සරණ යළි රිමාන්ඩ් - මරණ තර්ජනයක් ගැන තවත් නඩුවක්


රුපියල් ලක්ෂ 96ක් වටිනා යකඩ තොගයක් වංචා කළැයි කියන සිද්ධියට රිමාන්ඩ් භාරයේ සිටින හිටපු නියෝජ්‍ය ඇමති සරණ ගුණවර්ධන ලබන 30 තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අත්තනගල්ල අතිරේක මහේස්ත්‍රාත් සාවින්ද්‍යා නානායක්කාර මෙනවිය අද නියෝග කර තිබේ.


හලාවත එස්.එච්.ආර් රශ්මි නැමැති ව්‍යාපාරිකයෙකු විසින් කරන ලද පැමිණිල්ලක් අනූව පසුගිය 12දා රහස් පොලීසිය විසින් අත්අඩංගුවට ගත් හිටපු නියෝජ්‍ය ඇමතිවරයා එදිනම උසාවියට ඉදිරිපත් කිරීමෙන් පසු අද දක්වා රිමාන්ඩ් කර තැබිණ.


පැමිණිලිකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ලාල් කුමාරපේළි මහතා අද උසාවියේදී කියා සිටියේ සැකකරු‍ අපරාධකරුවෙකු බවයි.


එසේම සැකකරු අපරාධ නඩු කිහිපයක් සම්බන්ධයෙන් ඇප මත සිටිමින් මෙම වංචාව සිදු කර ඇති බැවින් මොහුට ඇප ලබාදීමට විරෝධය පළ කරන බව හෙතෙම පවසා ඇති අතර රහස් පොලීසිය ද එය සනාථ කරමින් අදහස් දැක්වූ බව අප වාර්තාකරු පැවසීය.


සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා ඇතුළු නීතීඥවරුන් ඔහුට ඇප ලබාදෙන ලෙස ඉල්ලා සිටියත් කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරිය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බවද වාර්තාකරු කියා සිටියේය.


මේ අතර යකඩ වංචාව ගැන කළ පැමිණිල්ල සම්බන්ධයෙන් අදාළ ව්‍යාපාරිකයාට හිටපු නියෝජ්‍ය ඇමතිවරයා විසින් මරණීය තර්ජන කර ඇතැයි කියන සිද්ධියක් ගැන ද පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ලාල් කුමාරපේළි මහතා උසාවියේදී කරුණු අනාවරණය කළ අතර ඒ අනූව සැකකරුට ඇප ලබානොදෙන්නැයි ද හෙතෙම ඉල්ලා තිබේ.


අදාළ මරණ තර්ජනය සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය විසින් තවත් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයිද පැමිණිලිකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා පවසා ඇත.


ඒ අනූව ඒ සම්බන්ධයෙන් වෙනම දිනයක නඩු විභාගයක් සිදුකිරීමට ද අතිරේක මහේස්ත්‍රාත්වරිය නියෝග කළ බව අප වාර්තාකරු පැවසීය.



Post a Comment