රනිල්ගේ ඉල්ලීම කොළඹ අපරාධ කොට්ඨාසයට පවරයි

තමාගේ අත්සන ව්‍යාජ ලෙස යොදාගනිමින් සෞඛ්‍ය අමාත්‍ය තිස්ස අත්තනායක විසින් කූඨ ලේඛනයක් සකස් කිරීම ගැන විධිමත් පරීක්ෂණයක් කරන්නැයි ඉල්ලා විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතා පොලිස්පතිවරයාගෙන් කරන ලද ඉල්ලීමට අනූව එම පරීක්ෂණ කටයුතු කොළඹ අපරාධ කොට්ඨාසයට පවරා තිබේ.

විපක්ෂයේ ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා සහ තමා අතර ඇතිවීයයි කියනු ලබන ගිවිසුමක් පිළිබඳ පෙරේදා (22)පැවති මාධ්‍ය හමුවකදී තිස්ස අත්තනායක මහතා විසින් යම් ලියවිල්ලක් මාධ්‍යයට නිකුත් කිරීම පිළිබඳ පරීක්ෂණයක් කරන්නැයි විපක්ෂ නායකවරයා පොලිස්පතිවරයාගෙන් ඊයේ ඉල්ලීමක් කර තිබුණි.


ඒ අනූව එකී ඉල්ලීම පිළිබඳ පරීක්ෂණ කටයුතු පොලිස්පතිවරයා විසින් කොළඹ අපරාධ කොට්ඨාසයට බාරදී ඇති බව පොලිස් මාධ්‍ය ඒකකය කියයි.


තිස්ස අත්තනායක මහතා විසින් ප්‍රසිද්ධ කරන ලද එම ලියවිල්ලෙහි තමාගේ අත්සන ව්‍යාජ ලෙස යොදා තිබුණු බවත්, එවැනි ගිවිසුමකට තමන් කිසිදිනෙක අත්සන් කර නැති බවත්, එබැවින් එවැනි කූඨ ලියවිල්ලක් නිර්මාණය කිරීම හා තමාගේ අත්සන විකෘති කොට ව්‍යාජ අත්සනක් යෙදීම ගැන විධිමත් පරීක්ෂණයක් කරන්නැයි රනිල් වික්‍රමසිංහ මහතා පොලිස්පතිවරයාට යැවූ ලිපියක සඳහන් විය.



Post a Comment