වාර්තාව පමාවීම ඉතා හොඳයි


ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජගත් මානව හිමිකම් කවුන්සිලයට ලබන මස ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ යුද අපරාධ සම්බන්ධ වාර්තාව පමා කිරීම ඉතා සුදුසු තීරණයක් බව ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ලෝරා ඩේවිස් මහත්මිය පවසයි.


යුද අපරාධ සම්බන්ධයෙන් මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ වාර්තාව මේ වසරේ සැප්තැම්බර් දක්වා කල්දැමීමට ජගත් මානව හිමිකම් මහකොමසාරිස් සෙයිඩ් රාඩ් සෙයිඩ් අල් හුසේන් තීරණය කළ බව පසුගියදා වාර්තා විය.


විදේශ ඇමති මංගල සමරවීර මහතා නව රජ‍ය බලයට පත්වීමෙන් පසු රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග ගැන අමෙරිකාව ප්‍රමුඛව, ජගත් සංවිධානයේ මහලේකම් හා ජගත් මානව හිමිකම් මහකොමසාරිස්වරයා දැනුවත් කිරීමට ද පසුගියදා පියවර ගෙන තිබුණි.


එහි ප්‍රතිඵලයක් ලෙස අදාළ වාර්තාව සයමසකින් ප්‍රමාද කිරීමට ජගත් මානව හිමිකම් මහකොමසාරිස්වරයා තීරණය කළ අතර සැප්තැම්බරයේ පැවැත්වෙන මානව හිමිකම් කවුන්සිලයේ 30 වැනි සැසිවාරයට එය අනිවාර්යයෙන් ඉදිරිපත් කරන බව පවසා තිබිණ.


මේ ගැන අදහස් දක්වමින් ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය බ්‍රිතාන්‍ය මහකොමසාරිස්වරිය පවසන්නේ නව රජය, දේශීය වගවීමේ ක්‍රියාවලිය, සංහිඳියාව ගොඩනැඟීම තුළින් එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග සහයෝගයෙන් කටයුතු කිරීමට ප්‍රමාණාත්මක නැඹුරුවක් ප්‍රදර්ශනය කර ඇති බවයි.


ශ්‍රී ලංකාව සම්බන්ධ වාර්තාව සැකසීම සඳහා තොරතුරු ලබාදුන් පුද්ගලයින් ඒ ගැන අවධානයෙන් බලා සිට එය ප්‍රමාද කිරීම ගැන දුෂ්කරතාවයට පත්වුවත්, එම තීරණය නිවැරදි බව ඇය සඳහන් කරයි.



Post a Comment