පරාජය ශ්‍රීලනිපයට පමණයි - සෝමාරාමලාට එන ඡන්දයෙන් දඬුවම් ලැබෙයි


මේවන විට විපක්ෂ නායක ධූරය ද්‍රවිඩ ජාතික සන්ධානයට හිමිවීමේ අවදානමක් මතුව ඇති බව පිවිතුරු හෙළඋරුමයේ නායක,බස්නාහිර පළාත් මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.


එසේ වුවහොත් ජාත්‍යන්තර ලෝකය තුළ ද්‍රවිඩ ජාතික සන්ධානයේ මතයට වැඩි පිළිගැනීමක් හිමිවනු ඇති බව ඔහු කියා සිටියේ අද(23) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.


අනෙක් අතට ද්‍රවිඩ ජාතික සන්ධානයට විපක්ෂ නායක ධූරය නොලැබුණහොත් තමාට මේ රට තුළ 'දෙමළවීම'හේතුවෙන් එය නොලැබෙන බවට රාවයක්ද ජාත්‍යන්තරය තුළ ගෙනයා හැකි බව ගම්මන්පිල මහතා සඳහන් කළේය.


ජාතික ආණ්ඩු බිහිවන්නේ ඉතාම වැදගත් තීරණාත්මක අවස්ථාවන්හිදී බවත්,දෙවන ලෝක යුද සමයේ එයට මුහුණදීම සඳහා එවක බ්‍රිතාන්‍ය අග්‍රමාත්‍ය වින්සන්ට් චර්චිල් එවැනි ජාතික ආණ්ඩුවක් බිහිකළ බව ඔහු සිහිපත් කළේය.


එහෙත් ලංකාවට අදාළව 1987 දී ඉන්දීය ආක්‍රමණයක් සිදුවන විටත්,සුනාමි ව්‍යසනය ඇතිවූ අවස්ථාවේදීත්,කොටි ත්‍රස්තවාදය පරාජය කළ අවස්ථාවේදීත් ස්ථාපිත නොවුණු 'ජාතික ආණ්ඩුවක්'මේ හදිසියේ ස්ථාපිත කරනු ලැබුවේ කුමක් නිසාදැයි ගම්මන්පිල මහතා ප්‍රශ්න කළේය.


විපක්ෂය ලෙස ජවිපෙටද ආණ්ඩුවට එරෙහිව කටයුතු කිරීමෙන් තම දේශපාලන මතයට ඉඩක් හදාගැනීමට හැකිවීමෙන් මෙම අවස්ථාව ඔවුන්ටද ජයග්‍රහණයක් බවත්,විපක්ෂ නායකත්වය ලැබීම නිසා ටී.එන්.ඒ එකටද එය ජයග්‍රහණයක් බවත්,එල්ලවන අපවාද බෙදාහදා ගැනීමට හැකිවීමෙන් එජාපයටද මෙය ජයග්‍රහණයක් බවත් පෙන්වා දුන් ගම්මන්පිල මහතා පරාජය අත්ව ඇත්තේ ශ්‍රීලනිපයට පමණක් බව අවධාරණය කළේය.


1956 දී තල්දූවේ සෝමාරාම විසින් ශ්‍රීලනිප නිර්මාතෘ එස්.ඩබ්.ආර්.ඩී බණ්ඩාරනායක මහතා වෙඩිතබා ඝාතනය කළ බවත්,2015 දී තවත් සෝමාරාමලා පිරිසක් විසින් බණ්ඩාරනායක මහතා යළි වරක් දේශපාලනික වශයෙන් ඝාතනය කළ බව හෙතෙම සඳහන් කළේය.


තල්දූවේ සෝමාරාම ට නීතියෙන් දඬුවම් ලැබුණු බවත්,මේ සෝමාරාමලාට එළඹෙන මහ ඡන්දයේදී දඬුවම් ලැබෙනු ඇති බවත් ගම්මන්පිල මහතා වැඩිදුරටත් කියා සිටියේය.



Post a Comment