උද්ඝෝෂණයට විග්නේෂ්වරන් නොඑයි


ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ වාර්තාව කල් තැබීමට එරෙහිව සංවිධානය කර තිබූ විරෝධතාවකට දෙමළ ජාතික සන්ධානයේ පළාත් සභා මන්ත්‍රීවරුන් පිරිසක් සහභාගී වී තිබේ.


අද පෙරවරුවේ උතුරු පළාත් සභාව රැස්වූ අවස්ථාවේ අදාළ විරෝධතාව සඳහා සහභාගී වීමට පළාත් සභා රැස්වීම පැය දෙකකට කල් තබන ලෙස දෙමළ ජාතික සන්ධානයේ පළාත් සභා මන්ත්‍රී තුරෙයිරාසා රවීකරන් මහතා යෝජනාවක් ඉදිරිපත්කර ඇති බව සඳහන්ය.


ඒ අනුව අදාළ යෝජනාව උතුරු පළාත් සභාව සම්මතකර ඇති අතර ඉන් අනතුරුව දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන් විරෝධතාව සඳහා සහභාගී වීමට පිටත්ව ගිය බව පළාත්සභා මන්ත්‍රී වී. ජයතිලක මහතා සඳහන් කළේය.


කෙසේ වෙතත් එම විරෝධතාව සඳහා උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතා සහභාගී නොවු බව වී ජයතිලක මන්ත්‍රීවරයා කියා සිටියේය.


එසේ වුවද ශ්‍රී ලංකාවේ ද්‍රවිඩ ජන සංහාරයක් සිදුවූ බවට පසුගියදා උතුරු පළාත් සභාව යෝජනාවක් සම්මත කර ගත් අතර එම යෝජනාව ඉදිරිපත් කර තිබූණේද උතුරු පළාත් සභාවේ මහඇමතිවරයා විසිනි.


මේ අතර අද විරෝධතාවයට සහභාගී වූ මන්ත්‍රීවරුන් යළි පැමිණීමෙන් පසුව මාසික සභා වාරයේ කටයුතු යළි ආරම්භ කළ බව ජයතිලක මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.



Post a Comment