මුදල් - රෙගුලාසි ගැන නොසිතා ජනතාවට සහන සලසන්න

අයහපත් කාලගුණයෙන් විපතට පත් ජනතාවගේ මූලික අවශ්‍යතා ඉටුකිරිමේ දි චක්‍රලේඛ, මුදල් රෙගුලාසි පිළිබඳ නොසිතා කඩිනම් සහන සැලසීමට පියවර ගැනිමට කටයුතු කරන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අදාළ නිලධාරින්ට උපදෙස් ලබා දි තිබේ.

මෙවැනි අවස්ථාවක වැදගත් වන්නේ මුදල් නොව ජනතාවගේ මූලික අවශ්‍යතා ඉටු කිරිම බව පෙන්වා දුන් ජනාධිපතිවරයා අවශ්‍ය සෑම පහසුකමක්ම කිසිදු අඩුපාඩුවකින් තොරව සිදුකරන ලෙස ඔවුන්ට උපදෙස් ලබාදුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.


අද පෙරවරුවේ විපතට පත් ජනතාවගේ සහන කටයුතු පිළිබඳ සොයාබැලීම සඳහා අනුරාධපුරයට ගිය ජනාධිපතිවරයා එම සංචාරයෙන් අනතුරුව පැවති විශේෂ සාකච්ඡාවකදි මේ බව පවසා තිබේ.


එමෙන්ම විපතට පත් ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක කර ඇති සියලු සහන කටයුතු විධිමත් වැඩපිළිවෙළක් යටතේ ඉදිරියට ගෙන යන ලෙස ද අදාළ අංශ වෙත මෙහිදි උපදෙස් ලබා දි තිබේ.


කඳවුරු වලට පැමිණිමට නොහැකිව අතරමංව සිටින ජනතාවට අවශ්‍ය ආහාර ඔවුන් රැඳී සිටින ස්ථාන වෙත යොමු කිරිමට විධිමත් වැඩපිළිවෙළක් අනුගමනය කරන ලෙස ද අදාළ අංශ වෙත උපදෙස් ලබාදුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කර සිටියේය.



Post a Comment