අපි අතරේ රහසිගත ගිවිසුම් නෑ

පොදු අපේක්‍ෂක මෛත‍්‍රිපාල සිරිසේන මහතා සහ තම පක්ෂය අතර කිසිදු රහසිගත ගිවිසුමක් නොමැති බව දෙමළ ජාතික සන්ධානය කියයි.

ඉදිරි ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට සහය ලබාදෙන බව ද්‍රවිඩ සන්ධානය අද කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේය.


එහිදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා පැවසුවේ එවැනි රහසිගත ගිවිසුම් මගින් ජාතික ප‍්‍රශ්නවලට විසඳුම් සොයා ගත නොහැකි බවයි.


ජාතික හෙළ උරුමය පොදු අපේක්ෂකයාට සහය පළ කරමින් සිටියදී ද්‍රවිඩ සන්ධානය පොදු අපේක්ෂකයාට සහය පළ කරන්නේ කෙසේදැයි මෙහිදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කළේය.


එහිදි ද්‍රවිඩ සන්ධානය කියා සිටියේ ජාතික හෙළ උරුමය රජය සමග සිටියදී පවා ජනාධිපතිවරයා සාකච්ඡා සඳහා තම පක්ෂයට ආරාධනා කළ බවයි.


එම අවස්ථාවේදී සාකච්ඡා සඳහා සහභාගිවූ බවත්, එදා එසේ නම් දැන් සාකච්ඡා වලට එය බාධාවක් වන්නේ කෙසේදැයි ඔවුන් එහිදී ප්‍රශ්න කළේය.


තම පක්ෂය ඕනෑම පක්ෂයක් සමග සාකච්ඡා කිරීමට සුදානම් බවත්, එසේ වුවහොත් රටටම යහපත් වන විසඳුමකට එළඹීමට හැකි බවද ද්‍රවිඩ සන්ධානය එහිදී කියා සිටියේය.



Post a Comment