සඳුදා විශේෂ පාර්ලිමේන්තු සැසියක්

ලබන සඳුදා දිනයේ විශේෂ පාර්ලිමේන්තු සැසියක් පැවැත්වීමට කථානයක චමල් රාපක්ෂ මහතා තීරණය කර තිබේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීමකට අනුව මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වෙයි.


ඒ අනුව ලබන සදුදා දිනයේ දී පස්වරු 2.00 ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය.


මෙහිදි මේ දක්වා අගවිනිසුරු ධූරයේ කටයුතු කළ මොහාන් පීරිස් මහතා ඉවත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂය ඉල්ලා සිටි විවාදය පැවැත්වෙනු ඇත.



මෛත්‍රී පිළිසඳර අද දෙරණ 24x7 නාලිකාව ඔස්සේ නැරඹිය හැකියි

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්වෙන ප්‍රථම රූපවාහීනි සාකච්ඡාව “මෛත්‍රී පිළිසඳර“ අද දෙරණ 24x7 නාලිකාව ඔස්සේ මේ වන විට විකාශය වෙමින් තිබේ.

ජාතික රූපවාහිනිය, ස්වාධීන රූපවාහිනිය, ලක්හඩ ගුවන් විදුලිය, එස්.එල්.බී.සී. හරහාද මෙම වැඩසටහන නැරඹිය හැකිය.



මගේ ඉවත් කිරීම නීතියට පටහැනි ක්‍රියාවක්

තමන් අගවිනිසුරු ධුරයෙන් ඉවත් කිරීම නීතියට පටහැනි ක්‍රියාවක් බව මොහාන් පීරිස් මහතා පවසයි.

එය ව්‍යවස්ථානුකූල නොවන බව ඔහු සඳහන් කරයි.


මේ වන තුරු තමන් අගවිනිසුරු ධුරයෙන් විශ්‍රාම ගෙන හෝ අගවිනිසුරු කාර්යාලයෙන් ඉවත් වී නොමැති බව ද මොහාන් පීරීස් මහතා සඳහන් කළේය.


ආචාර්ය ශිරානි බණ්ඩාරනායක මහත්මිය අගවිනිසුරු තනතුරේ වැඩ භාර ගැනීමත් ඉන් අනතුරුව එතුමිය විශ්‍රාම ගැනීම පිළිබඳව හා මෙරට 44 වන අගවිනිසුරුවරයා ලෙස කේ.ශ්‍රීපවන් මහතා දිවුරුම් දීම පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් මොහාන් පීරීස් මහතා මෙම අදහස් පළකර තිබේ.


මෙහිදි අදාළ නිවේදනය මගින් මොහාන් පීරීස් මහතා පෙන්වා දී ඇත්තේ බාහිර බලපෑම් හේතුවෙන් ව්‍යවස්ථාවට පටහැනිව තමන් අගවිනිසුරු ධුරයෙන් ඉවත් කළ බවයි.


ඇතැම් අවස්ථා වලදී අයිතීන්ට වඩා බලය ඉක්මවා ගොස් ඇති බවද ඔහු පෙන්වා දී තිබේ.


මේ හේතුවෙන් අහිංසකයන්ට අයුක්තියට මුහුණ දීමට සිදුව ඇති බව මොහාන් පීරිස් මහතා පවසා ඇත.


2013 වසරේදී පාර්ලිමේන්තුවේ වැඩි බහුතරයකින් ශිරාණි බණ්ඩාරනායක මහත්මිය අගවිනිසුරු ධුරයෙන් ඉවත් කළ බව සඳහන් කරන මොහාන් පීරිස් මහතා එම තීරණය අවසන් තීරණය බවද පවසා තිබේ.


කෙසේ වෙතත් අදාළ පාර්ලිමේන්තු ඡන්දය විමසීමේදී ඡන්දය භාවිතා කළ කිසිදු පුද්ගලයකුට යළි එහි වලංගුභාවය පිළිබඳ ප්‍රශ්න කළ නොහැකි බවද මොහාන් පීරීස් මහතා අදාළ නිවේදනය මගින් වැඩිදුරටත් පවසා තිබේ.



රට සිහින පෙන්වා මුදල් ගැරූ 5ක් දැලේ

විදෙස් රටවල රැකියා ලබාදෙන බව පවසමින් මුදල් වංචා කළ පුද්ගලයින් 5 දෙනෙකු මහනුවර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විශේෂ විමර්ශන ඒකකයට ලද පැමිණිල්ලක් මත සිදුකළ වැටලීමකදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.


මොවුන් පුද්ගලයින් සීයයට අධික පිරිසකගෙන් වංචනිකව මුදල් ලබා ගෙන ඇති බවද සඳහන්ය.


විදෙස් රටවල රැකියා ලබාදෙන බව පවසමින් එක් පුද්ගලයකුගෙන් මොවුන් රුපියල් එක් ලක්ෂ 75, 000 කට අධික මුදලක් ලබා ගෙන ඇති බවද විදේශ සේවා නියුක්ති කාර්යංශය සඳහන් කළේය.


අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් අද මහනුවර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



ශර්මා අද ලංකාවට පැමිණෙයි

පොදු රාජ්‍ය මණ්ඩලිය මහලේකම් කමලේෂ් ශර්මා මහතා අද (31) දිවයින පැමිණිමට නියමිතව තිබේ.

තෙදින නිල සංචාරයක් සඳහා ඔහු අද දිනයේ දිවයිනට පැමිණෙන බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේය.


කමලේෂ් ශර්මා මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ,අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා මුණගැසී සාකච්ඡා කිරිමට නියමිතව තිබේ.


ඒ අනුව කමලේෂ් ශර්මා මහතා ලබන සඳුදා දිනයේදී ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා මුණගැසී සාකච්ඡා කරනු ඇත.


පොදු රාජ්‍ය මණ්ඩලීය මහලේකම්වරයා මෙම සංචාරය තුළදී මේ වසරේ පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුව පිළිබඳව සාකච්ඡා කිරිමට නියමිතය.


මේ වනවිට පොදු රාජ්‍ය මණ්ඩලයේ සභාපතීත්වය ශ්‍රී ලංකාව විසින් දරනු ලබන අතර එය මෙම වසරේදී පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩයේදී මෝල්ටා රාජ්‍යයට හිමිවනු ඇත.



අගවිනිසුරුවරියව නැවත පත්කිරීම ගැන සතුටුදායකයි

බලය බෙදාහැරීම , වගවීම සහ ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය සඳහා ශ්‍රී ලංකා රජය දිරිමත් කරන බව කැනඩාව පවසයි.

කැනේඩියානු විදේශ අමාත්‍ය ජෝන් බෙයාර්ඩ් නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසා ඇති බව විදේශ අමාත්‍යංශය සඳහන් කළේය.


අදාළ නිවේදනය මගින් ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ හිටපු අගවිනිසුරුවරිය යළි එම තනතුරට පත්කිරිම සම්බන්ධයෙන් සතුටට පත්වන බවයි.


2013 වසරේදී ශිරානි බණ්ඩාරනායක මහත්මිය ධුරයෙන් පහකිරීම පිළිබඳව තමන් දැඩි ලෙස කණගාටුවට පත්වූ බවද කැනඩා විදේශ අමාත්‍යවරයා පවසා තිබේ.


එම ක්‍රියාව හේතුවෙන් නීතියේ ආධිපත්‍ය බිඳවැටුනු බවද විදේශ අමාත්‍යවරයා අදාල නිවේදනය මගින් සඳහන් කර ඇති බව වාර්තා වෙයි.


එමෙන්ම උතුරේ ආණ්ඩුකාරවරයා ලෙස එච්.එම්.ජී.එස්. පලිහක්කාර මහතා පත්කිරීම පිළිබඳව ද තම රජය සතුටට පත්වන බව කැනේඩියානු විදේශ අමාත්‍යවරයා පවසා ඇත.


මේ අතර පසුගිය ජනාධිපතිවරණයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තම ප්‍රතිපත්ති ප්‍රකාශය තුළින් පොරොන්දු වූ කරුණූ ඉටු කරනු ඇති බවට තමන් විශ්වාසය පළ කරන බවද ඔහු පවසා තිබේ.


එමෙන්ම ජනතාවගේ ගැටළුවලට විනිවිදභාවයකින් යුතුව ප්‍රතිචාර දක්වනු ඇති බවද කැනේඩියානු විදේශ අමාත්‍ය ජෝන් බෙයාර්ඩ් මහතා වැඩිදුරටත් පවසා ඇත.



දෝහා සවාරියේ ගිය ලාංකික ගුවන් සේවිකාවක් මරුට - තවත් 3ක් රෝහලේ

දෝහ නුවර සිදුවු රිය අනතුරකින් ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් සේවිකාවක ජීවිතක්ෂයට පත්වී තවත් සේවිකාවන් තිදෙනෙකු තුවාල සිදුවී ඇති බව වාර්තා වෙයි.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් UL 218 කටාර් සිට කටුනායක බලා ඊයේ (30) රාත්‍රියේ පියාසර කිරීමට තිබූ ගුවන් යානයේ ගුවන් සේවිකාවන් පිරිසක් මෙලෙස අනතුරට පත්වී ඇති බව සඳහන්ය.


මෙම ගුවන් සේවිකාව මියගොස් ඇත්තේ එරට කාන්තාර සවාරියක් අතරතුර ජීප් රථයක් පෙරළීම නිසා බවද වාර්තා වෙයි.


අනතුර සිදුවන අවස්ථාවේ අදාල ජීප් රථයේ 6දෙනෙකු පමණ ගමන්කර ඇති බවද සඳහන් වෙයි.



කෑරගල ප්‍රදේශයේ මිනිස් ඝාතනයක්

දොම්පේ, කෑරගල රණවිරුගම ප්‍රදේශයෙදී පුද්ගලයකුට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබේ.

ඊයේ රාත්‍රී 8.30 ට පමණ මෙම ඝාතනය සිදුව ඇති බව පොලිසිය සඳහන් කළේය.


මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 49 හැවිරිදි කෑරගල හේනේගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු බව වාර්තා වෙයි.


කවුරුන් විසින් කුමන හේතුවක් මත මෙම ඝාතනය සිදු කලේ ද යන්න පිළිබඳ මේ වන තෙක් තොරතුරු වාර්තා වී නොමැත.


මෙම ඝාතනය සම්බන්ධයෙන් දොම්පේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.



බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා රජය කෙරෙහි විශ්වාසය තබයි

යුද සමයේ ශ්‍රී ලංකාවේ සිදු වූ බව පැවසන යුද අපරාධ හා මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් විමර්ශනය කර ඒ පිළිබඳව අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට නව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා‍ගේ ආණ්ඩුවට අවශ්‍යතාවක් ඇති බව තම තෙදින සංචාරය තුළ පැවති සාකච්ඡා මගින් පෙනී ගිය බව බ්‍රිතාන්‍ය විදේශ කටයුතු කාර්යාල අමාත්‍ය හියුගෝ ස්වයර් මහතා පවසයි.

සිය නිල සංචාරය අවසන් කර ශ්‍රී ලංකාවෙන් පිටත්ව යාමට පෙර තම සංචාරය පිළිබඳව විදේශ මාධ්‍යවෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කර තිබේ.


බ්‍රිතාන්‍ය විදේශ කටයුතු කාර්යාල අමාත්‍ය හියුගෝ ස්වයර් මෙම සංචාරය තුළදී නව ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා මෙන්ම උතුරු පළාත් මහා ඇමතිවරයා ද හමු විය.


එසේම අමාත්‍ය හියුගෝ ස්වයර් ශ්‍රී ලංකාවේ සංචාරය කරන දෙවන අවස්ථාව මෙය වන අතර නව රජය බලයට පැමිණීමෙන් අනතුරුව මෙරටට බටහිර රටකින් පැමිණි ප්‍රථම රාජ්‍යතාන්ත්‍රිකයා ද ඔහු වෙයි.


තමන් පසුගිය වර ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවට වඩා මෙවර ශ්‍රී ලංකාවේ වාතාවරණය වෙනස් වී ඇති බව පැවසූ අමාත්‍යවරයා ලෝකය හමුවේ ශ්‍රී ලංකාව පුනරුත්තාපනය කිරීමේ අවශ්‍යතාවක් නව රජයට ඇති බවද පැවසුවේය.


එසේම එක්සත් ජාතින්ගේ මානව හිමිකම් මණ්ඩලය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සකස් කරන වාර්තාව මේ වන විට සකස් කර අවසන් වීමට නියමිත බව පැවසූ අමාත්‍යවරයා එක්සත් ජාතීන්ගේ පරීක්ෂණ මඩුල්ලට ශ්‍රී ලංකාවට පැමිණීමට ඉඩ ලබා නොදීම කණගාටුදායක බව ඔහු පෙන්වා දෙයි.


තවද සියලු ජාතින් එක්ව ජීවත් විය හැකි රටක් ලෙස ශ්‍රී ලංකාවට ඉදිරියට යාමට අවශ්‍ය නම් පසුගිය කාලයේ ශ්‍රී ලංකාවේ සිදු වූ විවිධ සිදුවීම සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග ගැනීම වැදගත් බව බ්‍රිතාන්‍යයේ ස්ථාවරය වන අතර නව රජය ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරනු ඇති බවට තමා විශ්වාස කරන බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත.



කුඩු සමඟ කතක් අල්ලයි

හෙරොයින් ළඟ තබාගෙන සිටි කාන්තාවක වැල්ලම්පිටිය, නාගහමුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

බස්නාහිර පළාත් දූෂණ මර්දන අංශයට ලද තොරතුරක් මත සිදුකළ සෝදිසියකදී අදාළ කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.


අදාළ කාන්තාව සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 8යි මිලිග්‍රෑම් 108ක් පොලීසිය භාරයට ගෙන තිබේ.


සැකකාරිය 45 හැවිරිදි වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකාරියක වන අතර ඇය අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කිරීමට නියමිතය.



ලොරියක් සහ ත්‍රීරෝද රථයක් ගැටී කුඩා දැරියක් මරු‍ට

දෙණියාය, ගල්දොල ප්‍රදේශයේ ආයුර්වේද රෝහල අසළ දී ලොරි රථයක් ත්‍රී රෝද රථයක ගැටීමෙන් සිදුවු අනතුරකින් කුඩා දැරියක මියගොස් තිබේ.

පොලිසිය පැවසුවේ දැරියගේ මව ඇතුළු කාන්තාවන් දෙදෙනෙකු සහ ත්‍රීරෝද රථ රියදුරු අනතුරෙන් තුවාල ලබා ඇති බවයි.


තුවාල ලැබුවන් ගෙන් එක් අයෙකු මාතර මහ රෝහලට සහ අනෙක් දෙදෙනා කරාපිටිය ශික්ෂණ රෝහට ඇතුළත් කර තිබේ.


මියගිය දැරිය වයස අවුරුදු තුනහමාරක් පමණ වන වරල්ල, හොරගල ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකු බව මොරවක පොලිසිය පැවසුවේය.


මේ අතර වව්නියාව මහනුවර මාර්ගයේ ගල්වල හන්දිය අසළ දී යතුරුපැදියක් බස් රථයක ගැටීමෙන් 18 හැවිරිදි පාසැල් සිසුවෙකු මියගොස් තවත් සිසුවෙකු තුවාල ලබා තිබේ.



පුදුකුඩිඉරිප්පු සහ මුහුදුබඩපත්තු ප්‍රා.සභා මැතිවරණය පෙබරවාරි 28

මුලතිව් දිස්ත‍්‍රික්කයේ පුදුකුඩිඉරිප්පු සහ මුහුදුබඩපත්තු ප‍්‍රාදේශීය සභාවල මැතිවරණය පෙබරවාරි 28 වන දා පැවැත්වෙන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප‍්‍රිය මහතා පවසයි.

2011 වසරේ පැවැති පළාත් පාලන මැතිවරණයේදී මෙම ප‍්‍රාදේශීය සභා දෙකෙහි ඡන්ද විමසීම සිදුකර ෙනාමැත.


ඒ වන විට ඒම ප‍්‍රදේශවල බිම් බෝම්බ ඉවත් කර නොතිබීම සහ නැවත පදිංචිකිරීම් සිදුනොකිරීම ඊට ප‍්‍රධානතම හේතුව බව වාර්තා ෙවයි.



පුංචි පහේ කඩඉම් ලකුණු මෙන්න

2014 වසරේ පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු නිකුත් කර තිබේ.

පිරිමි පාසල් අතුරෙන් කොළඹ රාජකීය විද්‍යාලයට වැඩිම කඩඉම් ලකුණු සංඛ්‍යාවක් හිමිව ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේය.


එම විද්‍යාලයට ඇතුළත් කරගැනීමේ කඩඉම් ලකුණු 186ති.


කොළඹ ආනන්ද විද්‍යාලයට ලකුණු 183ක්, මහනුවර ධර්මරාජ විද්‍යාලයට ලකුණු 183ක්, කුරුණෑගල මලියදේව විද්‍යාලයට ලකුණු 182ක් සහ කොළඹ නාලන්ද විද්‍යාලයට ලකුණු 181ක් ලෙස කඩඉම් ලකුණු ලබා දී තිබේ.


මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලයට ලකුණු 180ක්, කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලයට ලකුණු 179ක්, ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයට ලකුණු 179ක් ලෙස කඩඉම් ලකුණු ලබා දී ඇත.


බාළිකා පාසල් අතුරෙන් කොළඹ විශාඛා විද්‍යාලය සඳහා ලකුණු 185ක් මහනුවර මහාමායා විද්‍යාලය සඳහා ලකුණු 183ක් කොළඹ දේවි බාලිකා, කුරුණෑගල මලියදේව බාලිකා සහ ගාල්ල සවුත්ලන්ඩ්ස් යන විද්‍යාල සඳහා ලකුණු 182ක් ලෙස කඩඉම් ලකුණු ප්‍රකාශයට පත් කර තිබේ.


කුරුණෑගල ශුද්ධ වු පවුලේ බාලිකා සහ කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක යන පාසල් සඳහා ලකුණු 180ක්, ගම්පහ රත්නාවලි බාලිකා විද්‍යාලයට ලකුණු 179ක් සහ නුගේගොඩ අනුලා විද්‍යාලයට ලකුණු 178ක් ලෙස කඩඉම් ලකුණු ප්‍රකාශ කර ඇති බව අමාත්‍යාංශය සඳහන් කළේය.


මිශ්‍ර පාසල් අතුරෙන් රත්නපුර සීවලි මධ්‍ය මහ විද්‍යාලයට ලකුණු 176ක්, පන්නිපිටිය ධර්මපාල, පින්නවල මධ්‍ය මහ විද්‍යාලය, පොළොන්නරුව රාජකීය විද්‍යාලය, හොරණ තක්ෂිලා විද්‍යාලය යන පාසල් සඳහා ඇතුළත් කරගැනීමේ කඩඉම් ලකුණ 175කි.


පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු පිළිබඳ වැඩිදුර තොරතුරු ඉහත දැක්වේ. 2014 වර්ෂයේ 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව පරීක්ෂණය කඩඉම් ලකුණුසිංහල මාධ්‍ය පිරිමි පාසල් අනු අංකය පාසල ලිපිනය කඩඉම් ලකුණු 1 රාජකීයවිද්‍යාලය කොළඹ 07 186 2 ආනන්දවිද්‍යාලය කොළඹ 10 183 3 ධර්මරාජවිද්‍යාලය මහනුවර 183 4 මලියදේවපිරිමි විද්‍යාලය කුරුණෑගල. 182 5 නාලන්දවිද්‍යාලය කොළඹ 10 181 6 කිංස්වුඩ්විද්‍යාලය මහනුවර 180 7 ඩී.එස්.සේනානායක විද්‍යාලය කොළඹ 07 179 8 රිච්මන්ඩ්විද්‍යාලය ගාල්ල 179 9 ශාන්ත ආනාවිදුහල කුරුණෑගල 179 10 රාහුලවිද්‍යාලය මාතර 178 11 ශාන්තසිල්වෙස්ටර් විදුහල මහනුවර 177 12 ඉසිපතනවිද්‍යාලය කොළඹ 05 176 13 මහින්දවිදුහල ගාල්ල 176 14 තර්ස්ටන්විද්‍යාලය කොළඹ 03 175 15 විද්‍යාර්ථවිද්‍යාලය මහනුවර 174 16 බණ්ඩාරනායකමහා විද්‍යාලය ගම්පහ 173 17 ජෝශප් වාස්විද්‍යාලය වෙන්නප්පුව 173 18 මහානාමවිද්‍යාලය කොළඹ 03 173 19 ශාන්තඇලෝසියස් විද්‍යාලය ගාල්ල 173 20 අශෝකවිද්‍යාලය කොළඹ 10 172 21 කෑගල්ල මහාවිද්‍යාලය කෑගල්ල 172 22 ශාන්තතෝමස් කුමර විද්‍යාලය මාතර 171 23 වාරියපොළශ්‍රී සුමංගල විද්‍යාලය මහනුවර 169 24 වේල්ස්කුමර විද්‍යාලය මොරටුව 168 25 ශාන්තමරියා මහා විද්‍යාලය කෑගල්ල 168 26 විද්‍යාලෝක විද්‍යාලය ගාල්ල 167 27 ශාන්තතෝමස් විද්‍යාලය මාතලේ 165 28 පානදුරරාජකීය මහා විද්‍යාලය පානදුර 164 29 ශාන්තඇලෝසියස් ජාතික පාසල රත්නපුර 164 30 කළුතර මහාවිද්‍යාලය කළුතර 161 31 කුමරවිද්‍යාලය රත්නපුර 160 32 නාලන්දාපිරිමි මහා විද්‍යාලය මිනුවන්ගොඩ 159 33 ජනාධිපතිවිද්‍යාලය කෝට්ටේ 159 34 ශාන්තමරියා මහා විද්‍යාලය හලාවත 152 2014 වර්ෂයේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව පරීක්ෂණය කඩඉම් ලකුණුසිංහල මාධ්‍ය බාලිකාපාසල් අනු අංකය පාසල ලිපිනය කඩඉම් ලකුණු 1 විශාඛාවිද්‍යාලය වජිර පාර, කොළඹ 05 185 2 මහාමායාබාලිකා විද්‍යාලය මහනුවර 183 3 දේවිබාලිකා විද්‍යාලය කොළඹ 08 182 4 මලියදේවබාලිකා විද්‍යාලය කුරුණෑගල 182 5 සවුත්ලන්ඩ්විද්‍යාලය ගාල්ල 182 6 ශුද්ධ වුපවුලේ බාලිකා විද්‍යාලය කුරුණෑගල 180 7 සිරිමාවෝබණ්ඩාරනායක බාලිකා විද්‍යාලය කොළඹ 07 180 8 රත්නාවලීබාලිකා විද්‍යාලය ගම්පහ 179 9 අනුලාවිද්‍යාලය නුගේගොඩ 178 10 උසස්බාලිකා විද්‍යාලය මහනුවර 178 11 සංඝමිත්තාබාලිකා විද්‍යාලය ගාල්ල 178 12 සුජාතාවිද්‍යාලය මාතර 178 13 ශාන්තපාවුළු බාලිකා විද්‍යාලය කොළඹ 05 176 14 යශෝධරාදේවි බාලිකා මහා විද්‍යාලය ගම්පහ 176 15 ෆර්ගසන්උසස් බාලිකා විද්‍යාලය රත්නපුර 175 16 ශාන්තජෝශප් බාලිකා මහා විද්‍යාලය කෑගල්ල 175 17 විහාරමහාදේවිබාලිකා විද්‍යාලය කිරිබත්ගොඩ 175 18 පුෂ්පදානබාලිකා විද්‍යාලය මහනුවර 174 19 ශුද්ධ වුපවුලේ බාලිකා මහා විද්‍යාලය වෙන්නප්පුව 173 20 කෑගලුබාලිකා විද්‍යාලය කෑගල්ල 173 21 ශාන්තජෝශප් බාලිකා විද්‍යාලය නුගේගොඩ 173 22 ශාන්තතෝමස් උසස් බාලිකා විද්‍යාලය මාතර 173 23 ස්වර්ණමාලිබාලිකා විද්‍යාලය මහනුවර 172 24 ගෝතමීබාලිකා විද්‍යාලය කොළඹ 10 171 25 සමුද්‍රදේවිබාලිකා විද්‍යාලය නුගේගොඩ 171 26 විශාඛාබාලිකා විද්‍යාලය මාකොළ 171 27 පානදුරබාලිකා මහා විද්‍යාලය පානදුර 170 28 ශ්‍රීසංඝමිත්තා බාලිකා ජාතික පාසල මාතලේ 170 29 විහාරමහාදේවිබාලිකා විද්‍යාලය මහනුවර 170 30 ආනන්දබාලිකා විද්‍යාලය කොළඹ 10 169 31 රිපන්බාලිකා විද්‍යාලය ගාල්ල 169 32 ශ්‍රීසුමංගල බාලිකා මහා විද්‍යාලය පානදුර 169 33 හේමමාලිබාලිකා මහා විද්‍යාලය මහනුවර 168 34 ශ්‍රී ලංකාසිංගප්පූරු මිත්‍රත්ව පාසල වීරකැටිය 168 35 ස්වර්ණපාලිබාලිකා මහා විද්‍යාලය අනුරාධපුර 167 36 සීතාදේවිබාලිකා විද්‍යාලය මහනුවර 167 37 යශෝධරා බාලිකා විද්‍යාලය කොළඹ 08 167 38 වේල්ස්කුමරි විද්‍යාලය මොරටුව 166 39 සුමනබාලිකා විද්‍යාලය රත්නපුර 166 40 ක්‍රිස්තුදේවබාලිකා විද්‍යාලය බද්දේගම 165 41 කළුතරබාලිකා මහා විද්‍යාලය දකුණුකළුතර 165 42 නිව්ස්ටඩ්බාලිකා විද්‍යාලය මීගමුව 165 43 නාලන්දබාලිකා මහා විද්‍යාලය මිනුවන්ගොඩ 163 44 ශාන්තජෝශප් බාලිකා මහා විද්‍යාලය ගම්පොළ 163 45 තංගල්ලබාලිකා මහා විද්‍යාලය තංගල්ල 163 46 විශාඛාබාලිකා මහා විද්‍යාලය බණ්ඩාරවෙල 163 47 ශ්‍රීරාහුල බාලිකා මහා විද්‍යාලය මාලබේ 162 48 අගමැතිබාලිකා මහාවිද්‍යාලය පානදුර 161 49 ප්‍රජාපතිගෝතමී බාලිකා විද්‍යාලය අම්බලන්ගොඩ 161 50 සංඝමිත්තාබාලිකා විද්‍යාලය කිරිඳිවැල 161 51 කුඩාකුසුම්බාලිකා මහාවිද්‍යාලය බණ්ඩාරවෙල 160 52 ශුද්ධ වූපවුලේ බාලිකා මහාවිද්‍යාලය මාරවිල 160 53 ආනන්දබාලිකා මහාවිද්‍යාලය කොට්ටේ 159 54 යශෝධරාරජයේ විද්‍යාලය බිබිලේ 158 55 සුරදූතබාලිකා විද්‍යාලය කුලියාපිටිය 157 56 ප්‍රජාපතීබාලිකා මහා විද්‍යාලය හොරණ 155 57 පුවක්දණ්ඩාවධම්මපාල බාලිකා මහා විද්‍යාලය බෙලිඅත්ත 155 58 විශාකාඋසස් බාලිකා විද්‍යාලය බදුල්ල 152



පාර්ලිමේන්තුව යළිත් කල්තබයි

පාර්ලිමේන්තුව අද දිනයේ දෙවන වරටත් නැවත වතාවක් විනාඩි 10ට කල්තැබීමට කතානායක චමල් රාජපක්ෂ මහතා තීරණය කර තිබේ.

අගවිනිසුරු තනතුර සම්බන්ධයෙන් මතුව ඇති කතා බහ පාර්ලිමේන්තුව තුළ උණුසුම් වීම මීට හේතුවය.


අද දිනයේ පාර්ලිමේන්තුව රැස්වීමෙන් පසුව අගමැතිවරයා ඒ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශ කළේය.


ඒ සමග විපක්ෂයේ මන්ත්‍රීන් කෑ කෝ ගැසීමත් සමග ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීන් ද කෑ කෝ ගැසීම නිසා ඇති වූ උණුසුම් තත්ත්වයත් සමග පාර්ලිමේන්තුවේ කටයුතු විනාඩි 20ට අත්හිටුවා කතානායකවරයා පක්ෂ නායක රැස්වීමක් කැඳවනු ලදී.


පක්ෂ නායක රැස්වීමෙන් පසුවද මේ සම්බන්ධයෙන් විවාදයක් ඉල්ලා පාර්ලිමේන්තුව තුළ ඇති වූ උණුසුම් තත්ත්වයත් සමග යළිත් වරක් රැස්වීම විනාඩි 10ට කල්තැබීමට කතානායකවරයා තීරණය කළේය.



අතුරු අය වැය සුබවාදීයි - පෞද්ගලික අංශයට පඩි වැඩි කළ හැකි ක්‍රම 2ක් තියෙනවා

වත්මන් ආණ්ඩුව විසින් ඉදිරිපත් කළ අතුරු අයවැය රටේ ඇතිවූ දේශපාලන වෙනසේ ප‍්‍රතිඵලයක් බවද, මහින්ද රාජපක්ෂ මහතා ජයග‍්‍රහණය කළා නම් මේ ආකාරයේ අතුරු අයවැයක් ඉදිරිපත් නොවන බවද ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

අද (30) බත්තරමුල්ල, පැලවත්ත ජ.වි.පෙ. ප‍්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදී ජ.වි.පෙ. ප‍්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා මේ බව පැවසීය.


එම මාධ්‍ය හමුවේදී විජිත හේරත් මහතා දැක්වූ අදහස් පහත පරිදිය.


වත්මන් ආණ්ඩුව විසින් ඉදිරිපත් කළ අතුරු අයවැය රටේ ඇතිවූ දේශපාලන වෙනසේ ප‍්‍රතිඵලයක්. මහින්ද රාජපක්ෂ පසුගිය ජනාධිපතිවරණයෙන් ජයග‍්‍රහණය කළා නම් මේ ආකාරයේ අතුරු අයවැයක් ඉදිරිපත් වන්නේ නැහැ.


කාලයක් තිස්සේ රටේ ජනතාවගේ බලාපොරොත්තුවක් වගේම විශාල ඉල්ලීමක් තිබුණා ජනතා සහන ලබාගැනීම වෙනුවෙන්. වැඩකරන ජනතාවගේ වැටුප් වැඩිකිරීමේ සටන් කි‍්‍රයාමාර්ග උත්සන්න වුණා. වැඩකරන ජනතාව වැඩිවන ජීවන වියදමට සරිලන වැටුප් වැඩිවීමක් ඉල්ලා සිටියා. ඒවගේම ජනතාව මත පටවා තිබෙන අසීමිත බදු බර නිසා ජනතාව ඉතා අසීරු තත්ත්වයක ජීවත් වුණා.


එම බදුබර අඩුකරන්න කියලා විශාල අරගලයක් තිබුණා. එනිසා තමයි මහින්ද රාජපක්ෂ පාලනය පරාජය කරන්න ජනතාව පෙරට එන්නේ. බදු බර වැඩිවීමෙන් ජීවන වියදම ඉහළ යාමෙන් බරපතළ ආර්ථික පීඩනයකට ලක්වී සිටින ජනතාව වෙනසක් බලාපොරොත්තු වුණා. සහන බලාපොරොත්තු වුණා. ඒ අරගලයේ ප‍්‍රතිඵලයක් ලෙස තමයි මේ ජනතා සහන ලැබී තිබෙන්නේ. ඒ නිසා මෙම අතුරු අයවැය දෙස අපි බලන්නේ සුබවාදීවයි. ජනතාව මත එල්ලවී තිබූ පීඩනයට යම් ප‍්‍රමාණයක සහනයක් ලැබී තිබෙනවා. මීටත් වඩා සහන ජනතා බලාපොරොත්තු වෙනවා. නමුත් ලැබී තිබෙන සහන පිළිබඳව අපි වගේම ජනතාවත් සතුටු වෙනවා.


පසුගිය මැතිවරණ සමයේ ජනතා සහන ප‍්‍රමුඛතම ඉල්ලීමක් වුණා. මැතිවරණයෙන් පසු ජනතා විමුක්ති පෙරමුණ යෝජනා කළ ජාතික විධායක සභාවේ අවධානයට ලක්වූ කරුණු පහෙන් එක කරුණක් වුණේ ජනතා සහන ලබාදීමයි. ජාතික විධායක සභාවට ජනතා විමුක්ති පෙරමුණ සහභාගීවූ පළමු අවස්ථාවේදීම ජනතා සහන පිළිබඳව අදහසක් තිබුණා. මෙම ජනතා සහන ලැබී තිබෙන්නේ දින 100යේ සාර්ථකත්වයත් සමගයි.


කෙටිකාලීන සහන ලබාදී තිබුණත් දිගුකාලීනව ජනතාවට සහන ලබාදීම සඳහා දැක්මක් සහිත දිගුකාලීන ආර්ථික ක‍්‍රමවේදයක් ශක්තිමත් කළ යුතුයි. එවැනි දැක්මක් සහ වැඩපිළිවෙළක් තිබුණොත් පමණයි දිගුකාලීන සහන ලබාගත හැකි වන්නේ. ලෝක වෙළඳපොළේ තෙල් මිල අඩුවීම නිසා, එයින් වැඩි පිරිසකට සහන ලැබී තිබෙනවා.


ලෝක වෙළඳපොළේ මිල අඩුවීම හැමදාම තිබෙන එකක් නොවෙයි. ඒ නිසා දිගුකාලීන ආර්ථික වැඩපිළිවෙළක් ගොඩනැගීමෙන් පමණයි දිගුකාලීනව ජනතා සහන ලබාගත හැකි වනසේ තෙල් මිල පාලනය කරගත හැකි වන්නේ. රටේ නිෂ්පාදනය වැඩි කරලා, එයින් ලැබෙන ආදායමෙන් ජනතාවට සහන ලබාදිය හැකියි. කෙටිකාලීනව ලබාදී තිබෙන සහන සතුටින් බාරගන්න අතරම එම සහන දිගුකාලීන සහනයන් බවට පත්කර ගැනීම සඳහා දිගුකාලීන දැක්මක් සහිත වැඩපිළිවෙළකට ගමන් කළ යුතුයි.


ජනතා විමුක්ති පෙරමුණේ අපි මැදිහත් වෙන්නේ එවැනි දිගුකාලීන වැඩපිළිවෙළක් සාර්ථක කර ගැනීම සඳහායි. දින 100යේ වැඩපිළිවෙළින් පසුව අපේ‍්‍රල් 23දා මෙම පාර්ලිමේන්තුව විසුරුවා හරිනවා. එම මැතිවරණයේදී දිගුකාලීන වැඩපිළිවෙළකට ගමන් කළ හැකි පරිදි අලූත් දේශපාලන වෙනසක් ඇති කළ යුතුයි. ඒ සඳහා ජනතාව දැනුවත්ව සංවිධානය විය යුතුයි.


අතුරු අයවැයෙන් ලබාදී ඇති කැපී පෙනෙන සහනයන් අතර රජයේ සේවකයින්ගේ වැටුප 10,000ක් දක්වා වැඩිකිරීමට යෝජනා කර තිබෙනවා. එයින් 5000ක් පෙබරවාරි මාසයේ සිට ලබා දෙනවා. ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය පසුගිය වසර කීපය තුළ රජයේ සේවකයින්ගේ වැටුප 10,000කින් වැඩිකළ යුතු බවට විශාල අරගලයක් ගෙන ගියා. වැඩබිම් තුළ සටන් කළා. වැඩවර්ජන කළා. ඒ සටන් පාඨය අනුව තමයි මෙම වැටුප් වැඩිවීම ලැබී තිබෙන්නේ.


ඒවගේම ජනතා විමුක්ති පෙරමුණත් පසුගිය කාලය පුරා ගම්මට්ටමේ පවත්වපු කුඩා රැස්වීම්වල සිට විශාල ජන රැලි දක්වා මහින්ද රාජපක්ෂ මහතාගේ අසීමිත, නාස්තිකාර වියදම් ගැන විවේචන එල්ල කළා. සමහරු ඒ පිළිබඳව කතා කරන්න බියවෙලා සිටිද්දී, අපි ඒ ගැන නොබියව විවේචන එල්ල කළා. ඒ විවේචනවල ප‍්‍රතිඵල අනුව තමයි මේ අතුරු අයවැයෙන් ජනාධිපතිවරයාගේ වියදම් කපා හැරලා නාස්තිකාර වියදම් අඩුකරලා තිබෙන්නේ.


ඒවගේම මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින් 2013 අග භාගයේදී විවාහ ගාස්තු රුපියල් 5000දක්වා වැඩි කළා. මේ නිසා තරුණ තරුණියන් විශාල පීඩනයකට ලක්වෙලා සිටියා. මේ සම්බන්ධයෙන්ද ප‍්‍රබල විවේචනයක් ගොඩනැගුවේ ජනතා විමුක්ති පෙරමුණයි. පසුගිය ජනාධිපතිවරණ සමයේ ජනතා විමුක්ති පෙරමුණ විද්‍යුත් මාධ්‍යවල පළකළ දැන්වීමකත් විවාහ ගාස්තු පිළිබඳ විවේචන ඇතුළත්වී තිබුණේ එය තරුණ තරුණියන්ට විශාල ගැටලූවක් වී තිබුණ නිසයි. එහි ප‍්‍රතිඵලයක් ලෙස අද රුපියල් 5000හේ විවාහ ගාස්තු රුපියල් 1000දක්වා අඩුකර ගැනීමට හැකිවී තිබෙනවා.


ඒවගේම පසුගිය කාලය පුරා කැසිනෝ සහ එතනෝල් ජාවාරම් පිළිබඳව ප‍්‍රබල විවේචනයක් එල්ල කළේ ජනතා විමුක්ති පෙරමුණයි. මහාපරිමාණ එතනෝල් ජාවාරම් පිළිබඳව කරුණු සහිතව රටට හෙළිදරව් කළේ අපියි. හොර අරක්කු ජාවාරම්වලින් රජයට අහිමිවන බදු මුදල් ගණනය කර පෙන්නුවේ අපි. එහි ප‍්‍රතිඵලයක් ලෙස අරක්කු නිෂ්පාදකයින්ට වසරකට මිලියන 200ක බද්දක් නියමකොට තිබෙනවා.


ඒවගේම කැසිනෝ සමාජයට මහා පිළිලයක් වී තිබෙනවා. මහින්ද රාජපක්ෂගේ හිතවතුන් අමාත්‍යාංශ ලේකම්වරු පවා කැසිනෝ අයිතිකාරයන් වී සිටියා. එම ආයතනවලට රුපියල් මිලියන 1000ක එක් වරක් අයකරන බද්දක් නියම කර තිබෙනවා. කැසිනෝ මුළුමනින්ම නැවැත්වීමට නොහැකි වුණත් යම් තරමකින් අඩු කරන්න මෙය ඉවහල් වී තිබෙනවා. ඒවගේම ආණ්ඩුව විසින් මෙම එක්වරක් පමණක් අයකරන බද්ද පිළිබඳව පැහැදිලි කිරීමක් කළ යුතුව තිබෙනවා. මොකද එම බද්ද ලබාගැනිමෙන් පසුව රජයට අයවිය යුතු වාර්ෂික බදු ඇතුළු අනෙකුත් බදු අයකර ගන්නවාද නැද්ද යන්න පිළිබඳව පැහැදිලිතාවයක් නැහැ.


ඉන්ධන මිල අඩුවීමත් සමග භාණ්ඩ විශාල ප‍්‍රමාණයක මිල අඩුවී තිබෙනවා. ඒ වගේම අතුරු අයවැයෙන් භාණ්ඩවලට පනවා තිබූ අධික බදු ඉවත්කර තිබෙනවා. පසුගිය රජය විසින් කොත්තමල්ලිවලට රුපියල් 202ක බද්දක් පනවා තිබෙන අවස්ථාවේදී ජවිපෙ තමයි ඒ පිළිබඳව ජනතාව දැනුවත් කළේ.


මහින්ද රාජපක්ෂ ආණ්ඩුව උණට හෙම්බිරිස්සාවට බොන කොත්තමල්ලිවලටත් අසාධාරණ ලෙස බදු ගැහුවා. එම බද්ද රුපියල් 50 දක්වා අඩුකර තිබෙනවා. සමහරු කියනවා මේ ආකාරයෙන් බදු අඩුකළාම දේශීය ගොවියන්ට හානියක් සිදුවෙනවා කියලා. එය පදනම් විරහිත තර්කයක්. දේශීය ගොවියන් දිරි ගැන්වීමට නම් ඔවුන් කරන නිෂ්පාදනයේ පිරිවැය අඩු කළ යුතුයි. ඒ අනුව තමයි නිෂ්පාදකයාට තම නිෂ්පාදනයට ලාභයක් ලැබෙන්නේ.


ඒ වගේම අලවලට, ලූනුවලට, කිරිවලට සහතික මිලක් ලබාදීමෙන් ගොවියා ශක්තිමත් කළ හැකිය. රජයේ සේවකයින්ගේ වැටුප් වැඩිවීමට ආණ්ඩුව මැදිහත්වීම පිළිබඳව අගය කරන අතරම, පෞද්ගලික සේවකයින්ගේ වැටුප පිළිබඳව විවේචනයක් තිබෙනවා. මුදල් ඇමතිවරයා පෞද්ගලික අංශයේ වැටුප් 2500කින් වැඩිකරන්න කියලා ඉල්ලා සිටියා.


අයවැයෙන් පෞද්ගලික අංශයට වැටුප් වැඩිකිරීම සඳහා මුදල් වෙන්කළ නොහැකියි. නමුත් ඒ සඳහා නීති සම්පාදනය කළ හැකියි. 2005 අපේ මැදිහත්වීමත් සමග පෞද්ගලික අංශයට රුපියල් 1000කින් වැටුප් වැඩිවීමක් ලබාදිය හැකි වුණා. ඒ 2005/36 පනත සම්මත කිරීමෙන් රුපියල් 1000 වැටුප් වැඩිවීම නීතියක් බවට පත් කළ නිසයි.


ඒ නිසා මෙම 2500 වැටුප් වැඩිවීම නීතියක් බවට පත්කිරීමට කළ හැකි කි‍්‍රයාමාර්ග දෙකක් තිබෙනවා. එකක් තමයි 2005/36 පනතට සංශෝධනයක් ගේන එක. නැතිනම් 2500 වැටුප් වැඩිවීමක් පෞද්ගලික අංශයට ලබාදිය යුතු බවට නව පනතක් කැබිනට් මණ්ඩලයේ සම්මත කරන එක.


මුදල් ඇමතිවරයාගේ ඉල්ලීමට අනුව වැටුප් වැඩිවීමක් ලබාදීමට ව්‍යාපාරිකයින් පෙළඹෙන්නේ නැහැ. එනිසා එය නීතියක් බවට පත්කළ යුතුයි. විශ‍්‍රාමිකයින්ට රුපියල් 1000ක දීමනාවක් වැඩිකර තිබුණත් එය අපේ‍්‍රල් මාසය වනතෙක් කල්දමා තිබෙනවා. ඒ පිළිබඳව ආණ්ඩුව නැවත සලකා බැලිය යුතුයි. රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිවීමට සමගාමීව ලබන පෙබරවාරිවල එම දීමනාව විශ‍්‍රාමිකයින්ට ලබාදිය යුතුයි.


මෙම ජනතා සහනවලට සමගාමීව අලූතෙන් බදු කීපයක් ආණ්ඩුව හඳුන්වා දී තිබෙනවා. මන්දිර බද්ද එසේ හඳුන්වා දුන් අලූත් බද්දක්. වර්ග අඩි 5000ට වැඩි හෝ මිලියන 100ට වැඩිවියදමක් දරා ඇති නිවාසවලට මෙම මන්දිර බද්ද ගෙවිය යුතුයි. ඇත්තටම මෙය හොඳ තීරණයක්. මුදල් ඇමති රවි කරුණානායකගේ නිවසටත් මේ බද්ද ගෙවන්න සිදුවෙයි. මෙම බදුවලින් ලබාගන්නා මුදල්වලින් ජනතාවට සහන ලබාදිය යුතුයි.


මෙම අතුරු අයවැයේ සාධනීය කරුණු වගේම වෙනස් විය යුතුදේත් තිබෙනවා. පසුගිය ජනාධිපතිවරණ සමයේ මෛතී‍්‍රපාල සිරිසේන මහත්තයා කොන්ත‍්‍රාත් සේවකයින්ට පොරොන්දු වුණා ඔවුන් ස්ථිර සේවයේ පිහිටුවනවා කියලා. ශී‍්‍ර ලංකා ටෙලිකොම් සමාගමේ එවැනි කොන්ත‍්‍රාත් සේවකයින් විශාල ප‍්‍රමාණයක් ඉන්නවා. විදුලි බලමණ්ඩලයේ පමණක් දොළොස්දාහකට අධික ප‍්‍රමාණයක් සේවය කරනවා. සාමාන්‍ය රටේ නීතියට අනුව දින 180කට වැඩි සියලූ සේවකයින්ට ස්ථිර පත්වීම් ලබාදිය යුතුයි.


නමුත් මේ අයවැයෙන් සඳහන් කර තිබෙන්නේ වසර 07ක් ඉක්මවූ කොන්ත‍්‍රාත් සේවකයින් ස්ථීර කරන බවටයි. එය දැනට පවතින නීතියට පටහැනි දෙයක්. එය සාධාරණ නැහැ. එනිසා අපි කියන්නේ ජනාධිපතිවරණයේදී දුන් පොරොන්දු ඉටුකරන ලෙසයි.


ආණ්ඩුව ලබාදුන් මේ ජනතා සහන පිළිබඳව අපි සුබවාදීව දකිනවා. එම ජනතා සහන ලැබුණේ ජනතා අරගලයන්ගේ ප‍්‍රතිඵලයක් ලෙසයි. ජනතා ඉල්ලීම් තමයි සහන බවට පත්වුණේ. එම කෙටිකාලීන සහන දිගුකාලීන සහන බවට පත්කර ගන්න ශක්තිමත් නිවැරදි දැක්මක් සහිත ආර්ථිකයක් ගොඩනගා ගත යුතුයි. ඒ සඳහා ජනතාවට ඉදිරියට පැමිණිය යුතු බව අපගේ හැඟීමයි.


අගවිනිසුරුවරයා පත්කිරීමත්, ඉවත්කිරීමත් පිළිබඳව ආන්දෝලනයක් මතුවී තිබෙනවා. ශිරානි බණ්ඩාරනායක අගවිනිසුරුවරිය ඉවත් කළේ නිවැරදි ක‍්‍රමවේදයකට අනුව නොවේ. ඇයට එරෙහිව චෝදනා සලකා බැලීමට පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවක් පත් කළා. එහි අනුපාතය වූයේත් 7 ට 4යි. එය ද ප‍්‍රජාතන්ත‍්‍රවාදයට පටහැනියි. ඒවාගේම ඇයට එල්ල කළේ බොරු චෝදනා. ඒවගේම ඇයට එරෙහිව චෝදනා විමර්ශනය කිරීමට පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවක් පත්කළත් ඇය ඉවත්කිරීමට පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙනාවේ නැහැ.


ඒ අනුව තමයි වර්තමාන ජනාධිපතිවරයා තීරණය කළේ, ඇයගේ ඉවත් කිරීම නීතියට පටහැනියි කියලා. ඒ අනුව ශිරාණී බණ්ඩාරනායක තවදුරටත් ධුරයේ කටයුතු කරන බව සලකා ඇය සේවයේ වැඩ ආරම්භ කළා. ඒවගේම මොහාන් පීරිස්ගේ පත්වීමත් නීති විරෝධියි. ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධියි. ශිරාණි බණ්ඩාරනායක ඉවත් කිරීමේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ කි‍්‍රයාවලිය තමයි නීතියට පටහැනියි. ඇය ඉවත්කළ ආකාරය පිළිබඳව රටේ ජනතාවට අමතක නැහැ. මහින්ද රාජපක්ෂලාගේ මැරයෝ ශ්‍රේෂ්ඨාධිකරණය වැටලූවා. ඒවා ජනතාවට අමතක නැහැ.


ඒවගේම ශිරාණි බණ්ඩාරනායක මහත්මිය අගවිනිසුරු ධුරයේ තවදුරටත් රැඳී නොසිට විශ‍්‍රාම ගිය එක සාධනීය දෙයක්. මොකද ඇය ඉදිරියටත් නඩු තීන්දු ලබාදෙන්න මැදිහත් වුවහොත් ඇය පක්ෂග‍්‍රාහී යැයි රටතුළ ගැටලූකාරී තත්ත්වයක් මතුවීමේ ඉඩක් පවතිනවා. එනිසා ඇය විශ‍්‍රාම යෑම සඳහා ගත් තීරණය නීතියේ ස්වාධීනත්වයට සුභවාදියි. ඒ අනුව ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහළම විනිසුරුවරයා නව අගවිනිසුරු වශයෙන් පත්වී තිබෙනවා. එය නීතියේ ආධිපත්‍යයට වැදගත් දෙයක්. ඒවගේම එය ජනතාව විසින් ඉල්ලා සිටි දෙයක්.


මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු.


ජනතා විමුක්ති පෙරමුණ ජාතික විධායක සභාව හරහා දින 100 වැඩපිළිවෙළට සම්බන්ධ වෙනවා. නමුත් අපි ආණ්ඩුවට එකතු වෙලා නැහැ. විපක්ෂයේ සිට විවේචනාත්මකව සහාය ලබාදෙනවා. එනිසා මෙම වැඩපිළිවෙළේ සුබ අසුභදේවල් ඒ ආකාරයෙන්ම අපි දකිනවා. හරිනම් හරි කියන්නත් වැරදිනම් වැරදි කියන්නත් අපිට හැකියාව තිබෙනවා. එනිසා අපේ දේශපාලන ස්ථාවරය පැහැදිලියි. එය වෙනස් වෙලා නැහැ.


මේ අයවැයෙන් සහන ලබාදෙන ආකාරයටම රජයට ආදායමකුත් ලැබෙනවා. ජනාධිපති වැය ශීර්ෂය අඩුකිරීමෙන් රජයේ අමාත්‍යාංශවල අනවශ්‍ය වියදම් නතර කිරීමෙන් කැසිනෝ එතනෝල් මන්දිර බදු වැනි බදු ආදායම්වලින් රජයට ආදායමක් ලැබෙනවා. නමුත් මේවා කෙටිකාලීනයි. දිගුකාලීන ආදායම් ලබා ගැනීම සඳහා මේ අයවැයේ වැඩපිළවෙළක් නැහැ. මෙම ජනතා සහන දිගින් දිගට ඉදිරියට ගෙනයන ආකාරය පිළිබඳව වැඩපිළවෙළක් මේ අයවැයේ සඳහන් වෙලා නැහැ.


පෞද්ගලික අංශයේ සහ රාජ්‍ය අංශයේ සේවක වැටුප්වල විශාල පරතරයක් තිබෙනවා. ඒ වගේම රාජ්‍ය සේවයේ වැටුප් විශමතාවයත් බරපතළයි. වැඩකරන ජනතාවගේ පැත්තෙන් විශාල ඉල්ලූමක් තිබෙනවා මේ වැටුප් විෂමතාවය ඉවත් කරන ලෙස. නමුත් පැවති එක රජයක්වත් එය ඉටුකර දීමට සමත්වෙලා නැහැ.


ජනාධිපතිවරණයට දින දෙකකට කලින් විදුලි බලමණ්ඩලයේ එක් පිරිසකට විශාල ලෙස වැටුප් වැඩිකිරීම සඳහා කැබිනට් පති‍්‍රකාවක් ඉදිරිපත් වෙලා තිබුණා. එය නිවැරදි කරන්න වත්මන් ඇමති චම්පික ඇමති තවමත් සමත්වෙලා නැහැ. එය කැබිනට් මණ්ඩලයේ සම්මත වුවහොත් විශාල ගැටලූවක් බවට පත්වෙනවා. එනිසා ආණ්ඩුව වැටුප් පරතරය සාධාරණ ලෙස යම් පදනමක පිහිටා අවම කළ යුතුයි. නමුත් දින 100ක් ඇතුළත එවැනි පියවරක් ගත හැකි යැයි අපි විශ්වාස කරන්නේ නැහැ. ඊළඟ මැතිවරණයෙන් බලයට පත්වෙන නව ආණ්ඩුවට එහි ප‍්‍රධාන වගකීමක් තිබෙනවා.


මේ තාවකාලික සහන ලැබී තිබෙන්නේ දේශපාලන බලපෙරළිය නිසයි. එක් එක් අවස්ථාවල සිදුවෙන දේශපාලන බලපෙරළි නිසා ජනතාවට කෙටිකාලීන සහන ලබාගත හැකි වුවත් ඒවා දිගුකාලීන ජයග‍්‍රහණ බවට පත්වෙන්නේ නැහැ. එනිසා දිගුකාලීන ජයග‍්‍රහණ අත්පත් කර ගැනීමට මේ දින 100 තුළ විධායකයේ වෙනස්වීම් ව්‍යවස්ථාදායක වෙනස්වීම් වැනි අත්‍යාවශ්‍ය ප‍්‍රතිසංස්කරණ ඉටුකර ගත යුතුයි. දේශපාලන බලපෙරළිය නිසා ඇතිවූ මෙම වැටුප් වැඩිකිරීම් වැනි ජනතා සහන නැවත ආපසු හරවන්න බැහැ. එවිට ජනතාව පාරට බසී.


ජී.එස්.පී. ප්ලස් බදු සහන නැවත ලබාගැනීම සඳහා විදේශ ඇමැතිවරයා මේ වන විට කටයුතු කරමින් තිබෙන බවට වාර්තා වෙලා තිබෙනවා. ඒවගේම යුරෝපීය වෙළඳපොළට මාළු අපනයනය සම්බන්ධයෙන් ද සාකච්ඡාවක් තිබෙනවා. ජී.එස්.පී. සහනය ලබාගැනීම සඳහා රටේ යහපාලනයක් ඇති බව භාවිතාවෙන් ඔප්පු කරන්න ඕනෑ. අපේ රට තුළ ජාත්‍යන්තර කම්කරු නීති අනුගමනය කරන බවට ඔවුන්ට සහතික වෙන්න ඕනෑ. පසුගිය කාලය තුළ එම ජාත්‍යන්තර සම්මුතීන් උල්ලංඝණය කළ නිසා තමයි ජී.එස්.පී. සහනය අහිමි වුණේ. ජී.එස්.පී.සහනය නැවත ලැබෙනවා නම් ඒක අපේ රටට වාසියක්.


ජනතා විමුක්ති පෙරමුණ

2015.01.30



ශිරාණි ඉවත් කළ හැටි වැරදී - පාර්ලිමේන්තුව උණුසුම් - විනාඩි 20ට කල්දමයි

ශිරාණි බණ්ඩාරනායක මහත්මිය අගවිනිසුරු තනතුරින් ඉවත් කිරීමට අදාළව යොදාගත් ක්‍රමවේදය වැරදී බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

ශිරාණි බණ්ඩාරනායක මහත්මිය නැවත අගවිනිසුරු ධූරයේ පිහිටුවීමත් මොහාන් පීරිස් මහතා සම්බන්ධයෙන් නව රජය අනුගමනය කළ ක්‍රියාව සම්බන්ධයෙන් පක්ෂ නායක රැස්වීමක් හා පැහැදිලි කිරීමක් අවශ්‍ය බැව් විපක්ෂනායක නිමල් සිරිපාල ද සිල්වා මහතා දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා අගමැතිවරයාගෙන් ඊයේ ඉල්ලීමක් කළේය.


එහිදී අගමැතිවරයා කියා සිටියේ මේ ගැන තමන් ප්‍රකාශයක් කිරීමට බලාපොරොත්තු වන බවයි.


ඒ අනූව අගමැතිවරයා අද ඒ සම්බන්ධයෙන් අද විශේෂ ප්‍රකාශයක් කළ අතර ඒ සමග ඇති වූ උණුසුම් තත්ත්වයත් සමග පාර්ලිමේන්තුව විනාඩි 20ට කල්දැමීමට කතානායකවරයා තීරණය කර තිබේ.


විනාඩි 20න් පසුව පක්ෂනායක රැස්වීමක් කැඳවා ඇති බව අද දෙරණ වාර්තාකරු පැවසීය.



ඌවේ නව ඇමති මණ්ඩලය දිවුරයි

ඌව පළාත් සභාවේ නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දී තිබේ.

අද පෙරවරුවේ ඌව පළාත් ආණ්ඩුකාර නීතිඥ එම්. පී. ජයසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන් බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.


ඒ අනුව ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා මුදල් හා ක්‍රමසම්පාදන, නීතිය හා සාමය, අධ්‍යාපන, පළාත් පාලන, සමාජ, සුභසාධන, ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන, ප්‍රවාහන හා ඉදිකිරීම් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී තිබේ.


ආනන්ද කුමාරසිරි මහතා සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය, පරිවාස හා ළමා රක්ෂණ, වනිතා කටයුතු, විදුලිබල අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී ඇති බව සඳහන්ය.


රවී සමරවීර මහතා මාර්ග සංවර්ධන, නිවාස, ජල සම්පාදන, සමූපකාර, සත්ත්ව නිෂ්පාදන හා සංස්කෘතික අමාත්‍යවරයා ලෙසත්, අනුර විදානගමගේ මහතා කෘෂිකර්ම, වාරිමාර්ග, මිරිදිය ධීවර කර්මාන්ත, ඉඩම් හා සංචාරක අමාත්‍යවරයා ලෙසත් දිවුරුම් දී ඇත.


ක්‍රීඩා හා යෞවන කටයුතු, පේෂ කර්මාන්ත හා කුඩා කර්මාන්ත සහ වතු යටිතල පහසුකම් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී ඇත්තේ වඩිවේල් සුරේෂ් මහතාය.


ඌව පළාත් සභාවේ පසුගියදා සිදුවූ බලපෙරළියත් සමග නව ඇමති මණ්ඩලය මෙලෙස දිවුරුම් දී ඇත.



දුප්පතාගේ හිතවතාත් ගණන් බස්සයි

ත්‍රීවිල් ගාස්තු සියයට 10කින් හා පාසල් ළමුන් ප්‍රවාහනය කරන වාහනවල ගාස්තුව සියයට 5කින් ලබන පළමු වැනිදා සිට අඩුවන බව අභ්‍යන්තර ප්‍රවාහන ඇමති රංජිත් මද්දුම බණ්ඩාර මහතා කියයි.

පසුගියදා සිදුකළ ඉන්ධන මිල සංශෝධනයට අනූව ජනතාවට මෙම සහනය ලැබේ.


ඒ අනූව ලබන මස 1 වැනිදා සිට බස් ගාස්තුවද සියයට 9-10ත් අගයකින් අඩුවන බව ඇමතිවරයා පසුගියදා කියා සිටියේය.



වත්තල සභාපතිට ප්‍රහාරයක් - සභාපති ඇතුළු 4ක් රෝහලේ

වත්තල ප්‍රාදේශීය සභාවේ මාසික සභා රැස්වීම අතරතුර සභාපති ත්‍යාග රත්න අල්විස් මහතා එහි මන්ත්‍රීන් පිරිසකගේ ප්‍රහාරයකට ලක්ව තිබේ.

මේ වසරේ පළමු මාසික සභා රැස්වීම අද පෙරවරුවේ සභාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කර ඇත.


එම අවස්ථාවේදී ඇති වූ බහින් බස්වීමක් දුරදිග ගොස් මෙම පහරදීම සිදුව ඇති අතර සභාපතිවරයා බලහත්කාරයෙන් මාසික සභා රැස්වීමෙන් එළියට දමා ඇතැයිද පැවසේ.


මේ අතර ප්‍රහාරයෙන් පසු සභාපතිවරයා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව අප වාර්තාකරු පැවසීය.



පොලීසියේ 10,000ගේ ස්ථාන මාරු කල්යයි

2015.02.01 වැනිදා සිට ක්‍රියාත්මක වීමට තිබූ 10,000ට ආසන්න පොලිස් නිලධාරීන්ගේ ස්ථාන මාරුවීම් මැයි මස 01 වැනිදා දක්වා කල්දමා තිබේ.

ඒ අනූව එම ස්ථාන මාරුවීම් මැයි මස 1 වැනිදා සිට ක්‍රියාත්මක වන බව පොලිස් මූලස්ථානය නිවේදනය කරයි.



බැන් කී මූන් අපේක්ෂා දල්වයි

යුද්ධයේ අවසන් කාලයේ මෙරට සිදුවු බව කියන යුධ අපරාධ සම්බන්ධයෙන් වු දේශීය පරීක්ෂණයකට ශ්‍රී ලංකා රජයේ සහයෝගය අපේක්ෂා කරන බව එක්සත් ජාතීන්ගේ මහලේකම් බැන්කී මූන් පවසයි.

එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ මාධ්‍ය ප්‍රකාශක ස්ටෙපාන් ඩජ්රික් මේ බව සඳහන් කර ඇත.


යුධ අපරාධ සම්බන්ධයෙන් සිදුකරන්නා වු දේශීය පරීක්ෂණයක් සඳහා අවශ්‍ය වුවහොත් පමණක් විදේශීය විශේෂඥයින්ගේ සහය ලබාගන්නා බවට ශ්‍රී ලංකා රජය විසින් නිවේදනය කර තිබුණි.



බස් ගැටුමෙන් 31ට තුවාලයි

ඇල්පිටිය - පිටිගල ප්‍රධාන මාර්ගයේ කැටන්දොල ප්‍රදේශයේ දී සිදුවු බස් රථ අනතුරකින් පුද්ගලයින් 31 දෙනෙකු තුවාල ලබා තිබේ.

ඇල්පිටිය දෙස සිට පිටිගල දෙසට ධාවනය වු ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි පුද්ගලික බස් රථයක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.


තුවාලකරුවන් අතර කාන්තාවන් 17 දෙනෙකු වන බව සඳහන්ය.


සිද්ධිය සම්බන්ධයෙන් පිටිගල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.



යතුරු පැදි අනතුරු දෙකකින් තිදෙනෙක් මරුට

හොරණ - තල්ගහවිල මාර්ගයේ තක්ෂිලා උයන පැරකුම් මාවත ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.

තල්ගහවිල සිට හොරණ දෙසට ධාවනය වු යතුරුපැදියක් ලොරි රථයක පිටුපස ගැටීමෙන් අනතුර සිදුව ඇත.


අනතුරෙන් බරපතළ තුවාල ලැබු යතුරුපැදියේ ගමන්ගත් තරුණයෙකු සහ තරුණියක හොරණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.


මියගොස් ඇත්තේ 20 හැවිරිදි පොල්කටුව, හොරණ ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණයෙකු සහ 19 හැවිරිදි හොරණ ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණියකි.


අනතුරට සම්බන්ධ ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.


මේ අතර මහියංගනය ගිරිඳුරුකෝට්ටේ ප්‍රධාන මාර්ගයේ තුනේ කණුව ගඟේයාය හංදිය ප්‍රදේශයේ දී යතුරු පැදියක් ත්‍රිරෝද රථයක ගැටීමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.


මියගොස් ඇත්තේ 36 හැවිරිදි, යතුරු පැදියේ ගමන්ගත් බතලයාය ගිරිඳුරුකෝට්ටේ ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකි.


අනතුරට සම්බන්ධ ත්‍රිරෝද රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද මහියංගනය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.



අසල්වැසියා හත් හැවිරිදි දැරිය දූෂ්‍ය කරලා

වයස අවුරුදු 07 ක් වන බාල වයස්කාර දැරියකට බරපතළ ලිංගික ආපරාධයක් සිදු කළ බව කියන වයස අවුරුදු 19 ක් වන ධීවරයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව කල්පිටිය පොලීසිය කියයි.

ඊයේ (29)දහවල් මෙම අපරාධය සිදුවී ඇත.


අතවරයට ලක්ව ඇත්තේ කල්පිටිය- කුරිංඤංපිටිය පදිංචිව සිටින දැරියකි.


දැරිය තනිවම තම නිවසේ සිටින විට පැමිණ ඇති සැකකරු ඇයට අතවර කර පලා ගොස් ඇති බව පොලීසිය පවසයි.


තමන්ට සිදුවූ අපරාධය වැඩිමහල් සහෝදරිය නිවසට පැමිණි පසුව දැරිය විසින් පවසා ඇති අතර ඇය මේ බව තම මවට දැන්වීමෙන් පසුව සිද්ධිය පොලීසියට වාර්තා වී ඇති බව අප වාර්තාකරු පවසයි.


ඒ අනුව සැකකරුව අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කර ඇත.


අත්අඩංගුවට ගෙන ඇති සැකකරු අතවරයට පත් දැරිවියගේ අසල්වැසියෙකු බව පොලීසිය කියයි.


අතවරයට පත්ව ඇති දැරිවිය වෛද්‍ය ප්‍රතිකාර සඳහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇත.


සැකකරු පුත්තලම දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.


වැඩිදුර විමර්ශන කටයුතු සිදු කෙරේ.



ජයන්ත ධනපාල මානව හිමිකම් මහ කොමසාරිස්වරයාව හමුවෙයි

විදේශ කටයුතු පිළිබඳ ජ්‍යේෂ්ඨ උපදේශක ජයන්ත ධනපාල මහතා ජිනීවා නුවර සංචාරයක නිරත වී තිබේ.

එහිදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා වන සෙයඩ් අල් හුසේන් මහතා හමුවී සාකච්ඡා කර ඇති බව වාර්තා වෙයි.


නව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රතිපත්ති සහ ඔහුගේ දින සියය වැඩපිළිවෙළ පිළිබඳව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා සහ අනෙකුත් නිලධාරීන් දැනුවත් කිරීමක් සිදුකළ බව සඳහන්ය.



හෙට පාන් ගෙඩියේ මිල අඩුවෙයි

හෙට (30) මධ්‍යම රාත්‍රීයේ සිට ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 6න් අඩු කරන බව බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

ඒ අනුව බනිස් ,මාළු පාන් , කිඹුලා බනිස් ඇතුළු අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල ද ඉදිරි දින කිහිපය තුළ අඩු වන බව වාර්තා වෙයි.


අද මධ්‍යම රාත්‍රීයේ සිට තිරිඟු පිටි කිලෝ ග්‍රෑම් 1ක මිල රු. 12.50කින් අඩු කරන බව අතුරු අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසුවේය.



කුමාර් අත්අඩංගුවට ගනීද? - සිදුවන්නේ කුමක්ද?

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම් මහතා අද දින අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමේ උත්සාහයක් තිබුණු බව එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

එසේ වුවද දීර්ඝ ලෙස කළ කරුණු දැක්වීම් හමුවේ අද දිනයේ ඔහුගේ ප්‍රකාශයන් සටහන් කරගෙන එවන ලද බව ජයගොඩ මහතා සඳහන් කළේය.


එහෙත් හෙට දිනයේද යළි ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස කුමාර්ට දැනුම්දී ඇති බව හෙතෙම කියා සිටියේය.


කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අද දෙරණ කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පාලක ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා කියා සිටියේ කුමාර් ගුණරත්නම් මහතා ද්විත්ව පුරවැසිභාවය හිමි අයෙකු නොව ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය පමණක් හිමි පුද්ගලයෙකු බවයි.


සංචාරක වීසාවකින් මෙරටට පැමිණෙන විදේශීය පුද්ගලයෙකුට අදාළ සංචාරක වීසා කොන්දේසි වලට අනුව රට තුළ කළ හැකි දේ හා කළ නොහැකි දේ පවත්නා බවත්, මොහු ට එරෙහිව ලැබුණු පැමිණිලි කිහිපයකට අනුව ඒ පිළිබඳ මේවන විටත් පරීක්ෂණ සිදුකෙරෙන බව ඔහු පෙන්වාදුන්නේය.


කුමාර් ගුණරත්නම් මහතා විසින් ආගමන විගමන පනත උල්ලංඝණය කරමින් කටයුතු කර ඇත්ද යන්න පිළිබඳ මෙහිදී අවධානය යොමුකෙරෙන බවත්, යම් වරදක් සිදුකර ඇත්නම් ඔහුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බැවින් අධිකරණය විසින් ලබාදෙන දඬුවම පිළිබඳ තීරණය කරනු ඇති බව ඔහු අවධාරණය කළේය.



තෙවරප්පෙරුම යළි රිමාන්ඩ්

එක්සත් ජාතික පක්ෂයේ කළුතර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා ලබන මස 2 වෙනිදා දක්වා යළි රිමාන්ඩ් කර තිබේ.

සැකකරු මතුගම මහේස්ත‍්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම නියෝගය ලබාදී ඇත.


ප‍්‍රාදේශීය දේශපාලනඥයෙකු දණගස්වා කලහකාරී ලෙස හැසිරීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරයාට චෝදනා එල්ල විය.


මෙම චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින සෙසු සැකකරුවන් සිව්දෙනා ලබන මස 2 වෙනිදා හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට නියෝග කර ඇත.



අමෙරිකාවේ සහය ලබාදෙනවා

ශ්‍රී ලංකාව සහ අමෙරිකාව අතර පවතින සබඳතා ශක්තිමත් කිරීමට අමෙරිකානු රජයේ සහයෝගය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ අමෙරිකානු වැඩබලන තානාපති ඇන්ඩ්‍රෝ මාන් මහතා ප්‍රකාශ කර තිබේ.

ඇන්ඩ්‍රෝ මාන් මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මුණගැසුණු අවස්ථාවේ දී මේ බව සඳහන් කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.


ශ්‍රී ලංකාව අග්නිදිග ආසියාවේ ඉතාමත් ඉහළ සෞඛ්‍ය දර්ශකයන් ලබාගැනීමට සමත්වීම පිළිබඳව ද ඇන්ඩ්‍රෝ මාන් මහතා එහිදි සිය ප්‍රසාදය පළ කර තිබේ.


එමෙන්ම නව රජයට සුභාශිංසන එක්කළ වැඩබලන අමෙරිකානු තානාපතිවරයා දෙරට අතර දීර්ඝ කාලීන මිතුදමක් පවතින බවත්, එය තවදුරටත් ශක්තිමත් කිරීමට පියවර ගන්නා බවත්, ද එහිදි ප්‍රකාශ කළේය.


ශ්‍රී ලංකාව කලාපයේ සෙසු රටවලට වඩා සෞඛ්‍ය දර්ශකවලින් ඉදිරියෙන් සිටින්නේ නිදහසින් පසු බලයට පත් වු සෑම රජයක් විසින්ම ක්‍රියාත්මක කළ නිදහස් සෞඛ්‍ය සේවාව හේතුවෙන් බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා එහිදී පවසා ඇත.



රාජ්‍ය සේවකයින්ට 10,000ක්, ගෑස් 300කින් බහී, අධ්‍යාපනයට සියයට 6ක් ඇතුළු අතුරු වැයේ සහන මෙන්න

පොරොන්දු වූ පරිදි රාජ්‍ය සේවක වැටුප ලබන මාසයේ සිට රුපියල් 5000කින්ද ඉතිරි රුපියල් 5000 ලබන ජූනි මාසයේ සිට ද වැඩිකරන බව මුදල් ඇමති රවී කරුණානායක මහතා අද (29) පාර්ලිමේන්තුවේදී පැවසීය.

2015 නව අතුරු අය වැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.


නව රජයේ අතුරු අය වැය යෝජනා පහත පරිදිය.


දින 100 වැඩපිළිවෙළ යටතේ සහන ලබාදෙන බව පැවසුයේ අත්‍යවශ්‍ය භාණ්ඩ 10ක් වුවද නව රජය අත්‍යවශ්‍ය භාණ්ඩ 13ක මිල පහත හෙළීමට පියවර ගෙන ඇත.


ඒ අනූව සීනි කිලෝවක මිලද රුපියල් 10කින් අඩුවනු ඇත.


කිරිපිටි ග්‍රෑම් 400 පැකැට්ටුව රුපියල් 61කින් අඩුකරන බවද ඒ අනූව නව මිල රුපියල් 325ක් වේ.


රෝගීන් සඳහා ලබාදෙන සස්ටජන් කිරිපිටි මිල රුපියල් 100කින් අඩු වනු ඇත.


දේශීය කිරිපිටි කර්මාන්තය රැක ගන්නා බවද හෙතෙම කීවේය.


තිරිඟු පිටි ආනයන බද්ධ කිලෝවකට රුපියල් 10කින් අඩු කරන බවද ඒ අනූව පිටි කිලෝවක මිල රුපියල් 12.50කින් අඩුවනු ඇත.


පාන් ගෙඩියක මිලද රුපියල් 6කින් අඩුවේ.


මුං ඇට කිලෝවක මිල ද රුපියල් 40කින් අඩුවෙයි.


හාල් මැස්සන් කිලෝවකට පනවා ඇති රුපියල් 26 විශේෂ වෙළඳභාණ්ඩ බද්ද රුපියල් 11 දක්වා අඩු කෙරේ.


ටින් මාළු කිලෝවක් මත ආනයනය කරන විශේෂ වෙළඳභාණ්ඩ රුපියල් 102 සිට රුපියල් 50 දක්වා අඩු කිරීමට සැලසුම් කර ඇත.


කොත්තමල්ලි හා මිරිස් කුඩු සඳහා ද වෙළඳ භාණ්ඩ බදු ඉවත් කෙරේ.


එසේම කිලෝ ග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1896 සිට 1500 දක්වා රුපියල් 300කින් අද මැදියම් රැයේ සිට අඩුවෙයි.


තවද නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කර කරලීමටත්, සැමට අධ්‍යාපනයේ සම අවස්ථා සැලසීමටත් දල දේශීය නිෂ්පාදනයෙන් 6%ක් වෙන් කිරීමට තීරණය කර ඇත.


අධ්‍යාපනය සඳහා ලොව දියුණු රටවල් දල දේශීය නිෂ්පාදනයෙන් 5.3 ක් වැනි මුදලක්ද, ආසියානු රටවල් 2.9ක් වැනි මුදලක්ද වෙන් කරද්දී මෙතෙක් ශ්‍රී ලංකාවේ වෙන් කෙරුණේ 2%ක් වැනි අඩු මුදලකි.


ඉකුත් පාලන සමයේ විශ්ව විද්‍යාල ආචාර්යවරුන් විසින් ගෙන ගිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේද ප්‍රධාන සටන් පාඨයක් වූයේ රටේ අධ්‍යාපන ක්ෂේත්‍රයට දල දේශීය නිෂ්පාදනයෙන් 6%ක් වෙන්කරවා ගැනීමය.



තැබෑරුම් වලට රතු එළියක්

දිවයිනපුරා දැනට තැබෑරුම් 4321ක් ඇති බවත්, එම තැබෑරුම් වලින් එකවරම රුපියල් දෙලක්ෂ පන්දාහක් අය කිරීමට තීරණය කර ඇති බවත්, මුදල් ඇමති රවී කරුණානායක කියයි.

එසේ නොගෙවන අයගේ බලපත්‍රය අහෝසි කිරීමටත්, එම බලපත්‍රය වෙනත් කෙනෙකුට පැවරිය නොහැකි බවත්, මුදල් ඇමතිවරයා පවසයි.



අද මැදියම් රැයේ සිට ගෑස් 300කින් බහී - මිල අඩුවනු සෙසු භාණ්ඩ මෙන්න

දින 100 වැඩපිළිවෙළ යටතේ සහන ලබාදෙන බව පැවසුයේ අත්‍යවශ්‍ය භාණ්ඩ 10ක් වුවද නව රජය අත්‍යවශ්‍ය භාණ්ඩ 13ක මිල අඩුකරන බව මුදල් ඇමති රවී කරුණානායක මහතා කියයි.

ඇමතිවරයා ප්‍රකාශ කළ පරිදි මිල අඩු වන භාණ්ඩ පහත පරිදිය.


ඒ අනූව සීනි කිලෝවක මිලද රුපියල් 10කින් අඩුවනු ඇත.


කිරිපිටි ග්‍රෑම් 400 පැකැට්ටුව රුපියල් 61කින් අඩුකරන බවද ඒ අනූව නව මිල රුපියල් 325ක් වේ.


රෝගීන් සඳහා ලබාදෙන සස්ටජන් කිරිපිටි මිල රුපියල් 100කින් අඩු වනු ඇත.


දේශීය කිරිපිටි කර්මාන්තය රැක ගන්නා බවද හෙතෙම කීවේය.


තිරිඟු පිටි ආනයන බද්ධ කිලෝවකට රුපියල් 10කින් අඩු කරන බවද ඒ අනූව පිටි කිලෝවක මිල රුපියල් 12.50කින් අඩුවනු ඇත.


පාන් ගෙඩියක මිලද රුපියල් 6කින් අඩුවේ.


මුං ඇට කිලෝවක මිල ද රුපියල් 40කින් අඩුවෙයි.


හාල් මැස්සන් කිලෝවකට පනවා ඇති රුපියල් 26 විශේෂ වෙළඳභාණ්ඩ බද්ද රුපියල් 11 දක්වා අඩු කෙරේ.


ටින් මාළු කිලෝවක් මත ආනයනය කරන විශේෂ වෙළඳභාණ්ඩ රුපියල් 102 සිට රුපියල් 50 දක්වා අඩු කිරීමට සැලසුම් කර ඇත.


කොත්තමල්ලි හා මිරිස් කුඩු සඳහා ද වෙළඳ භාණ්ඩ බදු ඉවත් කෙරේ.


එසේම කිලෝ ග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1896 සිට 1500 දක්වා රුපියල් 300කින් අද මැදියම් රැයේ සිට අඩු වන බවද මුදල් ඇමතිවරයා කීවේය.



අධ්‍යාපන අයිතිය තහවුරු කරන්න 6%ක් වෙන්කරයි

නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කර කරලීමටත්, සැමට අධ්‍යාපනයේ සම අවස්ථා සැලසීමටත් දල දේශීය නිෂ්පාදනයෙන් 6%ක් වෙන් කිරීමට තීරණය කර ඇති බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

අද (29) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 2015 අතුරු අයවැය පනත් කෙටුම්පතින් එය යෝජනා කර ඇති බව හෙතෙම සඳහන් කළේය.


අධ්‍යාපනය සඳහා ලොව දියුණු රටවල් දල දේශීය නිෂ්පාදනයෙන් 5.3 ක් වැනි මුදලක්ද, ආසියානු රටවල් 2.9ක් වැනි මුදලක්ද වෙන් කරද්දී මෙතෙක් ශ්‍රී ලංකාවේ වෙන් කෙරුණේ 2%ක් වැනි අඩු මුදලක් පමණක් බව ඔහු කියා සිටියේය.


ඉකුත් පාලන සමයේ විශ්ව විද්‍යාල ආචාර්යවරුන් විසින් ගෙන ගිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේද ප්‍රධාන සටන් පාඨයක් වූයේ රටේ අධ්‍යාපන ක්ෂේත්‍රයට දල දේශීය නිෂ්පාදනයෙන් 6%ක් වෙන්කරවා ගැනීමය.



භූමිතෙල් අද සිට තවත් රුපියල් 6කින් අඩුවෙයි

භූමිතෙල් ලීටරයක මිල අද සිට තවත් රුපියල් 6කින් අඩුකරන බවද ඒ අනූව නව මිල රුපියල් 59ක් වන බවද මුදල් ඇමති රවී කරුණානායක මහතා පවසයි.

පසුගියදා භූමිතෙල් මිල රුපියල් 16කින් අඩු කෙරිණ.



පා.මන්ත්‍රීවරයෙකුගේ විමධ්‍යගත අරමුදල රු. මිලියන 10 දක්වා වැඩිකරයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට ලබාදෙන රුපියල් මිලියන 5ක විමධ්‍යගත අරමුදල රුපියල් මිලියන 10 දක්වා වැඩි කරන බවද මුදල් ඇමති රවී කරුණානායක මහතා පවසයි.

ඒ වෙනුවෙන් රුපියල් මිලියන 1120ක් වැඩිපුර වැය වන බවද, පක්ෂ විපක්ෂ බේදයකින් තොරව සියලුදෙනාට එය ලබාදෙන බවද, ඇමතිවරයා කියයි.



ගොවි ණය 50%කින් කපා හැරේ - වී කිලෝවට රුපියල් 50ක් - පොහොර සහනාධාරය දිගටම

ගොවින් විසින් ලබාගෙන ඇති රුපියල් ලක්ෂයකට වැඩි ණය වලින් සියයට 50ක් කපා හැරීමට යෝජනා කරන බවද මුදල් ඇමති රවී කරුණායක කියයි.

එසේම බෝග වගා කිහිපයකට සහතික මිලක් ලබාදීමට ද හෙතෙම යෝජනා කරයි


ඒ අනූව 2015 මහ කන්‍නයේ සිට වී කිලෝවකට රුපියල් 50ක සහතික මිලක්ද, අර්ථාපල් මිලදී ගැනීම සඳහා කිලෝවකට රුපියල් 80ක්ද, තේ කිලෝවක් සඳහා රුපියල් 80ක්ද, රබර් කිලෝවක් සඳහා රුපියල් 350ක්ද ගෙවීමට යෝජනා කරන බව හෙතෙම කියයි.


පොහොර සහනාධාරය දිගටම පවත්වාගෙන යන බව ද හෙතෙම කියයි.



ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතුවලට 15% පොලියක්

ජ්‍යෙෂ්ඨ පුරවැසියන් විසින් වාණිජ බැංකුවල පවත්වාගෙන යන රුපියල් මිලියනයක් වන ස්ථාවර තැන්පතු වලට සියයට 15ක ඉහළ පොලියක් ගෙවන බව ද මුදල් ඇමති රවී කරුණානායක කියයි.

නව අතුරු අය වැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් හෙතෙම මේ බව පැවසීය.



රජයේ සේවකයින්ගේ 5000 පෙබරවාරීයේ සිට ඉතිරි 5000 ජූනියේ සිට!

පොරොන්දු වූ පරිදි රාජ්‍ය සේවක වැටුප ලබන මාසයේ සිට රුපියල් 5000කින්ද ඉතිරි රුපියල් 5000 ලබන ජූනි මාසයේ සිට ද වැඩිකරන බව මුදල් ඇමති රවී කරුණානායක පාර්ලිමේන්තුවේදී පැවසීය.

එය පසුගිය 2014 වසරේ වැටුප් වැඩි කිරීම හා සැසඳීමේදී සියයට 47ක වැටුප් වැඩිවීමක් යැයිද ඒ මහතා කියා සිටි‍ෙය්ය.



ජනාධිපති කාර්යාලයේ පසුගිය වසර 6ක වියදම් මෙහෙමයි

ජනාධිපති කාර්යාලයේ පසුගිය වසරවල වියදම 2009දී රුපියල් කෝටි 634ක් බවද, 2010දී කෝටි 765ක් බවද, 2011දී රුපියල් කෝටි 5063ක් බවද, 2012දී රුපියල් කෝටි 5936ක් බවද, 2013දී රුපියල් කෝටි 8244ක් බවද, 2014දී රුපියල් කෝටි 10,497ක් බවද, 2015 දී වෙන්කර තිබූ මුදල රුපියල් කෝටි 9593 නව මෛත්‍රී රජය යටතේ රුපියල් කෝටි 256 දක්වා අඩු කිරීමට සැලසුම් කළ බව මුදල් ඇමති රවී කරුණානායක පවසයි.

පාර්ලිමේන්තුවේදී අතුරු අය වැය ඉදිරිපත් කරමින් හෙතෙම මේ බව පැවසීය.



රවී අතුරු අය වැය ඉදිරිපත් කරයි

19 වැනි මුදල් ඇමතිවරයා ලෙස ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව හමුවේ නව රජය යටතේ අය වැයක් ඉදිරිපත් කිරීමට ලැබීම ගැන සතුටු වන බව මුදල් ඇමති රවී කරුණානායක මහතා පවසයි.

නව රජයේ අතුරු අය වැය ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් මුදල් ඇමති රවී කරුණානායක මහතා මේ බව පැවසීය.



මෛත්‍රීගෙන් හිස්වූ පාර්ලිමේන්තු පුටුව පුරවයි

මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිධූරයට පත්වීමෙන් හිස්වු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා ඩී.ආර් ජයසිංහ බණ්ඩාර මහතා කථානායක චමල් රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ.

2010 ජනාධිපතිවරණයේ දී පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරඟවැදුණු ඔහු මනාප 21,878 ක් ලබා පස්වැනි ස්ථානයට පත්විය.


අදාළ මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කයට තේරී පත්වූයේ මන්ත්‍රීවරුන් සිව්දෙනෙකු පමණක් බැවින් ජයසිංහ බණ්ඩාර මහතා පරාජිත ලැයිස්තුවේ පළමු ස්ථානයේ සිටියේය.


1991 පළාත් පාලන මැතිවරණයෙන් දිඹුලාගල ප්‍රාදේශීය සභාවට තේරීපත්වෙමින් හෙතෙම ශ්‍රීලනිපය තුළ දේශපාලන දිවිය ආරම්භ කළේය.


අනතුරුව 2002 වසරේ පැවති ප්‍රාදේශීය සභා මැතිවරණයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු ලෙසද, 2006 ප්‍රාෙද්ශීය සභා මැතිවරණය ජයග්‍රහණය කොට ප්‍රාදේශීය සභාවේ සභාපති ලෙසද ඔහු තේරීපත්විය.


එයින් පසුව 2008 වසරේ පැවති පළාත් සභා මැතිවරණයට තරඟවැදුණු ජයසිංහ බණ්ඩාර මහතා උතුරු මැද පළාත් සභාවේ මන්ත්‍රීවරයෙකු ලෙස ද තේරීපත්ව කටයුතු කළේය.



මීළඟ අගවිනිසුරු කේ. ශ්‍රීපවන්

කේ. ශ්‍රී පවන් මහතා මීළඟ අගවිනිසුරුවරු ලෙස පත්කිරීමට නියමිතව ඇති බව කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

කැබිනට් තීරණ දැනුම්දීම සඳහා අද පෙරවරුවේ කැඳවා තිබූ මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව පැවසීය.



ශ්‍රී පවන්ට සුබපතනවා!

තමන් අද සිය තනතුරින් විශ්‍රාම ගන්නා බවත්, ශ්‍රේෂ්ඨාධිකරණයේ සිටින ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරයා ලෙස කේ.ශ්‍රී පවන් මහතාට සුබ පතන බවත්, අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය පවසයි.

ඇය මේ බව කියා සිටියේ විශ්‍රාම ගැනීම නිමිත්තෙන් අලුත්කඩේ උසාවි සංකීර්ණයේ අද පෙරවරුවේ පැවැති උත්සවයේදීය.


මෛත්‍රිපාල සිරිසේන මහතා ජනපති ධූරයේ පසුගිය 9 වැනිදා දිවුරුම්දුන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ශ්‍රී පවන් මහතා ඉදිරියේය.



අතුරු අය වැයට පෙර අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්

අද පස්වරු 01ට පාර්ලිමේන්තුව රැස්වීමෙන් අනතුරුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් රජයේ දින සියයේ වැඩපිළිවෙළ පිළිබඳව විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව තිබේ.

ඉන් අනතුරුව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් අතුරු අයවැය වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන්ය.


අතුරු අයවැය මගින් ජන ජීවිතය නඟාසිටුවීම සඳහා සහන රැසක් ලබාදීමට කටයුතු කරන බව රජයේ මැති ඇමතිවරුන් මීට පෙර ප්‍රකාශ කර තිබුණි.


විශේෂයෙන්ම අත්‍යාවශ්‍ය භාණ්ඩ 10 ක මිල මෙම අයවැය යටතේ අඩුකිරීමට නියමිත බව පැවසේ.


එමෙන්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දින 100 වැඩපිළිවෙළ යටතේ යෝජනාකර ඇති සහන ද මෙම අතුරු අයවැය යටතේ ලබාදෙනු ඇත.


මීට අමතරව රේගු බදු ලිහිල් කිරීම, සමෘද්ධි දීමනාව වැඩි කිරීම, රාජ්‍ය සේවක වැටුප් ඉහළ නැංවීම, විශ්‍රාමිකයින්ගේ වැටුප් විශමතා ඉවත් කෙරෙන තෙක් ඔවුන්ට මාසික දීමනාවක් ලබාදීම වැනි යෝජනා ද මෙම අතුරු අයවැයේ ඇතුළත් වන බව සඳහන්ය.



සංගක්කාරට ශතක 21යි - ශ්‍රී ලංකාව 287යි

නවසීලන්තයට එරෙහි එක්දින තරඟාවලියේ දෙවන ශතකයද සමගින් කුමාර් සංගක්කාර එක්දින ක්‍රිකට් පිටියේ සිය 21 වැනි ශතකය ලබා ගැනීමට මීට ටික වේලාවකට පෙර සමත් විය.

නවසීලන්තය සමග පැවැත්වෙන මෙම තරඟයේ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදෙමින් පන්දුවාර 50 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 287ක් ලබා ගැනීමට සමත් විය.


කුමාර් සංගක්කාර නොදැවී ලකුණු 113ක් ලබාගත් අතර ඒ හැරුණු විට තිලකරත්න ඩිල්ෂාන් ලකුණු 81ක්, ලහිරු තිරිමාන්න ලකුණු 30ක්, තිසර පෙරේරා ලකුණු 20ක් ලබා ගත්හ.



ලාංකික සරණාගතයින්ට ඉන්දියානු පුරවැසිභාවය!

ශ්‍රී ලාංකික ද්‍රවිඩ සරණාගතයින්ට ඉන්දියානු පුරවැසිභාවය ලබාදීම සම්බන්ධයෙන් එරට රජයේ අවධානය යොමුව තිබේ.

ඉන්දීය පාර්ලිමේන්තුවේ ඒ සම්බන්ධයෙන් වන විශේෂ කමිටුවක සභාපති සුදර්ශන නාචිඅප්පන් නැමැත්තා මේ ගැන ඉන්දීය පුවත් ආයතනයකට කරුණු දක්වා ඇත.


ඒ අනූව ශ්‍රී ලංකාවේ දැනට පවත්නා සාමකාමි වාතාවරණය යටතේ යළි මව්බිමට යාමට කැමැති සරණාගතයින්ට ඒ සඳහා අවශ්‍ය පහසුකම් සලසා දීම ගැන ඉන්දීය රජයේ අවධානය යොමුව තිබේ.


මේ අතර ඒ පිළිබඳව විශේෂ සාකච්ඡාවක් හෙට ඉන්දියාවේ දිල්ලි හි පැවැත්වීමට නියමිතය.


ඉන්දීය බලධාරීන් හා ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යංශයේ නිලධාරීන් පිරිසක් ‍අතර මෙම සාකච්ඡා පැවැත්වෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.


යුද ගැටුම් පැවැති කාලයේදී ශ්‍රී ලාංකික ද්‍රවිඩ ජනතාව ලක්ෂ 3ට අධික සංඛ්‍යාවක් ඉන්දියාවට පලාගිය බව පැවසුණු අතර ඔවුන් එරට කඳවුරු රැසක මේවන විට දිවිගෙවමින් සිටී.



ගල්වළේ මළ සිරුරක්

අම්බලන‍්ගොඩ, අකුරළ ප්‍රදේශයේ ගල්වළක පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් ඇති බවට ලද තොරතුරක් මත පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

එම මරණය සැක සහිත බවද, අම්බලන්ගොඩ පොලීසිය මේවන විට පරීක්ෂණ ආරම්භ කර ඇති බවද අප වාර්තාකරු පැවසීය.



බසයක් පැහැර ගැනීමට තැත්කළ 4ක් අත්අඩංගුවේ

කඩුවෙල - කොල්ලුපිටිය මාර්ගයේ දී බස් රථයක් පැහැරගැනීමට උත්සාහ කළ පුද්ගලයින් සිව්දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මාර්ගයේ ගමන් කරමින් තිබු සුඛෝපොබෝගී බස් රථයක් ත්‍රී රෝද රථයකින් පැමිණි සිව් දෙනෙකු විසින් මාර්ගය හරස් කර එහි මගීන් බස්සවා පැහැරගෙන යමින් තිබිය දී පොලිසිය විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත.


සැකකරුවන් මාලඹේ සහ මල්වාන ප්‍ර දේශවල පදිංචි 21ත් 49 ත් අතර වියේ පසුවන පුද්ගලයින් බව පොලිසිය පවසයි.


බස් රථ හිමිකරු සමඟ පැවති මුදල් ආරවුලක් මත මෙම පැහැරගැනීම සිදුව ඇතිබවට පොලිසි සිදුකරන පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.


සැකකරුවන් අද කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



අනූෂ පැල්පිටගේ පුටුව සුහයිර්ට

විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් වරයා ලෙස එම්.එම්.සුහයිර් මහතා පත් කර තිබේ.

ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිය පත්වීම් ලිපිය ලබාගත් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.


1994 වසරේ දී දේශපාලනයට එක් වු සුහයිර් මහතා 2000 වර්ෂය දක්වා පත් කළ මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කර ඇත.


රූපවාහිනී සංස්ථාවේ සභාපතිවරයෙකු ලෙස කටයුතු කර ඇති සුහයිර් මහතා ඉරානයේ තානාපත්වරයා ලෙස ද කටයුතු කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.


ඉකුත් රජය යටතේ විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස අනූෂ පැල්පිට මහතා කටයුතු කරන ලදී.



මංගලගේ යුරෝපා සංචාරයෙන් කොළ එළියක්

ශ්‍රී ලංකාවේ මත්ස්‍ය නිෂ්පාදන වලට එරෙහිව යුරෝපා සංගමය පනවා තිබෙන තහනම ඉවත් කිරීමට තවත් මාස කිහිපයක් ගත වනු ඇති බව යුරෝපා සංගමය පවසයි.

අදාළ තහනම සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා පසුගිය දා බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර දී යුරෝපා සංගමයේ බලධාරීන් සමඟ සාකච්ජාවක් පවත්වනු ලැබුවේය.


බී.බී.සී ලෝකසේවය වාර්තා කළේ මංගල සමරවීර මහතා යුරෝපා සංගමයේ සමුද්‍ර සහ ධීවර කටයුතු පිළිබඳ කොමසාරිස්වරයා සමඟ සාකච්ජා පවත්වා ඇති බවයි.


එහිදී මත්ස්‍ය නිෂ්පාදන අපනයන තහනම ඉවත්කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව ගෙන ඇති ක්‍රියාමාර්ග යුරෝපා සංගමයේ පැසසුමට ලක්ව තිබේ.


එහෙත් නීති විරෝධීව සිදුවන මසුන් ඇල්ලීම නතර කිරීමට ශ්‍රී ලංකාව ක්‍රියාකරන තුරු මෙම තහනම ඉවත් කිරීමට නොහැති බව එම සංගමය පෙන්වාදී ඇත.


ශ්‍රී ලංකාවේ නව තත්ත්වය පිළිබඳ නිරීක්ෂණය කිරීම සඳහා දුත පිරීසක් මෙරටට එවීමට බලාපොරොත්තු වන බවත්, අනතුරුව පනවා ඇති තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් තීරණය කරනු ඇති බවත් යුරෝපා සංගමය පවසා තිබේ.


යුරෝපා සංචාරයෙන් අනතුරුව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර අමාත්‍යවරයා අද දිවයිනට පැමිණීමට නියමිතය.