පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයක් ලක්ෂ 1500යි - සෙල්ලම්ද?

පාර්ලිමේන්තු මන්ත්‍රීධුර විකිණෙන්නේ ලක්ෂ 1500ට යැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා පවසයි.

අද මාතර තිහගොඩ පැවැති ජනහමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටි අතර එහිදී වැඩිදුරටත් ඔහු ඒ ගැන මෙසේද කියා සිටියේය.


"පාර්ලිමේන්තු මන්ත්‍රීධුර විකිණෙන්නෙ ලක්ෂ 1500ට සෙල්ලම්ද ? ගන්න එකා කොහොමද ඕක දැම්මාම ස්ථාවර තැන්පතුවක. ලක්ෂ 1500 ස්ථාවර තැන්පතුවක දැම්මාම සියයට 10 ක් පොළිය හම්බ උනත්, අවුරුද්දට පොලිය යනවා ලක්ෂ 150ක්. මාසෙට? 150 අරගෙන 12 න් බෙදමුකෝ. දළ වශයෙන් ලක්ෂ දොළහමාරක්. මාර පැත්තකට දාමුකො. ලක්ෂ 12යි. අර නූතන පයිතගරස් නෙමෙයි එයා පයිත්‍යංගරස්, විමල් වීරවංශ මහත්මයා කිව්වෙ, දෙකෙන් දෙක බෙදුවාම බින්දුවයි කියල. තමුන්නාන්සේලාට මතකයිනෙ. පයිතගරස්, කියන්නේ ගණිත විද්‍යාවේ ශ්‍රේෂ්ඨයෙක්. එයා ඉතින් පයිත්‍යංගරස්. විමල් වීරවංශ කියන්නෙ පයිත්‍යංගරස් කතානේ.


එතකොට, ඔය, ලක්ෂ 1500 ක් අරගෙන යන එකාට කාල බීල ගෙදර සිංදු කිය කියා හිටියොත් මාසෙට පොළිය විදියට හම්බ වෙනව ලක්ෂ 12 ක්. සාමාන්‍යයෙන් ලක්ෂ 12ක් මාසෙට හම්බවෙන කෙනෙක්ගෙ ආදායම් බද්ද මම දන්නෙ නෑ. අපි ලක්ෂ 4ක් තියමුකෝ. ලක්ෂ 12න් ලක්ෂ 6ක් ම තියමුකෝ. ආදායම් බද්ද ගෙවන්න කියලා. තව 6ක් තියෙනවා. මිත්‍රවරුනි, යන එකා මාසෙට ජීවත් වෙන්නෙ සිංදු කිය කියා පොළිය තියෙද්දි, ලක්ෂ 1500 තියෙද්දි මාසෙට ලක්ෂ 6ක් අතට එනවා. තමුන්නාසේලාට ලක්ෂ 6ක් නෙමෙයි, තමුන්නාන්සේලාට රුපියල් 6000ක් හොයා ගන්න , 600ක් හොයා ගන්න, කොච්චර දුක් විඳින්න ඕනෙද ?.


පළාත්සභා මන්ත්‍රීකම විකිණෙන්නෙ ලක්ෂ 800 ට විතර. ප්‍රාදේශීය සභා මන්ත්‍රීකම විකිණෙන්නෙ ලක්ෂ 25 කට විතර. අපේක්ෂකයෝ තවත් ඕනෙනම් 10, 000 කට විකුණන්න පුළුවන් ලංසු තියලා. හැබැයි තමුන්නාසේලගේ සල්ලි නෙමෙයි. තමුන්නාසේලට හිතෙයි, අනේ අපිට මොකෝ. අපේ සල්ලි නෙමෙයි. ඇයි මැදමුලනෙ කොස් පොළොස් විකුණලද ? නෑ. මම තමුන්නාසේලට කියනවා ඒ තමුන්නාසේලගේ සල්ලි තමයි. අධිවේගී මාර්ගයෙන් හොරා කාපුවා. ගමේ කොන්ක්‍රීට් එකෙන් හොරා කාපුවා තමයි ඒ විකිණෙන්නේ" යැයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් කීවේය.



Post a Comment