ස්වාමියා ඝාතනය කරනු එපා - සෝලංගආරච්චි මිය හැඬූ කඳුළින් කියයි

තම ස්වාමි පුරුෂයා ඝාතනය නොකරන ලෙසත්, වරදක් කර ඇත්නම් හිරේ විලංගුවේ දමා දඬුවම් දෙන ලෙසත් තිවංකා සෝලංගආරච්චි මහත්මිය ඉල්ලා සිටියි.

තම ස්වාමි පුරුෂයා වන මුල්ලේරියාව-කොටිකාවත්ත ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රසන්න සෝලංගආරච්චි මහතාගේ ජීවිතයට තර්ජන එල්ලවී තිබීම සම්බන්ධයෙන් අද (29) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය මේ බව සඳහන් කළාය.


සාවිත්‍ර ද සිල්වාගේ පැමිණිල්ලකට අනුව මිනිත්තු 5න් 5ට පොලීසිය පැමිණ ප්‍රසන්න ගැන අසන බවත්, සාවිත්‍ර පොලිසියට යන්නේ ආරක්ෂක අමාත්‍යංශයේ උපදේශකයෙකු වන නීතිඥ හරිගුප්තා රෝහණධීර සමග බවත්, ඒ නිසාම මෙම ව්‍යාජ පැමිණිලි සිදුවීම්වල එකට එකක සම්බන්ධයක් පවතින බවත් සෝලංගආරච්චි මිය කියා සිටියාය.


කළු පැහැති ඇඳුම් ඇඳගත්, මුහුණු ආවරණය කරගත් පිරිස් මෙන්ම සුදු වෑන් මේවන විට දිවා රැයේ කොටිකාවත්ත-මුල්ලේරියාව ප්‍රදේශවල සැරිසරන බවත්,මේ ආකාරයෙන්ම සැරිසරන ලද පිරිස් විසින් 2010 ඔක්තෝම්බර් මස 08 වන දින භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනය කළ බවත් ඇය සිහිපත් කළාය.


තම ස්වාමි පුරුෂයා ඝාතනය වනු දැකීම තමා කිසිසේත්ම අපේක්ෂා නොකරන බවත්, තම ස්වාමි පුරුෂයා තමාටත් , තම දරුවන්ටත් බෙහෙවින් ආදරය කරන බවත් ඇය සඳහන් කළාය.


දෙදෙනාගේ විවාහයට අත්සන් කරනු ලැබුවේද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බවත්, ජනාධිපතිවරයා තම බිරිඳට හා දරුවන්ට ආදරය දක්වන්නේ යම් සේක්ද එපමණකින්ම තම පවුලටද ආදරය හා රැකවරණය අවශ්‍ය බවත් සෝලංගආරච්චි මිය අවධාරණය කළාය.


කොළොන්නාව ප්‍රදේශයේ භීෂණකාරී තත්ත්වයක් දක්නට නොමැති වුවද රජය විසින් එවැන්නක් මවාපාන බවත්, එහෙත් ඒ කුමන වුවමනාවක් මතද යන්න තමන් නොදන්නා බවත් ඇය පෙන්වා දුන්නාය.


තම ස්වාමි පුරුෂයා අවි ආයුධ භාවිතා කිරීමට කැමැත්තක් දක්වන කෙනෙකු නොවන බවත්, එසේ වුවද වැරැද්ද දුට තැන වැරදි බව කියාපෑමට කිසිසේත්ම පසුබට නොවන බවත් ඇය කියා සිටියාය.


ඒ නිසාම ඔහුට මෛත්‍රීපාල සිරිසේන මහතාට යහපාලනයක් සඳහා සහයදීමට දේශපාලන තීන්දුවක් ගැනීමට සාධාරණ අයිතියක් ඇති බවත්, එවැනි තීරණයක් ගත් අයෙකුට මෙලෙස දරුණු ත්‍රස්තවාදියෙකු තරමට පළිගැනීමට කටයුතු කිරීම සුදුසු නොවන බවත් සෝලංගආරච්චි මිය පෙන්වාදුන්නාය.


තමා මේ වන විට ගැබිණි මවක වුවද හිතේ කිසිදු නිදහසක් නොමැති බවත්, උදෑසන අවදිවුණු මොහොතේ සිටම ස්වාමියාට ඇති තර්ජන හේතුවෙන් භීතියෙන් දිවි ගෙවීමට සිදුව ඇති බවත්, තම ස්වාමියාට අනතුරක් නොකරන ලෙස තමන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවත් ඇය හැඬූ කඳුළින් යුතුව වැඩිදුරටත් කියා සිටියාය.



Post a Comment