පාරිභෝගික අධිකාරියෙන් විශේෂ ගැසට් නිවේදනයක්

කල්ඉකුත් වු සහ විකිණීමට නුසුදුසු බවට හඳුනාගත් භාණ්ඩ කුමන හේතුවක් මත හෝ ගබඩා කර තබා ගන්නේ නම් එම භාණ්ඩවල තොරතුරු ඇතුළත් ලේඛනයක් පවත්වාගෙන යාම අනිවාර්යය බව පාරිභෝගික අධිකාරිය පවසයි.

සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ නියෝග මත ලබන මස පළමු වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ඊට අදාළ විශේෂ ගැසට් පත්‍රයක් ද නිකුත් කර ඇති බව පාරිභෝගික අධිකාරිය සඳහන් කළේය.


ඒ අනුව කල්ඉකුත් වු, විකිණීමට නුසුදුසු බවට හඳුනාගත් භාණ්ඩ විනාශ කිරීමේ කාර්යය සඳහා හෝ ප්‍රතිඅපනයන සඳහා ගබඩා කර තබා ගැනීමේ දී මෙලෙස ලේඛනයක් පවත්වාගෙන යා යුතු බව පාරිභෝගික අධිකාරිය දැනුම් දෙයි.


එක්රැස් කර තබනු ලබන භාණ්ඩයේ වර්ගය, සන්නාම නාමය, බර, පරිමාව සහ ඒකක ගණන අදාළ ලේඛනයේ සඳහන් කළ යුතු බව එම අධිකාරිය පවසයි .


එවැනි ලේඛනයක් රහිතව එම භාණ්ඩ යම් ගුදමක, ගබඩාවක හෝ වෙනත් ස්ථානයක තබාගැනීම හෝ එක්රැස් කිරීම නොකළ යුතු වෙයි.


මෙම දැනුම්දීම කඩකරන සියලුම නිෂ්පාදකයින්, ආනයනකරුවන්, බෙදාහරින්නන්, සැපයුම්කරුවන් හෝ වෙළඳුන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා උපදෙස් ලබා දී ඇති බව පාරිභෝගික අධිකාරිය සඳහන් කළේය.



Post a Comment