ජනපති බැන්කී මුන් හමුවෙයි

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන්කී මුන් මහතා හමුවී තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ඊයේ(27) රාත්‍රී නිව්යෝර්ක්හි පිහිටි එක්සත් ජාතීන්ගේ මුලස්ථානයේ දී මෙම හමුව සිදුවු බවයි.


මෙම හමුවේ දී යුද්ධයෙන් පසුව ශ්‍රී ලංකාව ලබා ඇති සංවර්ධනය පිළිබඳව එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා ජනාධිපතිවරයාට ප්‍රසංශාව පළ කර තිබේ.


ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලිය සහ නැවත පදිංචි කිරීමේ ක්‍රියාවලිය පිළිබඳව මෙහිදි ජනාධිපතිවරයා බැන්කී මූන් මහතාව දැනුවත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.


මෙම හමුවේ දී උතුරු නැගෙනහිර ප්‍රදේශවල බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු පිළිබඳව සහ හිටපු එල්.ටි.ටි.ඊ. ත්‍රස්තවාදීන් පුනරුත්තාපනය කිරීමේ කටයුතු පිළිබඳව ද ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාව දැනුවත් කර තිබේ.


සියලු දේශපාලන පක්ෂවල සහභාගීත්වයෙන් ශ්‍රි ලංකාවට සාර්ථක දේශපාලන විසඳුමක් ලබාදීමට පියවර ගන්නා ලෙස එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් ද කර ඇති බව වාර්තා වෙයි.


මේ අතර ශ්‍රී ලංකාව ලබා ඇති සංවර්ධනය පිළිබඳව සියැසින් දැක ගැනීම සඳහා ශ්‍රි ලංකාවේ සංචාරයක නිරත වන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බැන්කී මුන් මහතාට ආරාධනයක් ද කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.


ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතා ද ඊයේ නිව්යෝර්ක්හිදි හමුවුණි.


එහිදි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පසුගියදා දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් සමඟ පැවැත්වු සාකච්ඡා පිළිබඳව ජනාධිපතිවරයා දැනුවත් කර තිබේ.


විශේෂයෙන් ශ්‍රී ලංකා රජය දෙමළ ජාතික සන්ධානය ඇතුළු ඕනෑම දේශපාලන පක්ෂයක් සමඟ සාකච්ඡා කිරීමට සූදානම් බව මෙහිදි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසා ඇත.


ඉන්දු ලංකා ධීවර ගැටලුව සම්බන්ධයෙන් ද දෙරටේ නායකයින් අතර මෙහිදි සාකච්ඡා වී තිබේ.



Post a Comment