ශ්‍රී ලංකාවේ උසාවියෙන් පෝරකයට යැවූ ඉන්දියානුවන් 5 දෙනා බේරාගන්නවාමයි

මත්කුඩු ජාවාරමකට ශ්‍රී ලංකාවේදී මරණ දඬුවම නියම වූ ඉන්දීය ජාතිකයින් 5 දෙනා කෙසේ හෝ නිදහස් කර ගැනීමට කටයුතු කරන බව තමිල්නාඩු ප්‍රධාන ඇමති ඕ පන්නීර්සෙල්වම් කියයි.

මත්කුඩු ජාවාරමක් සම්බන්ධයෙන් ‍වරදකරුවන් වූ ඉන්දීය ජාතිකයින් 5 දෙනෙකුද, ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකුට ද කොළඹ මහාධිකරණය පසුගිය මස 30 වැනිදා මරණ දඬුවම නියම කරන ලදී.


ඒ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2011 වසරේ නොවැම්බර් මස ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු පැවැති දීර්ඝ නඩු ක්‍රියාදාමයක ප්‍රතිඵලයක් ලෙසය.


ඒ අනූව මෙම තීන්දුවට විරෝධය පළ කර ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ මෙන්ම දකුණු ඉන්දියාවේද පසුගිය දිනවල විරෝධතා සංවිධානය කර තිබිණ.


එසේ මරණ දඬුවම නියම වූ පී. එමර්සන්, ආර්.විල්සන්, පී. ඔගස්ටස්, ජේ. ලැන්ග්ලෙට් සහ කේ. ප්‍රසාත් යන රාමෙ‍ෂ්වරම් හි පදිංචිකරුවන්‍ 5 දෙනාගේ පවුල්වල සාමාජිකයින් ඊයේ (03) තමිල්නාඩු ප්‍රධාන ඇමති ඕ. පන්නීර්සෙල්වම් මුණ ගැසුණි.


එහිදී ප්‍රධාන අමාත්‍යවරයා පවසා ඇත්තේ එකී ඉන්දියානුවන් පස්දෙනා නිදහස් කර ගැනීමට අවශ්‍ය ක්‍රියාදාමය අතහැර නැති බවයි.


කෙසේ වුවද මෙලෙස මරණ දඬුවම නියම වූ පස්දෙනා නිර්දෝශි අය බව ඉන්දියාව ද පවසා තිබේ.


ඉන්දීය විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක සයිඩ් අක්බරුඩීන් ප්‍රකාශ කර ඇත්තේ ඉන්දීය රජය මෙම තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන බවයි.


එසේම එකී තීන්දුව සම්බන්ධයෙන් ඉන්දියාව ශ්‍රී ලංකා බලධාරීන් සමග දැඩි අවධානයෙන් සිටින බවද ඔහු ප්‍රකාශ කර තිබේ.


ඕ.පන්නීර්සෙල්වම් යනු මූල්‍ය වංචා චෝදනා මත වැරදිකරු වී සිව්වසරක සිරදඬුවමක් ලැබ පසුව ඇප ලැබූ හිටපු තමිල්නාඩු ප්‍රධාන ඇමති ජයලලිතා ජයරාම්ගෙන් හිස්වූ එකී ප්‍රධාන ඇමති තනතුර වත්මනේ හොබවන්නාය.



Post a Comment