දරු දෙන්නා පොලීසියේ - පොලීසිය මව්පියන් සොයයි

මව්පියන් විසින් අතහැර ගොස් සිටි ළමුන් දෙදෙනෙකු තන්තිරිමලේ අන්දරවැව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු විසින් පොලීසියට බාරදී තිබේ.

හය හැවිරිදි පිරිමි දරුවෙකු සහ තුන් හැවිරිදි ගැහැණු දරුවෙකු මෙලෙස තන්තිරිමලේ පොලිස් ස්ථානය වෙත බාරදීමට අදාළ පුද්ගලයා කටයුතු කර ඇත.


එම දරුවන්ගේ මිත්තනිය සමග ඇසුරක් පැවැත්වු තමා ඇය සමග වසර දෙකක පමණ කාලයක් තම නිවසේ වාසය කළ බව අදාළ පුද්ගලයා පොලීසියට ප්‍රකාශ කර තිබේ.


එම කාලයේ දී අදාළ කාන්තාවගේ දියණිය, බෑනා සහ ඔවුන්ගේ දරුවන් දෙදෙනා ද තම නිවසේ පදිංචියට පැමිණි බව ඔහු පවසා ඇත.


කෙසේ වෙතත් ළමුන් දෙදෙනාගේ මව සහ පියා මීට සති තුනකට පමණ පෙර ළමුන් දෙදෙනා අතහැර ගොස් තිබු බවත්, ඉන් දින කිහිපයකට පසු දරුවන්ගේ මිත්තනිය ද තමාට නොදන්වා නිවසින් පිටත්ව ගොස් ඇති බවත්, අදාළ පුද්ගලයා පොලීසියට ප්‍රකාශ කර තිබේ.


මේ හේතුවෙන් තනිව ජීවත් වන තමාට ළමුන් දෙදෙනා හදාවඩා ගැනීමට නොහැකි බැවින් ඔවුන් පොලීසිය වෙත බාරදීමට තීරණය කළ බව ඔහු ප්‍රකාශ කර ඇත.


තන්තිරිමලේ පොලීසියට බාරදුන් ළමුන් දෙදෙනා අද පෙරවරුවේ අනුරාධපුර පරිවාස හා ළමාරක්ෂක කාර්යාලය වෙත රැගෙන යාමට පොලීසිය පියවර ගෙන ඇති අතර ඔවුන් අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන්ය.


මේ අතර ළමුන් දෙදෙනා අතහැර ගිය මව්පියන් සහ මිත්තනිය අත්අඩංගුවට ගැනීම සඳහා තන්තිරිමලේ පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.



Post a Comment