මෙහේ ලේකම් එහේ යද්දී එහේ ලේකම් ගන්න එක කජ්ජක් නෙවෙයි

එජාප මහලේකම් රජයට සහයදෙන බවත්, එය එක්සත් ජාතික පක්ෂයේ නායයාමක් බවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අද (08) නාමයෝජනා බාරදීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් හා රැස්ව සිටි ජනතාව ආමන්ත්‍රණය කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.


එක ලේකම් කෙනෙකු යන විට තව ලේකම් කෙනෙකු ගෙන ඒම මේ රාජපක්ෂට කජ්ජක් නොවන බවත්, තමා යන්නේ දේශපාලන ගමනක් බවත් රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය.


කෙසේ වෙතත් එන අයට එන්නටත් යන අයට යන්නටත් ආණ්ඩු පක්ෂයේ දොර තාමත් විවෘතව පවතින බවද හෙතෙම අවධාරණය කළේය.


විපක්ෂය පුද්ගලයින් සමග එකතු වන විට තමන් දේශපාලන පක්ෂ සමග එකතු වන බවත්, විපක්ෂය පුද්ගල ප්‍රතිරූප සරණ යන විට තමන් දේශපාලන ප්‍රතිපත්ති මත පිහිටා ක්‍රියා කරන බවත් ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.


ශ්‍රීලනිපයේ හිටපු මහලේකම් මෛත්‍රීපාල සිරිසේන මහතා විපක්ෂයේ පොදු අපේක්ෂක ලෙස ජනාධිපතිවරණට තරඟ කිරීම ප්‍රකාශයට පත්වීමත් සමග එක්සත් ජාතික පක්ෂය තුළ මතභේද උද්ගත විය.


ඒ අනුව තිස්ස අත්තනායක මහතා ප්‍රමුඛ කිහිපදෙනෙකු ආණ්ඩුවේ ප්‍රබලයන් සමග සාකච්ඡා ආරම්භ කරන ලද බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස අද (08) දින හෙතෙම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහයදෙන බවත් වාර්තා විය.


කෙසේ වෙතත් තිස්ස අත්තනායක මහතා අද පස්වරුවේ අරලියගහ මන්දිරයේ පැවැත්වෙන මාධ්‍ය හමුවකදී තම තීරණය නිල වශයෙන් රටට දැනුම්දීමට නියමිතය.



Post a Comment