අභිනව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ආණ්ඩු පක්ෂ නියෝජිතයින් අද පෙරවරුවේ කොළඹ නිදහස් චතුරස්‍රයේදී ඩී.එස් සේනානායක පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමෙන් පසුව විශේෂ රිය පෙරහැරකින් මහනුවර දළදා මාළිගාව දක්වා ගමන් ඇරඹීය.
අතරමගදී බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ හොරගොල්ලේ පිහිටි සමාධියට ද පිරිස උපහාර දැක්වූ අතර නව නායකයින්ට මග දෙපස රැස්වූ ජනතාව ඔල්වරසන් දෙන අයුරුද දැක ගත හැකිවිය.
අනතුරුව දළදා මාළිගාවට පැමිණි ඔවුන් ආගමික වතාවත්වල නිරත වූ අතර මල්වතු මහා විහාරයට පැමිණි පිරිස මහ සංඝරත්නය විසින් පංචශීලයේ පිහිටුවන ලදී.
අනතුරුව මල්වතු නාහිමි තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමියන් මෙසේද කියා සිටියේය.
"දුප්පත් ජනතාව ගැන ඔබතුමාලාගේ හිත් යොමුකරන්න ඕන. පසුගිය කාලයේ ඒ කාරණය ඉටු වුණා මදි කියලයි මගේ හැඟීම. ඒ අය මොන තරම් දුක්ඛිත ජීවිත ගත කරනවාද කියලා අපි ගම්වලට ගියාම දැක්කා. ඉන්දියාවේ අගමැතිවරයෙකුව සිටි නේරුතුමාට දවසක් ගමට යන්න හිතුණා. ගමට ගියාම ලොකු පිළිගැනීමක් තිබුණා. බොහෝම දෙනෙක් දරිද්‍රතාවයෙන් පෙළුණා දකින්න ලැබුණා. කුඩා දරුවන් අඩ නිරුවතින් ඉන්නවා දැක්කා එතුමාට ලැජ්ජාවක් ඇතිවෙලා ලොකු භීතියක් ඇති වුණා. මගේ රටේ මෙතරම් දිළිඳු උදවිය ඉඳලා තියෙනවාද කියලා.
මේ නිසා නැවත වරක් කියන්නේ ගමේ ඉන්න දුප්පත් ජනතාව වෙනුවෙන් විශේෂ සැලකිල්ලක් දක්වන්න. නගරයේ සංවර්ධනය කරන්න තරම් දෙයක් නෑ. නගරය දිනපතාම සංවර්ධනය වෙනවා. ඒත් ගම්වල එවැනි තත්ත්වයක් නෑ. ගම්වල මිනිස්සු ලයිට් ඕනෑ වූණාම පාර හදාගන්න ඕන වුණාම එයලට පාරට බහින්න වුණා. ඒ වෙලාවට රබර් උණ්ඩ පාවිච්චි කරන තත්ත්වයක් උදාවෙලා තිබුණා. ඒ වගේ තත්ත්වයක් යළි ඇතිවෙන්න නොදී මේ දුප්පත් ජනතාව වෙනුවෙන් ඔබතුමාලා සමගියෙන් මේ කටයුතු කරන්න. මේ රට ඉදිරියට හොඳට ගෙනියන්න සියලු දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා කියා ප්‍රාර්ථ,නා කරනවා." යැයි මල්වතු නාහිමියන් නව ආණ්ඩුවේ නායකයින්ට සුබ පැතීය.
මේවන විට ජනාධිපතිවරයා ප්‍රමුඛ පිරිස අස්ගිරි මහවිහාරයට ගොස් ඇති අතර අද පස්වරු 2ට මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා මහනුවර දළදා මාළිගයේ පත්තිරිප්පුවේ සිට ජාතිය ඇමතීමට නියමිතය.

Post a Comment