පැහැර ගැනීමට ලක්ව සැඟව සිටි සිසුවා පළාඑයි



මාතර - පස්ගොඩ ප්‍රදේශයෙන් පැහැර ගත් බව කියන පාසල් සිසුවෙකු සොයාගෙන ඇති බව පල්ලම පොලීසිය කියයි.

මෙසේ සොයා ගෙන ඇත්තේ මාතර - පස්ගොඩ පදිංචිව සිටි උමේෂ් චතුරංග (අවු:15) නම්වූ පාසල් සිසුවෙකි.


පසුගිය මස 27 වැනිදා තම දරුවා කිසියම් අයෙකු විසින් පැහැරගෙන ගොස් ඇති බව දරුවාගේ පියා වන කේ.ජී.ලයනල් (අවු:40) යන අය ඌරුබොක්ක පොලීසියට එදිනම පැමිණිලි කර ඇත.


තමන්ට දරුවන් තිදෙනෙකු සිටින බවත්, පැහැර ගැනීමට ලක්ව ඇත්තේ වැඩිමහල් දරුවා බවත්, ඔහු පොලීසියට පවසා තිබේ.


නමුත් මෙම පැමිණිල්ල විභාග කිරීම සඳහා පොලිස් නිලධාරීන් තම නිවසට පැමිණියේ පසුගිය 06 වැනිදා බව ලයනල් මහතා කියා සිටී.


තම දරුවා වෛද්‍ය ප්‍රතිකාර සඳහා පස්ගොඩ මංසන්ධියේ පිහිටි පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක් වෙත ගිය අවස්ථාවේ දී පැහැර ගැනීම සිදුවී ඇති බවත්, තම ඥාතියෙකු සමග ඇති ඉඩම් ආරවුලක් මෙම පැහැර ගැනීමට හේතුව වී ඇති බවත්, හෙතෙම පවසා ඇත.


රඳවාගෙන සිටි ස්ථානයෙන් පළාගොස් ඇති දරුවා හලාවත - විල්පත ප්‍රදේශයේ පදිංචිවී සිටින තම ඥාතියෙකුගේ නිවසට පැමිණ ඇති අතර පසුව එම නිවසේ අය විසින් දරුවා පල්ලම පොලීසියට ගෙනවිත් බාර දී තිබේ.


දරුවා ඉතා දුර්වල තත්ත්වයෙන් පසුවන බැවින් ඔහු රඳවා සිටි ස්ථානය සම්බන්ධයෙන් තොරතුරක් ලබා ගැනීමට නොහැකි බව පොලීසිය කියයි.


පල්ලම පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ලක්රුවන් මහතා ඇතුළු නිලධාරීන් වැඩිදුර විමර්ශන කටයුතු කරගෙන යයි.



Post a Comment