යුද අපරාධ විමර්ශන ගැන ජූනි අග කියන්නම්



ශ්‍රී ලංකාවේ සිදුවීයයි කියනු ලබන යුද අපරාධ චෝදනා වලට අදාළව විමර්ශන පිළිබඳ ජූනි මස අවසානයේ විස්තර ප්‍රකාශයට පත්කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ටයිම් සඟරාව සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් විමසන ලද පැනයකට ප්‍රතිචාර දක්වමින් ජනාධිපතිවරයා මේ බව පෙන්වාදී ඇත.


ඉකුත් මාර්තුවේ ජනාධිපතිවරයා බ්‍රිතාන්‍යයේ කළ සංචාරය අතරතුරදී මසක් ඇතුළත යුද අපරාධ චෝදනා වලට අදාළව සිදුකිරීමට නියමිත පරීක්ෂණ සම්බන්ධයෙන් පියවරක් ගන්නා බව මීට ඉහතදී සඳහන් කර තිබිණි.


එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් හරහා එවැනි පරීක්ෂණයක් සඳහා එක්සත් ජාතීන්ගෙන් උපදෙස් ලබාගැනීම පිළිබඳව විමසා ඇති බව ද ‍ජනාධිපතිවරයා විසින් මෙහිදී සිහිපත් කර තිබේ.


ජනාධිපතිවරයාගේ විධායක බලය අහෝසි කරන බවට මෛත්‍රීපාල සිරිසේන මහතා මැතිවරණ සමයේ දුන් පොරොන්දු සිහිකරමින් ඇසූ පැනයට ප්‍රතිචාර දක්වමින් ජනාධිපතිවරයා පවසා ඇත්තේ විධායක බලය කේන්ද්‍රගතවී තිබීම රටේ දැවැන්ත ප්‍රශ්නයක් බව හා එය බෙදී යායුතු බවයි.


ඉකුත් පාලන සමයේ ශ්‍රී ලංකාව චීනය දෙසට පැවති වැඩි නැඹුරුව පිළිබඳ විමසීමේදී ජනාධිපතිවරයා පවසන්නේ කිසිවෙකු සතුරුකර ගැනීම සිදුනොකරන බව හා මිත්‍රත්වයේ හස්තය ලොව සියලු රටවලට දිගු කරන බවයි.



Post a Comment