ජනපතිටත් නඩු පැවරිය හැකි නව සංශෝධනයක් ගෙන එනවා

රටේ ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ නිදහස ඇති කරමින් ආර්ථිකය නඟාසිටුවීමට කටයුතු කරන බව පොදු අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතා අද (28) මොණරාගල ප‍්‍රදේශයේ පැවති ජන රැළියකදී පැවසීය.

එම ජන රැළියේදී ඔහු වැඩිදුරටත් මෙසේ කියා සිටියේය.


2010 න් පසු මහින්ද රාජපක්‍ෂ මහතා රට තුළ දූෂිත පාලනයක් ගෙනගියා. නිදහස් පක්‍ෂය තුළ තිබුණු ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා බණ්ඩාරනායක ප‍්‍රතිපත්තිය ඔහු අමතක කළා. රාජ්‍ය අංශයේ සේවයකයන්ට ස්වාධීනව තම කටයුතු කරගෙන යාමට නොහැකි වුණා. සාමාන්‍ය ජනතාව ගැන නොසිතා කටයුතු කරමින් සිටියා. නමුත් ජනාධිපතිවරණය වෙනුවෙන් තෙල් මිල ගෑස් මිල අඩුකරනු ලැබුවා. නමුත් රටේ ගොවිජනතාවගේ ආර්ථිකය ගැන සැලකිලිමත් වූයේ නැහැ. අද ගොවීන් වකුගඩු රෝගීන් බවට පත්වෙලා. විෂ සහිත කෘමිනාශක ඉවත් කිරීමට රාජපක්‍ෂ පාලනය කටයුතු කළේ නැහැ.


කෘෂිකර්මාන්තයේ නියලෙන්නන්ට අවශ්‍ය බීජ අද ඉහළ මිළ ගණනක් වෙනවා. එම බීජ ලබාදීමට මැදිහත්වෙන්නේ බහු ජාතික සමාගම්. අද අපේ ගොවි ජනතාවට ඇති විශාලතම ගැටළුව වී ඇත්තේ ඔවුන්ගේ නිෂ්පාදන ගබඩාකර තබාගත හැකි ස්ථානයක් නොමැති කමයි. ඔවුන්ගේ කුඹුරුවලට අවශ්‍ය ජලය ලබාගැනීමට ජල කළමණාකරන ක‍්‍රමවේදයක් නෑ. කලට වේලාවට පොහොර ලබාගැනීමට අවශ්‍ය වැඩපිළිවෙලක් ද නෑ. වෙළෙඳපොළ තුළ ඔවුන්ට සාධාරණ මිළක් ලැබෙන්නේද නෑ. ජනවාරි 8 වනදායින් පසු ආරම්භවන නව සමගි සන්ධාන ආණ්ඩුව තුළ ගොවීන්ට අවශ්‍ය බීජ මිළදී ගැනීමටත් ඔවුන්ගේ නිෂ්පාදන ගබඩා කිරීමටත් ඔවුන්ගේ ගොවිතැන් කටයුතු වලට අවශ්‍ය ජල කළමණාකරන වැඩ පිළිවෙළක් ආරම්භ කරනවා.


පවතින ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාට නඩු පැවරිය නොහැකියි. නමුත් ජනාධිපතිවරයාටත් නඩු පැවරිය හැකි නව සංශෝධනයක් ගෙන ඒමට කටයුතු කරනවා. නීතිය ආදිපත්‍යයත් රාජ්‍ය කටයුතු වල විනිවිධබාවයක් තුළින් ස්ථාවර රටක් ගොඩනගා ගැනීමට කටයුතු කරනවා.



Post a Comment