එදා මානව හිමිකම් කඩවීම් ගැන ඕස්ට්‍රේලියාව නිහඬවීම ගැටළු සහගතයි



ඉකුත් පාලන සමයේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම් දැක දැක නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම පිළිබඳ ලාංකිකයින් තුළ ඕස්ට්‍රේලියාව පිළිබඳ සැකයක් පවතින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

නීති විරෝධී ලෙස ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වන පිරිස් වැළැක්වීමට ක්‍රියාත්මකවීම සම්බන්ධයෙන් ‍ටෝනි ඇබර්ට් සහ රාජපක්ෂ රෙජිමය අතර එකඟතාවක් සහිත සමීප සබඳතාවක් පැවතීම ඊට හේතුවූ බව ඔහු කියා සිටියි.


'ද ඔස්ට්‍රේලියන්'මාධ්‍යයට අදහස් දක්වමින් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේය.


කෙසේ වුවද නීති විරෝධී මිනිස් ජාවාරම් කරනු ලැබුවේද පසුගිය රජයේ සමීපතමයින් විසින් බවත්, ආරක්ෂ අංශ මෙන්ම විශේෂයෙන්ම නාවික හමුදා සහය නොමැතිව එවැනි ජාවාරම් ක්‍රියාත්මක කළ නොහැකි බවත් අග්‍රාමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නේය.


ඔස්ට්‍රේලියාව පමණක් නොව ලෝකයේ බොහෝ රටවල් ශ්‍රී ලංකාවේ පැවති රජය විසින් මානව හිමිකම් උල්ලංඝණය කිරීම් පිළිබඳව නිහඬ පිළිවෙතක් අනුගමනය කළ බවද වික්‍රමසිංහ මහතා මෙහිදී සිහිපත් කළේය.


හිටපු ආගමන අමාත්‍ය ස්කොට් මොරිසන් ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී ද්‍රවිඩ ජාතික සන්ධානයේ නියෝජිතයින් හමුවීම ප්‍රතික්ෂේප කළ බවත්, එහිදී ඔහු රාජ්‍ය තාන්‍ත්‍රික පිළිවෙත අනුගමනය කිරීමට අපොහොසත් වුණු බවත් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.


එම සිදුවීම හේතුවෙන් ඔස්ට්‍රේලියා ආගමන අමාත්‍යංශය කෙරෙහි පැවති ජනතාවගේ ගෞරවය පළුදුවූ බවද ඔහු පෙන්වා දුන්නේය.


කෙසේ වෙතත් තමන් ඕස්ට්‍රේලියානු විරෝධී නොවන බවත්,සිදුවූ සිදුවීම් වලින් ඕස්ට්‍රේලියාව පාඩම් උගත යුතුව ඇති බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.



Post a Comment