අතුරු අය වැය සුබවාදීයි - පෞද්ගලික අංශයට පඩි වැඩි කළ හැකි ක්‍රම 2ක් තියෙනවා

වත්මන් ආණ්ඩුව විසින් ඉදිරිපත් කළ අතුරු අයවැය රටේ ඇතිවූ දේශපාලන වෙනසේ ප‍්‍රතිඵලයක් බවද, මහින්ද රාජපක්ෂ මහතා ජයග‍්‍රහණය කළා නම් මේ ආකාරයේ අතුරු අයවැයක් ඉදිරිපත් නොවන බවද ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

අද (30) බත්තරමුල්ල, පැලවත්ත ජ.වි.පෙ. ප‍්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදී ජ.වි.පෙ. ප‍්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා මේ බව පැවසීය.


එම මාධ්‍ය හමුවේදී විජිත හේරත් මහතා දැක්වූ අදහස් පහත පරිදිය.


වත්මන් ආණ්ඩුව විසින් ඉදිරිපත් කළ අතුරු අයවැය රටේ ඇතිවූ දේශපාලන වෙනසේ ප‍්‍රතිඵලයක්. මහින්ද රාජපක්ෂ පසුගිය ජනාධිපතිවරණයෙන් ජයග‍්‍රහණය කළා නම් මේ ආකාරයේ අතුරු අයවැයක් ඉදිරිපත් වන්නේ නැහැ.


කාලයක් තිස්සේ රටේ ජනතාවගේ බලාපොරොත්තුවක් වගේම විශාල ඉල්ලීමක් තිබුණා ජනතා සහන ලබාගැනීම වෙනුවෙන්. වැඩකරන ජනතාවගේ වැටුප් වැඩිකිරීමේ සටන් කි‍්‍රයාමාර්ග උත්සන්න වුණා. වැඩකරන ජනතාව වැඩිවන ජීවන වියදමට සරිලන වැටුප් වැඩිවීමක් ඉල්ලා සිටියා. ඒවගේම ජනතාව මත පටවා තිබෙන අසීමිත බදු බර නිසා ජනතාව ඉතා අසීරු තත්ත්වයක ජීවත් වුණා.


එම බදුබර අඩුකරන්න කියලා විශාල අරගලයක් තිබුණා. එනිසා තමයි මහින්ද රාජපක්ෂ පාලනය පරාජය කරන්න ජනතාව පෙරට එන්නේ. බදු බර වැඩිවීමෙන් ජීවන වියදම ඉහළ යාමෙන් බරපතළ ආර්ථික පීඩනයකට ලක්වී සිටින ජනතාව වෙනසක් බලාපොරොත්තු වුණා. සහන බලාපොරොත්තු වුණා. ඒ අරගලයේ ප‍්‍රතිඵලයක් ලෙස තමයි මේ ජනතා සහන ලැබී තිබෙන්නේ. ඒ නිසා මෙම අතුරු අයවැය දෙස අපි බලන්නේ සුබවාදීවයි. ජනතාව මත එල්ලවී තිබූ පීඩනයට යම් ප‍්‍රමාණයක සහනයක් ලැබී තිබෙනවා. මීටත් වඩා සහන ජනතා බලාපොරොත්තු වෙනවා. නමුත් ලැබී තිබෙන සහන පිළිබඳව අපි වගේම ජනතාවත් සතුටු වෙනවා.


පසුගිය මැතිවරණ සමයේ ජනතා සහන ප‍්‍රමුඛතම ඉල්ලීමක් වුණා. මැතිවරණයෙන් පසු ජනතා විමුක්ති පෙරමුණ යෝජනා කළ ජාතික විධායක සභාවේ අවධානයට ලක්වූ කරුණු පහෙන් එක කරුණක් වුණේ ජනතා සහන ලබාදීමයි. ජාතික විධායක සභාවට ජනතා විමුක්ති පෙරමුණ සහභාගීවූ පළමු අවස්ථාවේදීම ජනතා සහන පිළිබඳව අදහසක් තිබුණා. මෙම ජනතා සහන ලැබී තිබෙන්නේ දින 100යේ සාර්ථකත්වයත් සමගයි.


කෙටිකාලීන සහන ලබාදී තිබුණත් දිගුකාලීනව ජනතාවට සහන ලබාදීම සඳහා දැක්මක් සහිත දිගුකාලීන ආර්ථික ක‍්‍රමවේදයක් ශක්තිමත් කළ යුතුයි. එවැනි දැක්මක් සහ වැඩපිළිවෙළක් තිබුණොත් පමණයි දිගුකාලීන සහන ලබාගත හැකි වන්නේ. ලෝක වෙළඳපොළේ තෙල් මිල අඩුවීම නිසා, එයින් වැඩි පිරිසකට සහන ලැබී තිබෙනවා.


ලෝක වෙළඳපොළේ මිල අඩුවීම හැමදාම තිබෙන එකක් නොවෙයි. ඒ නිසා දිගුකාලීන ආර්ථික වැඩපිළිවෙළක් ගොඩනැගීමෙන් පමණයි දිගුකාලීනව ජනතා සහන ලබාගත හැකි වනසේ තෙල් මිල පාලනය කරගත හැකි වන්නේ. රටේ නිෂ්පාදනය වැඩි කරලා, එයින් ලැබෙන ආදායමෙන් ජනතාවට සහන ලබාදිය හැකියි. කෙටිකාලීනව ලබාදී තිබෙන සහන සතුටින් බාරගන්න අතරම එම සහන දිගුකාලීන සහනයන් බවට පත්කර ගැනීම සඳහා දිගුකාලීන දැක්මක් සහිත වැඩපිළිවෙළකට ගමන් කළ යුතුයි.


ජනතා විමුක්ති පෙරමුණේ අපි මැදිහත් වෙන්නේ එවැනි දිගුකාලීන වැඩපිළිවෙළක් සාර්ථක කර ගැනීම සඳහායි. දින 100යේ වැඩපිළිවෙළින් පසුව අපේ‍්‍රල් 23දා මෙම පාර්ලිමේන්තුව විසුරුවා හරිනවා. එම මැතිවරණයේදී දිගුකාලීන වැඩපිළිවෙළකට ගමන් කළ හැකි පරිදි අලූත් දේශපාලන වෙනසක් ඇති කළ යුතුයි. ඒ සඳහා ජනතාව දැනුවත්ව සංවිධානය විය යුතුයි.


අතුරු අයවැයෙන් ලබාදී ඇති කැපී පෙනෙන සහනයන් අතර රජයේ සේවකයින්ගේ වැටුප 10,000ක් දක්වා වැඩිකිරීමට යෝජනා කර තිබෙනවා. එයින් 5000ක් පෙබරවාරි මාසයේ සිට ලබා දෙනවා. ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය පසුගිය වසර කීපය තුළ රජයේ සේවකයින්ගේ වැටුප 10,000කින් වැඩිකළ යුතු බවට විශාල අරගලයක් ගෙන ගියා. වැඩබිම් තුළ සටන් කළා. වැඩවර්ජන කළා. ඒ සටන් පාඨය අනුව තමයි මෙම වැටුප් වැඩිවීම ලැබී තිබෙන්නේ.


ඒවගේම ජනතා විමුක්ති පෙරමුණත් පසුගිය කාලය පුරා ගම්මට්ටමේ පවත්වපු කුඩා රැස්වීම්වල සිට විශාල ජන රැලි දක්වා මහින්ද රාජපක්ෂ මහතාගේ අසීමිත, නාස්තිකාර වියදම් ගැන විවේචන එල්ල කළා. සමහරු ඒ පිළිබඳව කතා කරන්න බියවෙලා සිටිද්දී, අපි ඒ ගැන නොබියව විවේචන එල්ල කළා. ඒ විවේචනවල ප‍්‍රතිඵල අනුව තමයි මේ අතුරු අයවැයෙන් ජනාධිපතිවරයාගේ වියදම් කපා හැරලා නාස්තිකාර වියදම් අඩුකරලා තිබෙන්නේ.


ඒවගේම මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින් 2013 අග භාගයේදී විවාහ ගාස්තු රුපියල් 5000දක්වා වැඩි කළා. මේ නිසා තරුණ තරුණියන් විශාල පීඩනයකට ලක්වෙලා සිටියා. මේ සම්බන්ධයෙන්ද ප‍්‍රබල විවේචනයක් ගොඩනැගුවේ ජනතා විමුක්ති පෙරමුණයි. පසුගිය ජනාධිපතිවරණ සමයේ ජනතා විමුක්ති පෙරමුණ විද්‍යුත් මාධ්‍යවල පළකළ දැන්වීමකත් විවාහ ගාස්තු පිළිබඳ විවේචන ඇතුළත්වී තිබුණේ එය තරුණ තරුණියන්ට විශාල ගැටලූවක් වී තිබුණ නිසයි. එහි ප‍්‍රතිඵලයක් ලෙස අද රුපියල් 5000හේ විවාහ ගාස්තු රුපියල් 1000දක්වා අඩුකර ගැනීමට හැකිවී තිබෙනවා.


ඒවගේම පසුගිය කාලය පුරා කැසිනෝ සහ එතනෝල් ජාවාරම් පිළිබඳව ප‍්‍රබල විවේචනයක් එල්ල කළේ ජනතා විමුක්ති පෙරමුණයි. මහාපරිමාණ එතනෝල් ජාවාරම් පිළිබඳව කරුණු සහිතව රටට හෙළිදරව් කළේ අපියි. හොර අරක්කු ජාවාරම්වලින් රජයට අහිමිවන බදු මුදල් ගණනය කර පෙන්නුවේ අපි. එහි ප‍්‍රතිඵලයක් ලෙස අරක්කු නිෂ්පාදකයින්ට වසරකට මිලියන 200ක බද්දක් නියමකොට තිබෙනවා.


ඒවගේම කැසිනෝ සමාජයට මහා පිළිලයක් වී තිබෙනවා. මහින්ද රාජපක්ෂගේ හිතවතුන් අමාත්‍යාංශ ලේකම්වරු පවා කැසිනෝ අයිතිකාරයන් වී සිටියා. එම ආයතනවලට රුපියල් මිලියන 1000ක එක් වරක් අයකරන බද්දක් නියම කර තිබෙනවා. කැසිනෝ මුළුමනින්ම නැවැත්වීමට නොහැකි වුණත් යම් තරමකින් අඩු කරන්න මෙය ඉවහල් වී තිබෙනවා. ඒවගේම ආණ්ඩුව විසින් මෙම එක්වරක් පමණක් අයකරන බද්ද පිළිබඳව පැහැදිලි කිරීමක් කළ යුතුව තිබෙනවා. මොකද එම බද්ද ලබාගැනිමෙන් පසුව රජයට අයවිය යුතු වාර්ෂික බදු ඇතුළු අනෙකුත් බදු අයකර ගන්නවාද නැද්ද යන්න පිළිබඳව පැහැදිලිතාවයක් නැහැ.


ඉන්ධන මිල අඩුවීමත් සමග භාණ්ඩ විශාල ප‍්‍රමාණයක මිල අඩුවී තිබෙනවා. ඒ වගේම අතුරු අයවැයෙන් භාණ්ඩවලට පනවා තිබූ අධික බදු ඉවත්කර තිබෙනවා. පසුගිය රජය විසින් කොත්තමල්ලිවලට රුපියල් 202ක බද්දක් පනවා තිබෙන අවස්ථාවේදී ජවිපෙ තමයි ඒ පිළිබඳව ජනතාව දැනුවත් කළේ.


මහින්ද රාජපක්ෂ ආණ්ඩුව උණට හෙම්බිරිස්සාවට බොන කොත්තමල්ලිවලටත් අසාධාරණ ලෙස බදු ගැහුවා. එම බද්ද රුපියල් 50 දක්වා අඩුකර තිබෙනවා. සමහරු කියනවා මේ ආකාරයෙන් බදු අඩුකළාම දේශීය ගොවියන්ට හානියක් සිදුවෙනවා කියලා. එය පදනම් විරහිත තර්කයක්. දේශීය ගොවියන් දිරි ගැන්වීමට නම් ඔවුන් කරන නිෂ්පාදනයේ පිරිවැය අඩු කළ යුතුයි. ඒ අනුව තමයි නිෂ්පාදකයාට තම නිෂ්පාදනයට ලාභයක් ලැබෙන්නේ.


ඒ වගේම අලවලට, ලූනුවලට, කිරිවලට සහතික මිලක් ලබාදීමෙන් ගොවියා ශක්තිමත් කළ හැකිය. රජයේ සේවකයින්ගේ වැටුප් වැඩිවීමට ආණ්ඩුව මැදිහත්වීම පිළිබඳව අගය කරන අතරම, පෞද්ගලික සේවකයින්ගේ වැටුප පිළිබඳව විවේචනයක් තිබෙනවා. මුදල් ඇමතිවරයා පෞද්ගලික අංශයේ වැටුප් 2500කින් වැඩිකරන්න කියලා ඉල්ලා සිටියා.


අයවැයෙන් පෞද්ගලික අංශයට වැටුප් වැඩිකිරීම සඳහා මුදල් වෙන්කළ නොහැකියි. නමුත් ඒ සඳහා නීති සම්පාදනය කළ හැකියි. 2005 අපේ මැදිහත්වීමත් සමග පෞද්ගලික අංශයට රුපියල් 1000කින් වැටුප් වැඩිවීමක් ලබාදිය හැකි වුණා. ඒ 2005/36 පනත සම්මත කිරීමෙන් රුපියල් 1000 වැටුප් වැඩිවීම නීතියක් බවට පත් කළ නිසයි.


ඒ නිසා මෙම 2500 වැටුප් වැඩිවීම නීතියක් බවට පත්කිරීමට කළ හැකි කි‍්‍රයාමාර්ග දෙකක් තිබෙනවා. එකක් තමයි 2005/36 පනතට සංශෝධනයක් ගේන එක. නැතිනම් 2500 වැටුප් වැඩිවීමක් පෞද්ගලික අංශයට ලබාදිය යුතු බවට නව පනතක් කැබිනට් මණ්ඩලයේ සම්මත කරන එක.


මුදල් ඇමතිවරයාගේ ඉල්ලීමට අනුව වැටුප් වැඩිවීමක් ලබාදීමට ව්‍යාපාරිකයින් පෙළඹෙන්නේ නැහැ. එනිසා එය නීතියක් බවට පත්කළ යුතුයි. විශ‍්‍රාමිකයින්ට රුපියල් 1000ක දීමනාවක් වැඩිකර තිබුණත් එය අපේ‍්‍රල් මාසය වනතෙක් කල්දමා තිබෙනවා. ඒ පිළිබඳව ආණ්ඩුව නැවත සලකා බැලිය යුතුයි. රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිවීමට සමගාමීව ලබන පෙබරවාරිවල එම දීමනාව විශ‍්‍රාමිකයින්ට ලබාදිය යුතුයි.


මෙම ජනතා සහනවලට සමගාමීව අලූතෙන් බදු කීපයක් ආණ්ඩුව හඳුන්වා දී තිබෙනවා. මන්දිර බද්ද එසේ හඳුන්වා දුන් අලූත් බද්දක්. වර්ග අඩි 5000ට වැඩි හෝ මිලියන 100ට වැඩිවියදමක් දරා ඇති නිවාසවලට මෙම මන්දිර බද්ද ගෙවිය යුතුයි. ඇත්තටම මෙය හොඳ තීරණයක්. මුදල් ඇමති රවි කරුණානායකගේ නිවසටත් මේ බද්ද ගෙවන්න සිදුවෙයි. මෙම බදුවලින් ලබාගන්නා මුදල්වලින් ජනතාවට සහන ලබාදිය යුතුයි.


මෙම අතුරු අයවැයේ සාධනීය කරුණු වගේම වෙනස් විය යුතුදේත් තිබෙනවා. පසුගිය ජනාධිපතිවරණ සමයේ මෛතී‍්‍රපාල සිරිසේන මහත්තයා කොන්ත‍්‍රාත් සේවකයින්ට පොරොන්දු වුණා ඔවුන් ස්ථිර සේවයේ පිහිටුවනවා කියලා. ශී‍්‍ර ලංකා ටෙලිකොම් සමාගමේ එවැනි කොන්ත‍්‍රාත් සේවකයින් විශාල ප‍්‍රමාණයක් ඉන්නවා. විදුලි බලමණ්ඩලයේ පමණක් දොළොස්දාහකට අධික ප‍්‍රමාණයක් සේවය කරනවා. සාමාන්‍ය රටේ නීතියට අනුව දින 180කට වැඩි සියලූ සේවකයින්ට ස්ථිර පත්වීම් ලබාදිය යුතුයි.


නමුත් මේ අයවැයෙන් සඳහන් කර තිබෙන්නේ වසර 07ක් ඉක්මවූ කොන්ත‍්‍රාත් සේවකයින් ස්ථීර කරන බවටයි. එය දැනට පවතින නීතියට පටහැනි දෙයක්. එය සාධාරණ නැහැ. එනිසා අපි කියන්නේ ජනාධිපතිවරණයේදී දුන් පොරොන්දු ඉටුකරන ලෙසයි.


ආණ්ඩුව ලබාදුන් මේ ජනතා සහන පිළිබඳව අපි සුබවාදීව දකිනවා. එම ජනතා සහන ලැබුණේ ජනතා අරගලයන්ගේ ප‍්‍රතිඵලයක් ලෙසයි. ජනතා ඉල්ලීම් තමයි සහන බවට පත්වුණේ. එම කෙටිකාලීන සහන දිගුකාලීන සහන බවට පත්කර ගන්න ශක්තිමත් නිවැරදි දැක්මක් සහිත ආර්ථිකයක් ගොඩනගා ගත යුතුයි. ඒ සඳහා ජනතාවට ඉදිරියට පැමිණිය යුතු බව අපගේ හැඟීමයි.


අගවිනිසුරුවරයා පත්කිරීමත්, ඉවත්කිරීමත් පිළිබඳව ආන්දෝලනයක් මතුවී තිබෙනවා. ශිරානි බණ්ඩාරනායක අගවිනිසුරුවරිය ඉවත් කළේ නිවැරදි ක‍්‍රමවේදයකට අනුව නොවේ. ඇයට එරෙහිව චෝදනා සලකා බැලීමට පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවක් පත් කළා. එහි අනුපාතය වූයේත් 7 ට 4යි. එය ද ප‍්‍රජාතන්ත‍්‍රවාදයට පටහැනියි. ඒවාගේම ඇයට එල්ල කළේ බොරු චෝදනා. ඒවගේම ඇයට එරෙහිව චෝදනා විමර්ශනය කිරීමට පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවක් පත්කළත් ඇය ඉවත්කිරීමට පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙනාවේ නැහැ.


ඒ අනුව තමයි වර්තමාන ජනාධිපතිවරයා තීරණය කළේ, ඇයගේ ඉවත් කිරීම නීතියට පටහැනියි කියලා. ඒ අනුව ශිරාණී බණ්ඩාරනායක තවදුරටත් ධුරයේ කටයුතු කරන බව සලකා ඇය සේවයේ වැඩ ආරම්භ කළා. ඒවගේම මොහාන් පීරිස්ගේ පත්වීමත් නීති විරෝධියි. ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධියි. ශිරාණි බණ්ඩාරනායක ඉවත් කිරීමේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ කි‍්‍රයාවලිය තමයි නීතියට පටහැනියි. ඇය ඉවත්කළ ආකාරය පිළිබඳව රටේ ජනතාවට අමතක නැහැ. මහින්ද රාජපක්ෂලාගේ මැරයෝ ශ්‍රේෂ්ඨාධිකරණය වැටලූවා. ඒවා ජනතාවට අමතක නැහැ.


ඒවගේම ශිරාණි බණ්ඩාරනායක මහත්මිය අගවිනිසුරු ධුරයේ තවදුරටත් රැඳී නොසිට විශ‍්‍රාම ගිය එක සාධනීය දෙයක්. මොකද ඇය ඉදිරියටත් නඩු තීන්දු ලබාදෙන්න මැදිහත් වුවහොත් ඇය පක්ෂග‍්‍රාහී යැයි රටතුළ ගැටලූකාරී තත්ත්වයක් මතුවීමේ ඉඩක් පවතිනවා. එනිසා ඇය විශ‍්‍රාම යෑම සඳහා ගත් තීරණය නීතියේ ස්වාධීනත්වයට සුභවාදියි. ඒ අනුව ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහළම විනිසුරුවරයා නව අගවිනිසුරු වශයෙන් පත්වී තිබෙනවා. එය නීතියේ ආධිපත්‍යයට වැදගත් දෙයක්. ඒවගේම එය ජනතාව විසින් ඉල්ලා සිටි දෙයක්.


මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු.


ජනතා විමුක්ති පෙරමුණ ජාතික විධායක සභාව හරහා දින 100 වැඩපිළිවෙළට සම්බන්ධ වෙනවා. නමුත් අපි ආණ්ඩුවට එකතු වෙලා නැහැ. විපක්ෂයේ සිට විවේචනාත්මකව සහාය ලබාදෙනවා. එනිසා මෙම වැඩපිළිවෙළේ සුබ අසුභදේවල් ඒ ආකාරයෙන්ම අපි දකිනවා. හරිනම් හරි කියන්නත් වැරදිනම් වැරදි කියන්නත් අපිට හැකියාව තිබෙනවා. එනිසා අපේ දේශපාලන ස්ථාවරය පැහැදිලියි. එය වෙනස් වෙලා නැහැ.


මේ අයවැයෙන් සහන ලබාදෙන ආකාරයටම රජයට ආදායමකුත් ලැබෙනවා. ජනාධිපති වැය ශීර්ෂය අඩුකිරීමෙන් රජයේ අමාත්‍යාංශවල අනවශ්‍ය වියදම් නතර කිරීමෙන් කැසිනෝ එතනෝල් මන්දිර බදු වැනි බදු ආදායම්වලින් රජයට ආදායමක් ලැබෙනවා. නමුත් මේවා කෙටිකාලීනයි. දිගුකාලීන ආදායම් ලබා ගැනීම සඳහා මේ අයවැයේ වැඩපිළවෙළක් නැහැ. මෙම ජනතා සහන දිගින් දිගට ඉදිරියට ගෙනයන ආකාරය පිළිබඳව වැඩපිළවෙළක් මේ අයවැයේ සඳහන් වෙලා නැහැ.


පෞද්ගලික අංශයේ සහ රාජ්‍ය අංශයේ සේවක වැටුප්වල විශාල පරතරයක් තිබෙනවා. ඒ වගේම රාජ්‍ය සේවයේ වැටුප් විශමතාවයත් බරපතළයි. වැඩකරන ජනතාවගේ පැත්තෙන් විශාල ඉල්ලූමක් තිබෙනවා මේ වැටුප් විෂමතාවය ඉවත් කරන ලෙස. නමුත් පැවති එක රජයක්වත් එය ඉටුකර දීමට සමත්වෙලා නැහැ.


ජනාධිපතිවරණයට දින දෙකකට කලින් විදුලි බලමණ්ඩලයේ එක් පිරිසකට විශාල ලෙස වැටුප් වැඩිකිරීම සඳහා කැබිනට් පති‍්‍රකාවක් ඉදිරිපත් වෙලා තිබුණා. එය නිවැරදි කරන්න වත්මන් ඇමති චම්පික ඇමති තවමත් සමත්වෙලා නැහැ. එය කැබිනට් මණ්ඩලයේ සම්මත වුවහොත් විශාල ගැටලූවක් බවට පත්වෙනවා. එනිසා ආණ්ඩුව වැටුප් පරතරය සාධාරණ ලෙස යම් පදනමක පිහිටා අවම කළ යුතුයි. නමුත් දින 100ක් ඇතුළත එවැනි පියවරක් ගත හැකි යැයි අපි විශ්වාස කරන්නේ නැහැ. ඊළඟ මැතිවරණයෙන් බලයට පත්වෙන නව ආණ්ඩුවට එහි ප‍්‍රධාන වගකීමක් තිබෙනවා.


මේ තාවකාලික සහන ලැබී තිබෙන්නේ දේශපාලන බලපෙරළිය නිසයි. එක් එක් අවස්ථාවල සිදුවෙන දේශපාලන බලපෙරළි නිසා ජනතාවට කෙටිකාලීන සහන ලබාගත හැකි වුවත් ඒවා දිගුකාලීන ජයග‍්‍රහණ බවට පත්වෙන්නේ නැහැ. එනිසා දිගුකාලීන ජයග‍්‍රහණ අත්පත් කර ගැනීමට මේ දින 100 තුළ විධායකයේ වෙනස්වීම් ව්‍යවස්ථාදායක වෙනස්වීම් වැනි අත්‍යාවශ්‍ය ප‍්‍රතිසංස්කරණ ඉටුකර ගත යුතුයි. දේශපාලන බලපෙරළිය නිසා ඇතිවූ මෙම වැටුප් වැඩිකිරීම් වැනි ජනතා සහන නැවත ආපසු හරවන්න බැහැ. එවිට ජනතාව පාරට බසී.


ජී.එස්.පී. ප්ලස් බදු සහන නැවත ලබාගැනීම සඳහා විදේශ ඇමැතිවරයා මේ වන විට කටයුතු කරමින් තිබෙන බවට වාර්තා වෙලා තිබෙනවා. ඒවගේම යුරෝපීය වෙළඳපොළට මාළු අපනයනය සම්බන්ධයෙන් ද සාකච්ඡාවක් තිබෙනවා. ජී.එස්.පී. සහනය ලබාගැනීම සඳහා රටේ යහපාලනයක් ඇති බව භාවිතාවෙන් ඔප්පු කරන්න ඕනෑ. අපේ රට තුළ ජාත්‍යන්තර කම්කරු නීති අනුගමනය කරන බවට ඔවුන්ට සහතික වෙන්න ඕනෑ. පසුගිය කාලය තුළ එම ජාත්‍යන්තර සම්මුතීන් උල්ලංඝණය කළ නිසා තමයි ජී.එස්.පී. සහනය අහිමි වුණේ. ජී.එස්.පී.සහනය නැවත ලැබෙනවා නම් ඒක අපේ රටට වාසියක්.


ජනතා විමුක්ති පෙරමුණ

2015.01.30



Post a Comment