වෙලේසුදාට එරෙහි චෝදනා විභාගයට නීතිමය පදනමක් නෑ - විත්තියේ නීතිඥයින් කියයි


මත්කුඩු අලෙවියෙන් උපයාගත් මුදල් නීති විරෝධි ලෙස ආයෝජනය කළ බවට සමන්ත කුමාර නොහොත් වෙලේසුදා නැමැත්තාට එල්ලවී ඇති චෝදනා විභාග කිරීමට තරම් නීතිමය පදනමක් නොමැති බව විත්තියේ නීතීඥවරුන් අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබේ.


කොළඹ මහාධිකරණ විනිසුරු දේවිකා තෙන්නකෝන් මහත්මිය හමුවේ මෙම නඩුව අද කැඳවන ලදී.


එහිදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් පෙන්වාදුන්නේ වෙලේසුදාට එරෙහි චෝදනා 57ක් එකම චෝදනා පත්‍රයක ගොනු කර ඇති බවයි.


ඒ අනූව සියලු චෝදනා එකම චෝදනා පත්‍රයක දැමීම නීති විරෝධී බවත්, ඒවා වෙන් වෙන් වශයෙන් තිබිය යුතු බවත්, ඔවුන් පෙන්වාදුන්නේය.


එහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරුන් කියා සිටියේ මේ චෝදනා 57ම මතුවී ඇත්තේ එක සිද්ධියකින් බවයි.


ඒ නිසා එය නීති විරෝධි නොවන බවට ඔවුන් තර්ක කළහ.


ඒ අනූව දෙපාර්ශවයේ අදහස් සලකා බැලූ විනිසුරුවරිය ලබන මැයි මස 5 තෙක් නඩුව කල්දැමූ අතර එතෙක් වෙලේසුදා පොලිස් බාරයේ රඳවා තබා ගැනීමටත්, ඔහුගේ බිරිය හා ඥාති සොහොයුරිය එදින තෙක් රිමාන්ඩ් කිරීමටත් නියෝග කළ බව අප වාර්තාකරු පැවසීය.



Post a Comment