මැතිවරණ ප්‍රචන්ඩ ක්‍රියාවලට සම්බන්ධ අය වහාම අත්අඩංගුවට ගන්න

මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා වලට සම්බන්ධ වු සැකකරුවන් අත්අඩංගුවට ගෙන වහාම එම විමර්ශන කටයුතු අවසන් කරන ලෙස පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා ඌව පළාත් පොලිස් ප්‍රධානීන් වෙත දැනුම් දී තිබේ.

ඌව පළාත් නියෝජ්‍ය පොලිස්පතිවරුන්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් සහ සහකාර පොලිස් අධිකාරිවරුන්ට පොලිස්පතිවරයා අද දිනයේ මෙම දැනුම්දිම් සිදු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා සඳහන් කළේය.


ඌව පළාත් සභා මැතිවරණයේ මැතිවරණ කාල සීමාව පසුගිය ජූලි මස 12 වන දින ආරම්භ වූ අතර එය අද දිනයෙන් අවසන් වෙයි.


අදාළ කාලය තුළ පැමිණිලි 98 ක් වාර්තා වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා සඳහන් කළේය.


ඒ අතරින් පැමිණිලි 22 ක් පශ්චාත් මැතිවරණ සමයේ දී වාර්තා වූ බව ඔහු පැවසුවේය.


නාමයෝජනා භාර ගැනිම ආරම්භ වූ දිනයේ සිට මේ දක්වා මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා වලට සම්බන්ධ පුද්ගලයින් 83 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වෙයි.


මොණරාගල දිස්ත්‍රික්කයේ සිද්ධීන් වලට අදාළව 28 දෙනෙකු සහ බදුල්ල දිස්ත්‍රික්කයේ සිදුවීම් වලට අදාළව 55 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.



Post a Comment