ශෂීන්ද්‍ර ඇතුළු පිරිස අද දිවුරුම්දෙති

ඌව පළාත් සභාවේ නව මහ ඇමතිවරයා ලෙස ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා අද දිවුරුම්දීමට නියමිතව තිබේ.

අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ මෙම දිවුරුම්දීම සිදුවන බව එක්සත් ජනතා නිදහස් සන්ධානය සඳහන් කරයි.


2009 වසරේ සිට 2014 දක්වා ඌව පළාත් සභාවේ මහ ඇමතිවරයා වශයෙන් කටයුතු කළ ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා මෙවර පළාත් සභා මැතිවරණයෙන් මොණරාගල දිස්ත්‍රීක්කයෙන් මනාප 96,619ක් ලබාගත්තේය.


ප්‍රධාන අමාත්‍යවරයාට අමතරව එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඌව පළාත් සභාවට තේරී පත් වු අනෙක් මන්ත්‍රීවරුන් ද අද දිනයේ දිවුරුම්දීමට නියමිතය.


පසුගිය 20 වන දින පැවති ඌව පළාත් සභා ඡන්ද විමසීමෙන් මන්ත්‍රී ධුර 19ක් හිමිකර ගැනීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය සමත්විය.


මේ අතර ඌව පළාත් සභාව සඳහා තේරී පත් වු එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් දිවුරුම්දීම ලබන 07 වන දින සිදුකිරීමට නියමිතය.


පක්ෂයේ ජාතික නායක රනිල් වික්රුමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී මෙම දිවුරුම්දීමේ උත්සවය පැවැත්වෙන බව එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක ගයන්ත කරුණාතිලක මහතා සඳහන් කළේය.



Post a Comment