිද්ධීන් පිළිබඳ නිරන්තර අවධානයෙන් සිටින බවයි.


ඉන්දිය සාගර කලාපය තුළ ආරක්ෂාව තහවුරු කිරිම සඳහා සෑම පියවරක්ම ගන්නා බව ඉන්දිය නාවික ප්‍රධානීයා කියා තිබේ.


ඇති වන ඕනෑම අභියෝගයක හමුවේ මුහුණ දීමට සූදානම් බව ඔහු ඉන්දිය මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර ඇත.


ඉන්දිය සබ්මැරීන, යුධ නෞකා ඕනෑම අවස්ථාවක සූදානමින් සිටින බව ඉන්දිය නාවික ප්‍රධානි රොබින් දෝවන් ප්‍රකාශ කර තිබේ.



නාවික හමුදාව ඉන්දීය ධීවරයින්ට සහයවෙයි

අනතුරට පත් යාත්‍රාවක සිටි ඉන්දීය ධීවරයින් පිරිසක් නාවික හමුදාව විසින් මුදාගෙන තිබේ.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් කෝසල වර්ණකුලසූරිය මහතා පැවසුවේ ධිවරයින් සිව්දෙනෙකු එම යාත්‍රාවේ සිටි බවයි.


කච්චතිව් මුහුදු ප්‍රදේශ‍යේ දි අදාළ යාත්‍රාව අනතුරට ලක්ව තිබු බව සඳහන් වෙයි.


එම ධිවරයින් සිව්දෙනා ගොඩබිමට රැගෙන ඒමෙන් අනතුරුව ඩෙල්ෆ් පොලිසිය වෙත භාරදුන් බව කෝසල වර්ණකුලසූරිය මහතා පැවසුවේය.


අනතුරට පත් යාත්‍රාව ද ගොඩබිමට රැගෙන ආ බව හෙතෙම සඳහන් කළේය.



ගෙදර යන ගමන අවසන් ගමන වෙලා-පොලිස් නිලධාරියෙක් මරුට

සේවය අවසන් කර නිවස බලා යමින් සිටි පොලිස් නිලධාරියෙකු හදිසියේම රෝගී තත්ත්වයට පත්වී රෝහල් ගත කිරීමෙන් පසුව මිය ගොස් ඇත.

මිය ගොස් ඇත්තේ මාදම්පේ පොලීසියට අනියුක්තව සේවය කළ පොලිස් කොස්තාපල් 63891 දුණුසිංහ මුදියන්සේලාගේ ජගත් බණ්ඩාර (අවු:51) නම්වූ අයෙකි.


ඔහු උඩුබද්දාව - හේනේගෙදර පදිංචිව සිටි අයෙකු බව අද දෙරණ වාර්තාකරු පවසයි.


මිය ගොස් ඇති පොලිස් නිලධාරියා තම සේවා කටයුතු අවසන් කර නිවස බලා යමින් සිටින අතරතුර හදිසියේම රෝගීතත්ත්වයට පත්වීමෙන් ඊයේ (28)රාත්‍රී 8.00 ට පමණ මාදම්පේ ප්‍රාදේශීය රෝහලට ඇතුළත්කර ඇත.


එලෙස රෝහල් ගත කර සුළු වේලාවකින් ඔහු මිය ගොස් ඇත.


මිය ගොස් ඇති පොලිස් නිලධාරියා මොළයට ලේ ගමන් කරන නාලයක ලේ කැටයක් සිරවී රුධිර ගමනා ගමනයට බාධා ඇතිවීම සම්බන්ධයෙන් මීට පෙර කොළඹ ජාතික රෝහලෙන් ප්‍රතිකාර ලබා ගෙන ඇති අයෙකි.


පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතව ඇත.



ජයලලිතාගේ තැන පන්නීර් සෙල්වම්ට හිමිවෙයි

ඉන්දියාවේ හිටපු මහ ඇමතිනී ජයලලිතා ජයරාම් මහත්මියට සිර දඬුවම් නියමවීම හේතුවෙන් තමිල්ඩාඩු ප්‍රාන්තය සඳහා නව මහ ඇමතිවරයෙකු පත්කර තිබේ.

ඒ 2011 වසරේ සිට තමිල්නාඩුවේ මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ඕ. පන්නීර් සෙල්වම් මහතායි.


ද්‍රවිඩ මුන්නේත‍්‍ර කලහම් පක්ෂයේ සාමාජිකයින් අද සිදුකළ විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මෙසේ නව මහඇමතිවරයා ලෙස ඕ. පන්නීර් මහතා පත් කර ඇති බව විදේශ වාර්තා පෙන්වා දෙයි.


එසේම ඔහු මීට පෙර තමිල්නාඩුවේ ප‍්‍රධාන අමාත්‍යවරයෙකු ලෙස ද කටයුතු කළ අයෙකු බවද වාර්තා වෙයි..


මෙලෙස තමිල්නාඩුවට නව මහඇමතිවරයෙකු පත්කරනු ලැබුවේ හිටපු මහඇමතිනි ජයලලිතා ජයරාම් මෙනෙවියට බැංගලෝර් අධිකරණය විසින් ඊයේ(27) සිව් වසරක සිරදඬුවමක් නියම කරනු ලැබීම හේතුවෙනි.


1991 වසරේ තමිල්නාඩු මහඇමති ධූරයට පත්වීමෙන් පසු වසර 05ක් ඇතුළත ඉන්දීය රුපියල් කෝටි 03 සිට 66 දක්වා වත්කම් වැඩි කර ගැනීම සම්බන්ධයෙන් ජයලලිතා ජයරාම් මහත්මියට චෝදනා එල්ල වී තිබුණි.


අදාළ චෝදනාවලට වැරදිකරු වු ජයලලිතා ජයරාම්ට සිරදඬුවමට අමතරව නියම කළ දඩ මුදල ඉන්දීය රුපියල් කෝටියක් වෙයි.


මේ අතර තමන්ට පැනවූ සිරදඬුවමට එරෙහිව ජයලලිතා ජයරාම් හෙට දිනයේදී මහාධිකරණය හමුවේ ඇපෑලක් ගොනු කිරීමට සූදානම් බවද ඉන්දීය මාධ්‍ය අද වාර්තා කළේය.



නිල්වලා ගඟට පැන්න පුද්ගලයා අතුරුදහන්

මාතර, මහානාම පාලමෙන් පුද්ගලයෙකු නිල්වලා ගඟට පැන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ අද(28) දහවල් මෙලෙස පුද්ගලයෙකු පාලමෙන් ගඟට පැන ඇති බවයි.


මාතර පොලිසිය සහ නාවික හමුදාව එක්ව අදාළ පුද්ගලයා සෙවීමේ කටයුතු ආරම්භ කර තිබේ.


එම පුද්ගලයාගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වි නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය .



සැප්තැම්බර් 16දා සිට විදුලි බිලෙන් 25% අඩුකරනවා

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිවේදනය කළ පරිදි සෑම ගෘහස්ථ පාරිභෝගිකයෙකුගේම විදුලි බිලෙන් 25%ක් අඩු කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පැවසුවේය.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංශය පෙන්වා දෙන්නේ සැප්තැම්බර් මස 16 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ අඩු කිරිම සිදුවන බවයි.


ඊට අදාළ ගැසට් නිවේදනය ලබන සතිය තුළ නිකුත් කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවේය.


ඊට අදාළ කටයුතු මුදල් අමාත්‍යංශය හා ලංකා විදුලිබල මණ්ඩලය එක්ව මේ දිනවල සිදුකරමින් සිටින බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේය.



අභිරහස් මළ සිරුරක් හමුවෙයි

මීරිගම, ලෝලුවාගොඩ ප්‍රදේශයේ තිබී පුද්ගල මළ සිරුරක් සොයාගෙන ති‍බේ.

මීරිගම පොලීසිය ලද තොරතුරක් මත සිදුකළ සෝදිසියකදී අද උදෑසන මෙම මළ සිරුර සොයාගෙන ඇති බව වාර්තා වෙයි.


මියගොස් ඇත්තේ 58 හැවිරිදි කිරිමැටිහේන ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකි.


සිද්ධිය සම්බන්ධයෙන් මීරිගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.



රංගේ බණ්ඩාර ඇප මත නිදහස්

එ.ජා.ප. පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා ඇප මත නිදහස් කර තිබේ.

ඒ රුපියල් ලක්ෂයක ශරීර ඇප මත පුත්තලම මහේත්‍රාත් අධිකරණය විසින් ඇප ලබ‍ාදීමට තීරණය කර අැත.


කරුවලගස්වැව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට පහරදීමේ චෝදනාවක් සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන තිබුණි.


අද අලුයම සිය නිවසේ දී තමාට පාලිත රංගේ බණ්ඩාර මන්ත්‍රීවරයා පහරදුන් බවට ප්‍රාදේශීය සභාවේ සභාපති නීල් වීරසිංහ මහතා පොලීසියට පැමිණිල්ලක් කර ඇත.


එම පැමිණිල්ලට අනුව පාලිත රංගේ බණ්ඩාර මන්ත්‍රිවරයා සහ තවත් දෙදෙනෙකු කරුවලගස්වැව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කළේය.



පාසල් පෙළ පොත් විකුණු විදුහල්පති දැලේ

හැටන්, නෝර්වුඩ් ප්‍රදේශයේ පාසලක පෙළ පොත් තොගයක් අලෙවි කිරීම සම්බන්ධයෙන් එම පාසලේ විදුහල්පතිවරයා අත්අඩංගුවට ගෙන තිබේ.

ප්‍රදේශයේ වෙළඳසැල් හිමියෙකුට පාසලේ විදුහල්පතිවරයා විසින් අදාළ පෙළ පොත් තොගය අලෙවි කර ඇති බව වාර්තා වෙයි.


එම වෙළඳසැල් හිමිකරු වෑන් රථයකින් පෙළ පොත් තොගය රැගෙන යමින් සිටියදී නොර්වුඩ් පොලීසිය විසින් සොයාගෙන තිබේ.


එහිදි අදාළ ව්‍යාපාරිකයා සහ වෑන් රථයේ රියදුරු ද පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුණි.


හය ශ්‍රේණියේ සිට 12 ශ්‍රේණිය දක්වා වු විවිධ විෂයන්ට අයත් පෙළ පොත් දහසක් පමණ පොලිසිය විසින් සොයාගෙන තිබේ.


මෙම සිද්ධිය සම්බන්ධයෙන් එම පාසලේ විදුහල්පතිවරයා ද අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.


සැකකරුවන් අද අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.



පාලිත රංගේ බණ්ඩාර අත්අඩංගුවට

එක්සත් ජාතික පක්ෂයේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කළේ කරුවලගස්වැව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට පහරදීමේ චෝදනාවක් සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන ඇති බවයි.


අද අලුයම සිය නිවසේ දී තමාට පාලිත රංගේ බණ්ඩාර මන්ත්‍රීවරයා පහරදුන් බවට ප්‍රාදේශීය සභාවේ සභාපති නීල් වීරසිංහ මහතා පොලීසියට පැමිණිල්ලක් කර ඇත.


එම පැමිණිල්ලට අනුව පාලිත රංගේ බණ්ඩාර මන්ත්‍රිවරයා සහ තවත් දෙදෙනෙකු කරුවලගස්වැව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කළේය.


කරුවලගස්වැව පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



ජනපති බැන්කී මුන් හමුවෙයි

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන්කී මුන් මහතා හමුවී තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ඊයේ(27) රාත්‍රී නිව්යෝර්ක්හි පිහිටි එක්සත් ජාතීන්ගේ මුලස්ථානයේ දී මෙම හමුව සිදුවු බවයි.


මෙම හමුවේ දී යුද්ධයෙන් පසුව ශ්‍රී ලංකාව ලබා ඇති සංවර්ධනය පිළිබඳව එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා ජනාධිපතිවරයාට ප්‍රසංශාව පළ කර තිබේ.


ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලිය සහ නැවත පදිංචි කිරීමේ ක්‍රියාවලිය පිළිබඳව මෙහිදි ජනාධිපතිවරයා බැන්කී මූන් මහතාව දැනුවත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.


මෙම හමුවේ දී උතුරු නැගෙනහිර ප්‍රදේශවල බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු පිළිබඳව සහ හිටපු එල්.ටි.ටි.ඊ. ත්‍රස්තවාදීන් පුනරුත්තාපනය කිරීමේ කටයුතු පිළිබඳව ද ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාව දැනුවත් කර තිබේ.


සියලු දේශපාලන පක්ෂවල සහභාගීත්වයෙන් ශ්‍රි ලංකාවට සාර්ථක දේශපාලන විසඳුමක් ලබාදීමට පියවර ගන්නා ලෙස එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් ද කර ඇති බව වාර්තා වෙයි.


මේ අතර ශ්‍රී ලංකාව ලබා ඇති සංවර්ධනය පිළිබඳව සියැසින් දැක ගැනීම සඳහා ශ්‍රි ලංකාවේ සංචාරයක නිරත වන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බැන්කී මුන් මහතාට ආරාධනයක් ද කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.


ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතා ද ඊයේ නිව්යෝර්ක්හිදි හමුවුණි.


එහිදි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පසුගියදා දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් සමඟ පැවැත්වු සාකච්ඡා පිළිබඳව ජනාධිපතිවරයා දැනුවත් කර තිබේ.


විශේෂයෙන් ශ්‍රී ලංකා රජය දෙමළ ජාතික සන්ධානය ඇතුළු ඕනෑම දේශපාලන පක්ෂයක් සමඟ සාකච්ඡා කිරීමට සූදානම් බව මෙහිදි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසා ඇත.


ඉන්දු ලංකා ධීවර ගැටලුව සම්බන්ධයෙන් ද දෙරටේ නායකයින් අතර මෙහිදි සාකච්ඡා වී තිබේ.



කළු චූටියා පොලිස් වෙඩි පහරින් මරුට

පුද්ගල ඝාතන සහ අපරාධ රැසකට සම්බන්ධ හිරාන් දර්ශන නොහොත් “කළු චූටියා“ පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්වී තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කළේ අද(28) පෙරවරුවේ පොලීසිය සමග ඇති වු සිද්ධියකදි මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි.


මිරිහාන පොලිස් විශේෂ විමර්ශන ඒකකය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන රැගෙන යමින් සිටියදි ඔහු පළායාමට උත්සාහ කර ඇති බව සඳහන් වෙයි.


එහිදි පොලිසිය සිදුකළ වෙඩි තැබීමකින් සැකකරු මියගොස් තිබේ.



පොලිස් වෙස්ගත් හොර ජාවාරමක් හෙළිවෙයි - 8ක් දැලේ

පොලිස් නිලධාරීන් ලෙස පෙනි සිටිමින් දේපළ සොරා ගැනීමේ ජාවාරමක තොරතුරු අනාවරණය වී තිබේ.

පල්ලම, වෙන්නප්පුව, මාරවිල සහ වත්තල යන ප්‍රදේශවල මෙම ජාවාරම සිදුකරගෙන ඇති බව පොලීසිය පැවසුවේය.


අදාළ ජාවාරමට සම්බන්ධ පුද්ගලයින් අට දෙනෙකු කොච්චිකඩේ ප්‍රදේශයේ දී පසුගියදා අත්අඩංගුවට ගෙන තිබේ.


මොවුන් පොලිස් නිලධාරීන් ලෙස පවසමින් අවි පෙන්වා බිය ගන්වා මුදල් හා දේපළ කොල්ලකා ඇති බවට සිදුකළ පරීක්ෂණ වලින් අනාවරණය වී ඇති බව පොලීසිය සඳහන් කළේය.


අත්අඩංගුවට ගත් සැකකරුවන් සතුව තිබී රන් කැබලි ග්‍රෑම් 86යි මිලිග්‍රෑම් 10ක්, අත් ඔරලෝසුවක්, ජංගම දුරකථනයක් සහ මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සොයාගෙන තිබේ.


සැකකරුවන් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 07 වන දින දක්වා රක්ෂිත බන්ධානාගාර ගත කර ඇති බව වාර්තා වෙයි.



ගුවන්තොටුපොළ ආරක්ෂකයාගේ දණහිසින් කෝටි එකහමාරක රත්‍රං මතුවෙයි

රත්‍රං කිලෝග්‍රෑම් තුනක් නීති විරෝධී ලෙස ගුවන්තොටුපලෙන් බැහැර කිරීමට සහය දුන් ගුවන්තොටුපොළ සේවකයෙකු රේගු අත්අඩංගුවට ගෙන තිබේ.

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල වෙත සිංගප්පුරූවේ සිට ඊයේ මධ්‍යම රාත්‍රී පැමිණි මගියෙකු තමන් රැගෙන ආ රත්‍රං තොගය පිටතට ගෙන යාම සඳහා සේවකයෙකුට භාර දී ඇති බව වාර්තා වෙයි.


අදාළ සේවකයා එම රත්‍රං තොගය තම දණහිසේ බැඳ පිටතට පැමිණෙන අවස්ථාවේ දී රේගු බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.


සැකකරු ගුවන්තොටුපල ආරක්ෂක නිලධාරියෙකු වන අතර ඔහු මහනුවර ප්‍ර දේශයේ පදිංචිකරුවෙකු බව රේගුව ප්‍රකාශ කළේය.


ග්‍රෑම් සියයකින් යුත් රන් කැබලි 30ක් පමණ රේගු භාරයට ගෙන ඇති අතර ඒවායේ වටිනාකම රුපියල් කෝටි එකහමාරක් පමණ වන බවට ගණන් බලා තිබේ.


අදාළ රන් තොගය මෙරටට ගෙන් වු මගියා අත්අඩංගුවට ගැනිම සඳහා විමර්ශන ආරම්භ කර ඇති බව රේගු ප්‍රකාශකයෙකු සඳහන් කළේය.



රට සල්ලි හොරාට රට ගෙනියන්න හැදූ අයෙක් දැලේ

නීති විරෝධී ලෙස විදේශ මුදල් නෝට්ටු තොගයක් මෙරටින් රැගෙන යාමට උත්සාහ කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අද දෙරණ ගුවන්තොටුපල වාර්තාකරු සඳහන් කළේ රුපියල් ලක්ෂ 45ක් පමණ වටිනා මුදල් නෝට්ටු තොගයක් සැකකරු සතුව තිබී රේගු භාරයට ගෙන ඇති බවයි.


කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලෙන් සිංගප්පූරුව බලා රැගෙන යාමට උත්සාහ කරමින් සිටියදි සැකකරු අද අලුයම අත්අඩංගුවට ගන්නා ලදී.


ඔහු කොළඹ ප්‍රදේශයේ පදිංචි 43න් හැවිරිදි අයෙකු බව රේගුව ප්‍රකාශ කළේය.



පුංචි පහේ හපනා මෙන්න

මෙවර ශිෂ්‍යත්ව විභාගේ දිවයිනේ වැඩිම ලකුණු ලබාගෙන ඇත්තේ ඇඹිලිපිටිය කණිෂ්ඨ විද්‍යාලයේ ඩබ්ලිව්. ඒ. වේනුජ නිම්සත් ශිෂ්‍යයා බව වාර්තා වෙයි.

ඔහු ලබාගෙන ඇති ලකුණු සංඛ්‍යාව 199ක් වෙයි. පසුගිය අගෝස්තු මස 17 වන දින පැවති 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා සිසුන් තුන් ලක්ෂ 27,648 දෙනෙකු පෙනී සිටියේය.



පුංචි පහේ ප්‍රතිඵල නිකුත්වෙයි

2014 වසරේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල මේවන විට අන්තර්ජාලයට නිකුත් කර තිබේ.

ඒ අනුව රජයේ විභාග දෙපාර්තමේන්තුවේ http://ift.tt/1t6bcGQ වෙබ් පිටුවට පිවිස අදාළ විභාග අංකය ඇතුළත් කිරීමෙන් ප්‍රතිඵල දැකබලා ගත හැකිය.



ත්‍රීරෝද රථයක් හා යතුරු පැදියක් ගැටී 1ක් මරුට 7ක් රෝහලේ

ඇඹිලිපිටිය, නෝනාගම මාර්ගයේ බැමිණියන්විල ප‍්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් තරුණියක මියගොස් ඇති අතර තවත් පුද්ගලයින් හත් දෙනෙකු රෝහල්ගත කර තිබේ.

අද(27) පස්වරු 4.00 ට පමණ මෙම අනතුරු සිදුවී ඇති බව සඳහන් වෙයි.


ත‍්‍රීරෝද රථයක් සහ යතුරු පැදියක් එකිනෙක ගැටීමෙන් අදාළ අනතුර සිදුව ඇති බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.


අනතුරෙන් මියගිය තරුණියගේ වසස අවුරුදු 19ක් වන බව වාර්තා වෙයි.


අනතුරින් තුවාල ලැබු පුද්ගලයින් අම්බලන්තොට රෝහලට ඇතුළත් කර තිබේ.



ජයලලිතා වසර හතරකට හිරේ - මහ ඇමතිනී ධූරයත් අහිමිවෙයිද?

ඉන්දියාවේ තමිල්නාඩු මහ ඇමතිනි ජයලලිතා ජයරාම් මහත්මියට වසර හතරක සිර දඬුවම් බැංගලෝර් අධිකරණය විසින් නියම කර තිබේ.

අයථා ලෙස සිය වත්කම් හෙළි කිරීම සම්බන්ධයෙන් ජයලලිතා ජයරාම් මහත්මියට චෝදනා එල්ල වී ති‍බුණි.


ඉන්දියාවේ දුෂණ වැළැක්වීමේ පනත යටතේ අදාළ තීන්දුව ලබා දී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා ක‍ළේය.


අවුරුදු 18ට පෙර එල්ල කරන ලද චෝදනාවකට මෙසේ ජයලලිතා ජයරාම් මහත්මියට දඬුවම් එල්ල වී ඇති බව ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.



ගාලු මුවදොර මුහුදේ මළ සිරුරක්

ගාලු මුවදොර ආශ්‍රිත මුහුදේ තිබි පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබේ.

නාවික හමුදා නිලධාරීන් විසින් මෙම මළ සිරුර සොයා ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.


මියගොස් ඇත්තේ කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 57 ක පුද්ගලයෙකි.


මළ සිරුර කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති අතර මෙය සියදිවි හානිකර ගැනීමක් ද නැතහොත් ඝාතනයක් ද යන්න පිළිබඳ කොටුව පොලිසිය විමර්ශන සිදුකරයි.



මැතිවරණ ප්‍රචන්ඩ ක්‍රියාවලට සම්බන්ධ අය වහාම අත්අඩංගුවට ගන්න

මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා වලට සම්බන්ධ වු සැකකරුවන් අත්අඩංගුවට ගෙන වහාම එම විමර්ශන කටයුතු අවසන් කරන ලෙස පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා ඌව පළාත් පොලිස් ප්‍රධානීන් වෙත දැනුම් දී තිබේ.

ඌව පළාත් නියෝජ්‍ය පොලිස්පතිවරුන්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් සහ සහකාර පොලිස් අධිකාරිවරුන්ට පොලිස්පතිවරයා අද දිනයේ මෙම දැනුම්දිම් සිදු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා සඳහන් කළේය.


ඌව පළාත් සභා මැතිවරණයේ මැතිවරණ කාල සීමාව පසුගිය ජූලි මස 12 වන දින ආරම්භ වූ අතර එය අද දිනයෙන් අවසන් වෙයි.


අදාළ කාලය තුළ පැමිණිලි 98 ක් වාර්තා වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා සඳහන් කළේය.


ඒ අතරින් පැමිණිලි 22 ක් පශ්චාත් මැතිවරණ සමයේ දී වාර්තා වූ බව ඔහු පැවසුවේය.


නාමයෝජනා භාර ගැනිම ආරම්භ වූ දිනයේ සිට මේ දක්වා මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා වලට සම්බන්ධ පුද්ගලයින් 83 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වෙයි.


මොණරාගල දිස්ත්‍රික්කයේ සිද්ධීන් වලට අදාළව 28 දෙනෙකු සහ බදුල්ල දිස්ත්‍රික්කයේ සිදුවීම් වලට අදාළව 55 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.



වාසනාව සෙවූ 2ක් අවාසනාවට අත්අඩංගුවේ

පුරාවස්තු ලබාගැනිමේ අරමුණින් කැනිම් කටයුතු කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු රත්නපුර, කැටගල, නියතපලාදොල රක්ෂිත ප්‍රදේශයේ දි අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්යය බලකා හොරණ කඳවුරේ නිලධාරින් කණ්ඩායමක් විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වෙයි.


එහිදි කැනීම් කටයුතු සඳහා යොදාගත් උපකරණ කිහිපයක් ද විශේෂ කාර්යය බලකාය භාරයට ගෙන තිබේ.


අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා වැඩිදුර විමර්ශන සඳහා රත්නපුර පොලිස් ස්ථානයට භාරදුන් බව පොලිස් විශේෂ කාර්යය බලකාය සඳහන් කළේය.



ජයලලිතා අධිකරණයෙන් වැරදිකාරිය වෙයි

ඉන්දියාවේ තමිල්නාඩු මහ ඇමතිනි ජයලලිතා ජයරාම් මහත්මියට බැංග්ගලෝර් අධිකරණයක් විසින් වැරදිකරු බවට තීන්දුවක් ප්‍රකාශකර තිබේ.

ඉන්දියාවේ දුෂණ වැළැක්වීමේ පනත යටතේ අදාළ තීන්දුව ලබා දී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.


අවුරුදු 18ට පෙර එල්ල කරන ලද චෝදනාවකට මෙසේ ජයලලිතා ජයරාම් මහත්මිය වරදකරු බවට පත් කර ඇති බව සඳහන් වෙයි.


සිය වත්කම් නිසි අයුරින් හෙළිදරව් නොකිරීම සම්බන්ධයෙන් ඇයට එලෙස චෝදනා එල්ල වී තිබේ.


අදාළ නඩුවේ දඬුවම අද පස්වරුවේ ලබාදීමට නියමිත බවද ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේය.



ගිනිගත්හේනේ පුද්ගල ඝා‍තනයක්

ගිනිගත්හේන, කොළනිය ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

පහර දීමෙන් බරපතළ තුවාල ලැබු පුද්ගලයා ගිනිගත්හේන රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදි ඔහු මියගොස් ඇති බව සඳහන් වෙයි.


මියගොස් ඇත්තේ ගිනිගත්හේන, රංජුරාව ප්‍රදේශයේ පදිංචිව සිටි 57 හැවිරිදි පුද්ගලයෙකි.


පවුල් ආරවුලක් දුරදිගයාම හේතුවෙන් මෙම ඝාතනය සිදුකර ඇති බව පොලිස් පරික්ෂණ වලදී අනාවරණය වී තිබේ.


ඝාතනය සම්බන්ධයෙන් මියගිය පුද්ගලයාගේ දියණියගේ ස්වාමි පුරුෂයා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



දිස්ත්‍රික්ක 4ට නායයෑමේ අවධානම් තත්ත්වයක්

පවතින ආපදා තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික් 04 ක නායයෑමේ අවධානම් තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබේ.

මහනුවර, කෑගල්ල, මාතලේ සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවල මෙම ආපදා තත්ත්වය ප්‍රකාශයට පත්කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේය.


විශේෂයෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ නායයෑමේ වැඩි අවධානමක් පවතින බව වාර්තා වෙයි.


මේ අතර ඉදිරි පැය කිහිපය තුළද ප්‍රදේශ රැසකට තව දුරටත් වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.



තිලිපන් සිහිකළ 8ක් අත්අඩංගුවේ

හිටපු එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නායකයෙකු වන තිලිපන් සිහිකිරීම සඳහා උපවාසයක නිරත වූ එල්.ටී.ටී.ඊ. හිතවාදීන් අට දෙනෙකු ඉන්දීය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

උපවාසයේ නිරතවීම සඳහා ඔවුන් අවසර ඉල්ලා තිබුණ ද එය ඉන්දීය පොලිසිය ප්‍රතික්ෂේප කර තිබුණි.


කෙසේවෙතත් පෙලිසියේ විරෝධය නොසළකා හරිමින් ඔවුන් ඊයේ(26) දිනයේ උපවාසයේ නිරත වී ඇති බව සඳහන් වෙයි.


ඒ අනුව උපවාසයේ නිරත වු පිරිස අත්අඩංගුවට ගැනීමට ඉන්දීය පොලිසිය පියවර ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.