කාට ඇමතිකම් දුන්නත් යහපාලනයේ මහා වංචාව වහන්න බෑ


මෙය ජාතික ආණ්ඩුවක් නොව සභාග ආණ්ඩුවක් බවත්,දේශපාලන බංකොළොත්භාවය හේතුවෙන් විපක්ෂයෙන් මන්ත්‍රීවරුන් පිරිසක් බාගෙන අටවාගත් එකක් බවත් මහජන එක්සත් පෙරමුණේ නායක,පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.


යහපාලනය පෙන්වා පිටුපස දොරින් ඇමතිකම් දීමෙන් පිළිඹිබුවන්නේ දේශපාලන අවිනිශ්චිතභාවය යයි මන්ත්‍රීවරයා කියා සිටියේ අද(23) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.


මෙම ආණ්ඩුවට සහය ලබාදිය යුතු බවට එක්සත් ජනතා නිදහස් සන්ධානය කිසිදු දේශපාලන තීන්දුවක් ගෙන නැති බවත්,ඒ සඳහා අවසරයක්ද නැති බවත් හෙතෙම සඳහන් කළේය.


කෙසේ වෙතත් මෙම සිදුවීම ජනතාව විසින් දුන් ජනවරම සපුරා උල්ලංඝණය කිරීමක් බව ගුණවර්ධන මහතා පෙන්වා දුන්නේය.


මහින්ද රාජපක්ෂ මහතා නැවත මේ රටේ නායකත්වයට ගෙන ආ යුතු බවට තමන් තීන්දුවක් ගත් බවත්,එම තීන්දුවෙන් පසු ජනතාවට කී දේ අද සත්‍යයක් බවට පත්වෙමින් තිබෙන බවත් ඔහු අවධාරණය කළේය.


යහපාලනය යටතේ සිදුවූ දැවැන්තම මූල්‍ය වංචාව මහබැංකුවේ බැඳුම්කර නිකුතුවට අදාළ වංචාව බවත්,ඒ පිළිබඳ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කළ දෙදෙනාටද මේවන විට ඇමතිධූර හිමිව ඇති බවත් ගුණවර්ධන මහතා සිහිපත් කළේය.


කාට ඇමති ධූර දුන්නත් මෙම වංචාව වහන්නට හැකියාවක් නොමැති බවත්,මේවන විට මහබැංකු අධිපතිට නිවාඩු දුන්න බව පවසා ඇතත් මේ වගකීමෙන් මිදෙන්නට අගමැතිවරයාට හැකියාවක් නොමැති බවත් ඔහු කියා සිටියේය.



Post a Comment