ගයන්ත වැඩ අල්ලයි - තවත් ලොන්ඩරියක් නම් එපා යැයි සෝභිත හිමි කියයි

නිදහස් ලෙස මාධ්‍ය වෘත්තීයේ නිරත වීම සඳහා විදෙස්ගත මාධ්‍යවේදීන්ට මෙරටට පැමිණෙන ලෙස ආරාධනා කරන බව නව ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි.

අද පෙරවරුවේ ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යාංශයේ දී වැඩ බාරගැනීමෙන් අනතුරුව මාධ්‍යවෙත අදහස් දක්වමින් ගයන්ත කරුණාතිලක මහතා මේ බව පැවසීය.


තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කිරීම සඳහා දින 100 වැඩසටහන තුළ නීති ප්‍රතිපාදන හඳුන්වා දෙන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.


එම අවස්ථාවට එක්වූ සාධාරණ සමාජයක් සඳහා ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු කෝට්ටේ නාග විහාරාධිපති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියෝ කියා සිටියේ පසුගිය රජය කාලයේ ලොන්ඩරියක් බවට පත්වූ ජනමාධ්‍ය අමාත්‍යංශය ඒ තත්ත්වයටම පත්වුවහොත් මහජනතාවට ප්‍රයෝජනයක් නැති බවයි.


එදා ජනමාධ්‍ය අමාත්‍යංශය අපට එපා වී තිබූ බවද, එවැනි අමාත්‍යංශයක් නම් යළිත් එපා යැයිද, උන්වහන්සේ එහිදී කියා සිටියේය.


නව අමාත්‍යවරයා වැඩ බාරගැනීමේ අවස්ථාවට හිටපු ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු නව රජයේ ඇමතිවරු කිහිප දෙනෙකු ද සහභාගී වී සිටි අතර සෝභිත හිමියන් ලොන්ඩරි කතාව කියද්දී රඹුක්වැල්ල හිටපු ඇමතිට හොඳ හැටි හිනා අයුරුද දැක ගතහැකි විය.


ගයන්ත කරුණාතිලක මහතා එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස පසුගිය වසර ගණනාවක සිට කටයුතු කළේය.

1999 පළාත් සභා මැතිවරණයට ගාල්ල දිස්ත්‍රික්යෙන් ඉදිරිපත් වී ජයග්‍රහණය කළ ඒ මහතා 2000 වසරේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයේ දී එම දිස්ත්‍රික්කයෙන් තරඟ කර පාර්ලිමේන්තුවට තේරි පත්විය.

නැවතත් 2001, 2004 සහ 2010 වසරවලදී පැවැත්වූ මහ මැතිවරණවලින් ද පාර්ලිමේන්තුවට තේරී පත් වූ ඒ මහතා කලක් එජාප තරුණ සංවිධානයට නායකත්වය ලබා දුන්නේය.


ගයන්ත කරුණාතිලක මහතා කොළඹ රාජකීය විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙකි.



Post a Comment