ධීවරයින්ට වෙඩි තැබීම ගැන අගමැති රනිල් කී කතාව හරි!


සීමාව උල්ලංඝණය කර මෙරට මුහුදු සීමාවේ මසුන් අල්ලන ධීවරයින්ට වෙඩි තැබීමට නාවික හමුදාවට අයිතියක් ඇති බවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෑතකදී කර තිබූ ප්‍රකාශයේ වරදක් නැති බවත්, එම ප්‍රකාශය අගය කරන බවත්, වඩමරාච්චි ධීවර සංගමය පවසයි.


එම සංගමයේ සභාපති අරුල්දාස් මහතා අද දෙරණ සමග පැවැති විශේෂ සම්මුඛ සාකච්ඡාවකදී මේ බව පැවසීය.


ඉන්දීය ධීවරයින් මසුන් මැරීමේදී තහනම් ආම්පන්න භාවිතා කරමින් එම කටයුතු සිදුකරන නිසා ශ්‍රී ලංකා ධීවරයින්ට මත්ස්‍ය සම්පත නෙළා ගැනීමට නොහැකි වී ඇති බව ඒ මහතා පෙන්වාදුන්නේය.


මේ නිසා ඔවුන්ට වසරකට දින ගණනක් මසුන් මැරීමට ඉඩදිය යුතු බවට ඉන්දු - ලංකා ධීවර සාකච්ඡාවලදී එකඟ වූ බව වාර්තා වුණත් එයද ඵලක් නොවන බව හෙතෙම පැවසීය.


වසරක් තුළ දින ගණනක් මුහුදේ මසුන් බෝවීමට ඉඩදීම සඳහා මසුන් නොමරන කාලයක් ප්‍රකාශයට පත් කරන බව පෙන්වාදුන් අරුල්දාස් මහතා ඉන්දීය ධීවරයින් එම නීති ද කඩා මසුන් මැරීම නිසා ඔවුන්ගේ මුහුදු සීමාවේ මසුන් හිඟ වී ඇතැයි පෙන්වාදුන්නේය.


මේ නිසා දැන් ඔවුන්ට අවශ්‍ය වී ඇත්තේ ශ්‍රී ලංකා මුහුදු සීමාවේ සිටින මත්ස්‍ය සම්පත ද නැති කර දැමීම බවත්, නාවික හමුදාව ද ඔවුන්ට මසුන් ඇල්ලීමට සහය දෙන බවටත්, හෙතෙම චෝදනා කළේය.


ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් ඉන්දීය ධීවරයින්ට හිරිහැර වන බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කළද එය අසත්‍යයක් බව පැවසූ අරුල්දාස් මහතා දෙරටේ බලධාරීන්ට මෙම ප්‍රශ්නය විසඳිය නොහැකි නම් “අපි මේ ප්‍රශ්නය විසඳා ගන්නම්” යැයිද කියා සිටියේය.


ශ්‍රී ලංකා මුහුදු සීමාවේ මසුන් මරන ඉන්දීය ධීවරයින්ට වෙඩි තැබීම වරදක් නැති බව මෑතකදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබූ අතර ඊට ඉන්දීය දේශපාලනඥයින්, ධීවර සංගම් වල අප්‍රසාදය එල්ල වී තිබිණ.


මේ නිසා යොදා ගත් ශ්‍රී ලංකා සංචාරය අවලංගු කරන්නැයිද ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩිගෙන් ප්‍රාන්ත දේශපාලනඥයින් ඉල්ලීම් කර තිබූ බව වාර්තා විය.


කෙසේ වුවද දෙරටේ ධීවර ගැටලුව ගැන ඉන්දු - ලංකා ධීවර සංගම් නියෝජිතයින් දිල්ලි හි පසුගියදා තෙවන වටයේ සාකච්ඡා පැවැත් වූ අතර එහිදී එකඟතා කිහිපයකට එළඹුණු බවද වාර්තා විණ.



Post a Comment