චක්‍ර ලේඛනයට පිටින් පාසල්වල මුදල් අය කිරීම ගැන අධ්‍යාපන අමාත්‍යංශය මෙසේ කියයි


පාසල්වල අවිධිමත් අයුරින් මුදල් අයකිරීම තහනම් කරමින් නිකුත් කළ චක්‍ර ලේඛනයද උල්ලංඝණය කරමින් ඇතැම් පිරිස් තවදුරටත් මුදල් අය කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.


අමාත්‍යාංශය පැවසුවේ එලෙස මුදල් රැස් කිරීම සම්බන්ධයෙන් විවිධ ප්‍රදේශ වලින් පැමිණිලි රාශියක් ලැබී ඇති බවයි.


රජයේ පාසල්වලට සිසුන් ඇතුළත් කිරීමේදී සහ පාසල්වල අධ්‍යාපනය හදාරන සිසුන්ගෙන් මුදල් ලබා ගැනීම තහනම් කරමින් පසුගිය 29වනදා අධ්‍යාපන අමාත්‍යාංශය මගින් චක්‍ර ලේඛනයක් නිකුත් කරනු ලැබුවේය.


එහෙත් එම චක්‍රලේඛනයේ විධිවිධානද උල්ලංඝණය කරමින් ඇතැම් පිරිස් මුදල් රැස් කරන බවට මේවන විට විශාල පැමිණිලි ප්‍රමාණයක් ලැබී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.


අදාළ පැමිණිලි පිළිබඳව සිදුකළ විමර්ශනවලදී අවිධිමත් අයුරින් සහ චක්‍රලේඛන උල්ලංඝණය කරමින් මුදල් රැස්කළ පාසල් 10ක් පිළිබඳ අනාවරණය වී ඇත.


එලෙස මුදල් රැස් කිරීමට සම්බන්ධ වූ ජාතික පාසල්වල විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් සම්බන්ධයෙන් විනයානුකූල පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.


ඒ යටතේ අදාළ විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් එම පාසල්වලින් ස්ථාන මාරු කිරීමට හෝ කලාප කාර්යාලවලට අනුයුක්ත කිරීමට පියවර ගන්නා බවද අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් කියයි.



Post a Comment