අස්ගිරි නාහිමි දැයෙන් සමුගනී!

අපවත් වී වදාළ අස්ගිරි පාර්ශ්වයේ මහනායක උඩුගම ශ්‍රී බුද්ධරක්‍ඛිත මහනාහිමියන්ගේ ආදාහන පූජෝත්සවයේ කටයුතු මහනුවර, අස්ගිරිය පොලිස් ක්‍රිඩාංගණයේ දී මේවන විට සිදුවෙයි.

උන්වහන්සේගේ දේහය සහිත චිතකයට ගිනි දැල්වීම මීට ටික වේලාවකට පෙර ඇරඹිණ.


අද පස්වරුවේ ආදාහන පූජෝත්සවයේ කටයුතු බුද්ධ ශාසන අමාත්‍යංශයේ ලේකම් වසන්ත ඒකනායක මහතාගේ පිළිගැනීමේ කථාවෙන් පසුව ඇරඹී අතර පැමිණ සිටි පිරිස පංච ශීලයෙහි පිහිටුවනු ලැබුවේ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය ගලගම ශ්‍රී අත්තදස්සී මහනාහිමියන් විසිනි.


අනුශාසනා කතාව අස්ගිරි පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී ශාස්ත්‍රපති පණ්ඩිත පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියන් විසින් සිදුකරන ලදී.


ඉන් අනතුරුව අපවත් වී වදාළ අස්ගිරි පාර්ශ්වයේ මහනායක උඩුගම ශ්‍රී බුද්ධරක්‍ඛිත මහානාහිමියන් වෙනුවෙන් මතක වස්ත්‍ර පූජා කිරීමද සිදුවිය.


ආදාහන පෙරහැර ගමන් ගත් මාර්ග දෙපස රැස්වු දහස් ගණන් ජනතාව මහනාහිමියන්ගේ ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්වුහ.


අද පස්වරුවේ අස්ගිරි නාහිමියන්ගේ දේහය රැගත් අවමංගල පෙරහැර අස්ගිරි මහා විහාරයෙන් ගමන් ආරම්භ කර දේව විදීය, ඩී.එස් සේනානායක විදීය, දළදා විදීය ඔස්සේ මහනුවර පොලිස් ස්ථානය අසළට පැමිණියේය.


අනතුරුව එය පුෂ්පදාන බාළිකා විද්‍යාල හන්දියෙන් හැරී අස්ගිරිය පොලිස් ක්‍රිඩාංගණය වෙත පැමිණි අතර මහ සංඝරත්නය, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පක්‍ෂ විපක්ෂ මැතිඇමතිවරුන් රැසක් ද ආදාහන පූජෝත්සවයට එක්ව සිටින බව අප වාර්තාකරු පැවසීය.


චිතකයට ගිනි දැල්වීමට මත්තෙන් උඩු ගුවනේ සිට පුෂ්පෝපහාර දැක්වීමක් ද සිදුවිය.



Post a Comment