සෞඛ්‍ය අංශ පැය 24 පුරා සිරුවෙන් තබන්න

ඇති වි තිබෙන ගංවතුර සහ නායයෑම් ආපදා තත්ත්වයට මුහුණ දීම සඳහා රජයේ රෝහල්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ ආපදා පෙර සූදානම් ඒකකය පැය 24 පුරා සීරුවෙන් තබන ලෙස සෞඛ්‍ය අමාත්‍ය තිස්ස අත්තනායක මහතා අදාළ අංශ වෙත උපදෙස් ලබා දි තිබේ.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව තිස්ස අත්තනායක අමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දි ඇති බව සඳහන්ය.


ලක්ෂ 07කට ආසන්න ජනතාවක් මේ වන විට ගංවතුර සහ නායයෑම් හේතුවෙන් අවතැන්ව සිටින බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය.


පොළොන්නරුව, අනුරාධපුරය, මඩකලපුව, අම්පාර සහ මහනුවර යන දිස්ත්‍රික්ක ගංවතුර තර්ජනයට මුහුණ පා සිටින අතර බදුල්ල සහ නුවරඑළිය දිස්ත්‍රික්ක නායයෑම් තර්ජනයට මුහුණ පා ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය.


වැසි සහිත කාලගුණය සහ ගංවතුර තත්ත්වය හේතුවෙන් උණ, සෙංගමාලය, අතීසාරය, පාචනය වැනි රෝග තත්ත්වයන් ව්‍යාප්ත විමේ අවදානමක් පවතින අතර අවදානමට ලක්ව ඇති ජනතාවට අවශ්‍ය උපදෙස් හා ප්‍රතිකාර ලබාදීම සඳහා විශේෂ කණ්ඩායමක් යොමු කර ඇති බව එම අමාත්‍යංශය සඳහන් කර සිටියේය.


එමෙන්ම අවතැන්වූවන් සිටින කඳවුරු වල ජිවත් වන පිරිස් වලට ලබාදෙන පානීය ජලය සඳහා ජල මූලාශ්‍ර ක්ලෝරීන්කරණය කිරිමට සෞඛ්‍ය කාර්යය මණ්ඩල දැනුවත් කරන ලෙසත්, එම ජනතාවට අවශ්‍ය ඖෂධ හා වෛද්‍ය උපකරණ කඩිනමින් ලබාදීමට පියවර ගන්නා ලෙසත් සෞඛ්‍ය අමාත්‍යවරයා අමාත්‍යංශ නිලධාරින්ට උපදෙස් ලබා දි තිබේ.


ඕනෑම හදිසි තත්ත්වයක් හෝ අවශ්‍ය තොරතුරු ලබා ගැනීම සඳහා 0113 071 073 යන දුරකථන අංකය ඇමතීමෙන් ලබාගත හැකි අතර සෞඛ්‍ය අමාත්‍යංශයේ ආපදා කළමනාකරණ ඒකකය පැය 24 පුරා ක්‍රියාත්මක බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කර සිටියේය.



Post a Comment