ඉන්දියානු නළුවන්ට සැප පහසුකම් දෙනවා - ලංකාවේ තරුණ කලාකරුවන්ට පහරදෙනවා

කුරුණෑගල, කුඹුක්ගැටේදී පැවැත් වූ සංගීත හමුව හා වත්මන් පාලනයේ අසාධාරණය සහ අකටයුතුකම් පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනට. සහභාගී වූ අලූත් පරපුරේ කලාකරුවන් පිරිසකට එල්ලවූ මැර ප‍්‍රහාරය පිළිබඳ අදහස් දැක්වීමේ මාධ්‍ය හමුවක් අද (30) සෝලිස් හෝටලයේදී පැවැත්වුණි.

මේ සඳහා කලා කෂේත‍්‍රයේ නියෝජනය කරන පිරිසක් සහභාගී වි සිටියහ.


එහිදී කලාකරුවන් කිහිප දෙනෙකු දැක්වූ අදහස් පොදු විපක්ෂයේ මාධ්‍ය ඒකකය විසින් නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


එය පහත පරිදිය.


ප‍්‍රවීණ ගායන ශිල්පී ලක්ෂ්මන් විජේසේකර


මම ඒ වැඩසටහනට සහභාගී වුණේ දියණියගේ අරාධනාවත් එක්ක. කුඹුක්ගැටේ ප‍්‍රදේශයේ ජංගම වේදිකාවක් තුළ තමයි එය සිදුවුණේ. එහි පළමු ගීතය මා විසින් ගායනා කළා. නිල් බලකායේ පිරිසක් එම වේදිකාව හරහා ගමන් කරමින් කෝලහාල ඇතිකළා. වත්මන් ජනාධිපති ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කරනවා කියල නිතරම ප‍්‍රකාශ කරනවා. එහෙත් එහෙම දෙයක් සිදුවුණේ නැහැ. ඔවුන් ගල්මුල් ප‍්‍රහාර පවා එල්ල කළා, නිල් බලකායේ පිරිස සුදානමින් පැමිණි බව හොඳින්ම දැකගත හැකි වුණා. ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරයා මට පා පහරක් එල්ල කළා. අපි අපේ අදහස් ප‍්‍රකාශ කරන්න ගියේ. අද අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතියත් අහිමි වෙලා.


රංගන ශිල්පිනි සමනලී ෆොන්සේකා


කලාකරුව කියන්නේ ගෝත‍්‍රික භාවයෙන් මිදෙමින් පරිකප්ලපනය පුළුල් කරන කෙනෙක්. පවතින සීමාවෙන් එහා ලෝකයක් දකින කෙනෙක්. හැමදෙනාම කැමති එවැනි කලාවක් දකින්න. අද අමන දේශපාලනය නිසා මිනිසුන් වියරු වෙලා. බලතණ්හාවෙන් වියරු වුණු රාජපක්ෂ රෙජිමයට ආවඩන කලාකරුවන්ගෙන් අහන්න කැමතියි මේ අසාධාරණය ඔවුන්ට පෙන්නේ නැද්ද කියලා.


ලේඛක මොහාන් රාජ් මඩවල


නාමල් රාජපක්ෂගේ නිල් බලකායට අයත් පිරිසක් එහි ටී ෂර්ට් ද ඇඳගෙන පැමිණ කාන්තාවකට නොකිය යුතු අකාරයේ නින්දිත පරුෂ වචන ප‍්‍රකාශ කළා. ඊට පස්සේ ලක්‍ෂ්මන් විජේසේකර පියාට අතින් පයින් පහර දුන්නා. මෙය හුදු දේශපාලනික වැඩසටහනක් නෙමෙයි. පවතින සමාජ ක‍්‍රමයේ ප‍්‍රශ්නය ජනතාවට කියන්න හදපු උත්සහායක් අද දේශපාලනය විසින් මැරකම් කරන්නන්ට රැකවරණය දෙනවා. මෙයට මූලිකත්වය ගත්තේ පළාත්සභා මන්ත‍්‍රී දොන් කමල් ඉන්දික. අද පාර්ලිමේන්තුවේ ඉහළ තනතුරු ලැබෙන්නේ මැරකම් කරන පුද්ගලයින්ට. අද මිනිස්සුන්ට පහර දෙන්නේ අනන්‍යතාවයත් හෙළි කරමින්. මේ තරමට මේ පාලන ක‍්‍රමයේදී පරාජයෙන් වියරු වැටිලා.


ගායක ඉන්ද්‍රචාප ලියනගේ


මෙම අරගලය 8 වෙනිදට පමණක් සීමා වෙන්නේ නැහැ. ඉන්පසු සංවිධානයක් ලෙස මේ අරගලය ආරම්භ කරනවා. මේ අවස්ථාව එක අවස්ථාවක් පමණයි. ඉන්පසු සමාජයේ යහපත සඳහා වෙනත් මගකට යොමු කිරීමට අපි සුදානම්.


උපුල් ශාන්ත සන්නස්ගල


ජනාධිපතිවරණයට ඉන්දියානු නළුවන් ගෙන්වා ඔවුන්ට සැප පහසුකම් ලබා දී වැඳ නමස්කාර කර පිළිගන්නවා. ලංකාවේ තරුණ කලාකරුවන්ට පහර දෙනවා. ප‍්‍රවීණ ගායන ශිල්පී ලක්ෂමන් විජේසේකර එම අවස්ථාවේදී දුවට කතා කරනවා, ඒ දරු කැක්කුම ඇති වුණ අවස්ථාව, ඒ ආඩම්බරකාර තාත්තා පියාට පහර දෙන විට දුව කෑ ගහනවා මේ සිදුවීම දකින කිසිම දෙමව්පියෙකුට නිහඬව සිටිය නොහැකියි. සරත්චන්ද්‍ර මහතාට, රූකාන්ත ගුණතිලකට ආණ්ඩුව විසින් පහර දුන්නා. අනෝජා වීරසිංහගේ නිවාස පවා ගිනි තිබ්බා. අපි එදා වගේම ජනවාරි 8 වෙනිදායින් පසුත් එවැනි දේ වලට විරුද්ධයි. මේක දෙවැනි නිදහස් අරගලයයි. මගෙන් ඉගෙනගත් ලක්‍ෂ 12 ක් පමණ ශිෂ්‍යයින්ට ආරාධනා කරනවා මේ සමග එකතුවෙන්න කියලා.


රංගන ශිල්පී බිමල් ජයකොඩි :


වර්තමාන ආණ්ඩුව විසින් නිදහස් අදහසක් දරන්නට ඇති මිනිසුන්ගේ අයිතිය උදුරගන ව්‍යාජ පියෙක් ලෙස පෙනී සිටිනවා. මේ අවස්ථාවේදී හැම කලා ශිල්පියෙකුටම ඊට විරුද්ධව එක්වන ලෙස ප‍්‍රකාශ කරනවා.



Post a Comment