මහින්දට අභූත චෝදනා එල්ල කරන අයට ස්තූතිවන්ත වෙනවා



ජේ.ආර් හෝ චන්ද්‍රිකා මෙන්ම මහමැතිවරණ කල්දමන්න‍ට මේ ආණ්ඩුව විසින් කටයුතු කරනු ලැබුවහොත් වීදි සටන් කරන බව පිවිතුරු හෙළඋරුමයේ නායක,බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

මේවන විට මහින්ද උණුසුම සිසිල් කිරීම සඳහා මැතිවරණය කල්දැමීමේ සැලසුම් සකස්කරමින් සිටින බව හෙතෙම කියා සිටියේ අද(30) කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.


කෙනෙක් මැරුණම 7 දවසේ දානෙ දෙන්නේ අඬ අඬා බවත්,3 මාසේ දානෙ දෙන්නේ මූණ එල්ලගෙන බවත්,අවුරුද්දෙ දානෙ දෙන්නේ හිනාවෙවී බවත් ඔහු සිහිපත් කළේය.


මහින්ද රාජපක්ෂ මහතා කරුණු 4ක් හේතුවෙන් එලෙස අමතක කළ නොහැකි බව ගම්මන්පිල මහතා පෙන්වා දුන්නේය.


පළමුවැනි කාරණය නම් එතුමා තාමත් ජනතාව හමුවෙමින්,අදහස් උදහස් බෙදාගනිමින් දේශපාලනය කිරීම බවත්,දෙවැන්න නම් මේ රජය දවසින් දවස තමන්ගේ නොහැකියාව පෙන්නුම් කරමින් සිටීම බවත් ඔහු අවධාරණය කළේය.


තෙවැනි කාරණය නම් ආණ්ඩුවේ ඉහළම තැන සිට පහලම උදවිය දක්වා පිරිස් රාජපක්ෂ මහතාට අභූත චෝදනා එල්ල කිරීම නිසා එතුමාගේ ජනප්‍රියත්වය හා එතුමා කෙරෙහිවන ජනතා ප්‍රසාදය තව තවත් වැඩිවීම බව ගම්මන්පිල මහතා සඳහන් කළේය.


ඒ නිසාම මහින්ද රාජපක්ෂ මහතාට ‍අභූත චෝදනා එල්ල කරන අයට ස්තූතිවන්ත වන බවද ඔහු කියා සිටියේය.


එසේම සිව් වන කාරණය නම් මහින්ද රාජපක්ෂ මහතා අමතක නොවන තැනට තමන් ඇතුළු විපක්ෂයේ පිරිස් දිගින් දිගටම ඔහු පිළිබඳ කතා කිරීම බව හෙතෙම අවධාරණය කළේය.


පළාත් පාලන ආයතන හීලෑ නොවුණහොත් ඒවා කොමසාරිස්වරයෙකු යටතට පත්කිරීමට සූදානමක් තිබුණු බවත්,එසේ කරනු ලැබුවහොත් ඊට එරෙහිව උසාවි යන බවට තමන් ප්‍රතිචාර දැක්වූ බැවින් ඊට බියවී අවසානයේ තව ටික කාලයක් නිල කාලය කල්දැමූ බව ගම්මන්පිල මහතා සඳහන් කළේය.


පළාත් පාලන ආයතන සම්බන්ධයෙන් ව්‍යවස්ථානුකූල බලය ඇත්තේ ප්‍රධාන අමාත්‍යවරයාට මිස මධ්‍යම රජයේ පළාත් පාලන ඇමතිවරයාට නොවන බවත්,මධ්‍යම රජයේ පළාත් පාලන ඇමතිවරයා නිකම් බෝඩ් ලෑල්ලක් පමණක් බවත් ඔහු අවධාරණය කළේය.


පළාත් සභාවල ප්‍රධාන අමාත්‍යවරුන් නීති විරෝධී ලෙස පත්කරමින් ආ ගමන බස්නාහිර පළාතෙන් නතර කිරීමට තමන්ට හැකිවූ බවත්,ඒ අනුව තමාට බලයක් නැති වග මධ්‍යම රජයේ පළාත් පාලන ඇමතිවරයා විසින් පිළිගෙන තනතුර අතහැරිය යුතු බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.



Post a Comment