ආහාරවලට බදු ගහන එකම රට ශ්‍රී ලංකාවයි - Anura Kumara Dissanayake

රටේ ආර්ථිකය ඉහළ නැගලා. දළ ජාතික ආදායම වැඩිවෙලා. ගෙවුම් ශේෂය තුලනය වෙලා වගේ බර වචන යොදලා ආණ්‌ඩුවේ රූපවාහිනී නාලිකාවලින් අමූලික බොරු කියලා ජනතාව මුලා කරන්නට ආණ්‌ඩුව උත්සාහ කළත් රටේ පවතින ආර්ථික පරිහානිය ජනතාවට හොඳින් දැනෙනවා. ආර්ථිකය නැගලා යනවානම් එහි ප්‍රතිලාභ ජනතාවට දැනෙන්න ඕන. යනුවෙන් ජනතා විමුක්‌ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා සිය අදහස්‌ දැක්‌වූයේ නාකුළුගමුව හඳපාන්ගොඩැල්ල ප්‍රදේශයේ පැවති ජනහමුවක්‌ අමතමිනි.

මෙවර දකුණු පළාත් සභාව සඳහා ජනතා විමුක්‌ති පෙරමුණෙන් තරගවදින වජිර අහංගමගේ මහතාගේ නිවසේ පැවති ජනහමුව අමතමින් ජවිපෙ නායකයා මෙසේ පැවසීය.

මහින්ද මහත්තය බලයට එනකොට අධ්‍යාපන කටයුතු වෙනුවෙන් වෙන්කර තිබූ මුදල 2013 වසරේදී හරි අඩකටත් වඩා කපා හැරලා. රජයේ රෝහලකට ප්‍රතිකාර ගන්න ගියාම රෝහලේ බෙහෙත් නෑ. බෙහෙත් පිටතින් මුදලට ගන්නවෙනවා. ධීවර කාර්මිකයා දැඩි අපහසුතාවයකට පත්වෙලා.


ලෝකයේ කිසිම රටක්‌ ආහාරවලට බදුගහන්නෙ නෑ. නමුත් මේ රටේ අසීමිත විදියට ආහාර ද්‍රව්‍යවලට බදුගහලා. සීනි කිලෝවකින් රුපියල් 30/ ක්‌, පරිප්පු කිලෝවකින් රුපියල් 22 ක්‌ කොත්තමල්ලි කිලෝවෙන් රු. 120 ක්‌ කහකුඩු කිලෝවෙන් රු.202 ක්‌ සූදුරු කිලෝවෙන් රු. 120 ක්‌ කිරිපිටි ආදී අත්‍යවශ්‍ය භාණ්‌ඩ සඳහා බදුබර පටවලා.

රජයේ ඊළඟ ආදායම් මාර්ගය තමයි දඩ ගැසීම පොලිසියේ මහත්තුරු උදේට පිටත් කරන්නෙ දඩ ඉලක්‌කයක්‌ දීලා. ඒක පියවගන්න බැරිවුණාම ගස්‌ පල්ලෙ හැංගිලා ඉඳලා පාරට පැනලා වාහන නවත්වනවා. ඊට පස්‌සේ ඒ වාහනේ කොතැනහරි අතගාලා මොනවහරි වරදක්‌ පටවලා දඩ ගහනවා.

මේ වගේ රටේ සාමාන්‍ය ජනතාවට බදුබර පටවල දඩ ගහලා එකතු කරන මුදල කෝටි ප්‍රකෝටි ගණනින් හොරකම් කරලා මැති ඇමැතිවරු විනෝද වෙනවා.

මහින්ද මහත්තයා රට සවාරි යන්නෙ වෙනම ගුවන් යානයක්‌ අරගෙන. මේ රටේ හිටිය කිසිම නායකයෙක්‌ මේ තරම් මුදල් නාස්‌තිකළේ නෑ. අරලියගහ මන්දිරේ තාප්පෙ නඩත්තුවට පමණක්‌ මාසික වියදම ලක්‍ෂ 3 ක්‌ වෙනවා. ඒක ඇතුළෙ වියදම කොහොමට තියේවිද?

මහින්ද මහත්තයගෙ වියදම බැලුවම මේ අවුරුද්දෙ මුදල් ඇමැතිවරයා හැටියට වෙනම මුදලකුත් ගුවන් සේවා අමාත්‍යවරයා ලෙස තවත් මුදලකුත් හැර ජනාධිපතිවරයා හැටියට පමණක්‌ වෙන්කර ඇති මුදල රුපියල් කෝටි 853 ක්‌ වෙනවා. ඒ අනුව ජනාධිපතිවරයාගේ දවසක වියදම රුපියල් ලක්‍ෂ 250 පමණ වෙනවා. මුදල් මේ තරම් විනාශ කළ නායකයෙක්‌ ලංකාවේ මෙතෙක්‌ හිටියේ නෑ.

එයාර් ලංකා ගුවන් සමාගම පසුගිය වසර තුනේ ලැබූ පාඩුව රුපියල් කෝටි හත්දාහයි. අපේ රටේ මැති ඇමැතිවරු වෙනුවෙන් මහා මුදල් කන්දරාවක්‌ වැයවෙනවා.

ඇමැතිවරයෙක්‌ නඩත්තු කරන්න ජනපදයක්‌ නඩත්තු කරන මුදල් වැය වෙනවා. ඇමැතිවරයෙකුට 15 දෙනෙක්‌ ඇතුලත් කාර්ය මණ්‌ඩලයත් ඊට මාසෙකට රු. 40000 (හතළිස්‌දාහ) බැගින් වැටුප් ගෙවනවා. එයින් පස්‌දෙනෙකුට වාහන ලැබෙනවා. ඒ වාහනයකට මාසෙකට රු. 30000 (තිස්‌දාහ) බැගින් තෙල් දෙනවා. ඇමැතිවරයාගේ වාහනෙට මාසෙකට ලක්‍ෂ එකහමාරක තෙල් දෙනවා. දුරකථන 2 ක්‌ දෙනවා ඕනතරම් කතා කරන්න. කොළඹින් ගෙයක්‌ දෙනවා. ගෙයක්‌ නොලැබුණු ඇමැතිට ගෙවල් කුලී මාසෙකට රු. ලක්‍ෂයක්‌ දෙනවා.දැන් කැසිනෝ සූදුවත් අපේ රටට ගේනවා. කැසිනෝ කියන්නේ ත්‍රී ඉන් වන්. කැසිනෝ එක්‌ක සූදුව මත්ද්‍රව්‍ය ගණිකා වෘත්තියත් ව්‍යාප්ත වෙනවා.

මේ කිවුවේ අපේ රටේ මැති ඇමැතිවරු සිදුකරන අපරාධවලින් ටිකයි. මහජනතාව හොඳින් සිතා බැලිය යුතුයි. තවදුරටත් මේ අය බලයට පත්කිරීම සුදුසුද කියවා.

මේ සිදුවන විනාශය වළක්‌වාගන්න දකුණු පළාත් සභාවට ජනතා විමුක්‌ති පෙරමුණේ අපේක්‍ෂකයන් තෝරාපත් කරගන්නා ලෙස ඔබ තුමන්ලාගෙන් ඉල්ලා සිටිනවා යනුවෙන් ජනතා විමුක්‌ති පෙරමුණේ වත්මන් නායකයා පැවසූ අතර විශාල පිරිසක්‌ මෙම ජනහමුවට එක්‌ව සිටියහ.

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

Post a Comment