ගෙවත්තේ බැඳ සිටි ගවයා මරා මස් ගෙනියලා - අධිශීතකරණයක මුව හා ඌරු මස් තොගයක්


ගෙවත්තක ගාල්කර සිටි එළගවයෙකු මරා මස් රැගෙන ගිය පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බව හලාවත පොලීසිය කියයි.


හලාවත - ඉරණවිල පදිංචිකාරියක් විසින් කර ඇති පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කර ඇත.


ඝාතනය කර ඇති බව කියන එළ ගවයාගේ වටිනාකම රුපියල් 75,000 කි.


තම ගෙවත්තේ ගාල් කර සිටි එළ ගවයාව ඝාතනය කර ඇති කිසි‍යම් අයකු එම සතාගේ මස් රැගෙන ගොස් ඇති බව පැමිණිලිකාරිය පොලීසිය හමුවේ පවසා ඇත.


ඝාතනය කර ඇති එළ ගවයාගේ අතුණුබහන් ගෙවත්තේ තිබී හමුවී තිබේ.


කව්රුන් විසින් මෙම අපරාධය සිදු කර ඇද්ද යන්න මෙතෙක් අනාවරණය වී නැති බව පොලීසිය කියයි.


මේ අතර ඇඹිලිපිටිය චන්ද්‍රිකා වැව ආසන්නයේ පවත්වාගෙන යනු ලැබූ අවන්හලක් වටලා එහි විකිණීම හා පරිභෝජනය සඳහා අධි ශීතකරණයක බහා තිබූ මුව මස් හා වල් ඌරු මස් කිලෝ 06ට ආසන්න ප‍්‍රමාණයක් සමග එක් සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට උඩවලව වනජීවී කාර්යාලයේ නිලධාරින් සමත් ව තිබේ.


උඩවලව වනජීවී කාර්යාලයේ නිලධාරින් වෙත ලැබුණු තොරතුරක් මත නිලධාරින් මෙම වැටලීම සිදු කර ඇත.


අධිශීතකරණයේ බහා තිබූ මස් හා අධිශීතකරණය නිලධාරින් විසින් බාරයට ගත් අතර අවන්හලේ කළමනාකරු සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන ඇත.


මෙම අවන්හලේ මීට මාස කිහිපයකට ඉහතදී ද වනජීවී නිලධාරින් විසින් හදිසි පරීක්ෂාවකට ලක් කළ අවස්ථාවකදී මෙසේම මුව මස් ජාවාරම සිදු කර තිබූ අතර, ඒ සම්බන්ධයෙන් අවන්හල් හිමිකරු අත්අඩංගුවට ගෙන ඇඹිලිපිටිය මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රු. 130,000ක දඩයක් නියම කර තිබිණි.


කෙසේ වෙතත් අත්අඩංගුවට ගත් අවන්හල් හිමිකරු සහ මස් සමග අධි ශීතකරණය 08 වනදා ඇඹිලිපිටිය මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.


මෙම මෙහෙයුම උඩවලව වනජීවී කාර්යාලයේ අඩවි ආරක්ෂක දිනේෂ් ඉරෝෂණ, වන සත්ව නියාමක එම්.අයි.ඩබ්. පීරීස්, මලිත් කුමාර, පනාවලගේ, දුනුවිල හා සංජය යන නිලධාරින් විසින් සිදු කර තිබේ.



Post a Comment