මේක විජාතික ආණ්ඩුවක් -ෆොන්සේකා කළ වීරකමක් නෑ-සෝභිත හිමි දන්න දේශපාලනයක් නෑ



මේක ජාතික ආණ්ඩුක් හෝ සභාග ආණ්ඩුවක් නොවන බව මහාචාර්ය නලින් ද සිල්වා මහතා පවසයි.

ජාතික ආණ්ඩුවක් නම් ජාතික වැදගත්කමින් යුතු ගැටළුවකදී රටේ සියලුම පක්ෂ එකමුතුවී පිහිටුවා ගත යුතු එකක්

බවත්,සභාග ආණ්ඩුවක් නම් රටේ ප්‍රධාන පක්ෂ එකතුවී පිහිටුවා ගත යුතු ආණ්ඩුක් බවත් මහාචාර්යවරයා කියා සිටියි.


එහෙත් මේවන විට පිහිටුවා ගෙන ඇති ආණ්ඩුව එක්සත් ජාතික පක්ෂයත්,මුස්ලිම් කොංග්‍රසයත් විසින් පිහිටුවා ගෙන ඇති බවත්,එකතුවී ඇත්තේ ශ්‍රීලනිපයේ සුළු කොටසක් පමණක් බවත්,ඒ ආකාරයෙන් සුළු කොටසක් පමණක් එකතුවීමෙන් ජාතික ආණ්ඩු සෑදිය නොහැකි බවත් හෙතෙම කියා සිටියේ අද(24)කොළඹ පැවති මාධ්‍ය හමවුකදීය.


එබැවින් මෙලෙස ස්ථාපිත වී ඇත්තේ ඉන්දියාවේ අවශ්‍යතාව මත පදනම්වුණු විජාතික ආණ්ඩුවක් බවත්,එය ආරම්භ වූයේ පසුගිය ජනවාරි 09 දින සිටම බවත් නලින් ද සිල්වා මහතා අවධාරණය කළේය.


මේ උදවියගේ එකම අභිප්‍රාය වූයේ මහින්ද රාජපක්ෂ මහතා පරාජය කිරීම බවත්,ඉදිරියේදී ඒ වෙනුවෙන් තවත් 4-5 දෙනෙකුට අමාත්‍යධූර හිමිවනු ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.


මේ යන්නේ යහපාලනයකට නොවන බව මේවන විට මහබැංකුවේ බැඳුම්කර වංචාවෙන් වැටහී ඇති බවත්,සෝභිත

හිමියන්ට දේශපාලනය නොතේරෙන බැවින් උන්වහන්සේ ඕනම කෙනෙකුට පාවිච්චි කළ හැකි බවත් හෙතෙම සඳහන් කළේය.


මහින්ද රාජපක්ෂ මහතා නියෝජනය කරනු ලැබුවේ රටේ ජාතිකත්වය බවත්,එසේම සිංහල -බෞද්ධ සංස්කෘතිය බවත් පෙන්වාදුන් මහාචාර්යවරයා මහින්ද පරාජය කිරීම තුළින් පරාජය වූයේ එකී ජාතිකත්වය බවද කියා සිටියේය.


මේ පවතින්නේ නීත්‍යනුකූල ආණ්ඩුවක් නොවන බවත්, අගමැතිවරයා නීත්‍යනුකූල නොමැති බවත්,ඊයේ පත්කෙරුණු නව කැබිනට් මණ්ඩලයද නීත්‍යනුකූල නොමැති බවත් ඔහු පැවසුවේය.


මේ මොහොතේ යළි මැතිවරණයක් පවත්වනු ලැබුවහොත් සිංහල ඡන්ද පදනමෙන් 65% ක් මහින්ද රාජපක්ෂ මහතාට හිමිවන බවත්,සෙස්සුවුන්ට ඉතිරි 35%ක් බෙදීයන බවත් සිල්වා මහතා සඳහන් කළේය.


ඒ නිසාම අද ආණ්ඩුවට එකතුවුණු ශ්‍රීලනිපයේ කිසිවෙකුටත් එහෙව් මැතිවරණයකින් පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට අවස්ථාව නොලැබෙන බැවින්,තව තව ඇමතිධූර පුදමින් පාර්ලිමේන්තුවේ තුනෙක් දෙකක බලයක් සාදාගැනීමට කටයුතු කරනු ඇති බව හෙතෙම කියා සිටියේය.


සරත් ෆොන්සේකා මහතා මේ දිනවල වීරයෙකු බවට පත්කර ඇති බවත්, ඔහු කළ වීරකමක් නොමැති බවත්, කරනු ලැබුවේ සුදුකොඩි කතාව හරහා රාජපක්ෂලාට බොරු චෝදනා ඉදිරිපත් කිරීම පමණක් බවත් සිල්වා මහතා අවධාරණය කළේය.


එලෙස බොරු චෝදනා ඉදිරිපත් කිරීමට තෑග්ගක් ලෙස ඔහුට 'ෆීල්ඩ් මාෂල්"තනතුර හිමිවූ බවත්,ඒ නිසාම අභ්‍යන්තර පරීක්ෂණයක් සිදුකළහොත් රාජපක්ෂලාට එරෙහිව ඔහු විසින් සාක්ෂිදෙනු ඇති බවත් සිල්වා මහතා සඳහන් කළේය.



Post a Comment