නැවත සමීක්ෂණය අවශ්‍යනම් ජනවාරී 28ට පෙර යොමු කරන්න

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණය සඳහා අපේක්ෂා කරන්නන් ජනවාරි 28 වන දිනට පෙර අයඳුම්පත් යොමුකළ යුතු බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

පාසල් අයඳුම්කරුවන් සඳහා වන නැවත සමීක්ෂණ අයඳුම්පත්‍ර, ප්‍රතිඵල ලේඛන සමඟ විදුහල්පතිවරුන් වෙත යොමුකිරීමට නියමිතය.


නැවත සමීක්ෂණය සඳහා පුද්ගලික අයඳුම්කරුවන් ඉදිරියේ දී ජාතික පුවත්පත්වල පළ කෙරෙන ආදර්ශ අයඳුම්පත් සම්පූර්ණ කර යොමුකළ යුතු බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.


උසස් පෙළ ප්‍රතිඵල මේ වන විට අන්තර්ජාලයට මුදාහැර ඇති අතර www.doenets.lk හෝ results.exams.gov.lk යන වෙබ් අඩවිවලට පිවිසීමෙන් ලබාගත හැකිය.


කොළඹ සහ ශ්‍රී ජයවර්ධනපුර අධ්‍යාපන කලාපවලට අයත් පාසල්වල විදුහල්පතිවරුන්ට අද පෙරවරු 9.00 න් පසු විභාග දෙපාර්තමේන්තුව වෙත පැමිණ ප්‍රතිඵල ලේඛන ලබාගත හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියේය.


සෙසු සියලු පාසල්වලට සහ පෞද්ගලික අයඳුම්කරුවන්ට අද දිනයේ තැපැල් මගින් ප්‍රතිඵල බෙදාහැරීමට පියවර ගෙන තිබේ.


මේ අතර 2014 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ පළමු අදියරේ පිළිතුරු පත්‍ර ඇගයීම් අද ආරම්භ වෙයි.


අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික් කිහිපයක මධ්‍යස්ථාන 15ක ඇගයීම් කටයුතු අද ආරම්භ නොකරන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.


ඒ අනුව පොළොන්නරුව තෝපාවැව විද්‍යාලය, මඩකලපුව ශාන්ත මයිකල් විද්‍යාලය සහ වින්සන්ට් උසස් බාලිකා විද්‍යාලය, කල්මුණේ වෙස්ලි විද්‍යාලය, මහමුද් බාලිකා විද්‍යාලය, අක්කරෙයිපත්තුව අස්සිරාජ් මහා විද්‍යාලය, අනුරාධපුර ස්වර්ණපාලි බාලිකා විද්‍යාලය, වලිසිංහ හරිස්චන්ද්‍ර මහ විද්‍යාලය සහ කැකිරාව මධ්‍ය මහා විද්‍යාලය යන ඇගයීම් මධ්‍යස්ථාන වසා දමා තිබේ.


ඊට අමතරව බණ්ඩාරවෙල විශාඛා විද්‍යාලය, බදුල්ල විශාඛා උසස් බාලිකා විද්‍යාලය, ධර්ම දූත විද්‍යාලය, වැලිමඩ මධ්‍ය මහා විද්‍යාලය, නුවරඑළිය උසස් බාලිකා විද්‍යාලය, පුත්තලම සහිරා ජාතික පාසල ද පිළිතුරු පත්‍ර ඇගයීම් මධ්‍යස්ථානවලින් ඉවත් කර තිබේ.


සෙසු නගර 43ක පිහිටුවා ඇති පිළිතුරු පත්‍ර ඇගයීම් මධ්‍යස්ථාන අද සිට ක්‍රියාත්මක කරවීමට නියමිතය.



Post a Comment